1959 බණ්ඩාරනායක ඝාතනයෙන් පසුව අගමැති ධුරයට පත් දහනායක මහතාට තවදුරටත් ආණ්ඩු පවත්වාගෙන යාමට නොහැකි වූ නිසා 1959 දෙසැම්බර් 03 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද අතර 1960 මාර්තු 19 වැනිදා මහ මැතිවරණය පවත්වන ලදි. එහිදී ආසන 50ක් ජයගත් එ.ජා. පක්ෂය ආණ්ඩුව පිහිටුවන ලද අතර ඩඞ්ලි සේනානායක මහතා අගමැති වශයෙන් වැඩ භාරගත්තේය. 

මන්ත්‍රී ධුර 151 න් 50 ලබාගත් එ. ජා. පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගැන්මට නොහැකි වූ නිසා රාජසන කථා ස්තුති යෝජනාවේදී විපක්ෂයේ සංශෝධනයට පක්ෂව ඡන්ද 86 ක් හා විපක්ෂව ඡන්ද 61ක් ලැබීමෙන් විරුද්ධ පක්ෂ යෝජනාව ජයගත් නිසා ආණ්ඩුව විසුරාවා හැරීමට අගමැති ඩඞ්ලි සේනානායක මහතාට සිදුවිය. මේ වන විට රටේ ආර්ථික ප්‍රශ්න උග්‍රවී තිබූ නමුත් ඊළඟ මැතිවරණයේදී ජයග්‍රහණ අපේක්ෂාවෙන් එක් අයෙකුට සතිපතා ගත හැකි හාල් සේරු 2 ක් ශත 25 බැගින් මිල අඩුකිරීමට ආණ්ඩුව යෝජනා කළේය. 


සමුපකාර සමිතිය මගින් මේ වන විට නිවසක එක් අයෙකුට සතියකට ශත 50 බැගින් හාල්සේරු දෙකක් ලබාගත හැකිව තිබිණි. නව මහ මැතිවරණය 1960 ජුලි 20 වැනි දිනට දින නියම වූ අතර නාම යෝජනා බාර ගැනීම මැයි 20 වැනි දින සිදුවිය. මේ අයුරින් ඩඞ්ලි සේනානායකගේ ආණ්ඩුව තිස් දවසකින් අවසන් විය. 


මාර්තු මැතිවරණයෙන් පසු ශ්‍රී.ල.නි. පක්ෂයේ සභාපති පදවිය දරමින් සිටි සී. පී. ද සිල්වා මහතා වඩා ශක්තිමත් නායකත්වයන් පක්ෂයටත් රටටත් අවශ්‍යයි ප්‍රකාශ කරමින් ඉන් ඉල්ලා අස් වූ අතර අතිබහුතරයකගේ ඉල්ලීම අනුව 1960 මැයි 24 වැනිදා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සභාපති ධුරයට පත්ව එ.ජා. පක්ෂ විරෝධි ශ්‍රී ලංකා සම සමාජ කොමියුනිස්ට් පක්ෂ සමග නිතරග ගිවිසුමත් තුළින් ජුලි මහ මැතිවරණයට අවතීර්ණ වූවාය. 


1960 මැයි 20 වැනි දින මධ්‍යස්ථාන 31 කදී අපේක්ෂකයින් 393 දෙනෙක් මැතිවරණයට නාම යෝජනා ඉදිරිපත් කළ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන 98 කට අපේක්ෂකයින් ඉදිරිපත් කර 75 ක් ජය ලැබීය. නිතරග ගිවිසුම අනුව ලංකා සමසමාජ පක්ෂය ආසන 21 තරග කර 12 ක් ජය ලැබූ අතර කොමියුනිස්ට් පක්ෂය ආසන 7 කට තරග කර 4 ක් ජය ගත්තේය. එ.ජා. පක්ෂයට හිමිවූයේ ආසන 128 කට තරග කර මන්ත්‍රී ධුර 30 ක් පමණි. 


1960 ජුලි 21 වැනිදා ප.ව. 1.40 ට අග්‍රාණ්ඩුකාර සර්. ඔලිවර් ගුණතිලක ඉදිරියේ දිවුරුම් දුන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය පදවියට පත් වූ හය වැන්නා වූ අතර ලෝකයේ අග්‍රාමාත්‍ය පදවියට පත් වූ පළමුවැන්නිය වූවාය. එකොළොස් දෙනෙකුගෙන් සමන්විත වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ කැබිනට් මණ්ඩලය ජුලි 23 වැනිදා දිවුරුම් දී වැඩ භාර ගත්තේය. 


● සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අග්‍රාමාත්‍ය රාජ්‍ය ආරක්ෂක හා විදේශ කටයුතු 
● ටී. බී. ඉලංගරත්න මහතා - වාණිජ, වෙළඳ, ආහාර හා නාවික කටයුතු 
●ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මයා - මුදල් 
● පී. බී. ජී. කලුගල්ල මයා - ප්‍රවාහන හා රජයේ වැඩ 
● ඒ. පී. ජයසූරිය මයා - සෞඛ්‍ය 
● සී. පී. ද සිල්වා මයා - කෘෂිකර්ම ඉඩම් වාරිමාර්ග විදුලි බල හා පාර්ලිමේන්තු සභානායක 
● උත්තර මන්ත්‍රී සෑම් පී. සී. ප්‍රනාන්දු මයා - අධිකරණ 
● අල්හාජ් බද්යුද්දීන් මොහොමඞ් මයා - අධ්‍යාපන හා ගුවන් විදුලි 
● සී. විජේසිංහ මයා - කම්කරු හා ජනසතු සේවා 
● මහානාම සමරවීර මයා - පළාත් පාලන හා නිවාස 
● මෛත්‍රීපාල සේනානායක - කර්මාන්ත ස්වදේශ හා සංස්කෘතික 


සිරිමාවෝ මැතිනියගේ එකම බලාපොරොත්තු වූයේ දුක් විඳින ජනතාව වෙනුවෙන් ඔවුනගේ ජීවන බර සැහැල්ලු කිරීම වුවද රටේ ආර්ථිකය ඇයගේ අදහස සපුරා ලීමට තරම් ශක්තිමත් නොවීය. 


පනහ දශකයේ වාසිදායකව තිබූ ආර්ථිකය හැටේ දශකය ආරම්භ වන විට බිඳ වැටුණේ කොරියානු යුද්ධයෙන් අප ලැබූ වාසිදායක අවස්ථා අහිමි කර ගනිමිනි. ආර්ථිකය පහළ බැසීමේ නැමියාවක් ඇති වූ අතර අපේ විදේශ වත්කම් හීනවෙමින් පැවැතුණි. මුදල් ඇමැති පදවිය ලද ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකට ආනයන භාණ්ඩ කප්පාදුව හැර වෙනත් විකල්පයක් නොතිබිණි. ආහාර, පොහොර ඖෂධ හැර වෙනත් භාණ්ඩ රාශියක තීරු බදු ඉහළ නැංවූ අතර මෝටර්රථ ගෙන්වීම සම්පූර්ණයෙන්ම තහනම් කරන ලදි. සමාජ සුබ සාධන පියවර සඳහා වියදම් අවශ්‍ය වුවද මුදල් නොමැතිකම රජය මුහුණ දුන් අභියෝගයන් විය. සහල් සහනාධාරය නොමිලේ සෞඛ්‍ය හා අධ්‍යාපනය ලබාදිම වසරින් වසර දුෂ්කර වන බව පෙනී ගිය අතර සුබසාධන පියවරයන් කප්පාදු කිරීම විශාල දේශපාලන අවදානමක් දැරිය යුත්තක් ද විය. මේ තත්ත්වය යටතේ 1963 ජුලි අය වැය සඳහා මුදල් අමාත්‍ය ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක යෝජනා කළේ පවුලකට නියමිත වූ සහල් සලාකය අඩකින් කපා හැරීමටය. මැතිනිය එය අනුමත කළත් රජයේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ඊට දැඩි ලෙස විරුද්ධ විය. තම යෝජනාවට මන්ත්‍රී පිරිස එකඟ කර ගැන්මට ෆීලික්ස් උත්සාහ කළත් එම උත්සාහය අසාර්ථක වූයෙන් අය වැයට දින කීපයකට පෙර මුදල් අමාත්‍ය ධුරයෙන් ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා ඉල්ලා අස්විය. ටී. බී. ඉලංගරත්න මහතා කඩිමුඩියේ මුදල් ඇමැති ලෙස දිවුරුම් දුන් අතර ෆීලික්ස්ගේ යෝජනාව ඔහු අයවැයෙන් ඉවත් කර තිබුණි. ඇමති ධුරයත් අහිමිව සිටි ෆීලික්ස් මාස දෙකකට පමණ පසු කෘෂිකර්ම අමාත්‍ය ධුරයේ වැඩ භාරගත්තේය.

 

 


බණ්ඩාරගම සමරසේන මුදලිගේ
ඡායාරූපය : අන්තර්ජාලයෙනි