කලකට පෙර ලන්ඩන්හි නෘත්‍ය ශාලාවක ඉංග්‍රීසි නාට්‍යයක් රඟ දැක්වෙමින් තිබිණ. ප්‍රේක්ෂක ප්‍රභූවරුන් අතර සිටි සුදු යුවතියක් නාට්‍ය ආරම්භ වූ මොහොතේ සිටම මහත් උද්යෝගයෙන් එය නැරඹුවාය. ඇගේ නෙත සිත එහි රඟ පෑ ආසියානු තරුණයකු දෙසට ඇදී බැඳී ගියේය.


නාට්‍ය අවසානයේ මිතුරියකගේ පිහිටෙන් ඇය ඔහු හඳුනාගත්තාය. එදා ඇරඹුණු සුහදතාව කෙමෙන් ප්‍රේමය දක්වා දලුලෑවේය. 


ඇය සුදු ජාතික ආර්ථික විද්‍යා සිසුවියක වූ ඩොරින් විනිප්‍රිඩා යංය. ඇගේ සිත් ගත් තරුණයා ලන්ඩන්හි සෙන්ට් බර්තොලමියුස් ආරෝග්‍යශාලාවේ අධ්‍යාපනය ලැබු ශ්‍රී ලංකාවේ සුගිස්වර අබේවර්ධන වික්‍රමසිංහය. 


දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ නමින් ලක්දිව ප්‍රචලිත වූ ඔහු ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ආරම්භකයා විය. ඇය මෙරට වාමාංශික කඳවුරේ කාන්තා නියෝජනයේ ප්‍රබල භූමිකාවක් නිරූපණය කළාය. 


1907 පෙබරවාරි 15 වැනි දින බි්‍රතාන්‍යයේ වේෂයර්හි වැස්ලි නුවර දී විලියම් යං සහ ලිලී වියර් දෙපළට දාව උපත ලද ඩොරින් මව්පියන්ගේ ප්‍රගතිශීලී ව්‍යාපාරයට ළැදිව කටයුතු කළාය. මූලික අධ්‍යාපනයෙන් පසු හාර්ට්ෂේඞ් ෂයර්හි ශාන්ත ක්‍රිස්ට්‍රෝපර් කොලිජියෙන් අධ්‍යාපනය ලබන අතර ප්‍රංශ බස ගැන හැදෑරුවාය. 1929 දී ස්කූල් ඔෆ් ඉකොනොමික් විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳව ඩී.එස්.සී. උපාධිය ලැබුවාය. 


1890 වන විට බෞද්ධ පරම විඥාර්ථවාදය යුරෝපයේ මෙන්ම ආසියාවේ ද සීග්‍රයෙන් පැතිරිණ. ක්‍රිස්තියානි දහමෙන් බැහැරව ආසියානු ආගම් හා පරම විනඥාර්ථවාදයට නැඹුරු වූ බෙහෝ දෙනා අතර ඩොරින්ගේ පවුල් අය ද වූහ. 


යටත්විජිත යුගයේ ව්‍යාප්ත වූ මිෂනාරි අධ්‍යාපනයට එරෙහිව පරම විඥාර්ථ බෞද්ධ සංගමය අපේ රටේ ද බෞද්ධ ඉංග්‍රීසි පාසල් ඇරඹීය. මාතර සුජාතා බාලිකාව 1930 දී එසේ බිහි වූවකි. බුදු දහම පිළිබඳ ඉංග්‍රීසි මාධ්‍යයෙන් දැනුමැති උපාධි ධාරිනියක් එහි විදුහල්පති කර ගැනීමට අදහස් කෙරිණ. 


එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මොරවක මන්ත්‍රීවරයා වූ සුගීස්වර වික්‍රමසිංහයට එතෙර සිටින යෙහෙළිය වන ඩොරින් සිහිපත් විය. 


එවකට මාතර පරම විඥාර්ථ බෞද්ධ සංගමයේ ලේකම් ධුරය දැරුවේ ඔහුය. ඒ නිසා ඇය ගෙන්වා ගැනීමට කිසිදු බාධාවක් නොවිණ. 


1930 දී විසිතුන් හැවිරිදි ඩොරින් යං මෙනවිය මෙරටට පැමිණ මාතර සුජාතාවේ ප්‍රථම විදුහල්පතිනිය ලෙස වැඩ බාර ගත්තාය. දින කිහිපයකින්ම අපේ රටේ අධ්‍යාපනයේ තරම හා දරුවන්ගේ කුසලතා ඇය තේරුම් ගත්තාය. 


රටක දරුවන්ට මුලින්ම උගන්වන්න ඕනැ. මව්බස, මව්බස නොදැන ඉංග්‍රීසි උගන්වන්න බෑ. 


තමන්ගේ රටේ ඉතිහාසය ගැන ඇහුවම ළමයි බය වෙන එක පුදුමයක් නොවෙයි. මෙච්චර කල් ඉතිහාසේ කියලා උගන්වල තියෙන්නේ රටේ ඉතිහාසය නොවෙයි. බි්‍රතාන්‍ය ස්ටුවඞ් රජ පෙළ පත ගැනයි. මේ මොන විකාරයක්ද? 


ඩොරින්ගේ ප්‍රශ්නවලට අධ්‍යාපනඥයන්ට කට උත්තර නැති විය. තමන්ගේ රටේ ඉතිහාසය දැනගත්තම තමයි දරුවන්ට ජාතිකානුරාගය ඇති වෙන්නේ. මෙම කරුණු පවසා රාජ උදහසට ලක් වීම අත ළඟ බව වැටහුණු ඩොරින් කළේ ඉංග්‍රීසියෙන් ලියැවුණු මෙරට මහාවංශය පාසලට ගෙන ඒමයි. 


මෙරට රජ පෙළපත ගැන සරල ඉංග්‍රීසියේ උගන්වන්නට ඇය උත්සාහ කළාය. ඇගේ කැඩුණු සිංහල උච්චාරණය ඇසු සියල්ලෝ සිනාසුණහ. 


1933 අප්‍රේල් 26 වැනිදා ඇය වික්‍රමසිංහයන්ගේ අත ගත්තාය. තම සැමියා ද දේශානුරාගී අදහස් ඇත්තෙකු වීම ඇයට විශාල රුකුලක් විය. 1934 - 35 සමයේ මෙරට පැතිරුණු මැලේරියාව වසංගත සමයේ සැමියා හා සමාජවාදී නායකයන් සමග ජනතාවට පිහිට වූ ඇය සූරියමල් ව්‍යාපාරයට ඇප කැප වී ක්‍රියා කළාය. ඒ වන විට ඩොරින් කොළඹ ආනන්ද බාලිකාවේ විදුහල්පතිනිය තනතුර දැරූ අතර එම ව්‍යාපාරයේ මූලස්ථානය වූයේ ඇගේ පාසල් නිවස්නයයි. 


සුගීස්වරයන් හා ඩොරින්ගේ මෙම කටයුතුවලට මහත් රුකුලක් වූයේ 1935 දී මෙරට බිහි වූ ප්‍රථම වාමාංශික දේශපාලන පක්ෂය වූ සම සමාජය ඇරඹීමයි. 


මහනුවර මහා මායා බාලිකාවට මාරු කර හරින ලැබු ඩොරින්ගේ ක්‍රියාකාරීත්වය ඇතැමුන්ට ඇසට කටු අනිනවාත් මෙන් විය. 


1905 දී නිල්බා කුලරත්න මහත්මිය ඇරඹූ අගනුවර උසස් බාලිකා විද්‍යාලය වන ආනන්ද බාලිකාවේ විදුහල්පති ධුරය භාර ගන්නැයි පී. ද ඇස්. කුලරත්න මහතා මේ අතර ඇයට යෝජනා කළේය. 
1933 සිට 1936 දක්වා ඇය එම ධුරය දැරු කාලය තුළ බාලිකාවන් තුළ සංහිඳියාව පෞරුෂත්වය කුසලතා හා ආකල්ප වර්ධනය වූ අතර ඔවුන්ට ලොව පිළිබඳ කියා දීමට ඉන්දියාවට විනෝද චාරිකාවක් ද කැටුව ගියාය. 


රවීන්ද්‍රනාත් තාගෝර් තුමන් ඇතුළු සංගීත කණ්ඩායම මෙහි පැමිණි දිනවල ලැඟුම් ගැනීමට තම බාලිකා නේවාසිකාගාරය පිරිනැමූ ඇය පහන් වන තුරු සිසුවියන් සමග භාරතීය සංගීත රසය වින්දාය. 


වරක් කොළඹ හෙදි කණ්ඩායම හා බාලිකාවේ සිසුවියන් අතර පැවති නෙට්බෝල් තරගයක දී ඔවුන් ධෛර්යමත් කිරීමට ඇයද ඔවුන් හා ක්‍රීඩා කළාය. 


නිදහස් අරගලය නිසා සිර බත් කෑ ඉන්දීය සමාජවාදීන් බැලීමට ඇය සැමියා සමග සිපිරිගෙයට ද ගියාය. මේ කරුණු නිසා සමාජවාදී නායකයන්ගේ බිරින්දෑවරු අතරේ සුදු ජාතික ඩොරින් වික්‍රමසිංහ කැපී පෙනෙයි. 


අවවාදයට වඩා ආදර්ශය උතුම් යන්න කියා පාමින් ඇය නිවසේ තිබු බටහිර පන්නයේ ගෘහ භාණ්ඩ ඇඳුම් පැළඳුම් මෝස්තර රටා හා ආහාර පාන වෙනුවට දේශීය ඌරුවේ දේවල් ගෙන ආවාය. දුප්පත් ගැමි ජනතාව නිපද වූ බුමුතුරුණු අත්කම් භාණ්ඩ ගෘහ භාණ්ඩ හා ආහාර පාන ද ඒ අතර විය. 


එතෙක් ධනපති නිසේවලට මෙම ද්‍රව්‍ය ගෙන්වන ලද්දේ විදෙස් රටවල් වලිනි. 


සැමියා වෛද්‍ය වෘත්තිය හා දේශපාලනය සමබරව කරද්දී බිරිඳ මෙරට සාරියකින් සැරසී පාවහන් නොපැළඳ මෙහෙකරුවන්ට ඉඩක් නොදී ගෙදර දොර වැඩ කටයුතු කළාය. ඇය නැමුණේ හවසට විඩාපත්ව ගෙදර එන සැමියාට පමණි.


ඩොරින් ඉක්මනට බොන්න මොකවත් ගේන්න. 


අද කට්ටියක් එනවා කන්න මොනවත් හදන්න. 


ඇතැම් දිනවල සැමියාගේ මාතර බෙහෙත් ශාලාවට බෙහෙත් පවා ගෙන ගොස් දුන්නේ ඇයය. 


මාත් කොමියුනිස්ට් පක්ෂයට බැඳෙන්න ආසයි. ඩොරින් නිතර පවසන්නට වූවාය. චීන හා රුසියානු සමාජවාදයට ඇය ප්‍රිය කළාය. කොමියුනිස්ට් පක්ෂයට එක් වීමට පෙර ඇය බි්‍රතාන්‍ය කම්කරු පක්ෂයට බැඳී සිටියාය. නිදහස් සටනට නායකත්වය දුන් ඉන්දීය ලීග් සංවිධානයට සහය දුන්නාය. 


සැමියාගේ ශාස්ත්‍රීය ලිපි සහ කතාවලට අගනා සහයක් දුන් ඇය ළමා මෙහෙකාර සේවයට එරෙහිව වික්‍රමසිංහයන් කළ කතාවකට කරුණු සොයා දුන්නාය. 


1941 දී න්‍යායාත්මක ගැටලුවක් නිසා වික්‍රමසිංහයන්ට සම සමාජ සාමාජිකත්වය අහිමි විය. අනතුරුව ඔවුන් එක් වී කම්කරු සමාජය පිහිටුවා ගත්හ. 1941 දී සෝල්බරි ව්‍යවස්ථාව විවේචනය කර ලියූ ලිපිනයක් නිසා පාලකයෝ වික්‍රමසිංහයන් සිර භාරයට ගත් අතර ඇයද නොසැලී ඔහුට උදව් කළාය. වසරක සිරිබත් කෑමට සිදුවීම හේතුවෙන් ඔහුගේ ප්‍රජා අයිතිය වසර 07කට අත් හිටුවන ලදී. එබැවින් එම වසරේ අකුරැස්ස අසුනට කරන කිරීමේ වරම ඔහුට අහිමි විය. 


ඩොරින්ට ද අකරතැබ්බයකට මුහුණ දීමට සිදු විය. එනම් දේශපාලනයට මුල් තැන දීම නිසා 1933 - 1936 අතර ආනන්ද බාලිකාවේ ඇය දැරු විදුහල්පති ධුරය මෙන්ම නිල නිවස ද අහිමි කිරීමය. එබැවින් සැමියා සමග පූර්ණ කාලීන දේශපාලනයට බැසීමට ඩොරින්ට හැකි විණ. 


එහෙත් මොරවක ආසනය වික්‍රමසිංහයන් පරාජය වීමත් අවිවේකයත්, වෙහෙසත්, ආර්ථිකය බිඳ වැටීමත් නිසා කලකිරුණ ඩොරින් තම යෙහෙළිය වූ ශිරානි සමග එංගලන්තයට ගියාය. දොස්තර වික්‍රමසිංහයන් එහි ගිය අතර ඔවුන්ගේ මනස තිබුණේ මෙරට සමාජවාදී දේශාපලන භූමිකාව වෙතය. 


ඩොරින් යළි මෙරටට ආවේ ලන්ඩන් විශ්ව විද්‍යාලයේ ගුරු ඩිප්ලෝමා සහතිකය රැගෙන සුදුසුකම් සපුරා ගෙනය. රජයේ සේවයෙන් බැහැර වූ ඇය දරුවන් උදෙසා පෞද්ගලික විද්‍යාලයක් ඇරඹුවාය.


මේ අතර 1952 දී පැවැති මහ මැතිවරණයට අකුරැස්ස අසුන තරග කිරීමට ඇයට ඇරයුම් ලැබිණ. ඇය යු.ඇන්.පී. අපේක්ෂක සරත් විජේසිංහ සමග තරග වැදුණාය. සරත් වික්‍රමසිංහයන්ගේ ඥාති සොයුරාය. ඉඩම් හිමි වැවිලිකරුවෙක් වූ ඔහු පසුව බණ්ඩාරනායක ආණ්ඩුවල ඇමැති ධුර දැරීය. එහෙත් සුදු ජාතික ඩොරින් ඡන්ද 16,626 ක් ලබා සරත් විජේසිංහ පැරදවුයේ වැඩි ඡන්ද 1001 කින් අකුරැස්ස දිනලාය. ආසියාවේ පාර්ලිමේන්තු අසුනත් දිනු ප්‍රථම විදේශීය කාන්තාව ලෙස ඇය ඉතිහාසයට එක් වෙති. 


මා මළ දවසක සීතල අප්‍රාණික මළකඳ වෛද්‍ය සිසුන්ගේ ඥාන වර්ධනය සඳහා වෛද්‍ය විද්‍යාලයට දෙන්න. දහස් ගණන් ශ්‍රී ලාංකික දරුවන්ට හරිමඟ පෙන් වූ මේ වීරෝදාර සුදු මාතාවගේ අවසන් කැමැත්ත එය විය. බුදු දහම අනුව සියල්ල අනිත්‍යය බව ඇය මෙනෙහි කළාය. නීතිවේදී සූරියා වික්‍රමසිංහ සහ වරලත් වාස්තු විද්‍යාඥ සුරේන් වික්‍රමසිංහ ඇගේ ආදර්ශවත් දරු දෙදෙනාය. 2000 මැයි 29 වැනිදා දැයෙන් සමු ගත් ඇය 70 වසරක් ශ්‍රී ලංකාව මව්බිම කරගත්  බෞද්ධ දර්ශනය පදනම් කර ගත් දේශපාලන දර්ශනයකින් හෙබි කාන්තා රත්නයක් ලෙස සැලකිය හැකිය.

 

 

 

 

 

 

 

 


පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි