නිර්ධන පංතිය මුළුමහත් ගොවි ජනතාවත් සමග සන්ධානයකින් ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ ජයග්‍රහණ අත්පත් කර ගැනීමෙන් පමණක් නොනවතින බව ලෙනින්, මෙම ග්‍රන්ථයෙන් උගැන්වීය. අරගලයේදී එය සිය බලවේග සංවිධානය කර, ග්‍රාමීය හා නාගරික දුප්පතුන් ද ඊට සම්බන්ධ කර ගෙන ධනවාදයට පහර දෙයි. ධනේෂ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය මේ ආකාරයෙන් සමාජවාදී විප්ලවයක් බවට සංවර්ධනය වෙයි. මෙය සමාජවාදී විප්ලවයේ ජයග්‍රහණය යොමු වූ නව මාවතකි.


එය නගරයේ හා ගම්බද අර්ධ නිර්ධන බහු ජනතාවගේ විප්ලවීය හැකියාවන් අඩුවෙන් තක්සේරු කළ බටහිර යුරෝපීය අවස්ථාවාදීන් හා රුසියන් මෙන්ෂෙවික්වරුන් විසින් අනුගමනය කරන ලද ක්‍රියාමාර්ගය ප්‍රතික්ෂේප කළේය. නිර්ධන පංතිය සමාජවාදී විප්ලවයේදී මිතුරන් රහිතව ස්වකීය ශක්තියෙන්ම ක්‍රියා කරන බවත්, එහෙයින් නිර්ධන පංතිය රටේ ජනගහනයෙන් බහුතරය බවට පත්වන තුරු සමාජවාදී විප්ලවය ඇති නොවිය හැකි බවත් අවස්ථාවාදීහු විශ්වාස කළෝය. මෙම හේතු දැක්වීමේ ක්‍රමය සාවද්‍ය බවත් හානිකර බවත්, ලෙනින් ඔප්පු කළේය. විප්ලවය සිදු වන විට නාගරික හා ගම්බද අර්ධ නිර්ධනීන්, නිර්ධනීන් සමග එකතු වීම නියත බව ඔහු පෙන්වා දුන්නේය. තදනන්තර සිදුවීම් ඔහු නිවැරදි බව ඔප්පු කළේය. 


ප්‍රජාතන්ත්‍රවාදී විප්ලව සමයේදී සමාජ ප්‍රජාතන්ත්‍රයේ උපක්‍රම දෙකක් නමැති සිය ග්‍රන්ථයෙන් ලෙනින්, සමස්ත ලෝකයේම ජනතාවට ප්‍රජාතන්ත්‍රය හා සමාජවාදය පිළිබඳ සිය අරගලය ජයග්‍රහණය කිරීම් වස් ඉමහත් සේ වැදගත් වන නව අදහස්වලින් සමාජවාදී විප්ලවය පිළිබඳව මාක්ස්ගේ ඉගැන්වීම් පෝෂණය කරමින්, සංවර්ධනය කළේය. රුසියාවේ පක්ෂ සංවිධාන විසින් මෙම ග්‍රන්ථය ඉමහත් උනන්දුවකින් පිළිගන්නා ලදි. කසාන් සංවිධානයේ සාමාජිකයෙකු වූ වී. වී. අදොරත්සිති මෙසේ ලිවීය. “විප්ලවයේ සංවර්ධනයෙහි යහපත ව්ලැදිමීර් ඉල්යීච් ට වඩා නිවැරදි ලෙස, වඩා ගැළපෙන හා ඒවා බුද්ධිමත් ලෙස අන්කිසිවකුටත් තහවුරු කළ නොහැකි යැයි අප සියලු දෙනාටම හැඟුනි.”


රුසියාවේ විප්ලවීය ව්‍යාපාරය වේගයෙන් වර්ධනය වෙමින් තිබුණි. 1905 වසන්තයේ සහ ගිම්හානයේ ශාන්ත පීටර්ස්බර්ග්, වෝරකේ, ලෙද්ස්, බාකු හා ඔඩෙස්සා වැනි කාර්මික මධ්‍යස්ථානවල විශාල වැඩ වර්ජන සිදුවිය. රුසියාවේ ග්‍රාමීය දිස්ත්‍රික්ක සියල්ලෙන් පහෙන් එක් පංගුවක් වසා ගොවි ව්‍යාපාරය ව්‍යාප්ත විය. සාර්වාදයේ ප්‍රධාන යුද අධාරකය යුද හමුදාව පවා වෙව්ලුම් කෑවේය. 1905 ජුනි මස, කළු මුහුදේ නාවික සේනාංකයේ පොටෙමිකින් යුධ නෞකාවේ කැරැල්ලක් ඇති විය. මෙම කැරැල්ල අතිශයින් වැදගත් සේ ලෙනින් සැලකීය. කැරලිකරුවන්ට ආධාර කිරීම් වස් ලෙනින් බෝල්ෂේවික් පාක්ෂික එම්.අයි. වසීලියෙව් යුෂින්, ඔඩෙස්සා බලා පිටත් කර හැරියේය. ජයග්‍රහණය සහතික කරන්නේ කෙසේ දැයි ඔහුට උපදෙස් දී තිබුණි. එහෙත් ඔහු ඔඩෙස්සාවට ළඟා වන විට යුද නෞකාවට වරායෙන් පිටවී රුමේනියාව බලා යාත්‍රා කිරීමට සිදුවී තිබුණි. 


ලෙනින් සන්නද්ධ කැරැල්ලක් පිළිබඳව දිගින් දිගටම තරයේ කියා සිටියේය. ඔහු එම විෂය ගැන මාක්ස් සහ එංගල්ස් විසින් ලියන ලද සියල්ලම කියවා තිබූ අතර යුද්ධ උපක්‍රම පිළිබඳ පොත් රාශියක් අධ්‍යයනය කර තිබුණි. කැරැල්ල සඳහා සූදානම් වීමට සංවිධානය කරනු ලැබ තිබූ ශාන්ත පීටර්ස්බර්ග් සටන් කමිටුවෙහි ප්‍රමාදය හා අවිනිශ්චිත භාව නිසා ඔහු එය දැඩි විවේචනයට ලක් කළ අතර ඒ සඳහා මූර්ත සටන් සැලැස්මක් සකස් කළේය. “තරුණයන් වෙත යන්න” ඔහු උපදෙස් දුන්නේය. සෑම තැනම ශිෂ්‍යයන් අතර විශේෂයෙන්ම කම්කරුවන් අතර සටන් කණ්ඩායමක් ගොඩනගන්න. ඔවුන්ට හැකි උපරිම තත්ත්වයෙන් වහාම සන්නද්ධ වීමට සලසන්න. සටන් ව්‍යාපාරය ක්ෂණිකව දියත් කරමින්, සේනාංක වහාම යුද පුහුණුව ආරම්භ කළ යුතුය. 


ඒ සමගම ලෙනින් එතෙරින් යුද අවි මිලට ගෙන රුසියාවට යැවීම සඳහා උනන්දුවෙන් පියවර ගත්තේය. 


1905 සරත් ඍතුවේදී රුසියාවේ විප්ලවීය ව්‍යාපාරය පෙර නොවූ විරූ තරම් ව්‍යාප්ත විය. ඔක්තෝබරයේදී මහා දේශපාලන වැඩ වර්ජනයක් ඇති විය. කම්හල් හා මෝල්වලත් තැපැල් හා විදුලි සංදේශ කාර්යාලවලත් වැඩ නතර වූ අතර රට මුළුල්ලේම ජීවිත අඩපණ විය. මෙය මේ දක්වා සෙසු රටවල නොතිබූ නව ස්වරූපයක නිර්ධන පංති අරගලයකි. කම්කරු පංතියේ අරගලයෙන් බිය වැදුණු සාර්වාදී ආණ්ඩුවට යම් සහන සැලැස්වීමට බල කෙරිණ. ඔක්තෝබර් 17 වෙනිදා පුද්ගල නිදහස, කතා කිරීමේ නිදහස, පුවත් පළ කිරීමේ හා රැස්වීම් පැවැත්වීමේ නිදහස හා සෙසු නන් වැදෑරුම් ප්‍රජා නිදහස උල්ලංඝනය කළ නොහැකි බවට ප්‍රතිඥා දෙමින් සාර් ප්‍රකාශනයක් නිකුත් කළේය. මෙය වැදගත් ජයග්‍රහණයක් විය. නමුත් සාර්ගේ ප්‍රතිඥාව කෙරෙහි විශ්වාසය තැබීමට එරෙහිව ලෙනින් අවවාද කළේය. නිර්ධන පංතියේ කර්තව්‍යය විප්ලවය ඉදිරියට ගෙන යාම හා බහු ජනතාව සන්නද්ධ නැගිටීමක් සඳහා සූදානම් කිරීම යැයි ඔහු කීය. 


මෙම විප්ලවීය කුණාටු සමයේ බැඳුණු දේශපාලන සංවිධානය කම්කරු නියෝජිතයන්ගේ සෝවියට් සභා බිහි විය. මෙවැනි සංවිධාන ඉන් පෙර වෙනත් කිසිම රටක කිසි දිනෙක ජනිත වී නොතිබුණි. සන්නද්ධ නැගිටීමේ අවයවයන් වශයෙන් ද, ජනතා ආණ්ඩුවේ කලලය වශයෙන්ද ලෙනින් විසින් සලකන ලද මෙම සංවිධාන කෙරෙහි ඔහු විශාල බලාපොරොත්තුවක් තැබීය. සෝවියට් සභාවලට මහඟු අනාගතයක් ඇති බවත්, ඒවා කෙදිනෙක හෝ වැඩ කරන ජනතාවගේ රාජ්‍ය බලය බවට පත්වන බවත් ඒ වන විටත් ඔහු පූර්වයෙන් දුටුවේය. ලෙනින්ගේ අනාවැකිය සැබෑ විය. “අපේ කර්තව්‍යයන් හා කම්කරු නියෝජිතයන්ගේ සෝවියට් සභා.” මැයින් ලෙනින් විසින් ලියන ලද ලිපියෙන් සෝවියට් සභාවල මෙහෙය පිළිබඳව ගැඹුරු  විශ්ලේෂණයක් කරන ලදි.


විප්ලවීය රැල්ල වේගයෙන් නැංගේය. ලෙනින්ට එතෙර සිට විප්ලවීය ව්‍යාපාරය මෙහෙයවීම වඩ වඩාත් දුෂ්කර විය. ඔහු රුසියාවට පෙරළා පැමිණීමට ඉමහත් ආශාවක් දැක්වීය. 1905 නොවැම්බරයේ මුල් භාගයේ ශාන්ත පීටර්ස්බර්ග් නුවරට පැමිණි. ඔහු එහිදී වහාම පක්ෂයේ හා විප්ලවීය අරගලයේ ඍජු නායකත්වය භාර ගත්තේය. ඔහු ප්‍රබල සංවිධානාත්මක වැඩ පිළිවෙළක් දියත් කළේය. ඔහු මධ්‍යම කාරක සභාවේ හා බෝල්ෂේවික්වරුන්ගේ ශාන්ත පීටර්ස්බර්ග් කමිටුවේ වැඩ කටයුතු මෙහෙයවීය. පක්ෂ රැස්වීම්, සම්මන්ත්‍රණ හා මහජන රැස්වීම් ඇමතීය. රුසියාවේ සෑම ප්‍රදේශයකින්ම පැමිණි පක්ෂ ක්‍රියාකාරීන් මුණගැසුණි. ඔහු සංස්කරණය කළ හා කළමනාකරණය කළ නීත්‍යානුකූල “බෝල්ෂේවික් නෝවයා ෂිස්න්” (නව ජීවිතය) පුවත්පතට බොහෝ ලිපි ලිවීය. ඔහුගේ චතුර හා ගැඹුරු ලිපි පක්ෂ සංවිධානවලට ඒවායේ එදිනෙදා වැඩ කටයුතුවලදී මඟ පෙන්වීය.

එම්. තාරික්