
මේ දවස්වල මොබයිල් ෆෝන්වලට නිමක් නැති දැන්වීම් ගලා එයි. තාවකාලික ඩේටා ප්ලෑන්, එනිටයිම් ඩේටා පැකේජ්, ඩේටා ඇඩ් ඔන් සේවාද ඇතුළු වෙනත් පහසුකම්ද විවිධ සහන යටතේ පාරිභෝගිකයන්ට ලබාදෙන බවට ඒවායේ පොරොන්දු රැසකි. මේ ඇතැම් පැකේජ් නොමිලේ සැපයෙන බවද සඳහන්ය. තවත් ඒවාට අඩු ගාස්තු අයකරන බවද කියති. ෆෝන් හිමියන්ට අවශ්‍ය වුවත් නැතත් ඒ දැන්වීම් නවතින්නේ නැත. එහෙත් පාලින්දනුවර කෙළිකන්ද ප්‍රදේශයේ ‘‘ඔන්ලයින්’’ අධ්‍යාපන කටයුතු සිදුකරන සිසු දරුවන්ට නම් එවැනි වාසනාවක් නැත. ඔවුන්ට මෙවැනි පැකේජ් කෙසේ වෙතත් අඩු තරමින් පාඩමක් හරියට කියවා ගැනීමට නම් ගස්, ගල් උඩට නැගීමට සිදුවන තත්ත්වයක් පවතින බව එම දරුවන්ගේ මාපියෝ කියති.
ඔන්ලයින් සේවා අතදිගහැර ලබාදීමට සූදානම් පණිවුඩ දිනපතා ලැබෙන රටක මෙවැනි තත්ත්වයක් පවතින බව ඇදහීමටත් අමාරුය. එහෙත් මේ තිත්ත ඇත්ත හෙළිකරන අපගේ ලංකාදීප මීගහතැන්න වාර්තාකරු ප්‍රකාශ කරන්නේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය අන්තර්ජාල පහසුකම් ලබාගැනීමට ජංගම දුරකතනවලට සංඥා නොමැතිවීම හේතුවෙන් එම ප්‍රදේශයේ සිසුන් බලවත් අපහසුතාවලට ලක්වී සිටින බවයි. පාලින්දනුවර කෙළිකන්ද ප්‍රදේශය තුළ වෙසෙන එම දරුවන් ජංගම දුරකතනවලට සංඥා ඇති ස්ථාන සොයමින් ගස් ගල්වලට නැග ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සිදුකරන බව ඔවුන්ගේ මාපියන් පවසා තිබිණි. මෙය කොතරම් දුක්ඛදායක තත්ත්වයක් දැයි විස්තර කළයුතු නැත. එහෙත් ඔවුන්ගේ ගැටලුව විසඳා දීමට ‘‘ඔන්ලයින්’’ පැකේජ බලෙන් පාරිභෝගිකයන්ගේ ඇඟේ ගැසීමට කටයුතු කරන පෞද්ගලික සමාගම් උනන්දු නොවන බව නම් කිව හැකිය.
කඳු බෑවුම් සහ කැළෑවලින් ගහන කෙළිකන්ද ප්‍රදේශයේ උස් තැන්, ගල් පර්වත මතට තමන්ගේ ජංගම දුරකතන රැගෙන ගොස් ඔන්ලයින් හරහා තම ගුරුවරුන් සමඟ සම්බන්ධ වීමට වෙරදරන මේ දිරිය දරුවන්ගේ ගැටලුව විසඳීමට කවුරුන් හෝ නොපමාව ඉදිරිපත්වීම අවශ්‍යය. මේ සිසුන් අතුරින් වැඩිදෙනකු ඉදිරියේදී පැවැත්වීමට නියමිත අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අය වෙති. පළාතේ ගුරුවරුන් ප්‍රකාශ කරන්නේ එකී ප්‍රදේශයේ සිසු දරුවන්ට අවශ්‍ය පැවරුම් යැවීමට පවතින මේ තත්ත්වය මහත් බාධාවක් වී ඇති බවය. අ.පො.ස. සා.පෙ. විභාගය ඇරඹීමට දැනට දින නියම කර ඇත්තේ ලබන ජනවාරි 18 වැනිදා බවත් ඉදිරි දෙසතිය තුළදී ඒ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය මගින් ස්ථීර තීරණයක් ගැනීමට නියමිත බවත් සඳහන් වෙයි. එසේ නම් මේ දරුවන්ගේ ජංගම දුරකථනවලට සංඥා ලබාදීම සඳහා හැකි ඉක්මනින් පියවර ගත යුතු බව පැහැදිලිය. දුරකතනවලට සංඥා නොලැබීම හේතුවෙන් විභාගයේදී කෙළිකන්දේ දරුවන්ට අසාධාරණයක් සිදුවීමට ඉඩදිය යුතු නැත.
මෙවැනි ගැටලු පවතින එකම ප්‍රදේශය පාලින්දනුවර කෙළිකන්ද පමණක් යැයි අප කිසිසේත් සිතන්නේ නැත. මෙවැනි දුරකථන සංඥා නොලැබී යාමෙන් අධ්‍යාපන කටයුතු වලට බාධා පැමිණෙන තවත් ප්‍රදේශ තිබිය හැක. අප කෙළිකන්ද පිළිබඳව කතා කරන්නේ අපගේ වාර්තාකරු ඒ පිළිබඳව සිදුකරන ලද හෙළිදරව්ව හේතුවෙනි. තම තමන්ගේ ප්‍රදේශවල සිටින සිසු දරුවන් මේ ගැටලුවට මුහුණ දී සිටිනවා දැයි සොයාබැලීමට ඒ ඒ ප්‍රදේශවල දේශපාලන බලවතුන්ටද හැකියාව තිබේ. ආසන මට්ටමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද, ප්‍රාදේශීය මට්ටමින් ප්‍රාදේශීය සභා මන්ත්‍රීන්ටද මේ සොයාබැලීම සිදුකළ හැක. මෙය දේශපාලන ගැටලුවක් කරගත යුතු නැත. රටක අධ්‍යාපනයට ලබාදෙන පහසුකම් ඒ රටේ අනාගතයට කෙරෙන හොඳම ආයෝජනය බව අමතක නොකළ යුතුය.
ඔන්ලයින් උපයෝගී කරගන්නා එකම පිරිස පාසල් සිසු දරුවන් පමණක් නොවේ. කොරෝනා වසංගතය හේතුවෙන් නිවෙස්වල සිට රාජකාරියේ නිරතවීමට බලකෙරෙන දහස් ගණනක් පෞද්ගලික සහ රාජ්‍ය දෙඅංශයේම සිටිති. ඔවුන්ද සිටින්නේ දුරකථන සංඥා හරිහැටි නොලැබෙන කෙළිකන්ද වැනි ප්‍රදේශයක නම් එය නිසැකවම රාජකාරි ඉටු කිරීමට බාධාවකි. එක් එක් නිලධාරීන් අතර සිදුකළ යුතු වැදගත් තීන්දු තීරණ ගන්නා සාකච්ඡා, සම්මන්ත්‍රණ ඔන්ලයින් හරහා සිදුකෙරෙන විට තම ජංගම දුරකථනය හෝ ලැප්ටොප් පරිගණකය හෝ ඔසවාගෙන ගස් ගල් නැගීමට මේ පිරිසට හැකියාවක් නැත. එවැනි තත්ත්වයකදී සිදුවන්නේ සාකච්ඡා ඇනහිටීමය. එහෙත් සිසුන්ට නම් ගුරුවරුන්ගෙන් ලැබෙන පාඩම් සහ පැවරුම් නොලැබී ගියොත් ඔවුන්ට විභාගයට පෙනී සිටීමට සිදුවනු ඇත්තේ දැනුමින් අඩක් අහිමි තත්ත්වයකිනි. හැකි තරම් ඉක්මනින් කෙළිකන්දේ සිසුන්ගේ ගැටලුව විසඳා දීමට රාජ්‍ය මැදිහත්වීමක් හෝ සිදුවිය යුතු යැයි එම ප්‍රදේශවාසීන් පවසන්නේ ගැටලුවේ දිග පළල ඔවුන් හොඳින්ම දන්නා නිසා විය යුතුය.
අපේ රටේ අයවැයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට විශාල මුදලක් වෙන් කෙරෙයි. මෙවරද එය එසේම විය. අපේ රටේ ඇතැම් පළාත්වල පවතින අධ්‍යාපනයට අදාළ දුරකථන සංඥා නොලැබීම වැනි තාක්ෂණික ගැටලු විසඳීම සඳහාද අධ්‍යාපන අමාත්‍යංශය වෙන් කෙරෙන මුදලින් කිසියම් ආයෝජනයක් කෙරෙන්නේ නම් එය කාලීන වශයෙන් වැදගත් යැයි අපි සිතන්නෙමු. කොරෝනා වසංගතය සමඟ තව වසර කිහිපයක් ජීවත්වීමට සිදුවනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පවා කර ඇති පුරෝකථන සැලකිල්ලට ගැනීමේදී මෙය තවදුරටත් කෙළිකන්දේ දරුවන්ගේ ගැටලුවක් පමණක් නොවන බව පෙනී යයි. ඉදිරි වසර කිහිපය තුළදී ‘‘ඔන්ලයින්’’ අධ්‍යාපන ක්‍රමවේද තවදුරටත් පුළුල් කිරීමට සිදුවනු ඇති බවට සැකයක් නැත. එවැනි පුළුල් කිරීමකදී රටේ සියලු ප්‍රදේශ තුළ පවතින ගැටලු හඳුනාගෙන ඒ සඳහා පිළියම් යෙදිය හැක. එහෙත් සියල්ලටම පළමුව මේ ගැටලුව රට ඉදිරියේ තැබූ කෙළිකන්ද සිසු දරුවන්ගේ ගැටලුව හැකි ඉක්මනින් විසඳාදීම අප කාගේත් යුතුකමක් බව පවසනු කැමැත්තෙමු.
COMMENTS
ඡන්දෙට ඉස්සෙල්ලා නම් කිව්වේ වයිෆයි දෙනවා කියලා...
වැඩි හරියක් ඔන්ලයින් කියලා දීලා තියෙන්නේ ගුරු අත්පොතම තමයි. මොනවා හෝ අකුරක් ලියලියා ඉන්න දෙනවා නම් ඒකෙත් යම්කිසි වටිනාකමක් තිබෙනවා තමයි. වැඩි හරියක් බොරු රැවටිලි කියලා නොකියාම බැහැ. දේශනා අහගෙන ඉන්න පුලුවන් නම් ළමයි කැමැත්තෙන් බණත් අහනවනේ. හැබැයි ලංකාවේ අන්තර්ජාල භවිතය ලොකු ප්‍රමාණයකින් ඉහළ ගිහිල්ලලු. මම නම් හිතන්නේ අපරාද සල්ලි වියදමක් කියලයි. ඔන්ලයින් ව්‍යාපාරය හෙවත් දෙමාපියන් රැවටීම මහා පාපයකි...
ලංකාවේ අන්තර්ජාල පහසුකම් සපයන සෑම සමාගමක්ම කරන්නේ තනිකර ගසාකෑමක්... යුරෝපයේ රටක අඩුම දුරකථන ගාස්තුව වන්නේ මාසයකට රු.3000යි. එම පැකේජයට කෙටිපණිවිඩ 200ක්, ඇමතුම් විනාඩි 500ක් සහ සීමාරහිත අන්තර්ජාල පහසුකම ඇතුළත්... එහෙම වුණාම මෙහෙ මිනිස්සු පැය 24ම ඉන්නේ ඔන්ලයින්. හැමවෙලාවෙම watsapp, imo, viber, Skype, twitter, FB ක්‍රියාත්මකයි. ඕනෑම ආයතනයක් අන්තර්ජාල පහසුකම් වියදම් අඩුනිසා website පවත්වාගෙන යනවා. ඒ වගේම අන්තර්ජාල පහසුකම මගින් දුරකථන මාර්ගයෙන් පාරිභෝගිකයින්ට තමන්ගේ නිෂ්පාදන සහ වෙළඳ භාණ්ඩ දැනුවත් කරනවා. මේ ලංකාවේ රු.49, 99, 199, 249 කියකියා දුප්පත් මිනිසුන්ව සූරාගෙන කනවා හිතක් පපුවක් නැතිව. මේකට තනිකර වගකියන්න ඕන ආණ්ඩුව, කිසිම වගක් නැතුව මිනිසුන්ව සූරාගෙන කන්න ඉඩදෙනවාට...
මේකට බදුගහලා ගන්න ආදායම වගේ දෙගුණයක ප්‍රතිලාභ ගන්න පුලුවන් නිකන් කියව කියවා ඉන්නේ නැතිව මිනිසුන්ව සූරාගෙන කන සමාගම් නියම විදියට නියාමනය කරලා අන්තර්ජාල පහසුකම් පහසු මිලට ලබාදුන්නා නම්. අනිවාර්යයෙන් රු.49, 99, 199 යනාදී වංචා සහගත විශම මිල චක්‍ර තහනම් කරලා සරල සහ සීමාරහිත මාසික ගාස්තුවක් පමණක් අනුමත කල යුතුයි. මෙහිදී සිසුන්ට විශේෂ මිල ගණන් නියම කල යුතුයි. මේ සමාගම්වලට බැහැ තමන්ගේ සේවාව නොවිකුණා ඉන්න. කෙසේ හෝ සේවා විකිණීම කළයුතු නිසා ඔවුන්ට වෙනත් විකල්පයක් නොමැති වනසේ නීති සකස්කළ යුතුයි.
අර බෙදනවා කියපු ටැබ් ටික තිබ්බා නම් යම්කිසි සහනයක් ලැබෙන්න තිබ්බා ළමයින්ට...
මේ පිළිබඳව අවදානය යොමුකළ යුතුමයි.
මේවා පේන්නේ නැහැ. නන්දසේනට ඕනෑ පුද්ගලික නඩු නැති අනාගතයක්... විගණන නැති ආර්ථිකයක්. එයාලගේ පවුලටම සලකනවා. රටේ අසාර්ථකම නායකයෙක්...
ඉතින් හොඳයිනේ... අඩුමගානේ ඉස්කෝලෙදී ගස්නගින්න හරි ඉගෙන ගන්නවනේ.
නාගරික ප්‍රදේශවලට වයිබර් හරහා අන්තර්ජාල පහසුකම් ලබා දිය යුතුයි.. ග්‍රාමීය ප්‍රදේශවලට රැහැන් රහිත අන්තර්ජාල පහසුකම් ලබා දිය යුතුයි. අපේ වෙන්නේ වයිබර් සබඳතා දීම ඉබි ගමනින් සිදුවීමත්, ඒ නිසා නාගරික ප්‍රදේශවල අඩියෙන් අඩිය කුළුණු හයි කරන එක. නගරෙට වයිබර් දීලා ඒ කුළුණු දුෂ්කර පළාත්වල හයි කරන්න ඕනේ...
වෙන්න ඕන ඕක නෙමෙයි. රටේ ඉන්න හොඳම ගුරුවරු හැම ශ්‍රේණියකටම අදාළ පාඩම්ටික වීඩියෝ රෙකෝඩ් කරලා සර්වර් එකකට දානවා. එතැනින් ළමයි ඒක ඩවුන්ලෝඩ් කරගෙන හැමෝම අතර බෙදාගන්නවා. USB ඩ්‍රයිව් එකකට යන්නේ රුපියල් 2000යි. පොඩිම ස්මාර්ට් ෆෝන් එකෙන් වුණත් මේවැඩේ කරගන්න පුළුවන්. බොරුවට ලැප්ටොප් ඕනෑ නැහැ. නැති ළමයි තියෙන ළමයි ඔක්කෝටම ඒ ක්‍රමයේදී පාඩම් ටික ලැබෙනවා. තමන්ට ඕනෙ වෙලාවකදී ඉගෙන ගන්න පුළුවන්. හොර ගුරුවරුත් ඉවරයි. බොරු ඔන්ලයින් ෂෝ එකත් ඉවරයි. බොරු ටැබ් බෙදලා දීමත් ඉවරයි.
1970 දී කිරිඇල්ල ආසනයේ මන්ත්‍රීවරයා වී පසුව ආසනයේ නම ඇහැලියගොඩ කියා වෙනස්කළ වත්මන් ඇමති කෙනෙකුත්, තවත් ඇමතිනියකත් තම ආසනය යැයි කියන ඇහැලියගොඩ ආසනයේ හිඳරංගල ගමත් මේ කියන ගම වගේම ගමක් කියන්න පුළුවනි. ඒ ගමේ දරු දැරියන් ඔන්ලයින් පාඩම් ඇති දිනවල අන්තර්ජාල පහසුව ලද හැකි පෙදෙස්වල හිතවතුන් හා ඥාතීන්ගේ නිවෙස්වලට ගොස් නැවතී පාඩම් බලාගැනීමට කටයුතු කරන්නේ දහසක් බාධක මැද්දේ බව කියන්නේ අත්දැක ඇති නිසායි.
ඇහැලියගොඩ සිට හිඳරංගල ගම හරහා කිරිඇල්ල (ඉඩංගොඩට) ටෙලිකොම් සමාගම දුරකථන රැහැන් ඇදලා දැනට අවුරුදු 5කට වැඩියි. නමුත් තවමත් කිසිවෙකුට දුරකථන පහසුකම් ලබාදී නැහැ. ඒකවත් කළා නම් හිඳරංගල දරුදැරියන්ට ගස්උඩට නගින්නත් පිට ගම්වලට ඔන්ලයින් පහසුව ගන්න අවශ්‍ය නැහැ.