මෙරට මැතිවරණ ඉතිහාසයේ දින තුනක් තුළ පැවැත් වූ එකම මහ මැතිවරණය ලෙස සැලකෙන්නේ 1956 දී පාලක එක්සත් ජාතික  පක්‍ෂයට අභියෝග කරමින් නවක ශ්‍රීලනිපය ඇතුළු මහජන එක්සත් පෙරමුණ තරග වැදුණු මැතිවරණ සටනයි.
 
ජාතික නිදහස සඳහා විශාල වැඩ කොටස්  කළ බව සඳහන් එක්සත් ජාතික පක්‍ෂයේ ධනවාදී ප්‍රතිපත්තියට එරෙහිව ආණ්ඩුවෙන් එළියට පැමිණි එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක අමාත්‍යවරයා පිහිටු වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නමින් නව ජන බලවේගයක් තුළින් මෙම මැතිවරණයට මුහුණ දුන්නේය. බණ්ඩාරනායක චින්තනය කෙරෙහි වඩාත් අවධානයක් යොමු කළේ එතෙක් එක්සත් ජාතික පක්‍ෂයේ ධනවාදී ප්‍රතිපත්තියට එරෙහිව සටන් කළ ප්‍රධාන විපක්‍ෂය වූ ලංකා සමසමාජය ඇතුළු වාමාංශික කඳවුරයි.
සිංහල රාජ්‍ය භාෂාව කරන බවටත් බුදුදහමට ප්‍රධාන තැන දෙන බවටත්, පොඩි මිනිහාගේ යුගයක් නිර්මාණය කරන බවත් විදේශීය බලවේගයන්ට යටත් නොවන කෘෂිකර්මාන්ත ප්‍රතිපත්තියක් බිහිකරන බවටත් පොරොන්දු වූ මහජන එක්සත් පෙරමුණ වටා සඟ වෙද ගුරු ගොවි කම්කරු ජනතාව විශ්වාසයෙන් යුතුව රොද බැඳ ගත්හ. සේනානායක, කොතලාවල, පරම්පරාවල දේශපාලනඥයන්ට පමණක් නොව සර් ඔලිවර් ගුණතිලක වැනි රදල ප්‍රභූ පරම්පරාවලට ද මෙම ඡන්ද සටන ප්‍රබල අභියෝගයක් විය. නිදහසින් පසු ශ්‍රී ලංකාව කෙබඳු අයුරින් හැසිරේදැයි ලොවම බලා සිටියේය. 
 
1956 මහ මැතිවරණය පැවැත්වූයේ එක් දිනක් තුළ නොව දින 3ක් තුළය. අප්‍රේල් මස 05 වැනිදා ආසන 42 වෙනුවෙන් ද 07 වැනිදා ආසන 23ක් වෙනුවෙන් ද අප්‍රේල් මස 10 වැනිදා ආසන 30 සඳහා ද වෙන වෙනම ඡන්දය විමසන ලදී. මෙම මැතිවරණයේ දී කලකෝලහාල හා ලේ වැගිරීම් බොහොමයක් සිදුවනු ඇතැයි බලාපොරොත්තු වුවද පොලිසිය නීතිය අකුරට ඉටුකිරීම නිසා ඡන්දදායකයන්ට නිදහසේ ඡන්දය භාවිත කිරීමට හැකිවීම විශේෂත්වයකි. 
 
කෝට්ටේ ආසනයේ දී එක් මහලු කාන්තාවක් ඡන්දය සලකුණු කර පෙට්ටිය තුළට දමා ඊට වැන්ද බව මාධ්‍ය වාර්තා කර තිබිණ. එය කුමන අරමුණකින් කළා ද යන්න පැහැදිලි නොමැති නමුත් ප්‍රජාතන්ත්‍රවාදය බේරා ගැනීමේ අන්තිම ඡන්දය මෙය බව වමේ වේදකාවේ දී පවසා තිබීම ඊට හේතුවිය හැකි” යැයි විචාරකයෝ කියති.
වෙනදා ටයිකෝට් ඇඳ පයිප්පය දල්වාගෙන මෝටර් රියේ පසුපස අසුනේ ඉංග්‍රීසි පුවත්පතක් බලමින් යන බණ්ඩාරනායක මහතා  සුදු ජාතික ඇඳුමින් සැරසී රදල පරපුරට එරෙහිව සටන් වදින හැටි ජනතාව බලා සිටියේ  විමතියෙනි.
 
අප්‍රේල් 05 වැනිදා සිට 10 වැනිදා දක්වා මුළු සිරිලකම ඡන්ද ගින්නෙන් ඇවිළී ගියේය. පරණ පුරුදු මැර බලය හා ධන බලය පෙන්වීමට පාලකයන්ට ඉඩක් නොතබාම ජන බලය දස දිසාවේම නැගී සිටියේය.
 
අද මෙන් එදා විද්‍යුත් නාළිකා හෝ වර්ණවත් පත්තර කලාවක් නොවීය. ගුවන්විදුලිය, ලංකාදීප, දිනමිණ ආදී පුවත්පත් කළු සුදු වර්ණයෙන් සැදී පැහැදී අලුත් ජනබලවේගයේ අලුත් තොරතුරු ජනතාවට ගෙන ආවේය. මැතිවරණය පැවති දින තුනේම සමිති සමාගම්වල ජනතාව වැල නොකැඩී ඡන්ද පාවිච්චි කළ අතර ජයග්‍රහණය ද ඔවුන් සතුවිය. 
 
“මහජනයා අතින් තද පහරක් වැදුණේ 
මරහඬ දී ගෙනයි අලියා ඇද වැටුණේ”
 
එක්සත් ජාතික පක්‍ෂයේ දරුණුතම පරාජය ගැන 1956 අප්‍රේල් මස 07 වැනිදා ලංකාදීප පුවත්පතේ ජී. එස්. ප්‍රනාන්දුගේ කාටූනය සමග මෙම කවි දෙපදය පළවිය. අගමැති සර් කොතලාවල අලියා පිටින් විසිවී වැටෙන  අයුරු එහි නිරූපිතය. “අලි  වැඬේ” කාටූනයේ මාතෘකාව විය. අප්‍රේල් 10 වැනිදා මහජන එක්සත් පෙරමුණෙන් කැලණිය සහ දඹදෙණිය අසුන් දෙකට තරග කර ජයග්‍රහණයක් ලැබූ ආර්. ජී.  සේනානායකට ඊට දින 04කට පෙර සංවේදී අත්දැකීමකට මුහුණපෑමට සිදුවිය. 
 
ඒ තම සදාදරණීය මෑණියන්ගේ අභාවයයි. දේශප්‍රේමී ජනනායකයකු වූ එෆ්. ආර්. සේනානායකයන්ගේ ආදරණීය බිරිඳ වූ ඇය ආර්. ජී. උපාලි හා තිස්ස යන දරුවන් තිදෙනාගේ මව වූ අතර ඡන්ද සටන සඳහා තම පුතණුවන්ට ධනය හා ශක්තිය සැපයුවේ ද ඇයයි. 
 
කොළඹ 07 ග්‍රාස්මියර් නිවසේ තැන්පත් කර තිබූ දේහයට ජයග්‍රාහී පරාජිත බොහෝ දේශපාලනඥයෝ පැමිණ ගෞරව දැක්වූහ. එම දින කිහිපය තුළ අවසාන රැස්වීම් කිසිවක් නොපවත්වන බව ආර්. ජී. නිවේදනය කළේය.
 
මේ අතර අවිස්සාවේල්ල වමේ බළකොටුව  වෙනුවෙන් 10 වැනිදා සටන් වදින පිලිප් ගුණවර්ධන සහෝදරයා පෙරටු කරගත් පෙළපාළිය 8 වන ඉරිදා අවිස්සාවේල්ල ආසනයේ 26 පොළක සැරිසැරීය. 10 වැනිදා දෙවැනි දින මැතිවරණයේ ආසන 30ක් සඳහා පැවැත්වුණු අතර වැඩිම ඡන්ද ගත් බණ්ඩාරනායක මහතාගේ ඡන්ද මායිමට පැමිණීමටවත් තරග කළ අනික් දෙදෙනාට නොහැකි වූ අතර ඔවුන්ගේ ඇප රාජසන්තක විය. එසේම ගම්පහ අසුන දිනූ ඇස්. ඩී. බණ්ඩාරනායක මහතාගේ ප්‍රතිවාදීන්ගේ ද ඇප රාජසන්තක වීම විශේෂ සිද්ධියකි. ඇස්. ඩී. බණ්ඩාරනායක මහතාගේ වැඩි ඡන්ද ගණන 29,872කි. 
අලුත් පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරු 95 දෙනෙක් තේරී තිබුණ අතර මහජන එක්සත් පෙරමුණින් 51 දෙනෙක් ද සමසමාජ පක්‍ෂයෙන් 14 දෙනෙක් ද පෙඩරල් පක්‍ෂයෙන් 10 දෙනෙක් කොමියුනිස්ට් පක්‍ෂයෙන් 03 දෙනෙක් ද ද්‍රවිඩ සංගමයෙන් එක් අයෙක් ද ස්වාධීනව 08 දෙනෙක් ද ඊට අයත් වූ අතර බලයේ සිටි එක්සත්  ජාතික පක්‍ෂයෙන් තේරී තිබුණේ 08 දෙනෙකි.
 
මහජන එක්සත් පෙරමුණට ශ්‍රීලනිපය ද අයත්ව තිබූ අතර එම පක්‍ෂයෙන් වැඩි ඡන්ද ගණන ලබා තිබුණේ අගමැති බණ්ඩාරනායක මැතිඳුය. ඒ අත්තනගල්ල ආසනය වැඩි ඡන්ද 41,997 කිනි. සම සමාජ පක්‍ෂයෙන් පාණදුර නියෝජනය කළ ලෙස්ලි ගුණවර්ධන වැඩි ඡන්ද 18,330 ක් ලබා එම පක්‍ෂයේ මුල්තැන දිනා ගත්තේය. කොමියුනිස්ට් පක්‍ෂයේ පීටර් කෙනමන් වැඩි ඡන්ද 18,784 කින් මැදකොළඹ අසුන ජය ලැබීය.
ෆෙඩරල් පක්‍ෂයේ වැඩි ඡන්ද ගෙන තිබුණේ කයිට්ස් අසුන නියෝජනය කළ වී. ඒ. කන්දයියා විසිනි. ද්‍රවිඩ සංගමයෙන් තේරුණු එකම මන්ත්‍රීවරයා වූ යාපනය අසුන නියෝජනය කළ ජී. ජී. පොන්නම්බලම් වැඩි ඡන්ද 1741 කින් ජය ලැබීය.
 
ලංකා මැතිවරණ ඉතිහාසයේ නව වාර්තාවක් තබමින් ඩඞ්ලි සේනානායක මැතිඳුන්ගේ ඥාති සොහොයුරු ආර්. ජී. සේනානායක තරග කළ දඹදෙණිය අසුන වැඩි ඡන්ද 24,907 කින් ද කැලණිය  අසුන වැඩි ඡන්ද 22,856කින් ද ජයග්‍රහණය ලැබීය.
මෙතෙක් රදල පැලැන්තියේ නියෝජනයකින් යුතු වූ එක්සත් ජාතික පක්‍ෂයට තම පරාජය වසා ගැනීමට ඉඩ ලැබුණේ ආසන 8ක් බේරා ගැනීමෙනි. .
 
 
 
 
 
එජාප නායකත්වය දැරූ සර් ජෝන් කොතලාවල දොඩන්ගස්ලන්ද අසුන රැක ගත්තේ වැඩි ඡන්ද 8274 කින්ය. 
ලංකාදීපය කැබිනෙට්ටුව පත්වූ එකම කාන්තා නියෝජනය වූ සෞඛ්‍ය ඇමතිනිය විමලා විජයවර්ධන හැඳින්වූයේ ලංකා විජයලක්‍ෂමී නමිනි. 
අත්තනගල්ල අසුනට බණ්ඩාරනායක මහතාගේ ප්‍රතිවාදියා වූයේ ඒ. වී. ඩබ්ලිව්. සෙනෙවිරත්නය. ගම්පහ දී එස්. ඩී. බණ්ඩාරනායක මහතාගේ ප්‍රතිවාදියා වූයේ එජාපයේ ජේ. ඩී. පී. පෙරේරාය. මීරිගම දී විමලා විජේවර්ධන මහත්මියගේ ප්‍රතිවාදියා වූයේ ඇස්. ඩී. අමරතුංගය. දඹදෙනියේ දී ආර්. ජී. ගැටුණේ ඒ. ජී. පියදාස සමගය. ආර්. ජී. කැලණියේ දී සටන් වැදුණේ එසේ මෙසේ කෙනෙකු සමග නොවේ.
 
පරාජිත ගොන්නට එකතු වූ එජාප දැවැන්තයා වූයේ ජේ. ආර්. ය. ආර්. ජී. ස්වාධීනව තරග කළ ඔහු ඡන්ද 37,028 ක් ගන්නා විට ජේ. ආර්. ට හිමිවූයේ ඡන්ද 14,187 කි. මේ අතර දෙවැනි විධායක ජනාධිපති වූ රණසිංහ ප්‍රේමදාස මෙම මැතිවරණයේ දී සටන් වැදුණේ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා සමගය. 
රුවන්වැල්ල  අසුනෙන් ඇන්. ඇම්. ඡන්ද 14,083 ක් ලබන විට ප්‍රේමදාසයන්ට හිමිවූයේ ඡන්ද 7855 කි. ඩඞ්ලි සේනානායක මෙවර දැදිගම අසුනට  තරග නොකළ අතර විමලා කන්නන්ගර පරදා ඇම්. පී. හේරත් අසුන දිනීය.
 
ආනන්ද තිස්ස ද අල්විස් ලංකා සමසමාජයේ රොබට්  ගුණවර්ධනට පරාජය විය. මැදවච්චියේ මෛත්‍රීපාල සේනානායක සුපුරුදු පරිදි මැදවච්චිය දිනා ගත්තේ ඡන්ද 10,829 කිනි. එජාපයේ එස්. එච්. මහදිවුල්වැවට ලැබී තිබුණේ ඡන්ද  1269කි.
 
බොරලුගොඩ සිංහයා  ලෙස විරුදාවලි ලැබූ පිළිප් ගුණවර්ධන අවිස්සාවේල්ල අසුනින් ඡන්ද 30,070 ලබා එජාපයේ අපේක්‍ෂිකා ක්ලෝඩා ජයසූරිය මහත්මිය වැඩි ඡන්ද 22,752කින් පැරදවීය.
 
ද්‍රවිඩ සංගමයේ ජී. ජී. පොන්නම්බලම් යාපනය අසුනින් ඡන්ද 8914 ක් ලබා පෙඩරල් පක්‍ෂයේ පතාක යෝධයකු වූ දොස්තර ඊ. එම්. වී. නාගනාදන් පැරද වීය. පෙඩරල් පක්‍ෂයේ ඒ. අමිර්තලිංගම් වඩුක්කොඩෙයි අසුන දිනුවේ කොමියුනිස්ට් පක්‍ෂයේ ඒ වෛත්‍යලිංගම් පරදවමිනි.
 
පාරම්පරික දේශපාලනයේ පතාක යෝධයන් බිම වැටෙද්දී බොදු පිළිවෙත අනුව නව ආණ්ඩුව දිවුරුම් දීමට සූදානම් විය. 
 
1956 අප්‍රේල් මස 12 වැනි බ්‍රහස්පතින්දා සවස 4.30ට අග්‍රාණ්ඩුකාරවරයා ඉදිරියේ දිවුරුම් දුන් අමාත්‍යවරුන් අතරින් වැඩිදෙනා ආනන්ද, නාලන්ද, ධර්මරාජ වැනි බෞද්ධ මහා විද්‍යාලවල අදි සිසුවෝය.
 
අප්‍රේල් මස 12 වැනිදා ‘ලංකාදීප’ එම ඇමැතිවරුන් හඳුන්වා තිබුණේ අපූරු අන්වර්ථ නාමවලිනි. ඒ මෙසේය.
 
දියසේන - අග්‍රාමාත්‍ය සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක (57) ගල්කිස්ස ශා. තෝමස් විදුහලේ ආදි සිසුවෙකි. ඔක්ස්පර්ඞ් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබීය. චතුර කථිකයෙකි. ලංකාදීප පුවත්පතට ද කෙටිකතා සහ ලිපි ලිවීය. අත්තනගල්ල අසුන දිනුවේ ඡන්ද 41,997 කින් වීම ලංකා වාර්තාවකි.
 
රජරට ගොවිරාල ලෙස ඉඩම් ඇමති චාල්ස් පර්සිවෙල් ද සිල්වා ද, දේශපාලන සිරකරු ලෙස ආහාර ඇමැති පිලිප් ගුණවර්ධන ද, ලේඛකයා මැයින් කම්කරු සමාජ සේවා සහ නිවාස ඇමැති ටිකිරි බණ්ඩා ඉලංගරත්න ද කට ඇති පුතා මැයින් අධ්‍යාපන ඇමැති විජයානන්ද දහනායක ද සිංහල මරික්කාර් නමින් තැපැල් හා ගුවන්විදුලි සේවා ඇමැති සී. ඒ. එස්. මරික්කාර්, නීතිරීති නිඝංඩුව ලෙස අධිකරණ ඇමැති රාජනීතිඥ ඇම්. ඩබ්ලිව්. එච්. ද සිල්වා ද කෙළින් මිනිසා ලෙස ගමනාගමන ඇමැති මෛත්‍රීපාල සේනානායක ද මූදු වීරයා ලෙස ධීවර සහ කර්මාන්ත ඇමැති පී. එච්. විලියම් ද සිල්වා ද තාත්තගෙ පුතා ලෙස මුදල් ඇමැති ස්ටැන්ලි ද සොයිසා ද ලංකාදීපය මගින් හඳුන්වා තිබිණි.
 
“මේ ශ්‍රී සම්බුද්ධ ජයන්තිය සමරණ යුගයේදීම සමෘද්ධිමත් රටක් ගොඩනැගීමට මම ප්‍රතිඥා දෙමි. අගමැති බණ්ඩාරනායක රැස්ව සිටි ජන සන්නිපාතය අමතා ප්‍රකාශ කළේය.
 
 
 
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
ඡායාරූපය අන්තර්ජාලයෙනි