අතුරු මැතිවරණ පුරාණයෙන්

1956 තුන්වැනි මහා මැතිවරණයට මහජන එක්සත් පෙරමුණු අපේක්ෂකයා වශයෙන් තරග කරමින් ප්‍රථම වරට ජාතික දේශපාලනයට පිවිසි සිරිමෙවන් ගොඩගේ මහතාගේ අභාවය හේතුවෙන් අනුරාධපුරය මැතිවරණ කොට්ඨාසය වෙනුවෙන් අතුරු මැතිවරණයක් පැවැත්වීමට සිදුවිය.

සිය පළමු ඡන්ද සටනේදීම මුළු ඡන්ද 7618ක් ලබාගත් සිරිමෙවන් ගොඩගේ මහතා පී. බී. බුලන්කුලම (එජාප) 5272 සහ ඩී. ඇම්. කුමාරසිංහ (ස්වාධීන) 131 පරදවා වැඩි ඡන්ද 2346න් ජයග්‍රහණය අත්කර ගත්තේය. පී. බී. බුලන්කුලම මහතා 1947 ඩී. ඇස්. සේනානායක රජයේ කෘෂිකර්ම ඇමැතිවරයාගේ පාර්ලිමේන්තු ලේකම්වරයා (උප ඇමති) ලෙස සේවය කළ අතර 1952 පිහිටැවූ එජාප රජයේ ඉඩම් අමාත්‍යවරයාද විය. 
ඉන්පසු පැවැත්වූ 1960 මාර්තු මහා මැතිවරණයේ කැපී පෙනෙන ලක්ෂණය වූයේ වාමාංශික පක්ෂ බෙදී තරග කිරීමත්, ඒ හේතුවෙන්ම සෑම ඡන්ද කොට්ඨාසයක් සඳහාම වැඩි පිරිසක් ඡන්ද අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වීමත්ය. ඒ අනුව අනුරාධපුරය ආසනයටද අපේක්ෂකයෝ අටදෙනෙක් ඉදිරිපත්ව සිටියහ. ප්‍රතිවාදී තරගකරුවන් හත්දෙනකු පරාජයට පත් කළ සිරිමෙවන් ගොඩගේ මහතා පහසුවෙන්ම ජය තහවුරු කර ගත්තේය. 1960 මාර්තු සහ 1960 ජූලි මැතිවරණවලදී ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූයේ එජාපයේ ඩී. පී. බී. මහදිවුල්වැව මහතාය. සිරිමෙවන් ගොඩගේ මහතා අවසන් වරට මැතිසබයට තේරී පත්වූ 1960 ජූලි මහා මැතිවරණයේ අනුරාධපුර ආසනයේ සමස්ත ප්‍රතිඵලය මෙසේය. සිරිමෙවන් ගොඩගේ (ශ්‍රී.ල.නි.ප - අත) 7352, ඩී. පී. බී. මහදිවුල්වැව (එ.ජා.ප - අලියා) 4367 වැඩි ඡන්ද සංඛ්‍යාව 2985 වශයෙනි. ටික දිනකින් ගොඩගේ මහතා මිය ගියෙන් අතුරු මැතිවරණයක් පැවැත්වීමට නියම විය. 1962 ජුනි 28 දින අතුරු මැතිවරණය පවත්වන බව අග්‍රාණ්ඩුකාර කාර්යාලය නිවේදනය කර තිබුණි.


ඒ දිනටම මුතූර් සහ වැලිමඩ යන ආසනවල අතුරු මැතිවරණද යෙදී තිබුණි. අතුරු මැතිවරණයේ තේරීම් භාර නිලධාරියා වශයෙන් කටයුතු කළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආණ්ඩුවේ ඒජන්ත නිශ්ශංක විජයරත්න මහතා ඉදිරියේ නාමයෝජනා පත්‍ර භාරදුන් අපේක්ෂකයන් මෙසේය. අශෝක මහදිවුල්වැව (එජාප - අලියා), කේ. බී. රත්නායක (ශ්‍රීලනිප - අත), සුගතපාල දළුවත්ත (ස්වාධීන - පුටුව), අතුරු ඡන්දය සඳහා අපේක්ෂකයකු නම් කිරීමේදී ශ්‍රීලනිපයට බැරෑරුම් අවස්ථාවකට මුහුණදීමට සිදුවිය. පක්ෂයේ අපේක්ෂකයා වශයෙන් සුගතපාල දළුවත්ත සහ කේ. බී. රත්නායක යන දෙදෙනාගෙන් කෙනෙකු තෝරා ගැනීම උභතෝකෝටික ප්‍රශ්නයක් විය. අනුරාධපුර ආසනයේ පක්ෂ සභාපති සුගතපාල දළුවත්ත මහතා පක්ෂය වෙනුවෙන් කැපවී ක්‍රියා කළ කෙනකු විය. නීතීඥ වෘත්තියකු වූ හෙතෙම ජනතා ප්‍රසාදය ද දිනාගෙන සිටියේය.


කේ. බී. රත්නායක මහතා ස්වදේශ කටයුතු සහ සංස්කෘතික ඇමති මැදවච්චිය මන්ත්‍රී මෛත්‍රීපාල සේනානායක මහතාගේ පෞද්ගලික ලේකම්වරයා විය. කෘෂිකර්ම නිලධාරියකු මිනින්දෝරු නිලධාරියකු ලෙස රාජ්‍ය සේවයේ නිරත වූ හෙතෙම අනුරාධපුර සංරක්ෂණ මණ්ඩලයේ ඉඩම් නිලධාරියා වශයෙන්ද කටයුතු කර තිබුණි. පේදුරුතුඩුව හාට්ලි විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වූ කේ. බී. රත්නායක මහතා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවන් ගැන පුළුල් දැනුමක් ඇතිව සිටියේය. හාට්ලි විද්‍යාලයේ උගෙන ගන්නා සමයේ ඔහු එහි සිටි එකම සිංහල ශිෂ්‍යයාද වූ බව පැවසේ. දීර්ඝ සාකච්ඡාවලින් පසු කේ. බී. රත්නායක මහතාට අපේක්ෂකත්වය ලබාදීමට තීරණය කෙරිණි. ඔහුට අවස්ථාව සලසාදීම සාධාරණීකරණය කිරීම සඳහා රාජ්‍ය සේවා අත්දැකීම් හා ත්‍රෛභාෂා දැනීම උලුප්පා දක්වමින් පත්‍රිකා පවා බෙදාහැර තිබුණ බව එදා පුවත්පත් වාර්තා කර තිබුණි. ඔහුගේ නාම යෝජනා පත්‍රයේ යෝජක වශයෙන් අත්සන් කර තිබුණේද මෛත්‍රීපාල සේනානායක මහතාය.


නාම යෝජනා පත්‍ර භාරදීමෙන් අනතුරුව ප්‍රධාන පක්ෂ දෙකම අනුරාධපුරය ආසනය තමන් සතුකර ගැනීම සඳහා ඡන්ද කොට්ඨාසය තුළ කඳවුරු බැඳගෙන ප්‍රචාරක කටයුතු කරන ආකාරය දැකගත හැකි විය. විපක්ෂ නායක සහ එජාප නායක ඩඞ්ලි සේනානායක මහතා ඡන්ද කොට්ඨාසය පුරා සංචාරය කරමින් ප්‍රචාරක කටයුතු මෙහෙයවූ අතර ශ්‍රීලනිපයේ මැතිවරණ කටයුතු භාරව කටයුතු කළ අමාත්‍ය මෛත්‍රීපාල සේනානායක මහතා සෑම ගමක්ම සෑම ඡන්ද පොළක්ම ආවරණය වන ආකාරයට ඡන්ද ප්‍රචාරක කටයුතු සංවිධානය කරමින් සිටියේය. මෙම අතුරු මැතිවරණයේදී ල.ස.ස.ප.ය ගත යුතු ක්‍රියාමාර්ගය ගැන විවිධ මත පළවෙමින් තිබුණි. ශ්‍රීලනිපයට සහාය දක්වා එ.ජා.ප.ය පරාජය කළ යුතු බව එක් මතයක් වූ අතර එම පක්ෂ දෙකේම ප්‍රතිපත්ති අතර වෙනසක් නොමැති හෙයින් මධ්‍යස්ථව සිටිය යුතු බවට තවත් මතයක්ද විය. අනුරාධපුරය ආසනයට යාබදව පිහිටි මිහින්තලේ ආසනයේ මන්ත්‍රී පී. ඇම්. කේ. තෙන්නකෝන් මහතා ඒ අවස්ථාවේදී ශ්‍රීලනිපයට සහාය පළ කර වාමාංශික දේශපාලන ව්‍යාපාරයේ පොදු සතුරා වන එ.ජා.ප.ය දුර්වල කළ යුතු බවට දැඩි ස්ථාවරයක සිටියේය.
1947, 1952 සහ 1956 මැතිවරණවලදී හොරොව්පතාන ආසනයට තරග කළ පී. ඇම්. කේ. තෙන්නකෝන් මහතා 1960 මාර්තු මැතිවරණයේදී අභිනවයෙන් ස්ථාපනය කළ මිහින්තලේ ආසනය ල.ස.ස.ප.යට හිමිකර දුන්නේ තරගකරුවන් හයදෙනකු පරාජයට පත්කර වැඩි ඡන්ද 427ක තියුණු ජයග්‍රහණයක් වාර්තා කරමිනි. ල.ස.ස.පය උතුරු මැද පළාතේ බලය තහවුරු කර ගත් එකම ආසනයද එයම වූ අතර ඊට බොහෝ සෙයින් උපකාරී වූයේ ඔහුට එරෙහිව ශ්‍රී.ල.නි.ප අපේක්ෂකයකු ඉදිරිපත් නොකිරීමය. මේ අනුව පී. ඇම්. කේ. තෙන්නකෝන් මහතා දැරූ මතය තවදුරටත් සදාචාරාත්මක වූයේ 1960 ජූලි මැතිවරණයේදී ද ඔහුට එරෙහිව ශ්‍රී.ල.නි.ප තරගකරුවකු ඉදිරිපත් නොකිරීමේ පසුබිම හේතුවෙනි. ඔහුගේ සහාය දැක්වීමේ අදහසකට ඩොරික් ද සුසා එඞ්මන්ඞ් සමරක්කොඩි, මෙරිල් ප්‍රනාන්දු සහ බාලා තම්පෝ වැනි ප්‍රබලයෝ තදින්ම විරුද්ධ වූහ. කෙසේ වෙතත් අතුරු ඡන්දයට ල.ස.ස.ප.යෙන් අපේක්ෂකයකු නම් කෙරුණේ නැත. මෙවර පාලක ශ්‍රී.ල.නි.ප.යට අනුරාධපුරය ආසනය රැකගැනීම සඳහා වෙනත් මැතිවරණවලට වඩා උග්‍ර තරගයකට මුහුණ පෑමට සිදුවිය. ඊට ප්‍රධාන හේතුව වූයේ සුගතපාල දළුවත්ත මහතා නිදහස් අපේක්ෂකයකු වශයෙන් තරග බිමට පිවිසීමය. කෙසේ වෙතත් සිව් වැනි වතාවටත් අනුරාධපුරය ආසනය ශ්‍රී.ල.නි.ප.යට හිමිකර දෙමින් රජරට ප්‍රථම අතුරු මැතිවරණය අවසන්වූ ආකාරය දැකගත හැකි විය. 


සම්පූර්ණ නිල ජන්ද ප්‍රතිඵලය මෙසේය.


කේ. බී. රත්නායක (ශ්‍රී.ල.නි.ප - අත) 7797, අශෝක මහදිවුල්වැව (එ.ජා.ප - අලියා) 6372, සුගතදාස දළුවත්ත (ස්වාධීන - පුටුව) 2179 වැඩි ඡන්ද සංඛ්‍යාව 1325 කි. මෙම ප්‍රතිඵලයෙන් තහවුරු වූයේ වැඩි ඡන්ද ප්‍රමාණය 1960 ජූලි මැතිවරණයට වඩා 1660න් පහත වැටී ඇති බවය.


ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් පසු අදහස් දැක්වූ මෛත්‍රීපාල සේනානායක මහතා මෙසේ ප්‍රකාශ කර තිබුණි. එක් අතකින් ප්‍රතිගාමීත්වයේ මුළු බලමුළුවම අපට විරුද්ධව යෙද වුණි. එකට එල්ලී නොසිටියහොත් වෙන වෙනම එල්ලනු ලැබෙතැයි සිතූ ප්‍රතිගාමීහු දැන් යළිත් වරක් කඳවුරු බැඳගෙන සිටිති. ඔව්හු ජාති භේද, උඩරට පහත රට භේද, ආගම් භේද ඇවිස්සූහ. කළ හැකි සියල්ලම කළහ. එහෙත් පරාජය වූහ. ඒ ප්‍රතිගාමීත්වයේ දුර්වලකම නිසා නොව අනුරාධපුර ජනතාවගේ ප්‍රබලකම නිසාය. 1962 ජූලි මස 11 දින පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී කේ. බී. රත්නායක මහතා කතානායක ආර්. ඇස්. පැල්පොල මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. එදිනම ආණ්ඩුවේ රාජාසන කථාව පිළිබඳ ස්තුති යෝජනාවද සාම්ප්‍රදායානුකූලව අභිනව මන්ත්‍රී කේ. බී. රත්නායක මහතා ඉදිරිපත් කළේය. දීර්ඝ දේශපාලන ගමනක් ගිය රත්නායක මහතා 1970 සමගි පෙරමුණු රජයේ ක්‍රීඩා ඇමති ධුරයද ඊට අමතරව 1975 සිට ප්‍රවාහන ඇමති ධුරය ද දැරීය. ඔහුගේ දේශපාලන ජීවිතයේ උච්චතම ස්ථානය හිමිකර ගත්තේ 1994 මහා මැතිවරණයෙන් පසු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලැබ 13 වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස 1994-08-25 දින දිවුරුම් දීමෙනි.

 

 

 

 

 

ජී. ආර්. ඩී. බණ්ඩාර