ජවිපෙ සන්නද්ධ අංශයේ පුහුණුව, ශක්තිය, උපක්‍රම සහ ඇතැම් ආරක්‍ෂක භටයින් සමග ගොඩනගා ඇති රහස් සම්බන්ධතා පිළිබඳව බොහෝ දෙනා මවිතයට පත්ව සිටියහ. දේශපාලන මණ්ඩලයේ සභිකයන් වූ ශාන්ත බණ්ඩාර, සමන් පියසිරි ප්‍රනාන්දු, එච්. බී හේරත්, ලලිත් විජේරත්නද මධ්‍යම කාරක සභාවේ සරමප්පුලිගේ සෝමසිරි හෙවත් රාගම සෝමේ, පී. කේ. බී. ඒ. ඉන්ද්‍රරත්න, ඊශ්වරගේ ආරියසේන, නානායක්කාරගේ චන්ද්‍රදාස හෙවත් මීරිගම චන්දරේ ඇතුළු කිහිප දෙනෙක්ම හමුදා කඳවුරු සහ පොලිසිවලට කඩා වැදී අවි ආයුධ පැහැරගැනීමේ මෙහෙයුම් ගණනාවක නායකත්වය ගෙන කටයුතු කළහ.
අවි ලබාගැනීමේ මෙම ප්‍රහාරයන් මෙහෙයවීමට හමුදාවෙන් පලාවිත් ජවිපෙට එක් වූ සෙබළුන් සිය ගණනක්ද විවිධ අවස්ථාවන් හිදී සහභාගි වූහ. ඒ වන විට හමුදාව අතහැර ගොස් සිටි මුළු සෙබළුන් සංඛ්‍යාව 40,000ක් පමණ විය. ත්‍රිවිධ හමුදාව සහ පොලිසියේ 1,200කට ආසන්න පිරිසක් 2 වැනි කැරැල්ලට සෘජුව සහ වක්‍රව එක් වී තිබුණු බවට වාර්තා විය. ඇතැම් සෙබළුන් හමුදාව හැර ජවිපෙ වෙත පැමිණියේ තමන් ගේ ගිනි අවියද රැගෙනය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කිහිප දෙනෙක් පොලිස් සිරමැදිරියකදී.
සන්නද්ධ අංශයට එසේ එක් වූ කොටුගොඩ පදිංචි 35 හැවිරිදි කෙහෙල්වත්ත ගමරාලලාගේ සිරිපාල ගුවන් හමුදා හිටපු කාර්මික නිලධාරියෙකි. කඩුවෙල, පිට්ටුගල, කහන්තොට උපන් සිරිපාල, පන්නිපිටිය ධර්මපාල විදුහලේ අධ්‍යාපනය ලැබූ අතර අපොස උසස් පෙළ සමත්වීමෙන් පසු ගුවන් හමුදාවට බැඳෙන විටද ජවිපෙ සාමාජිකයෙක් විය. මුල් කාලයේදී සන්නද්ධ අංශයට එක්වූ හමුදා භටයින් බොහෝ දෙනා හමුදාවට බැඳීමට උනන්දු කරන ලද්දේ ජවිපෙ මගිනි.
පල්ලකැලේට පසු දෙවන ප්‍රහාරය වූ කටුනායක ගුවන් කඳවුරින් අවි පැහැර ගත්තේ ගල්කටස් තුවක්කු කිහිපයක්, පිහි, කිනිසි සහ ලණු කැරලි කිහිපයක් පමණක් අතැතිවය. අත්‍යවශ්‍යතම මොහොතකදි හැර කිසිදු හමුදා භටයෙකු ඝාතනය නොකරන ලෙසට ඔවුන්ට උපදෙස් දී තිබිණි.
එම කාලයේදී සිදු වූ කොල්ලකෑම් සහ අවි පැහැරගැනීම් වලට බොහෝ විට සහභාගි වූයේ එකම කණ්ඩායම් කිහිපයක සාමාජිකයින්ය.
හමුදා කඳවුරුවලට සහ පොලිසිවලට කඩා වැදී අවි පැහැරගත් සන්නද්ධ අංශයේ මුල්පෙළේ ක්‍රියාකාරින් අතර බෙලිඅත්තේ ගුණසේන වර්ණපටබැදි, මාතලේ ජයසිංහ බණ්ඩාර, යක්කල විමලේ, ගම්පහ දිසා ලේකම් සරත්, දිවුලපිටියේ ජයතිලක, පොඩි රංජි, ලයනල් රණසිංහ, කපිල දෙනගම, කළුතර පයාගල ටාසන් වීරසිංහ, ගුවන් හමුදාවේ සේවය කළ යක්කල සලීම්, තණමල්විල රණසිංහ, පැතිකඬේ සමන්ත, ඒ. එම්. ශ්‍රියානන්ද, විජේ, සුනිල් ප්‍රේමරත්න, ගාමිණී, ජා-ඇල විමලේ, පුෂ්පමාල රණසිංහ, රාජා, කේ. ඩී. නිමලරත්න, තිලක්, ඇන්ටනි, සේරම්. සෝමේ, අහම්පොඩි පියදාස, සිරිමෙවන්, කෝන්ගානිගේ ඩග්ලස් ඇන්තනි, සරත් කුලේ, ප්‍රසාද්, වැලිකඩ පල්ලියගුරුගේ, කළු මල්ලි හෙවත් මහවත්තේ බන්දුල ලක්‍ෂ්මන් ජයවීර, හිඟුරක්ගොඩ, රවුම් පාරේ කුමාරගේ විජිත කරුණාරත්න, සුනිල් ප්‍රේමචන්ද්‍ර, යූ. ජී. රණසිංහ, ගම්පහ අස්ගිරියේ පියල් විජේසිංහ (ගාල්ල ප්‍රදේශයේ හේනක සිටියදී අවිගත් පිරිසක් විසින් 1990 අප්‍රේල් මස කපා කොටා ඝාතනය කර තිබිණි) ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ. මින් කිහිපදෙනෙකුට රජය මගින් පසු කාලයේදී නඩු ද පවරා තිබිණි.
පන්නල හමුදා කඳවුරට 1988 නොවැම්බර් 1 කඩාවැදී අවි පැහැරගැනීම සම්බන්ධයෙන් ආරක්‍ෂක අංශ චෝදනා කළ අය අතරින් නෙදල්ගමුවේ ඩබ්ලිව්.ඒ. සෝමරත්න, කුලියාපිටිය හම්බලව බී.ඩී. චන්ද්‍රසිරි, දණ්ඩගමුවේ ඩබ්ලිව්.ජී. එමානුවෙල්, නාරම්මල සුනිල් රණවීර සහ එම ප්‍රහාරයේදී මියගිය කැරළිකරුවන් සිව්දෙනෙක්.
සන්නද්ධ අංශයේ ඉදිරිපෙළ කැරලිකරුවන් බොහෝ දෙනෙක් අත්අඩංගුවට ගෙන සිටියදී 1988 දෙසැම්බර් 12 මැගසින් බන්ධනාගාරයෙන් 221ක් පලායෑමට සමත් වූහ. ඒ අතර රාගම සෝමේ, ගම්පහ පහළගම පදිංචි රාජපක්‍ෂ ආරච්චිගේ ෂෙල්ටන් රාජපක්‍ෂ, කළු මල්ලි, යක්කල විමලේ, දිලිප් චන්ද්‍ර ප්‍රනාන්දු හෙවත් පතී, අම්පාගම හේවාහෙට්ටිගේ නිමල් ජයරත්න, සුමිත්, වික්‍රම, කොඩිප්පිලි තන්ත්‍රිගේ මහීපාල, කළුතර මදනායක, හෝකන්දර උතුරේ හඳගම තිලක් කුමාරතුංග හෙවත් සුදු මල්ලී, ජයතිස්ස හේවාහෙට්ටිගේ, ගම්පහ වැන්ඩකෝන්, රංජි මල්ලී, වන්නිතිලක මුදියන්සේලාගේ රත්නසිරි හෙවත් උපාලි (ගම්පහ දිසා ලේකම් වශයෙන් කලක් කටයුතු කළ උපාලි අවසාන කාලයේ අම්පාර දිසා ලේකම් විය. අම්පාර උහනදී පොලිස් අත්අඩංගුවට ගත් අතර ජවිපෙ මගින් ඇට වූ බිම්බෝම්බයක් පිපිරීමෙන් පොලිස් නිලධාරින් සමඟම ගමන් කළ වාහනය පිපිරී මරුමුවට පත්විය) යන අයද වූහ. මොවුන් බන්ධනාගාරයෙන් පලායැමෙන් පසුව යළි පූර්ණකාලීනව ජවිපෙට එක් වූ අතර 2 වැනි කැරැල්ලේ අවසාන භාගයේදී බහුතරයක්ම ඝාතනයට ලක්වූහ. මැගසින් බන්ධනාගාරයෙන් පලාගිය පිරිස අතර කටුනායක ගුවන් හමුදා කඳවුරට වාර දෙකකදී පහරදීම සම්බන්ධයෙන් නඩු පවරන ලද විත්තිකරුවන් 24 දෙනෙකුම වූහ.
අත්අඩංගුවට ගත් කැරලිකරුවෙකු ආරක්‍ෂක අංශ ජීප් රථයක රැගෙන යමින්.
එමෙන්ම මුල් පෙළේ කැරලිකරුවන් වූ දෙබරවැව ගාමිණී 1987 ගණේමුල්ල පොලිසියේද, බටලන්ද වධකාගාරයේදී නීතිඥ විජේදාස ලියනාරච්චිට වධ දුන් බවට චෝදනා ලත් උප පොලිස් පරීක්‍ෂක වික්‍රමසිංහට වෙඩි තැබීමේදී ගම්පහ පොඩි රංජි කිරිල්ලවලදීද, කොළඹ මහ රෝහල තුළදී ලසන්ත විජේවර්ධන 1989 සැප්තැම්බර් 23ද, මහ රෝහලේදීම විනී සහ ගුණේද අස්ගිරියේ රංජිත් ගම්පහ පොලිසියේද ඝාතනයට ලක්වූහ. මුල්පෙළේ ක්‍රියාකාරිකයෙකු වූ කපිල දෙනගම අත්අඩංගුවට ගෙන කොළඹ මහ රෝහලේ 17 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජවිපෙ මගින් 1988 පෙබරවාරි 28 මුදාගනු ලැබුවේ ආරක්‍ෂාවට සිටි බන්ධනාගාර පොලිස් නිලධාරින් දෙදෙනා ගේ ගිනි අවිද පැහැර ගනිමිනි. වික්‍රමලාගේ ජයතිලක 71 කැරැල්ලටද සම්බන්ධ වු අතර මීරිගම බෝතලේ පදිංචිකරුවෙකි. ඔහු කහ උණ සෑදී 1989 නොවැම්බර් මස හොරණ ලයනල් රණසිංහගේ නිවසේ සිටියදී අත්අඩංගුවට පත්ව ඝාතනය විය. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ නායකයා වූ කීර්ති විජේබාහු හෙවත් සමන් පියසිරි ප්‍රනාන්දු 1978 ජවිපෙට එක්වූයේද ජයතිලකගේ මෙහෙයවීමෙන් මීරිගම, මුද්දරගම පැවති ජවිපෙ සත්දින අධ්‍යාපන කඳවුරකදීය.
එමෙන්ම 2 වැනි කැරලි සමයේ 1986 සිට 1990 දක්වා සහභාගි වූ පූර්ණකාලීන කාන්තාවන් සංඛ්‍යාව 800ක් පමණ වන අතර අර්ධකාලීන සහ හිතවත් මට්ටමින් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය වෙත සහාය ලබාදුන් කාන්තාවන් සංඛ්‍යාව 5,000ක් පමණ වේ. ඝාතනයට හෝ අතුරුදහන් වූ කාන්තාවන් ගණන 2,000කට ආසන්නය. අධ්‍යාපනික කඳවුරුවලට පමණක් සහභාගි වූ නුවර දිස්ත්‍රික්කයේ තරුණියන් සංඛ්‍යාව 500කට ආසන්නය. දළදා මාලිගයේ මුරපොළවල් වලට 1989 පෙබරවාරි 8 පහර දී අවි ආයුධ කිහිපයක් පැහැර ගැනීම ඇතුළු සෑම අවි පැහැර ගැනීමකදී උපක්‍රමික ක්‍රියාවක් වශයෙන් කාන්තා සාමාජිකාවන් කිහිප දෙනෙක්ද සහභාගි කර ගන්නා ලදී. කැරලිකරුවන්ට ඇඳුම්, තොප්පි, බඳපටි, සපත්තු, ඖෂධ බෑග් සකස් කරමින් සිටියදී කාන්තා සාමාජිකාවෝ ගණනාවක්ම අත්අඩංගුවට පත්වූහ.
ජවිපෙ ක්‍රියාකාරිකයෙකුව සිටියදී ඝාතනය පත් වූ බූස්ස, පිටිවැල්ලේ කරුණාදාසගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට බන්ධනාගාරගතව සිටි ඔහුගේ සොහොයුරා වූ 1988 දෙසැම්බර් 18 අත්අඩංගුවට පත් වූ ජවිපෙ ක්‍රියාකාරී සාමාජික කුමාරලාල් මානවඩු බන්ධනාගාර ආරක්‍ෂාව යටතේ පැමිණි අවස්ථාව පසෙකින් ඇති ඡායාරූපය කරුණාදාසගේය.
කටුනායක ගුවන් හමුදා මූලස්ථානයට කඩාවැදී අවි පැහැරගැනීම කළේ 1987 ජුනි 6 රාත්‍රී ගුවන් කඳවුරේ මුරපොළ 6ක් යටත් කර ගනිමිනි. රත්මලාන ආරක්‍ෂක පීඨයටද 1987 ජුනි 6 ප්‍රහාරයක් එල්ල විය. කටුනායක ගුවන් හමුදා කඳවුරට දෙවැනි වරට 1988 අප්‍රේල් 22 ප්‍රහාරයක් එල්ල කිරීමෙන් ආයුධ විශාල සංඛ්‍යාවක් ලබාගැනීමටද ජවිපෙ කැරලිකරුවෝ සමත් වූහ. එහිදී කැරලිකරුවන් වූ උපාලි පුවත්පත් සමාගමේ පිටු සැකසුම් අංශයේ කටුනායක සුමිත් එදිරිසිංහ, කැලණිය සරසවියේ රෝනී කුමාර සහ කාන්තා නායිකාවක් වූ මේධානිද හමුදා ප්‍රහාර වලින් ඝාතනයට ලක්වූහ. ප්‍රහාරයට පැමිණි 46 දෙනෙකුගේ කණ්ඩායමෙන් 11 දෙනෙක් එවර අත්අඩංගුවට පත්වූහ.
ත්‍රිකුණාමලය කල්ලාර් හමුදා කඳවුරට 1987 ඔක්තෝම්බර් 4 කඩාවැදී එහි සියලු ආයුධ පැහැර ගැනීමටද කැරලිකරුවන් සමත් වූ අතර එයට නායකත්වය දුන් ගුවන් හමුදාවේ සෙබළෙකුව සිටි වනවාසල ලොකු මහින්ද හෙවත් මහින්ද ජයවර්ධන සහ මැදිරිගිරියේ කොට මහින්ද ඝාතනය ලක්විය. මහින්දලාගේ සිරුරු කැරලිකරුවන් විසින් පලායන විට රැගෙන විත් වනගත පෙදෙසකදී ආචාරය පුද කරමින් භූමදානය කරන ලදී. මැදවච්චියේ වික්‍රම, දෙහිවත්තේ කුරේ ඇතුළු පිරිසක් එයට එක්වූහ. වාද්දුව හමුදා කඳවුරටද, 1988 ජනවාරි 8 හොරණ - කහතුඩුව කුඹුකේ ග්‍රාමාරක්‍ෂක පුහුණු කඳවුරට ද, 1988 නොවැම්බර් 1 අලුයම 1.30ට පන්නල ජාතික සහායක බළකායේ පුහුණු කඳවුරටද, 1989 මැයි 2 පනාගොඩ හමුදා කඳවුරටද, 1987 සැප්තැම්බර් 28 නාගොඩ, තල්ගස්වල හමුදා මුරපොළටද, මෝදර රොක්හවුස් කඳවුරටද, ගාල්ල - ඇල්පිටිය හමුදා කඳවුර ඇතුළු ස්ථාන කිහිපයකටද කඩාවැදුණු ජවිපෙ කැරලිකරුවන් ඒවායේ නවීනතම අවි ආයුධ රැසක් පැහැරගැනීමට සමත් විය.
වැල්ලවාය කුඩාඔය, සාලියපුර, මඩුව, ගාල්ලේ කොටුව හමුදා කඳවුරු වලින් අවි පැහැර ගැනීමේ ප්‍රයත්නයන් සාර්ථක වූයේ නැත. පොළොන්නරුව කඩවත මඩුව යුද හමුදා කඳවුරට 1989 මාර්තු 24 කැරලිකරුවන් එල්ල කළ ප්‍රහාරය මැඩ පැවැත්වීමට ආරක්‍ෂක අංශ සමත් වූ අතර එම වෙඩි ප්‍රහාරයේදී කැරලිකරුවන් 8 දෙනෙකු මියගොස් තිබිණි.
හොරණ - කහතුඩුව කුඹුකේ ග්‍රාමාරක්‍ෂක පුහුණු කඳවුරට 1988 ජනවාරි 8 කැරලිකරුවන් පහරදීමෙන් පසුදින.
පන්නල ජාතික සහායක බළකා පුහුණු කඳවුරට 1988 නොවැම්බර් 1 අලුයම 1.25ට ප්‍රහාර එල්ල කිරීමේදී 9 දෙනෙකු මිය ගිය අතර ඉන් 5 දෙනෙක් කැරලිකරුවන් විය. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල පිහිටි මෙම ජාතික සහායක බළකායේ යුධ පුහුණු කඳවුරේ ඒ වන විට 250ක් පුහුණුව ලබන සෙබළු සිටියහ. කැරලිකරුවන් ටී-56 තුවක්කු 19, 303 වර්ගයේ තුවක්කු 178, රිපීටර් වර්ගයේ තුවක්කු 21, එල්.එම්.ජී. වර්ගයේ තුවක්කු 8 සහ පතරොම් 30,000ක් පැහැරගත් අතර ඉන් ගණනාවක් පසුව සොයාගැනීමට හමුදාව සමත් විය. එහිදී කැරලිකරුවන් අතින් ලුතිනන් තල්ගහගොඩ සහ හමුදා භටයින් 3 මරුමුවට පත්විය.
පනාගොඩ යුධ හමුදා මූලස්ථානය 1988 මැයි 2 අලුයම 1.30ට කැරලිකරුවන් ප්‍රහාරයක් එල්ල කළ අතර එය ව්‍යර්ථ කිරීමට හමුදාව සමත්විය. එහෙත් අවි කිහිපයක් පැහැර ගැනීමට කැරලිකරුවෝ සමත් වූහ. කඳවුරේ සේවය කළ මාතර පදිංචි හමුදා ක්‍රෝපල් එස්. ඒ. කුමුදු කුමාරද කැරලිකරුවන්ට එක් වූ අතර එහිදී ඔහුද තවත් කැරලිකරුවන් දෙදෙනෙකු වූ මුලටියන සීනිපැල්ලේ දහනායක සහ මහරගම දඹහේන පාරේ සුගත් පුෂ්පකුමාර හෙවත් රංජිද ඝාතනය පත්විය. එක් කැරලිකැරුවෙකු ඝාතනයට පත්ව සිටියේ පනාගොඩ කඳවුරට මායිමේ පිහිටි පනාගොඩ වෙල්යායකදීය. ඒ පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්‍ෂණ හෝමාගම දිසා විනිසුරු ආර්. සී. හෑගොඩ විසින් පනාගොඩ කඳවුරේදී සිදුකරන ලදී. විනාඩි 30ක පමණ කාලයක සිදු වූ මෙම ගැටුමෙන් හමුදා භටයෝ දෙදෙනෙකුද තුවාල ලැබීය. ප්‍රහාරයට කැරලිකරුවන් 50ක් පමණ එක් වූ අතර ඔවුන් කලින් දින රෑගත කළේ පනාගොඩ ගලේ පන්සලේය.
වාද්දුව යුද හමුදා කඳවුරට 1987 සැප්තැම්බර් 5 පහරදීමට පැමිණි කණ්ඩායමක් අවි ආයුධ කිහිපයක් ගෙන ගිය අතර පසුව කිහිපදෙනෙක් අත්අඩංගුවට පත්වූහ. එසේ අත්අඩංගුවට පත් වූ ජී. රොෂාන්ත ප්‍රනාන්දු, එම්. ටිල්වින් සිල්වා, ප්‍රියන්ත ලියනගේ, එච්. කේ, පාලිත කමල් පෙරේරා, ඩී. ඒ. ප්‍රේමරත්න, ඒ. කේ. පියසේන සහ යූ තිලක් ඉන්ද්‍රසේන යන අයට එරෙහිව පානදුර මහාධිකරණ විනිසුරු ආර්.එල්. ද සිල්වා ඉදිරියේ නඩු පවරන ලදී.
මතු සම්බන්ධයි.
අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි
මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල
දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උදාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි
ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත
කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය
පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හමුදා කඳවුරුවලට එල්ල වූ “දේශප්‍රේමී” ප්‍රහාර