විජය ළය දැදුරු කළ  වෙඩි උණ්ඩයේ  කතාව

 

පසුගිය පෙබරවාරි 16 වැනිදාට යෙදුන විජයගේ 30 වැනි ගුණ සමරුව ඉතා උසස් ලෙස පැවැත්වූයේ ඔහුගේ බිරිය හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ හා ඔහුගේ ඥාති හිත මිත්‍රාදීන්ගේ සහභාගීත්වයෙනි. විජයගේ පාසල් මිතුරෙකු මෙන්ම සමිප සගයෙකු වූ හිටපු අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතා විජය පිළිබඳ අතීත මතකය අවදි කළේ මෙලෙසිනි.


 විජය ගේ ඝාතනයෙන් පස්සේ අපි ඔහුගේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන්න දැඩි උත්සාහයක් ගත්තා. ඒක නිසා තමයි අප එතුමාගේ බිරිය චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විදේශ රටකට යවලා ඇයව ආරක්‍ෂා කළේ. මොකද විජයගේ ප්‍රතිපත්ති, ක්‍රියාදාමයන් ඉදිරියට ගෙන යාමට සුදුසුම කෙනා අපි  ඒ වෙලෙ හැටියට කල්පනා කළේ චන්ද්‍රිකා මහත්මියයි. ඒ නිසා චන්ද්‍රිකා මැතිනියව පළාත් සභා මැතිවරණය සඳහා ගෙන්වලා බස්නාහිර ප්‍රධාන ඇමතිනිය ලෙස පත්කළා. විජයගේ ඝාතනයත් සමග ඇයට බොහෝ ප්‍රතිචාර තිබුණා. වැඩිම මනාප සංඛ්‍යාවක් ලබා ඇය බස්නාහිර ප්‍රධාන ඇමතිනිය ලෙස තේරී පත්වුණා.


 විජයව ඝාතනය කරන්න අවශ්‍ය අය දිර්ඝ කාලයක සිට සැලසුම් සකස් කළ බවට අපට තොරතුරු හෙළිවුණා. මේ පිළිබඳ දීර්ඝ ලෙස පැවති සාක්‍ෂි විභාගයකදී අනාවරණය වූයේ 1980 වසරේ සිට විජයව  ඝාතනය කරන්නට සැලසුම් සකස් කර තිබූ බවයි.  අපි දකින්නේ විජය ඝාතනය කරන්න කරුණු කාරණා රැසක් බලපෑවා. ඉන්දු- ලංකා ගිවිසුමට සහය පළකිරීම, බලය විමධ්‍යගත කිරීම, පළාත් සභා ක්‍රමයක් වෙනුවෙන් පෙනී සිටීම සහ ජනතා විමුක්ති පෙරමුණට විරුද්ධව දෙමළ බෙදුම්වාදී සන්නද්ධ සංවිධාන සමඟ එක්වී පක්‍ෂයේ අයට අපි පුහුණුව ලබාදීම වැනි කරුණු කාරණා වෙන්න ඇති.


 විජයගේ ඝාතනයේ තොරතුරු  විමසා බැලීමේදී හෙළි වුණේ ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අංශය  වූ දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයේ නියෝගය මත විජයව මරා දැමූ බවයි. ඝාතනයේ සැලසුම් කරු ජයන්ත හෙවත් ලලිත් විජේරත්න නමැත්තකු බවත් හෙළිවුණා. ඒ සඳහා තොරතුරු රැස්කර ඇත්තේ කොලොන්නාවේ පියසිරි නමැත්තෙකු බවත් ඒ දවස්වල ප්‍රචාරය වුණා. මේ සඳහා ඔවුන් තෝරාගෙන තිබුණේ පිළියන්දල ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයක්. විජයව ඝාතනය කිරීමට 1980 සිට සැලසුම් සකස් කළ බව ලයනල් හෙවත් ගාමිණී නමැති අයකු ලබාදුන් පිටු 141 ක කට උත්තරයක සඳහන් වෙනවා.


 ජනතා විමුක්ති  පෙරමුණ “විජයව යැව්වේ ඇයි?”යනුවෙන් පත්‍රිකාවක්ද නිකුත් කර ඝාතනයේ වගකීම බාරගත් බවද සඳහන් විය. කාලයකට පස්සේ බොරැල්ලේ පිහිටි උසස් අධ්‍යාපන ආයතනයක වැසිකිළියක විජයගේ මරණය සාධාරණීකරණය කරමින් එම පක්‍ෂයේ කෙනෙකු විසින් කවියකින් මෙලෙස සටහනක් කර තිබුණි.


 “ටයරය තුළ දැවෙන සොයුරන්නේ නුඹට
නැත පාවාඩ මළ බෙරද දුකට
දේශය යකුට දී වැනසී ගිය යකුට
කුමකට වැලපෙන්නෙ නැතිවද මොළකට්ට”


විජයගේ ඝාතනය සම්බන්ධ විවිධ උදම් ඇනීම් සිදුකළ ජනතා විමුක්කි පෙරමුණ පසුව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයට එක්විය. ඔවුන් විසින් විජය කුමාරතුංග ඝාතනයේ විමර්ශනය සිදුවන අවස්ථාවේ වර්තමාන ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් මෙයට සබඳතාවක් නොමැති බව ප්‍රකාශ කළ අතර ඒ සිදුවීම අනුමත නොකරන බවද ප්‍රකාශ කර තිබුණි.

 


 මානව හිතවාදි සොඳුරු මිනිසෙකු වූ විජගේ සමීපතම හිතවතෙකු වූ හිටපු අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතා නැවත හඬ අවදි කළේ මෙලෙසිනි.


 “මේ රටේ දෙමළ, සිංහල, සංහිඳියාව වෙනුවෙන් පෙනී සිටි අවංකව කැපවූ ශ්‍රී ලාංකිකයෙකු  මෙන්ම මානව හිතවාදි විජයගේ ඒ සොඳුරු මුහුණ බලා වෙඩි තැබුවේ කොහොමද කියන එක අපට තවමත් ප්‍රශ්නයක්. මෘත දේහය හා අවමංගල්‍ය උත්සවය වෙනුවෙන් දිවයිනේ නන්දෙසින් අතිවිශාල ජනකායක් පැමිණියා. මට මතකයි විජය සමඟ සමීප ඇසුරක් තිබූ දයාන් ජයතිලක, සරත් කෝන්ගහගේ සහ ප්‍රේමසිරි පෙරේරා වැනි අය මෙම මරණයට අනිවාර්යෙන්ම ජනතා විමුක්ති පෙරමුණ වගකිව යුතු බව ස්ථිරවම ප්‍රකාශ කළා. එහෙත්  සමනලයකු වන් මානව  හිතවාදියකුගේ මුහුණ විකෘති වන්නට තරම් වෙඩි පහරවල් එල්ල කරන්නට සාහසිකයන් මෙතරම් දරුණු වුණේ කොහොමද කියන එක මට අදටත් ප්‍රශ්නයක්. විජයව ඝාතනය නොකළා නම් ඔහුගේ දේශපාලන පිළිවෙත වාග් ප්‍රහාරයත් නළුවෙකු වශයෙන් ලබාගත් ජනතා ප්‍රසාදයත් නිසා  විජය ගේ ඉදිරි ගමන කොතනින් අවසන් වේ දැයි කියන්නට පුළුවන්කමක් නැහැ. මොකද විජයට ඒ තරම් ජනතාවක් ආදරය  කළා.


 විජයගේ මෘත දේහය රැගත්  පෙට්ටිය ඉදිරිපිට අත්දෙක මිටමොලවා ගෙන දෑත් එකිනෙක පටලවා තම ස්වාමි පුරුෂයා නායකත්වය දුන් වාමාංශික එක්සත් පෙරමුණ ඉදිරියට ගෙන යන බවට චන්ද්‍රිකා මහත්මිය ලබාදුන් පොරොන්දුව මට  තවමත් මැවී පෙනෙනවා. විජයගේ ඝාතනයට දින කිහිපයකට පසු දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයේ නියෝග මත ඝාතනය වූ අයගේ නම් කිහිපයක් හමුවුණා. එහි විජය ගැන සඳහන්ව ඇත්තේ ඪන්‍ යන ඉංග්‍රීසි අකුරු දෙකෙන්. මම දකින විදියට ව්‍යක්ත ලෙස ජනතාව හදවතින්ම ඇද බැඳගන්නා කථිකයෙක් සිටියානම් ඒ අනිවාර්යෙන්ම විජය කුමාරතුංග පමණයි. විජය අතිශයින්ම දක්‍ෂ කථිකයෙකු ලෙස මහත් ප්‍රසිද්ධියක් ලැබුවා. ඔහුගේ කථාවට සවන් දෙන විට මට හැඟුණ දෙයක් තමයි ඕනෑම දක්‍ෂ අයකුගේ ආත්මයට ළඟා විය හැකි කථිකයෙක් බව. විජය දේශපාලන උත්සව අමතන විටත් ඔහුට විවිධ මරණීය තර්ජන තිබුණා. නමුත් ඔහු ඒවා තඹ සතේකට මායිම් කළේ නැහැ.


 විජයගේ ඝාතනයෙන් පස්සේ බලයට පත්වූ ඔහුගේ බිරිය චන්ද්‍රිකා  බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය ජනාධිපතිනිය වුණා. ජනාධිපතිනිය සිය සැමියා මරා දැමූ ජනතා විමුක්ති පෙරමුණ සමඟ පරිවාස ආණ්ඩුවක් ඇති කිරීමට යන බව අපට ආරංචි වුණා. අපි පුදුම වුණා. ඇයි ස්වාමිපුරුෂයා  ඝාතනය කළ අය සමඟ  පරිවාස ආණ්ඩුවක් හදන්නේ කියලා.  පරිවාස ආණ්ඩුවකට යන බව මහජන පක්‍ෂයේ කිහිප දෙනෙකුම දැන සිටියා. තම සැමියා මැරූ ඝාතකයන් සමග කිසිම අවස්ථාවක පරිවාස ආණ්ඩුවක් ඇති නොකරන බව ප්‍රකාශ කළ ජනාධිපතිනිය පසුව ඒ අදහස වෙනස් කරලා පරිවාස ආණ්ඩුවක් හැදුවා.

 


 මතු සම්බන්ධයි.

 


නිශාන්ත කුමාර බණ්ඩාර