IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


අමරදේවයන්ට මේ සැලකිලි හරිද?

හෙළයේ මහා ගාන්ධර්වයාණන් වූ අභාවප්‍රාප්ත ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන් සිහි කිරීම වෙනුවෙන් මීට වසර හතරකට පෙර රුපියල් කෝටි 20ක පමණ වියදමින් බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී ඉදි කිරීම ඇරැඹුණු ‘අමරදේව අසපුවේ’ ගොඩනැගිලි මේ වනවිට වල්බිහි වෙමින් තිබෙන බව අප පුවත්පත සේයාරූද සමග ඉකුත්දා වාර්තා කළේය.

අතිශය කලකිරීමක්ද සංවේගයක්ද ජනිත කරවන ප්‍රවෘත්තියකි. අපට අපේ යැයි ලොවට පෙන්විය හැකි බොහෝ දෑ නැත. අමරදේවයන් යනු අභිමානයෙන් ද ආඩම්බරයෙන් ද ලොවට ඉදිරිපත් කළ හැකි සාඩම්බර සලකුණකි. විශ්ව භාෂාවක් වන සංගීතයෙන් ලොවක් පිනවූ මහාර්ඝ මධුර නාදයෙන් ඔදවත් තෙදවත් පණ්ඩිත් අමරදේවයන් යනු ඇසින් වැටෙන කඳුලක් අත්ලෙන් පිසලන්නාක් මෙන් අමතක කළ හැකි ගාන්ධර්වයකු නොවේ. වර්තමානයේ මතු නොව අනාගතයේදීත් මග කියන නැකත් තරුවක් සේම එතුමාගේ නිර්මාණ සේම සංගීත සම්ප්‍රදායන් සුරක්ෂිතව තැබිය යුතුය. නොඑසේ නම් අප කළ ගුණ නොදත් ම්ලේච්ඡ වනචාරී ග්‍රෝතිකයන් ලෙස ලොවෙන් නිමක් නැති ගැරහුමට ලක් වනු ඇත.

පණ්ඩිත් අමරදේවයන්ගේ අවමංගලෝත්සවයේදී එවකට රටේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ ඉන්දියාවේ ශාන්ති නිකේතනය බඳු සංගීතමය අසපුවක් සම්බන්ධ අපේක්ෂාවෙන් පණ්ඩිත් අමරදේවයන් පසුවූ බවත් එම බලාපොරොත්තු ඉටු කිරීම සඳහා අමරදේව අසපුව නිර්මාණය කරන බවත්ය. එම ප්‍රතිඥාව සුළගේ ගසා නොගියේය. බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ අසපුවේ වැඩ කටයුතු ආරම්භ විය. ඒ සඳහා රුපියල් කෝටි 20ක මුදලක් ද වෙන් කෙරිණි. හිටපු ජනාධිපතිවරයාගේ අපේක්ෂාව වී තිබුණේ 2019 අගෝස්තු 31 වැනි දින ජනතා අයිතියට පත් කිරීමය. එහෙත් අප ප්‍රවෘත්තියෙහි සඳහන් වන්නේ අසපුවේ ගොඩනැගිලි වල්බිහිවෙමින් තිබෙන බවය. අදාළ කොන්ත්‍රාත් සමාගමේ ඉබි ගමනේ වැඩපිළිවෙළ නිසා මෙම කලදසාව උදාවී තිබේ.

අපේ ගම පරිශ්‍රයේ ඉදිකෙරෙන අමරදේව අසපුවේ කොටසක එතුමාගේ භස්මාවශේෂ තැන්පත් කිරීමට සැලසුම් සකස් කෙරිණි. අසපුවේ කටයුතු අවසන් නොමැති හෙයින් එම භස්මාවශේෂ තවමත් බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තිබේ. මෙය අතිශයින්ම වේදනාබර අත්දැකීමකි. මෙවන් යුගපුරුෂයකුට මෙතරම්ම අකාරුණික ලෙස සැලකීමට අපට කිසිදු අයිතියක් නැත. ඉකුත් මාර්තු මාසයේදී අවසන් ගමන් ගිය විමලා අමරදේව මහත්මියගේ භස්මාශේෂ ද තවමත් තැන්පත් කර තිබෙන්නේ පෞද්ගලික මල් ශාලාවකය.

අමරදේව අසපුවේ සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ අමරදේවයන් දැයෙන් සමුගෙන පස් වසරක් සපිරෙන ලබන නොවැම්බර් 3 වැනිදා රජයේ අවසර  ඇතිව පෞද්ගලික දායකත්වයෙන් එම භස්මාවශේෂ  අමරදේව අසපුවේ තැන්පත් කිරීමට නියමිත ස්ථානයේ ඉදිකිරීම් සම්පූර්ණ කර එම භස්මාවශේෂ තැන්පත් කිරීමට උත්සාහ දරන බවය. මෙරට සාතිශය බහුතරයක් වන කෘතවේදී ජනයා සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සමග පෙළගැසෙනු ඇතැයි යන්න අපගේ විශ්වාසය වේ.

බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ අමරදේව අසපුවේ වැඩකටයුතු ලබන වසරේ අවසන් කරන බවය. එමෙන්ම අසපුව නිර්මාණය කිරීම සඳහා වෙන් කළ මුදලින් ඉතිරිව තිබෙන්නේ රුපියල් කෝටි 15ක පමණ මුදලක් බවත් එවැනි මුදලකින් අසපුවේ වැඩ කටයුතු අවසන් කිරීම අභියෝගයක් බවද ලේකම්වරයා ප්‍රකාශ කර තිබිණි. එහෙයින්ම නාවික හමුදාවේ ශ්‍රම දායකත්වය ලබා ගැනීමට අපේක්ෂා කරන බවද ඒ මහතා ප්‍රකාශ කර තිබිණි.

පණ්ඩිත් අමරදේවයන්ගේ සිහිනය වී තිබුණේ දැයේ දුවාදරුවන්ට සංගීතය හැදෑරීම සඳහා ඉන්දියාවේ ශාන්ති නිකේතනය බඳු සංගීත නිකේතනයකි. එහෙත් එතුමා ජීවත්ව සිටි සමයේදී එම සිහිනය ඉටු  කරගත නොහැකි විය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම සිහිනය සැබෑවක් කර ගැනීමට මුල පිරීය.  එහෙත් ජාතියේ අවාසනාවට එම කටයුතු තවමත් අවසන් නැත.

ලොව අප රටට අනන්‍ය වූ උරුමයක් තිබේ. කෘතවේදීත්වය එහි ඉහළින්ම සටහන්ව තිබේ. කළ ගුණ සැලකීම අප සතු සදාචාර බලයකි. එහෙත් ඒවා වණපොත් කිරීමෙන් පමණක් ඵලක් නැත. ඒවා ජීවමාන යථාර්ථයක් බවට පත් කළ යුතුය. ‘පණ්ඩිත් අමරදේවයන්ගේ ඉරණමත් මෙය නම් අපගේ ඉරණම කුමක් වනු ඇද්දැයි කලාකරුවන්ට සිතෙන්නේ නම් එය ඛේදවාචකයකි. එම ඛේදවාචකය වෙනස් කළ යුතුය. ඒ වෙනුවෙන් බලධාරීන් අලුත් වටයකින් රළ ගසා පෙරට ආ යුතුය.

(***)



අදහස් (0)

අමරදේවයන්ට මේ සැලකිලි හරිද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 69 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 902 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2528 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site