1970 වසරේ පැවැති මහ මැතිවරණයෙන් බලයට පත් වූ සමගි පෙරමුණු ආණ්ඩුවට ඉතා ඉක්මනින් බලවත් ප්‍රශ්න සහ දුෂ්කරතා රැසකට මුහුණ පෑමට සිදු වී තිබුණේය. ඒ අතරින් එක් ප්‍රශ්නයක් වූයේ 1971 වසරේ අප්‍රේල් මාසයේ දී හට ගත් තරුණ අරගලයයි. එමගින් වටිනා තරුණ ජීවිත රැසක්ම අකාලයේ වැනසී ගිය අතර රුපියල් කෝටි ගණනක් වටිනා රාජ්‍ය සහ පෞද්ලික දේපළ අති විශාල සංඛ්‍යාවක් විනාශයට පත් විය.

ඉන් අනතුරුව ශ්‍රී ලංකාවට මුහුණ පෑමට සිදු වුයේ 1973 වසරේ ආරම්භයත් සමග ආසියාවේ බොහෝ රටවල පැතිර ගිය ආහාර අහේණියකටය. එහි ප්‍රතිඵලයක් වශයෙන් රට පුරා උග්‍ර ආහාර හිඟයක් පැතිර ගිය අතර රජය ඒ සඳහා මුහුණ දුන්නේ ආහාර රෙදිපිළි සහ සහල් මිරිස් වැනි අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය බෙදාහැරීම පවා දැඩි ලෙස සීමා කරමිනි. රටේ බොහෝ ප්‍රදේශයන්හි හාල් පොලු මිරිස්පොලු වැනි සම්බාධක බිහිවීමත් අඟහරුවාදා සහ සිකුරාදා දිනවල නගරබද හොටල්වල බත් විකිණීම තහනම් කිරීමත් එම නිසා සිදු වූ තවත් අතුරු ප්‍රතිඵලයක් විය. 


මේ වන විට රජයේ ප්‍රතිපත්ති සහ ක්‍රම සම්පාදන අමාත්‍යාංශය පැවතුණේ සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිතුමිය යටතේ වන අතර ආචාර්ය එච්. ඒ. ද. ඇස්. ගුණසේකර මහතා එම අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් කටයුතු කළේය. 


“මැඩම් අපි මේ තත්ත්වයට මුහුණ දීම සඳහා වගා සංග්‍රාමයක් පටන් ගනිමු.” යි අග්‍රාමාත්‍යවරියට යෝජනා කළ ආචාර්ය ගුණසේකර එමගින් අදහස් කළේ ඒ දිනවල දකුණු ආසියාතික රටවල පැතිරෙමින් තිබු උග්‍ර ආහාර හිඟයට පිළියමක් වශයෙන් දේශීය ආහාර වර්ග වගා කිරීම ජනතාව උනන්දු කරවීමටය. 


“ඔව් ඒක නං හොඳ අදහසක් තමයි. අඩුම වශයෙන් තමන්ගේ එදිනෙදා කෑමට අවශ්‍ය වන බෝග වර්ගවත් ඉඩ තියෙන හැටියට වවා ගන්න අපේ අය පුරුදු වෙන්නේ නැතැයි” කී අගමැතිනිය මුළු රාජ්‍ය තන්ත්‍රයම ඒ සඳහා යොමු කර වුවාය. හැම රාජ්‍ය ආයතනයක්ම එම වගා සංග්‍රාමයට අනුගත කෙරුණ අතර ආණ්ඩුවේ හැම ඇමැතිවරයකුටම තම තමන්ගේ දිස්ත්‍රික්කයන් හි නියමු ව්‍යාපෘතිය බැගින් ආරම්භ කරන ලෙස ද එතුමිය තම ඇමැතිමණ්ඩලයට උපදෙස් දී තිබුණාය. 


එපමණකින් ද නොනැවතුණ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සෑම දිස්ත්‍රික්කයක් පාසා යමින් රජයේ වගා සංග්‍රාමය පිළිබඳව ජනතාව සහ රාජ්‍ය සේවකයන් දැනුම්වත් කිරීමට ද පියවර ගෙන තිබුණේ දැඩි අධිෂ්ඨානයෙකිනි. මේ කාලයේ ආග්‍රාමාත්‍යවරියගේ ආරක්ෂක සම්බන්ධීකරණ කටයුතු මුළුමනින්ම පැවරී තිබුණේ එතුමියගේ සමීප ඥාතිවරයෙකු වු අනුරුද්ධ රත්වත්තේ මහතාටය. එවකට ස්වේච්ඡා සන්නද්ධ බළකායේ කර්නල්වරයෙකු වූ රත්වත්තේ මහතාගේ සහායට සිටියේ චන්ද්‍රසේකර නැමැති සහකාර පොලිස් අධිකාරිවරයෙකි. 


සෑම දිස්ත්‍රික්කයක් පාසා දේශපාලන අධිකාරිය බැගින් පිහිටුවා තිබුණු අතර එහි සභාපතිධුරය උසුලන ලද්දේ අදාළ දිස්ත්‍රික්කය නියෝජනය කළ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකි. ඒ අනුව කුරුණෑගල දේශපාලන අධිකාරියේ ප්‍රධානියා වූ ඩී. පී. වික්‍රමසිංහ නියෝජ්‍ය ඇමැතිවරයා ඒ වන විටත් ක්‍රියාත්මක වෙමින් පැවති වගා සංග්‍රාමයේ එක් ප්‍රචාරක රැලියක් සංවිධානය කරමින් ඒ සඳහා සහභාගී වන ලෙස අගමැතිනියට ආරාධනා කර තිබුණේය. 
ඒ වෙන විට 1971 අප්‍රේල් කැරැල්ල අවසන් වී තිබුණත් අගමැතිනියගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ විධි විධාන රාශියක්ම ක්‍රියාත්මක කෙරුණි. ඒ අනුව අගමැතිතුමිය සහභාගී වන සියලුම උත්සව සහ රැස්වීම්වල ආරක්ෂාව සම්බන්ධ වගකීම පැවරී තිබුණේ අපේ කර පිටයි. යි කියන අනුරුද්ධ රත්වත්තේ මහතා ‘මහයායේ කතාව’ නැමැති තම චරිතාපදානයේ සඳහන් කර තිබුණේ කුරුණෑගල මහජන ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබු රැස්වීමට අදාළ ආරක්ෂක විධි විධාන පිළිබඳව සොයා බැලීම සඳහා තමන් ඇතුළු අග්‍රමාත්‍යතුමියගේ ආරක්ෂක කණ්ඩායම කල් තියාම එම ස්ථානයට ගොස් සිටි බවය. 


ඔහු සඳහන් කරන අන්දමට කුරුණෑගල මහජන ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත එම ප්‍රචාරක රැලියේ වේදිකාව ඉදිකර තිබුණේ පිටියේ හරි මැදය. එකල දැන් මෙන් රාජ්‍ය නායකයන් සහභාගී වන රැස්වීම්වල වේදිකාව කොළඹින්ගෙන යන ක්‍රමයක් නොතිබිණි. එහෙයින් එම රැලියේ වේදිකාව ඉදිකර තිබුණේ කුරුණෑගල නගරයේ පිහිටි මල්ශාලාවක් මගිනි. 


කෙසේ වෙතත් එම වේදිකාව පරීක්ෂා කර බැලු අනුරුද්ධලාට පැහැදිලිවම පෙනී ගිය කරුණක් වූයේ එහි සවි ශක්තිය පිළිබඳව සෑහීමකට පත් වීමට නොහැකි බවයි. එහෙත් ඒ වෙනුවට වෙනත් වේදිකාවක් ඉදිකිරීමට ද කාලයක් නොමැති වූයේ රැස්වීම ආරම්භ කිරීමට නියමිත වේලාව ආසන්නව තිබූ බැවිනි. 


ඇමැතිතුමා මේ ස්ටේජ් එකේ සවිශක්තිය ගැන නං අපට සෑහීමකට පත් වෙන්න ආමරුයි. ඒ නිසා අපි දහදෙනෙකුට වඩා ස්ටේජ් එකට නොගෙන ඉඳිමු. 


රත්වත්තේ එම රැස්වීමේ ප්‍රධාන සංවිධායකවරයා වූ ඩී. පී. වික්‍රමසිංහ මහතා සොයා ගොස් එසේ කී විට ඔහු එම අදහස දෙවරක් නොසිතා අනුමත කළේය. එහෙත් අන්තීමේදී සිදු වූයේ අගමැතිනිය වේදිකාවට ගොඩ වී අසුන්ගත් විගස එම ප්‍රදේශය නියෝජනය කළ දේශපාලනඥයන් බුරුතු පිටින් පැමිණ වේදිකාවට නැගීමට උත්සාහ කිරීමය. අනුරුද්ධ රත්වත්තේ සහ ඔහුගේ ආරක්ෂක භට පිරිස එය වැළැක්වීමට සෑහෙන උත්සාහයක් ගෙන තිබුණ ද ඔවුන් දරූ සියලු උත්සාහයන් අසාර්ථක විය. 


එම රැස්වීමේ පිළිගැනීමේ කතාව පැවැත්වීමට නියමිතව තිබුණේ ඩී. පී. වික්‍රමසිංහ නියෝජ්‍ය ඇමැතිතුමාටය. ඒ අනුව අගමැතිනියට යාබද ඇසුනේ සිටි වික්‍රමසිංහ මහතා රාජ්‍ය නායිකාවට ආචාර කරමින් මයික්‍රොෆෝන් අසලට ගියේ තම කතාව ඇරඹීමටය. 


‘මොනවද වික්‍රමසිංහ ඇමැතිතුමා මයික්‍රෆොන් එක ළඟට ගිහින් කතා කරන්න පටන් ගත්ත විතරයි මුළු ස්ටේජ් එකම දඩ දඩ ගාලා හෙල්ලිලා හෙළට කඩා වැටුණා. අපි කීප දෙනෙක් ඉදිරියට පැනලා අර ටකරං තහඩු ටික මැතිනියගේ ඇඟට වැටෙන්න නොදී අල්ලා ගත්තා. එතන හිටපු කීප දෙනෙකුටම සුළු සුළු තුවාල සිදුවුණෙත්, වැඩිපුරම තුවාල වෙලා තිබුණෙත් වේදිකාව ළඟ ඉඳගෙන ඉඳලා බය වෙලා දුවන්න හදපු කට්ටියකටයි. සමහරු කොයි තරම් බය වුණා ද කිව්වොත් ඔළු ගෙඩි එකට හැප්පිලා තුවාල කර ගෙනත් තිබුණා, යි කියන රත්වත්තේ මහතා තම චරිතාපදානයේ සඳහන් කර තිබුණේ එම සිද්ධියෙන් මැතිනියට සිරීමක් වත් සිදු නොවුණ ද එතුමිය බලවත් ලෙස වික්ෂිප්ත වී සිටි බවය. 


අන්තිමේ දී එම රැස්වීම අවලංගු කර දැමුණු අතර අගමැතිනිය දැඩි රැකවල් මධ්‍යයේ කොළඹට කැඳවාගෙන ඒමට අනුරුද්ධලාට සිදු විය. 1973 නොවැම්බර් මස 18 වැනිදා සිදු වු එම ඇබැද්දිය පිළිබඳව ඊට පසුදා නිකුත් වූ දවස ලංකාදීප සහ දිනමිණ පත්‍රවල දැවැන්ත සිරස්තල ද සමග පළ වී තිබුණේ එය එක්තරා අන්දමක කඩාකප්පල්කාරී ක්‍රීයාවකැයි පාඨකයන් තුළ සැකයක් ද ජනිත වන අයුරිනි. 


එහි ඊළඟ ප්‍රතිඵලය වූයේ ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පැවැත් වූ පරීක්ෂණ කීපයකට සහභාගී වී කට උත්තර දීමට අනුරුද්ධ රත්වත්තේට පමණක් නොව ඩී. පී. වික්‍රමසිංහ නියෝජ්‍ය අගමැතිවරයා ඇතුළු තවත් සෑහෙන පිරිසකට සිදුවීමය. කෙසේ වෙතත් ඒ හැම පරීක්ෂණයකින්ම තහවුරු වී තිබු එම රැස්වීම් වේදිකාව ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ලබාගත් ආයතනයේ නොසැලකිලිමත්කම නිසා වේදිකාව එලෙස කඩා වැටීමකට ලක් වී ඇති බවය.

 

 

 


නිහාල් ජගත්චන්ද්‍ර