1971 අප්‍රේල් අරගලයට ලබන 5 වැනිදාට වසර 47 කි. මෙරට දේශපාලනයටත් 71 අප්‍රේල් අරගලය තරම් ගුණාත්මක බලපෑමක් ඇති කළ වෙනත් සිදුවීමක් නොමැති තරම්ය. එහෙත් 71 අප්‍රේල් අරගලය සම්බන්ධයෙන් විවිධ මතවාද පවතී. එය එසේ වුවද වඩාත් වැදගත් වන්නේ 71 අරගලයේ සැබෑ හිමිකරුවා වන ජනතා විමුක්ති පෙරමුණ ඒ සම්බන්ධයෙන් දරණ මතය වේ. ජනතා විමුක්ති පෙරමුණ විසින් 2012 වසරේදී ප්‍රකාශයට පත් කළ පක්ෂයේ ඉතිහාසය 1965 - 1994 කෘතියෙහි. අප්‍රේල් අරගලයට සම්බන්ධ මෙම උපුටනය ඒ නිල මතය අවධාරණය කරනු පිණිසය.


1977 ජූලි මාසයේ පැවැත්වූ මහ මැතිවරණය ශ්‍රී ලංකාවේ දේශපාලන ගමන්මග බරපතළ වෙනස්කම්වලට ලක් කළ එකක් විය. 77 මහ මැතිවරණයේදී ජේ.ආර්. ජයවර්ධනගේ නායකත්වයෙන් තරග වැදුණු එ.ජා.ප.ය. විසින් පාර්ලිමේන්තුවේ ආසන 168න් 140ක් දිනා හයෙන් පහක බලයක් තහවුරු කරගනු ලැබීය. 70-77 වකවානුවේ රට පාලනය කළ “සමගි පෙරමුණ” අහෝසිව තිබූ අතර ශ්‍රී.ල.නි.ප ‘අත’ ලකුණින් තරග කළේය. එහෙත් ශ්‍රී.ල.නි.ප.යට එම මැතිවරණයෙන් ලබාගත හැකි වූයේ, ආසන 08ක් පමණි. ඉනුත් දෙදෙනෙක් පත්වූයේ මැද කොළඹ හා නුවරඑළිය - මස්කෙළිය යන බහු මන්ත්‍රී කොට්ඨාසවලින් තුන්වැනියා හා දෙවැනියා ලෙසය. ඒ මැද කොළඹින් හලීම් ඉෂාක් (තුන්වැනියා) හා නුවරඑළිය - මස්කෙළියෙන් අනුර බණ්ඩාරනායක (දෙවැනියා) ලෙසය.

සමගි පෙරමුණු ආණ්ඩුවේ කොටස්කරුවන්ව සිට පසුව ඉන් ඉවත්ව වෙනවෙනම තරග කළ ල.ස.ස.ප ශ්‍රී ලං.කො.ප හා ම.එ.පෙ කිසිදු ආසනයක් දිනා ගැනීමට අසමත් වී බරපතළ පරාජයකට ලක්විය. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ආසන 18ක් දිනා පළමු වරට පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්‍ෂය බවට පත් වූ අතර අමිර්තලිංගම් මහතා විපක්‍ෂ නායකයා විය. 


77 මහ මැතිවරණයෙන් ලත් සුවිශාල බලය යොදා ගනිමින් ජයවර්ධන පාලනය එතෙක් තිබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කොට විධායක ජනාධිපති ක්‍රමය සහිත ව්‍යවස්ථාවක් සකස් කිරීම වහාම ආරම්භ කළේය. 78 දී මෙම නව ව්‍යවස්ථාව සම්මත කරගත් එ.ජා.පය විධායක ජනාධිපති බලයත් පාර්ලිමේන්තුවේ 5/6ක බලයත් යොදාගනිමින් ලංකාවට විවෘත ආර්ථිකය හඳුන්වා දෙමින් ඉතා බරපතළ විනාශකාරී දේශපාලන ගමනකට මුල පිරුවේය. 1977 න් පසු ජ.වි.පෙ. හැදී වැඩී ක්‍රියාත්මක වූයේ එම දේශපාලන වටපිටාව තුළය.


ජ.වි.පෙ. පැත්තෙන් ගත් විට 1977 මැතිවරණයෙන් පසු ඇති වූ වැදගත් සිදුවීම වූයේ ආණ්ඩුව අපරාධ යුක්ති විනිශ්චය කොමිසන් සභාව අහෝසි කිරීමත් ඒ යටතේ සිර දඬුවම් ලබමින් සිටි රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු විශාල පිරිසක් 1977 නොවැම්බරයේදී නිදහස් වීමත්ය. ජේ.ආර්. ජයවර්ධන පාලනය විසින් දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමක් ලෙස මෙය අර්ථ දැක්වුවද ජයවර්ධන ජනාධිපතිවරයා එම තීරණය ගෙන තිබුණේ හේතු ගණනාවක් මතය.


77 මහ මැතිවරණයේදී එ.ජා.ප.යේ පොරොන්දු අතර 71 අරගලයට සම්බන්ධ තරුණ පිරිස් නිදහස් කිරීම ප්‍රධාන පොරොන්දුවක් විය. එමගින් එ.ජා.ප.ය. බලාපොරොත්තු වූයේ එම තරුණයන්ගේ පවුල්වල ඡන්ද තමන්ට ලබාගැනීමය. මැතිවරණ ජයග්‍රහණයෙන් පසු එම පොරොන්දුව ඉටුකිරීම මගහැරිය නොහැකිව තිබිණි. අනෙක් අතට මේ වන විට දඬුවම් ලැබ දඬුවම් ගෙවමින් සිටි අයගේ දඬුවම් කාලවලින් සැලකිය යුතු ප්‍රමාණයක් ගෙවී ගොස් තිබිණි. ඉදිරි වසර දෙක තුන තුළ ඔවුන් බොහොමයක් දඬුවම් කාල නිමවී නිදහස් වීමටද නියමිතව තිබිණි. එසේ වුවහොත් ඉන් එ.ජා.ප ආණ්ඩුවට අත්වන දේශපාලන වාසියක් නැති බවද ජයවර්ධනලා කල්පනා කර තිබිණි. එසේම රට තුළ විවෘත ආර්ථිකය නිර්මාණය කිරීමේදී විදේශ ආයෝජකයන් ලංකාවට කැඳවීමට ‘දේශපාලන සිරකරුවන්’ සිරගෙවල්වල සිටීම කිසියම් බාධාවක් වියහැකි බවද දැනී තිබිණි. ඒ සියල්ලටම වඩා සමගි පෙරමුණු ආණ්ඩුව විසින් ඉහත නීති යොදාගනිමින් දඬුවම්වලට ලක්කර තිබූ ප්‍රබල එ.ජා.ප. ආධාරකරුවන් වන තාහා, මුක්තාර් වැනි විදේශ විනිමය වංචාකරුවන් කිහිප දෙනා නිදහස්කර ගැනීමේ වුවමනාවද එ.ජා.ප. ආණ්ඩුවට තිබිණි. මේ සියල්ලේ ප්‍රතිඵලය වූයේ අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව අහෝසි කිරීමට එ.ජා.ප. ආණ්ඩුව තීරණය කිරීමය.


ඒ අනුව සමගි පෙරමුණු ආණ්ඩුව විසින් පත්කර ක්‍රියාත්මක කරන ලද අපරාධ යුක්ති විනිශ්චය කොමිසන් සභා පනත හා සංශෝධිත විනිමය පාලන පනත් අවලංගු කිරීම සඳහා වූ ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට 77 ඔක්තෝබර් 27 වැනිදා සම්මත කරගනු ලැබිණි. ඒ සමඟම එම පනත් යටතේ සිරදඬුවම් ලබාදී තිබූ විනිමය වංචාකරුවෝ මෙන්ම 71 අප්‍රේල් අරගලයට සම්බන්ධ වූවෝද නිදහස් වූහ. මෙය දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමක් ලෙස ආර්ථකථනය කළද ඒ වනවිටත් 71 අරගලයට සම්බන්ධ වීම නිසා සිවිල් අධිකරණයෙන් දඬුවම් ලබාදී සිටි සහෝදරවරුන් 13 දෙනා නිදහස් නොකරන ලදී.


කෙසේ වෙතත් කොමිසම අහෝසි කිරීමත් සමඟ රෝහණ විජේවීර සහෝදරයා, ලයනල් බෝපගේ ඇතුළු පිරිස නිදහස් වී පැමිණීම පක්‍ෂයේ ඉදිරි ගමනට යෝධ ජවයක් සැපයීය. රෝහණ විජේවීර සහෝදරයා නිදහස් වී පැමිනීමත් සමඟ ඔහුගේ මූලිකත්වයෙන් රට පුරා ප්‍රචාරක රැස්වීම් මාලාවක් පැවැත් වුණු අතර ඒවා ඉතා සාර්ථක විය. රෝහණ සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ම රැලිය පවත්වනු ලැබුවේ කොළඹ නගර සභා පිටියේදීය. දෙවෙනි රැලිය මහනුවර බෝගම්බර පිටියේදී පැවැත්වූ අතර ඉන්පසු රට පුරා රැලි පවත්වන ලදී. 71 අරගලයේ වකවානුව තුළ සිදු වූ මර්දනයේ අමිහිරි මතකයන් නොසලකා තරුණ පරපුර වේගයෙන් ජ.වි.පෙ. වෙත ආකර්ෂණය වීමටත් පක්‍ෂයට සම්බන්ධ වීමටත් පටන් ගැනුණි.


ජ.වි.පෙ. න්‍යායිකව වඩාත් නිවැරදි හා සංවිධානමය වශයෙන් වඩාත් ක්‍රමවත් පක්‍ෂයක් බවට පත්වන්නේ මෙයින් පසුවය. 1978 දී පක්‍ෂයේ මංගල සමුළුව පැවැත් වුණු අතර සමුළුව මගින් පක්‍ෂය සඳහා නව මධ්‍යම කාරක සභාවක් පත්කර ගන්නා ලදී. එසේම පක්‍ෂ වැඩපිළිවෙළක්ද සම්මත කර ගන්නා ලදී. මේ වනවිටත් සකසා තිබූ ජ.වි.පෙ විප්ලවීය ප්‍රතිපත්ති මාලාවද මෙම සමුළුව විසින් අනුමත කර රටට ඉදිරිපත් කරන ලදී. පක්‍ෂ වැඩපිළිවෙළ මගින් ශ්‍රී ලංකාව පසුගාමී ආර්ථික සංවර්ධනයක් සහිත ධනේශ්වර රාජ්‍යයක් ලෙස හඳුනාගත් අතර බි්‍රතාන්‍ය පාලනය යටතේ උත්තරාරෝපණය කළ ලංකාවේ ධනවාදය තුළ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයන් ඉටුකර නොමැති බවද ලංකාවේ ධනපති පංතිය දුර්වල හා අධිරාජ්‍ය ගැති ධනපති පංතියක් ලෙසද නිවැරදිව විග්‍රහ කරන ලදී. ලංකාවේ ධනවාදයට පිළිතුර සමාජවාදය බවත් ඉටු නොවුණු ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයන් පවා සමාජවාදී පාලනයක අතුරු ඵල ලෙස විසඳිය යුතු බවත් තහවුරු කරන ලදී. ලංකාවේ ධනපති පංතිය දෙකට බෙදා ඉන් කොටසක් ප්‍රගතිශීලී ධනපති පංතිය ලෙසත් ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය සඳහා එම ප්‍රගතිශීලී ධනපති පංතිය සමඟ එක්ව කටයුතු කළ යුතු බවටත් ඒ වන විට මාඕවාදී හා ස්ටැලින්වාදී ගුරුකුලවලින් ඉදිරිපත් කර තිබූ නිර්මාක්ස්වාදී මත මේ මගින් තීරණාත්මකව ප්‍රතික්‍ෂේප කර තිබිණි.
ජ.වි.පෙ. ලෙනින්වාදී බොල්ෂෙවික් පක්‍ෂයක් ලෙස බහු ජනතාව ඒකරාශී කරමින් ගොඩනැගිය යුතු බවටද තීරණය කරන ලදී. ඒ අනුව 78 හා 79 වසරවල ජ.වි.පෙ. කනිෂ්ඨ සංවිධාන හෙවත් පාක්‍ෂික බහු සංවිධාන ලෙස සමාජවාදී කම්කරු සංගමය, සමාජවාදී තරුණ සංගමය, සමාජවාදී ශිෂ්‍ය සංගමය, සමාජවාදී කාන්තා සංගමය සමුළු පවත්වා ගොඩ නගන ලදී. එසේම සමාජවාදී ගොවි සංගමය, සමාජවාදී භික්‍ෂු සංගමය හා සමාජවාදී කලා සංගමයද ගොඩ නගන ලදී.


සමාජවාදී කම්කරු සංගමය ගොඩ නගමින් කම්කරු පංති දේශපාලනයට ජ.වි.පෙ. පිවිසුණේ ඒ වන විට කම්කරු පංති ව්‍යාපාරය තුළ අරක්ගෙන තිබූ අවස්ථාවාදයට ප්‍රබල අභියෝගයක් එල්ල කරමිනි. වෘත්තීය සමිති දේශපාලනය වෙනුවට කම්කරු පංති දේශපාලනය පෙරට ගත යුතු බව අවධාරණය කළ ජ.වි.පෙ. ඒ සඳහා කම්කරු පංතිය සංවිධානය කිරීමේ සටන් පාඨයද ඉදිරිපත් කරන ලදී. 

 


මතු සම්බන්ධයි...

 

 

 


සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්