‘ජූලිය’ හා ජවිපෙ අතර ඇත්තේ අපූරු සම්බන්ධයකි. කළු ජූලියට මුවාවී ජනතා විමුක්ති පෙරමුණ තහනම් කළේ 1983 ජූලියේදීය. ජවිපෙ රහසිගත දේශපාලන ව්‍යාපාරයක් බවට පත්වූයේ එතැන් සිටය.
තහනම් දේශපාලන ව්‍යාපාරයක් බවට පත්වූ ජවිපෙ ආයුධ සන්නද්ධ අරගලයකට මුල පිරුවේ 1987 ජූලි මස අත්සන් කළ ඉන්දු-ලංකා ගිවිසුමෙන් පසුවයි. ධවල මර්දනයකට ලක්ව ජවිපෙ සංහාරයකට ලක්වූයේ ඉන් පසුවය.
එම ඉරණමෙන් ජවිපෙට ගැලවී ගත නොහැකි වූයේ ඇයි? ඒ සම්බන්ධයෙන් විවිධ මත තිබේ. කෙසේ වුවද පක්ෂය තුළ පැවති කණ්ඩායම්වාදයද එයට බලපෑ බවට මතයකි. 1971 අරගලයෙන් පසුවද ජවිපෙ තුළ මෙම කණ්ඩායම්වාදය බිහිවිය. ඒ සම්බන්ධයෙන් ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර සිරගතව සිටියදීම ලේඛනයක් මගින් සිය සහෝදරයන්ට පැහැදිලි කළේය.
2011 නොවැම්බරයේදී නියමුවා ප්‍රකාශනයක් ලෙස එම ලේඛනය යළි සමාජගත කෙරිණි.
මේ ඒ ලියැවිල්ලය.

සහෝදරවරුනි,
ඔබේ ප්‍රශ්න ගැන දැනගන්න ලැබුණා. අවස්ථාවේ හැටියට ඒ පිළිබඳව ඉතාමත් ලුහුඬින් සත්‍ය තොරතුරු සැපයීම බලාපොරොත්තුවයි. අප්‍රේල් සිද්ධියෙන් පසුව ව්‍යාපාරය පිළිබඳවත් මා පිළිබඳවත් කඳවුරු තුළත් සිරගෙවල් තුළත් පිටතත් විශාල ප්‍රමාණයෙන් සත්‍ය කරුණු විකෘති කිරීම්, මහා පරිමාණ බේගල් ඇදබෑම්, නින්දා, අපහාස, අවලාද කිරීම්, පමණක් නොව චරිත ඝාතන පවා කරගෙන ගොස් තිබෙන බවත් කරගෙන යමින් සිටින බවත් හොඳින් දනිමි. ඒවායේ කැත අරමුණු මොනවාද? ඒවාට හේතු මොනවාද? ඒවා කවුරුන් විසින් කුමන ඵල ප්‍රයෝජනයක් සඳහා කරනු ලබන්නක්ද? ඒවායේ යථාර්ථය කුමක්ද? යන්න මාක්ස් ලෙනින්වාදියෙකු වශයෙන් මට නම් රහසක් නොවේ. මේවා ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයට අලුත් දේවල් නොවේ. එබැවින් අපි එවැනි අවලාද අපහාස ගැන පුදුම නොවෙමු. පුදුමය නම් පංති සතුරන් විසින් විප්ලවවාදීන්ට එරෙහිව, විප්ලවවාදී ව්‍යාපාරයනට එරෙහිව ඔවැනි කැත නින්දා සහ අපහාස, අවලාද නොනගා සිටීවි යැයි සිතීමය. මේ තත්ත්වයන් අපට උරුම වූ හෝ ආවේණික වූවක් නොවේ. ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයේ මුල් උපතේ පටන්ම සකලවිධ ප්‍රතිගාමී සූරාකන්නන් විසින් නොයෙකුත් බාධක, මැඩලීම් කරමින් ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරය විනාශ කිරීමට දැරූ ප්‍රයත්නයන් කිසිවෙකුටත් රහසක් නොවේ.


මුලදී එය ගණන් නොගනිමින්ද, පසුව එම ක්‍රියාදාමය අවලංගු බව පෙනුණු විට ධනේශ්වර රාජ්‍ය යන්ත්‍රය යොදවා කුරිරු ලෙස විප්ලවවාදී ව්‍යාපාරයේ ඇපකැප වූවන් ඝාතනය කිරීම මගින්ද, සිරගත කිරීම මගින්ද, ඇතැම් තැන්හි මුළුමහත් විප්ලවීය ජන සමූහයා සමූල ඝාතනය කිරීම මගින්ද, ධනේශ්වර පංති අරමුණු ඉටු නොවන අවස්ථාවල කුලියට ගත් ධනේශ්වර පංති චින්තකයින් ලවා නිර්ධන පංති විප්ලවවාදී ව්‍යාපාරයට ධනේශ්වර පංතියේ පැත්තෙන් “න්‍යායාත්මකව” ප්‍රහාර එල්ල කිරීමේ සූක්ෂ්ම යටිකූට්ටු ක්‍රියාමාර්ගවලින්ද, පසුව ධනේශ්වර පංතියේ ඔත්තුකරුවන් සහ බැලමෙහෙකරුවන් නිර්ධන පංති ව්‍යාපාරය තුළට රිංගවා ඔවුන් මගින් නිර්ධන පංති ව්‍යාපාරය ඇතුළතින් බිඳ දමා, අභ්‍යන්තරයෙන් පිරිහවා, ධනේශ්වර පංතිය හමුවේ හීලෑ කරගැනීමටත්, උත්සාහ කර මේ සියල්ල ඵල රහිත වූ විට වියරු වැටී සියල්ල දැවීමේ, සියල්ල විනාශ කිරීමේත් සියල්ල ඝාතනය කිරීමේ ම්ලේච්ඡ ක්‍රියාමාර්ගයටත් අවතීර්ණ වී එයිනුදු බලාපොරොත්තු වූ අරමුණ විප්ලවීය ව්‍යාපාරය සමූල ඝාතනය කිරීමේ අරමුණ මුළුමනින්ම සාක්ෂාත් කරගැනීමට නොහැකිවූ තැන්හි විප්ලවීය ව්‍යාපාරය කෙරෙහි බහුජන සමූහයාගේ ඇති පක්ෂපාතීත්වය හා භක්තිය විනාශ කිරීමටත් විප්ලවවාදී ව්‍යාපාරයේ ඇපකැප වූවන් වගකිවයුත්තන් කෙරෙහි ජනතාවගේ ආදරය හා විශ්වාසය පළුදු කර නැතිභංග කර දැමීමේ නින්දිත චේතනාවෙන් විප්ලවවාදී ව්‍යාපාරයට විරුද්ධවත් එහි පුරෝගාමීන්ටත් විරුද්ධව කැත නින්දිත පිළිකුල්සහගත අසත්‍ය චෝදනා, නින්දා අපහාස, අවලාද, අවමාන කරමින් චරිත ඝාතනයන්හි පවා යෙදෙනවා.


විප්ලවයට එරෙහිව, විප්ලවවාදී ව්‍යාපාරයන්ට එරෙහිව, විප්ලවවාදීනට එරෙහිව ධනේශ්වර පංතිය මුළුමහත් පංති සටන් ඉතිහාසය පුරා ක්‍රියාවේ යෙදූ ප්‍රතිවිප්ලවවාදී ක්‍රියාමාර්ග ඔන්න ඔය ආකාරයි. ධනේශ්වර පංතියේ චෝදනාවට ලක් නොවූ එකදු සැබෑ විප්ලවවාදී ව්‍යාපාරයක් ලොව මෙතෙක් තිබුණාද? ධනේශ්වර පංතියේ නින්දා අපහාස අවලාදවලට ගොදුරු නොවූ එකදු විප්ලවවාදී නායකයෙක් ලොව මෙතෙක් සිටියාද? ධනේශ්වර පංතිය සහ ඔවුන්ගේ සකලවිධ විවෘත ආවෘත ගැත්තෙක්, ඒජන්තවරයෙක් විසින්ම අවමන් කරනු නොලැබූ, පරිභවයට පත්කරනු නොලැබූ, විප්ලවීය ක්‍රියාමාර්ගයක් ලොව මෙතෙක් තිබුණාද? ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයේ අසමසම අසහාය නායකයින් වන මාක්ස්, එංගල්ස්, ලෙනින් ඇතුළු ජාත්‍යන්තර විප්ලවවාදී ව්‍යාපාරයේ ප්‍රගමනයට උර දුන් සෑම සියලු කීර්තිමත් විප්ලවවාදියෙක්ම ප්‍රතිගාමී සූරාකන පංතීන්ගේත් උන්ගේ මිතුරන්ගේ සහ ගැත්තන්ගේ අවලාද අපහාසවලට පාත්‍රවූ බව මුළුමහත් පංති සටන් ඉතිහාසයම අපට හොඳාකාරවම පෙන්නුම් කරනවා. එවැනි තත්ත්වයන් යටතේ ජනතා විමුක්ති පෙරමුණටත් එය ගොඩනැගීමේ අවංකව කැපවුණ අයටත් පෞද්ගලිකව මටත් එරෙහිව සකලවිධ පංති සතුරන් විසින්ම ඔවුන්ගේ වෙස් වළාගත් වෛවාරණ මිතුරන් සහ ඒජන්තලා විසින් අවලාද අපහාස නින්දා ගැරහීම් කිරීම ගැන මම පසුතැවිලි නොවෙමි. මම එය ඔවුන්ගෙන් බලාපොරොත්තු නොවූවක් නොවෙමි. සෑම අව්‍යාජ විප්ලවවාදියෙක්ම, විප්ලවවාදී ව්‍යාපාරයක්ම වත්මන් තත්ත්වයන් යටතේ ධනේශ්වර පාලක පංතීන්ගෙන්, කෝප වී වියරු වැටුණු සූරාකන්නන්ගේ නිර්ධන පංති ව්‍යාපාරයට ද්‍රෝහි වී සතුරන් අතට පැන ගියවුන්ගෙන් වෙස් වළාගත් සතුරු ඒජන්තවරුන්ගෙන්, කිසිම පැකිළීමකින් තොරව සිය පෞද්ගලික ලාභාපේක්ෂාවන් සහ තිරශ්චිතීන් සඳහා සිය ජීවිත ගලවා ගැනීම සඳහා, සිය නිදහස සඳහා නිර්ධන පංතියේ ලේ පාවාදීමේ නින්දනීය කටයුත්ත කළවුන්ගෙන් උත්සන්න වන පංති සටන් රළ වේගය හමුවේ ඔරොත්තු දීමේ ශක්තියකින් තොරව මුනින් වැටුණවුන්ගෙන්, ඔවැනි තත්ත්වයන් බලාපොරොත්තු විය යුතුය.
“සතුරා විසින් පහර දෙනු ලැබීම නරක දෙයක් නොව හොඳ දෙයකි. පුද්ගලයෙක් පිළිබඳවත්, දේශපාලන පක්ෂයක් පිළිබඳවත් මෙය සත්‍යයකි. සතුරා අපට පහර දෙන විට එයින් හැඟවෙන්නේ අප නිවැරැදි බවයි. සතුරාත් අපත් අතර පැහැදිලි බෙදා වෙන්කිරීමක් ඇති බවයි. සතුරා අප වඩ වඩාත් කළුකර පෙන්වයි නම් එය ඊට වඩාත්ම හොඳය.” මේ මාඕ අදහස් දක්වා ඇති අයුරුයි. සතුරා අපට පහර දෙන විට ඔහු එසේ කරනුයේ අප සතුරාට රිදවන හෙයිනි. අපේ ක්‍රියාකලාපය විසින් සතුරාට මහත් හානි පමුණුවන හෙයිනි. සතුරා අපට පහර නොදී අපේ ගුණ ගයත්නම් එයින් හැඟෙනුයේ, අප සතුරාට ප්‍රයෝජනවත් වන විදියට කටයුතු කර ඇති බව සහ සතුරාගේ පැත්තෙන් සිටින බවය. මෙලෙස බලන විට ලාංකීය නිර්ධන පංති විප්ලවයට දකුණෙන් මෙන්ම වමෙන්ද සත්‍යය විකෘති කරමින් අභූත චෝදනා නගන ද්වේෂසහගත අපවාද අවලාද නගන සෑම සියලු කළු බලවේගයක් විසින්ම කරනුයේ, නරක දෙයක් නොව හොඳ දෙයකි. ඇත්ත වශයෙන්ම අපහාස කිරීම් අවලාද නැගීම් මගින් සතුරා නොදැනුවත්වම අපට මහඟු සේවයක් කරයි. ඒ කුමක්ද? එළිපිට සිටින හා සැඟවුණු පංති සතුරන් සහ ද්‍රෝහීන් අපට අවලාද නගන විට අපහාස කරන විට ඒවායේ යථාර්ථයත් අරමුණත් ඒවා ඉදිරිපත් කරන්නේ කවුරුන් විසින්ද? කුමක් සඳහාද? යන්නත් තේරුම් ගනිමින් අවංක, අව්‍යාජ විප්ලවවාදීන් සත්‍යයේ පැත්තේ සිටගෙන, විප්ලවයේ පැත්තේ සිටගෙන ප්‍රශ්න තේරුම් ගන්නවා. මේ ක්‍රියාදාමය මගින් එක් පැත්තකින් සැබෑ විප්ලවවාදීනුත් අනෙක් පැත්තෙන් කැත අවස්ථාවාදීනුත් හෙළි පෙහෙළි කර ගැනීමට මහත් ආධාරකයක් වෙනවා.


අද ධනේශ්වර පංතිය මුහුණ පා සිටින බැරෑරුම්ම, විශාලතම ප්‍රශ්නය කුමක්ද? එය අන් කිසිවක් නොව නිර්ධන පංතියේ පැත්තෙන් එල්ලවන විප්ලවීය තර්ජනයයි. එය පිටුදැකීමට මගහරවා ගැනීමට නම් විප්ලවීය ව්‍යාපාරය විනාශකර දැමිය යුතුය. විප්ලවීය ව්‍යාපාරයක් ගොඩනැගෙනුයේ නිර්ධන පංති බහුජන සමූහයා විප්ලවීය න්‍යායක් ග්‍රහණය කරගත් විට එම විප්ලවීය බලවේගය සංවිධාන කිරීමෙන් සහ ක්‍රියාත්මක කිරීමෙනි. ධනේශ්වර පංතියට, ධනේශ්වර ක්‍රමය තුළ නිර්ධන පංතිය, පංතියක් වශයෙන් විනාශ කර දැමිය නොහැකිය. ධනේශ්වර සමාජ ක්‍රමය තුළ අනිවාර්යයෙන් බිහිවන සහ පවතින සමාජමය සාධකයකි, නිර්ධන පංතිය. එබැවින් ධනේශ්වර පාලක පංතීන්ගේ මුළුමහත් උත්සාහය වනුයේ නිර්ධන පංතිය විප්ලවීය බලවේගයක් බවට පත්වීම වළක්වාලීමයි. නැතහොත් විප්ලවීය බලවේගයක් වශයෙන් පැවැත්ම විනාශකිරීමයි. ධනේශ්වර පංතිය ක්‍රියාකර ඇත්තේත්, ක්‍රියාකරනුයේත් මේ අභිප්‍රායෙන් යුතුවය. මේ කටයුත්ත සඳහා ධනේශ්වර පංතිය තමන් සතු තමන් අභිමුව ඇති සෑම සියලු පහත්, නිවට, නින්දනීය අවියක්ම උපාය උපක්‍රමයක්ම යොදාගෙන තිබෙනවා. ඔවුන් ඒ සඳහා කළ හැකි හැම සියල්ලක්ම කරනවා. මේ ක්‍රියාදාමයේදී ඔවුන් ජාත්‍යන්තර වශයෙන් කාලාන්තරයක් මුළුල්ලේ අත්හදා බලන ලද සංකීර්ණ උපක්‍රමයන් තමා, විප්ලවයේ නමින් විප්ලවයට හතුරුකම් කිරීමත්, නිර්ධන පංති විප්ලවාදී පක්ෂය ඇතුළතින් බිඳවීමත් ඇදහිය නොහැකි මහා පච, බේගල්, නින්දා, අපහාස, අවලාද නැගීමත් සත්‍ය කරුණු විකෘති කොට ඉදිරිපත් කිරීමත්.
ඉතිරි කොටස ලබන සතියට.

 

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්