විමුක්ති ගී හැදී වැඩී පෝෂණය වූ වකවානුව වූයේ 1971 කැරැල්ලේ ධවල භීෂණයයි. පොළෝ තලය වෙඩි හඬින් කම්පිත වෙද්දී වනාන්තරගත වූ සහ සිරගත කළ කැරලිකරුවෝ මහත් විප්ලවීය උණුසුමින් රණකාමී ගීත ගායනා කළෝය. ඔවුන්ගේ වාදන භාණ්ඩයන් වූයේ තබ්ලාව වෙනුවට බෙලෙක් තැටි සහ ජෝගුය. ස්නානය සඳහා ලබාදුන් ටින් ද වතුර බීමට දුන් බෙලෙක් අඬු කෝප්ප ද, ලී සහ ගල් කැබලි ද සෙසු වාදන භාණ්ඩයන් අතර විය. මියුරු සංගීතය වෙනුවට ගෝරෝසු කටහඬවල් රැසකි. පසු කාලයේ ප්‍රසංග වේදිකාවේ සුවිශේෂි පෙරළියක් ඇති කළ විමුක්ති ගී සමුච්චය එදා උපත ලද්දේ සිරකුටි තුළ පැවැත් වූ එම සමරු ගී වැඩසටහන් තුළිනි. විමුක්ති ගී ගායනා කළේ සැබෑව සහ බොරුව අතර ඇති වෙනස එළිදැක්වීම උදෙසාය. ජවිපෙ සමාජවාදී කලා සංගමය පවසන පරිදි නොඑසේනම් එය ගායනා කළ යුතු නැත. වාදනය කළ යුතු ද නැත.
 
බලාපොරොත්තුවේ දහසක් සිතුවිලි පැතු සිහින හෙට සැබෑ කෙරෙනු ඇතැයි තේමා දැක් වූ විමුක්ති ගී සමුච්ඡයේ ආරම්භය ද දිගු කථාවකි. එහි සමාරම්භකයෝ එකම අරමුණක වූහ. හැත්තෑ එකේ කැරැල්ල මර්දනයෙන් පසු සමාජ දේශපාලන පරිසරය පිළිබඳව වඩාත් පුළුල් වැටහීමක් ලබාගත් සරසවි ශිෂ්‍ය ප්‍රජාව 1976/80 වකවානුවේ නව ජවයකින් පෙරට එමින් සිටියහ. කොළඹ සරසවි සිසූහුද එහි පෙරමුණේ වූහ. මහ ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයෙකු සහ කොළඹ සරසවියේ රාජ්‍ය මූල්‍ය හා අයබදු පිළිබඳ උපාධි අපේක්ෂකයෙකු වූ චන්ද්‍රා වාකිස්ට ද එහි නියමුවෙක් විය. නව ආරක ගී ප්‍රසංගයක් කොළඹ සරසවියේ පැවැත්වීම ඔහුගේ අරමුණ විය.

 

 

තමා විසින් ලියූ ගීත 20ක් රැගෙන ගුවන් විදුලි සංස්ථාවට ගොස් සංගීත ශිල්පී ගුණදාස කපුගේ හමු වූ චන්ද්‍රා වාකිස්ටට ඉහළම පිළිගැනීමක් ලැබිණි. ස්වේච්ඡාවෙන් සම්පූර්ණ සහාය දීමට කපුගේ එකඟ විය. ගීත ගායනා කිරීමට සරසවි සිසුන් 30ක් ඉදිරිපත් වූහ. සංදර්ශනයට අවශ්‍ය කටයුතු කිරීමට සිසුහු මාසිකව ලැබුණු ශිෂ්‍යාධාර වෙනුවෙන් ලැබූ 180න් රුපියල් 50ක් පරිත්‍යාග කර පෙරදිග සංගීත කවය සංවිධානය ගොඩනැගුහ. නීති, වෛද්‍ය, කලා සහ විද්‍යා අධ්‍යාපන යන පීඨ වලින් විශාල සිසු සිසුවියන් පිරිසක් සම්මුඛ පරීක්ෂණවලට පැමිණි අතර ඔවුන් අතරින්ම දක්ෂතම දස දෙනෙක් නව කලාගාරයේ දී ගුණදාස කපුගේ ගේ මූලිකත්වයෙන් සහ මහා ශිෂ්‍ය සංගමයේ මැදිහත්වීමෙන් තෝරා ගැනිණි. උපකුලපති මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර ගෙන්ද විවිධ තහංචි මැද තල්ලුවක් ද ලැබිණි. ‘උතුරු කොණේ නුඹ හිනැහෙන්’ ගීතය මුලින්ම එම ප්‍රාර්ථනා ගීත සංදර්ශනයේ දී ගැයුවේ තුල්හිරිය පේෂකර්ම කම්හලේ 1978 වැඩ වර්ජනයෙන් රැකියාව අහිමි වූ තිලක් ඉද්දමල්ගොඩය. ඉන්පසු එය ගුණදාස කපුගේ විසින් තෝරාගෙන ගුවන් විදුලි ගීයක් බවට පත්කළ අතර පසුව එම ගීය ගුණදාස කපුගේ විසින්ම ගායනා කළේය. මෙම විමුක්ති ගී බාහිර සමාජයේදී පළමුවෙන් ප්‍රසිද්ධියට පත්වූයේ කොළඹ නව නගර ශාලාවේ 1978 ජූලි 18 කියුබාවේ මොන්කාඩෝ ප්‍රහාරය සැමරීම සඳහා ජවිපෙ පැවැත් වූ සම්මන්ත්‍රණය අවසානයේ ඉදිරිපත් කිරීමෙනි.


විමුක්ති ගී ප්‍රසංගයක් පිළිබඳව මූලික අදහස ඇතිව ජවිපෙ 1977 අවසාන භාගයේ සිට කටයුතු කළ අතර ජයරත්න ගමගේ ඇතුළු ජවිපෙ ක්‍රියාකාරිකයන් පිරිසක් මහරගම වත්තේ ගෙදර බෝඩිමකට පැමිණ චන්ද්‍රා වාකිස්ට හමුවී තවත් ගීත කිහිපයක්ම විමුක්ති ගී ඇරඹීම සඳහා ලියා ගත්හ. රටේ තිබුණු වාතාවරණය නිසා කිසිම තැනක ගීත රචකයා ලෙස තම නම සඳහන් නොකරන ලෙස ද චන්ද්‍රා වාකිස්ට ඉල්ලා සිටියේය. ‘උතුරු කොනේ නුඹ හිනැහෙන් නඩරාජා මල්ලියේ’, ‘කෝම්පිට්ටු ඉඳිලා ද පුතුනේ මගේ කුසේ ගිනි නෑ’, ‘කම්හල ගොවිපළ ඇතුළේ නිති කල්ගෙවනා’, ‘ගොවිපළෙන් අර ඇහෙන්නේ උදලු හඬ නොවේ’, ‘ඇල්මෙන් අකුරු කෙරුවේ නුඹ මොටද පුතේ’ ආදී ගීත විමුක්ති ගී ප්‍රසංගයේ සමාරම්භක ගීත කිහිපයක් ලෙස එකතු වූයේ එසේය. අරගලය මුවහත් කිරීමට පද රචනා කරමින් සුවිශේෂි නිර්මාණකරුවෙකු ලෙස විමුක්ති ගී සඳහා සිය ශ්‍රමය සමාජමය අවශ්‍යතා වෙනුවෙන් ලබාදෙමින් කටයුතු කළ චන්ද්‍රා වාකිස්ට බැංකු නිලධාරියෙකු වශයෙන් පසු කලෙක විශ්‍රාම ගත්තේය.

 

 

ජවිපෙ සමාජවාදී කලා සංගමය මගින් කතරගම ප්‍රේමවතී මනම්පේරි සිද්ධිය අළලා ‘මිලාන වූ මලක් නොවේ’ නමින් නාට්‍යයක් ද නිෂ්පාදනය කරනලදී. ජවිපෙ හිතවතෙකු වූ ප්‍රවීණ නාට්‍ය ගුරුවරයෙකු වන ප්‍රේමකුමාර කරුණාරත්න එහි අධ්‍යක්ෂකවරයා විය. ප්‍රධාන නළු නිළියන් වූයේ බුද්ධදාස විතානාරච්චි සහ හේමමාලා සුදසිංහය. එය සමාජවාදී කාන්තා සංගමයේ මංගල මහා සමුළුව 1982 ජනවාරි 6 සහ 7 පැවති කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ සමාරම්භක සැසිවාරයේදී වේදිකා ගත විය. එහෙත් එම නාට්‍යය ප්‍රසිද්ධ වේදිකාවේ රඟ දැක්වීම රජයේ නාට්‍ය අනුමණ්ඩලය මගින් තහනම් කිරීම හේතුවෙන් ප්‍රසිද්ධ වේදිකාවක ප්‍රදර්ශනය කිරීමට නොහැකි විය. විමුක්ති ගී ද ජවිපෙ ප්‍රධාන ලේකම් ලයනල් බෝපගේ ගේ මූලික වගකීම මත සමජවාදී කලා සංගමයේ ඉදිරිපත් කිරීමක් විය.
විමුක්ති ගී මංගල දර්ශනය 1978 දී නව නගර ශාලාවේ දී පැවත්විණි. එය පැය 3 ක් පුරා දිවෙන ගී සමුච්චයකි. ජවිපෙ තහනමට ලක් වූ 1983 ජුලි දක්වා විමුක්ති ගී ප්‍රසංග රට වටේ පවත්වමින් ගායනා කිරීමට වරින්වර ප්‍රධාන වශයෙන් ශිල්පි ශිල්පිනියෝ රැසක් දායක වූහ. ඒ අතර ජවිපෙ ලේකම් ලයනල් බෝපගේ, සුනිලා අබේසේකර. නන්දන මාරසිංහ, බුද්ධදාස විතානාරච්චි, චිත්‍රා මුදලිගේ. අයිරාංගනී මාලනී, තිලක් ඉද්දමල්ගොඩ, හාරිස්පත්තුවේ ගනකධාර, නුවර නෝමන් පෙරේරා, අශෝක ජයවර්ධන, ජයතිලක ගමගේ. සමන්මලී වගආරච්චි, නයනා සුමතිපාල, මාලනි බුලත්සිංහල, ලක්ෂ්මන් විජේසේකර ඇතුළු කිහිපදෙනෙක්ම වූහ. ප්‍රවීණ සංගීත ශිල්පී රෝහණ වීරසිංහයන් ඇතුළු ස්වාධීන කලා ශිල්පීහු පිරිසක් ද විමුක්ති ගී සාර්ථක කරගැනීමට දායක වූහ. නන්දන මාරසිංහ තබ්ලාද, ජයතිලක බණ්ඩාර සිතාර්ද, නිමල් ආටුගොඩ බටනලාද, ජයසේන කඹුරුගමුව බෙර වාදනයෙන්ද, ප්‍රසන්න සහ රනිල් අබේසේකර ගිටාරයෙන්ද විමුක්ති ගී ඉදිරි ගමනට අතහිත දුන් පිරිස අතරින් කිහිපදෙනෙකි. නව කලාකරුවන් සහ කලා රසිකයින් රැස්කර ගැනීමට ද ජවිපෙ පණිවිඩය රටට ගෙන යමින් ජනතාව ආකර්ෂනය කරගැනීමටද විමුක්ති ගී සුවිශේෂි බලපෑමක් කළේය.


විමුක්ති ගී සමුච්චය තුළ ගීත අතර අපගෙන් ගිලිහුන යුතුකම් රැකුමට, අතීත රණ ගී නිධානයයි. දස මසක් මා කුස දැරූ, දෙරණ තලයේ. දෑතේ වීරියෙන් මා පදිනා පාරුවෙන්, එක ලොවක දෙලොව දෙස, ජාත්‍යන්තර ගීතය, කඳ දෙව් රජුනේ, කඳුයාය මත, කම්හල ගොවිපල ගොවිපළ ඇතුළේ නිති කල්ගෙවනා, ආගිරි ගගා පෙත්තා කරකැවෙන්නේ. ගොවිපළෙන් අර ඇහෙන්නේ උදලු හඬ නොවේ. කොම්පිට්ටු ඉදිලා. ලැබූ රණ ගොස දෙරණ පතුරා, ලොව හිමිකරුවෝ අපි, මහමෙර උසට, මනම්පේරි සොයුරියේ. මිහිරි සිසිල් මදනලේ, නව ගී රණ ගී, පොළෝ ගැබේ මිණි කැට දිලූනේ, රතු බල පෙන්වව් රතු ධජ නංවව්, රෑන් රෑන් කුරුලු රෑන්. රිවි කැල්මෙන් සඳ කැල්මෙන්. රුපුන් සමඟ සටන් වැදී, සාදා සමරමු සොහොයුරෝ, සමන් වලා ගිරි මුදුන උඩින්, සති පූජා දර සෑයේ, ඇල්මෙන් අකුරු කෙරුවේ නුඹ මොටද පුතේ, සොමි සඳ වන් මුව කමල, උතුරු කොනේ නුඹ හිනැහෙන්, උතුරු කොනේ (දෙමළ), විල්ලූද සළු සඳලූ තලේ, වේලූපිල්ලේ අයියා (දෙමළ) වේලූපිල්ලේ අයියා, වැල්ලේ ඇටසැකිලි ඇතුළු ගීත කිහිපයක්ම විය.
ප්‍රසංගය කොළඹ රාමක්‍රිෂ්ණ ශාලාව, ත්‍රිකුණාමලය, නුවර, ගාල්ල, යාපනය, අනුරාධපුර, මහනුවර, ගාල්ල, මාතර, හම්බන්තොට, නුවර, මොණරාගල ඇතුළු ස්ථාන 150ක දී පමණ පැවැත් වූ බවට වාර්තා විය. සිය වැනි ගී ප්‍රසංගය 1980 ඔක්තෝබර් 3 සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති අතර එය පැවැත්වූයේ 80 ජුලි වර්ජකයන්ට ආධාර පිණිසය. සියවැනි ප්‍රසංගයට සහභාගි වූ ශිල්පීන්ට විශේෂ සමරු තිළිණ ප්‍රදානයක්ද සිදුවිය. කොළඹ දී සහ කිහිප තැනක දී හැර අන් සෑම තැනකම ප්‍රදර්ශනය නොමිලේ පැවැත්විණි. ජවිපෙ ප්‍රසිද්ධ රැස්වීම් සහ මැයි දින සැමරුම් අවසානයේදීම ප්‍රසංග තිබිණි.


ප්‍රසංගය සඳහා නවීනතම සංගීත උපකරණ සහ ශබ්දවාහිනී යන්ත්‍රද 1982 දී ලැබී තිබිණි. සංගීත භාණ්ඩ ගෙන්වන ලද්දේ සිංගප්පූරුවෙනි. එකල ඉරාන සහ ඉරාක යුද්ධය පැවති අතර ඉරාකයට පක්ෂව ජවිපෙ මගින් රටපුරා ප්‍රචාරක ව්‍යපාරයක් දියත් කළ අතර ඒ සඳහා ලැබුණු මුදලින් කොටසක් මේ සඳහා යොදාගනු ලැබුවේ යැයි කියති. කුලය මගින් ජනතාව විසන්ධි කිරීමට පෙර ආගම් මගින් ජනතාව වෙන් කිරීමට පෙර දේශපාලනය මගින් ජනතාව බෙදීමට පෙර ධනය මගින් ජනතාව වර්ග කිරීමට පෙර සියල්ලන්ම මනුෂ්‍යයෝ බව විමුක්ති ගී මගින් අවධාරණය කළේය. 
විමුක්ති ගී ප්‍රසංග පැවැත්වීම සඳහා අදාළ ප්‍රදේශයේ ජවිපෙ සංවිධායකයන් පැමිණෙන පිරිසට ආහාර පාන, නවාතැන්, ප්‍රවාහන වියදම් සොයා දෙන බැවින් එතරම් ගැටලුවක්ද නොවීය. මිනිසුන්ගෙන් ජීවත්වීමේ සාංඝික ක්‍රමවේදය විජේවිර ගේ දර්ශනය මගින් ජවිපෙ ක්‍රියාකාරින්ට කාවද්දා තිබිණි. රජරට ගොවියෝ හාල්ද, හම්බන්තොට ගොවියෝ වට්ටක්කාද, පුත්තලමේ ධීවරයෝ කරවල ද, වැලිමඩ ගොවියෝ අල ද, යාපනය ගොවියෝ ලූණු ඇතුළු ප්‍රදේශවලට ආවේණික කල්තබා ගතහැකි බොහෝ දෑ කණ්ඩායමට පරිත්‍යාග කළහ. නවාතැන් වූයේ සංවිධායකයන්ගේ සහ හිතවතුන්ගේ නිවෙස්ය. සියලු ශිල්පීන් දායකත්වය දැක්වූයේ ස්වේච්ඡාවෙනි. දකුණු පළාතේ සංචාරවලදී පමණක් විජිත රණවීරගේ නිවසේ පිහිටි ජවිපෙ පක්ෂ පාසලෙන් පහසුකම් සැපයිණි. මුල් කාලයේ විමුක්ති ගී කණ්ඩායමේ ශිල්පීහු අදාළ ප්‍රසංග සඳහා ගියේ පොදු බස් රථයෙන් සහ දුම්රියෙනි.


නන්දා මාලනීගේ සත්‍යයේ ගීතය සහ පවන, එඞ්වඞ් ජයකොඩිගේ ගී ප්‍රසංග, ජයතිලක බණ්ඩාරගේ සාධු ජනරාව ඇතුළු පසුකාලීන ප්‍රසංගයන් සමාජ විරෝධාකල්ප ප්‍රවේශය උකහාගත්තේ විමුක්ති ගී තුළිනි. එතෙක් රටේ බොහෝ ගායකයින් ගායනා කළේ ආදරය, විරහා වැනි බයිස්කෝප් ගීත වන අතර සමස්ත ගායකයින්ටම සමාජ පීඩනයන් ගැන සිය නිර්මාණ එළිදැක්වීමට විමුක්ති ගී පූර්වාදර්ශයක් විය. පීඩිතයින් බිහිවන්නේ කර්මය හෝ දෛවය අනුව නොව සමාජ ක්‍රමයේ ඇති විෂමතාව බව එමගින් පැහැදිලි කළේය. නන්දා මාලනී වරෙක පවසා සිටියේ තම සමාජ විරෝධාකල්ප ගීතයන්හි ඇති එකම වෙනස තමන්ගේ ගීතවල ඇති සෞන්දර්යාත්මක ඉදිරිපත් කිරීම බවත් විමුක්ති ගී තුළින් ශ්‍රාවකයාට අණ කිරීමක් සිදුවුවද තමන්ගේ ගී වලින් සිදු කෙරෙනුයේ ශ්‍රාවකයා ඥානනය කිරීමක් බවය.
රංගනයට, ගායනයට සහ සංගීතයට මනා හැකියාවක් සහ කුසලතාවයක් පෙන්වූ සුනිලා අබේසේකර කොළඹ 7 බිෂොප් විද්‍යාලයේ ආදිශිෂ්‍යාවක් වූ අතර විමුක්ති ගී ශිල්පීන් අතර ආකර්ෂණීය ගායිකාවක් වූවාය. රාජ්‍ය සිවිල් නිලධාරියෙකු, වාම ක්‍රියාකාරිකයෙකු සහ මර්ජ් ඇතුළු රාජ්‍ය නොවන සංවිධානවල පුරෝගාමියෙකුවූ චාල්ස් අබේසේකර ගේ දියණිය වූ සුනිලා 1952 දී උපන් අතර ජවිපෙ සමග 1977 සිට සම්බන්ධ වූවාය. කේමදාස සංගීත මංජරියේ හැත්තෑව දශකයේ ආරම්භයේ සිටම මුල් පෙළේ ගායිකාවක් වූ ඇය හංස විලක් චිත්‍රපටයේ ‘හෙමින් සැරේ පියා විදා’ ගීතයත් බඹරු ඇවිත් චිත්‍රපටියේ ’උදුම්බරා - හදුනාගත්තොත් ඔබමා’ ගීතයත් ගායිකාවක වශයෙන් සංගීතමය භුමිකාවේ ඇය කළ නිරූපණය හඳුනාගැනීමට ප්‍රමාණවත්ය.

 

 

හැත්තෑව දශකයේ රැඩිකල් වාම දේශපාලනයේ පිබිදීමත් සමග ජවිපෙ විමුක්ති ගී ප්‍රසංගයේ ගායිකාවක් බවට 70 දශකයේ අග භාගයේදී සුනිලා අබේසේකර පත්වූවාය. ඉහළ සහ පහළ මැද පන්තියේ කලාකාමී කොටස් වලට පමණක් නොව ඉංග්‍රීසි පුවත්පත්වල කලා විචාරකයින්ටද එය මාතෘකාවක් බවට පත්විය. සුනිලා අබේසේකර විමුක්ති ගී තුළින් 1980 ඉවත්වීමත් සමගම ලෙනින්ගේ ගීතය වැනි ඇතැම් ගීත ගායනා කිරීමට වෙනත් කිසිදු ආදේශකයක් සොයාගැනීමට පවා අසීරු විය. අසූව දශකයේදී ලාංකේය ස්ත්‍රීවාදී නායිකාවක් බවට පත්වූ සුනිලා, නිර්ප්‍රභූ සමාජ දේශපාලන ක්‍රියාධරයන්ගේ පාර්ශවය නොව එක්සත් ජාතීන්ගේ සංවිධානයට සමීප සමාජ සේවා වෘත්තිකයින්ගේ ලෝකය නියෝජනය කරමින් සිටියදී 2013 සැප්තැම්බර් 9 සිය ජීවන රඟ මඬලින් සදහටම නික්ම ගියාය.


ශ්‍රී ලංකාවේ ප්‍රසංග වේදිකාවන්හි නිවේදන කටයුතු ප්‍රාණවාචී ගැඹුරු හඬකින් සටහන් කිරීමේ පුරෝගාමියා බවට පත්වූ විමුක්ති ගී ප්‍රසංගයේ පූරකවරයා වූයේ බුද්ධදාස විතානාච්චිය. දෙමළ නිවේදකයා වූයේ ජවිපෙ හිතවතෙකු වන ගුවන් විදුලි සංස්ථාවේ සේවය කළ ශිවරාම් සහ සීතාරානිය. විමුක්ති ගී ආරම්භයේ සිට සෑම ප්‍රසංගයකටම එක්වූ ඔහු ජවිපෙ කොළඹ දිස්ත්‍රික් සංවර්ධන සභා මන්ත්‍රීවරයෙක් වූ අතර හෝමාගම ආසනයේ ජවිපෙ සංවිධායකවරයා ද විය. කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වූ බුද්ධදාස 1947 ජුනි 30 උපන් අතර පවුලේ සහෝදර සහෝදරියන් 6 දෙනෙකි.


ජයවර්ධන ආණ්ඩුව මගින් බුද්ධදාස විතානාච්චි, නීතීඥ සමන් වික්‍රමබන්දු ඇතුළු ජවිපෙ ක්‍රියාකාරීකයින් 126 දෙනෙකු 1987 ජුනි 27 රටපුරා කළ මෙහෙයුමකදී එක් රැයකින් අත්අඩංගුවට ගත් අතර පසුව මැගසින් බන්ධනාගාරයේ රඳවන ලදී. එයට හේතු වූයේ ඉන්දු - ලංකා ගිවිසුම 1987 ජූලි මස 29 අත්සන් කිරීමට රජය ගත් තීරණයත් සමගම එයට එරෙහිව මතුවන විරෝධතා, උද්ඝෝෂණ මැඩ පැවැත්වීමය. පසුව බුද්ධදාස 1988 ඔක්තෝබර් 11 නිදහස් කළ අතර ඔහු 1988 ඔක්තෝම්බර් 18 පැවැති කොළඹ දිස්ත්‍රික් සංවර්ධන සභා රැස්වීමටද සහභාගී විය. රාජ්‍ය භීෂණයට ධවල භීෂණයැයි කියා ප්‍රථමවරට හැඳින්වූයේ විමුක්ති ගී මගිනි. ධර්මසිරි බණ්ඩාරනායක ගේ නාට්‍යය පවා එනමින් හැඳින්වූයේ ඉන් පසුවය.

 

 

 

 

 

 

 

මතු සම්බන්ධයි.