IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


මැති සබයට ගිය කොටි යුද්ධය

 
1996-97 වකවානුව කොටි ත්‍රස්තවාදයෙන් රටම බියෙන් ඇළලී ගිය සමයකි. ඊළාම් යුද්ධය දිනූ බවට ත්‍රස්තනායකයන් පුරසාරම් දොඩද්දී යුද්ධයෙන් හතරෙන් තුනක් දිනා ඇති බව ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ප්‍රකාශ කළාය. කවුරු පුරාජේරු කිව්වත් ජීවිත හා දේපොළ පිළිබඳව අබමල් රේණුවකටවත් සැනසීමක් ජනතාවට නොවිණ.
 
මසින් මස හදිසි නීතිය දීර්ග කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනැවිත් සම්මත කර ගැනීමට ආණ්ඩුවට සිදුවිණ. එහිදී විපක්ෂයේ තර්ක විතර්කවලට උත්තර බඳින්නට ආණ්ඩු පක්ෂයට මහත් පරිශ්‍රමයක් දැරීමට සිද්ධ විය.
 
1997 ඔක්තෝබර් 09 වැනිදා කතානායක කේ. බී. රත්නායකයන්ගේ මුලසුනෙන් පාර්ලිමේන්තුව රැස්විණ. වාරිමාර්ග හා විදුලිබල අමාත්‍ය මෙන්ම රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ජනරාල් අනුරුද්ධ රත්වත්තේ මහජන ආරක්ෂාවට හදිසි නීතිය මසකින් දිර්ඝ කිරීමේ යෝජනාව ගෙන ආවේය. 
 
“ගරු කතානායකතුමනි, සැප්තැම්බර් 10 වැනිදා සිට මේ දක්වා රටේ භීෂණ ක්‍රියා 27 ක් සිදුවී තිබෙනවා. ඒවායෙන් මිය ගිය හා තුවාල ලැබූ සෙබළුන් හා සාමාන්‍ය ජනතාවගේ ගණන විශාලයි මහජන ආරක්ෂක පනතේ 02 වගන්තිය යටතේ හදිසි නීතිය මසකින් දිර්ඝ කිරීමට අවසර පතනවා.
 
මෙම කාලය තුළ සිදු වූ අපරාධ අතර හොරොව්පොතාන ඩිපෝවේ බස් රියක් නිලාවේලි සිට කුච්චිවේලි දක්වා හමුදා සෙබළුන් ප්‍රවාහණය කරද්දී අටවා තිබූ බෝම්බය පුපුරා රියැදුරා ඇතුළු පස්දෙනකු මියගිය සිද්ධිය ද වාලච්චේනේ කියන්නියඩි වට්ටපුර හමුදා බංකර්වලට ආර්පීජී  හා මෝටාර් බෝම්බ ප්‍රහාර එල්ල කිරීම, අරන්තලාවේදී ඉන්ධන බවුසරයකට අත්බෝම්බ ගැසීම, හත් දෙනකු ඝාතනය කරමින් කල්‍යාණපුර හැටන් කැලේගමට හා හමුදා කඳවුරට ස්වයංක්‍රීය ගිනි අවිවලින් පහරදීම, පුල්මුඬේ ඛණිජ වැලි සංස්ථාවට නුදුරුව නැංගුරම් ලා තිබූ කෝඩියල් ටී. පැනමානියා වෙළෙඳ නෞකාවට පහරදීම, පින්කමකට සහභාගිව වැඩම කරමින් සිටි හිමිවරුන් පිරිසකට වෙඩිතබා මරා දැමීම වැනි සමූල ඝාතනද විය. යුදබිය නිවීමට රජය ගත් ක්‍රියාමාර්ග සියල්ල පුස්සක් වී ඇතැයි එජාප මන්ත්‍රී මනෝ විජේරත්න මෙහිදී චෝදනා කළේය.
 
අපේ දාහත් වසරක පාලනය ගැන ජනතාවට බොරුකියා බලයට පත්ව වරප්‍රසාද භුක්ති විදිමින් නීතිරීති සකසා ගන්නා යුගය අපි ළඟදීම අවසන් කරනවා. මුලතිව් කඳවුරට පහර දෙන්න තරම් අද කොටි ශක්තිමත් වෙලා.
මනෝ විජේරත්න ජයසිකුරු මෙහෙයුමේ අරමුණ හොඳවුවත් හමුදාව යාපනයට පිවිසෙනවිට කොටි වන්නියට පැනගිය බවට චෝදනා කළේය. යාපනය දිනාගත්තා කියලා ජනපතිනියට සන්නසක් භාර දුන්නා. යාපනයට මැති ඇමැතිවරු බුරුතුපිටින් යන්න පටන් ගත්තා. එයාලගෙ පණ බේරුණේ අනූනවයෙන්. අද කොටි ගහන්නේ අපේ කාලේ දුන්න ආයුධවලින් නෙමෙයි. මේ ආණ්ඩුවෙන් දීපු ආයුධවලින්.
 
ඊට පිළිතුරු දෙමින් ආණ්ඩු පක්ෂයේ ජයතිස්ස රණවීර කීවේ ‘එක අතකින් යුද්ධයත් අනෙක් අතින් සාමයත් හසුරුවමින් ජනපතිනිය කරන්නේ ප්‍රාතිහාර්යයක් බවයි. චීන රජයෙන් ඇණවුම් කළ මෝටර් වෙඩි උණ්ඩ 32,400 ක් අතුරුදන්වීම ගැන එජාප මන්ත්‍රී ජෝන් අමරතුංග රජයට ඇඟිල්ල දිගු කළේය.
 
අපේ ආණ්ඩුකාලෙ යුද අවි ගනුදෙනු කළේ කෙළින්ම රාජ්‍යයන් දෙක අතරයි. ඒත් මේ ආණ්ඩුව අතර මැදියන් සමඟ ගනුදෙනු කරන නිසා නැව්ගත කර තිබුණ ආයුධත් අතුරුදන්වෙලා. ඒක නිසා අපට ප්‍රශ්නයක් නැහැ කියල රාජ්‍ය ආරක්ෂක ඇමැති කියනවා. ඒත් එකෙන් බැටකන්නේ රණවිරුවොයි”
 
එකෙනෙහි නැගී සිටි අමාත්‍ය රෙජී රණතුංග තවලම සාම වැඩ පිළිවෙළේ ප්‍රගතිය ගැන කතා කළේය.
 
‘ගතවුණු අවුරුදු තුනට අපි යුද්ධයෙන් 85% ක් නිමාකළා. තව තියෙන්නේ 15% යි. අපි තවලම තුළින් යුද්ධයෙන් බිඳවැටුණ සාමය ස්ථාපිත කරනවා.
 
‘ඒත් තවලම සඳහා පාසල් ළමුන් බඳවා ගැනීමට අපි විරුද්ධයි’
 
එජාප මන්ත්‍රී අල්හාජ් ඒ. එච්. එච්. අස්වර්ගේ එම ඝෝෂාවට රෙජි රණතුංග පිළිතුරු දුන්නේය.
 
‘ඔබතුමා හැමදේටම විරුද්ධයිනේ. එදා කිව්වා තවලම ගැන කතා කරන්න ඕනෑ ගමේ ජෝන් අප්පුලා වීරසාමිලා එක්ක විතරයි කියලා. විදේශ රටවල් සමග කතා කරන්න ඕනෑ නෑ කිව්වා ඒත් මේ රටේ වෙන්නෙ මොනවද කියලා ජාත්‍යන්තරයත් දැනගත යුතුයි’
 
තවලම කියන්නේ දකුණේ සිට උතුරුකරයට සාමය ගෙන යන මාධ්‍යය බවත් උතුරු - නැගෙනහිර පුනරුත්ථාපනයට මෙන්ම දකුණේ සංවර්ධනයටත් මෙම රජය වෙහෙසෙන බව අමාත්‍ය අනුරුද්ධ රත්වත්තේ පැහැදිලි කළේය.
 
අමාත්‍ය ඉන්දික ගුණවර්ධන එජාපයට දරුණු වාග් ප්‍රහාරයක් එල්ල කළේය.
 
එජාපය යළි බලයට ආවොත් යාපනය නගරය ප්‍රභාකරන්ගේ අගනුවර කර ගැනීමට ඉඩ සලසනවා නිසැකයි. 
 
“අපි 1956 දී සුද්දන්ගේ පාලනය අවසන් කරලා සිංහල ජනතාව රැකගත්තා. එදා පැරදුණෙත් යූ.ඇන්.පී යයි. මෙදා යුද්ධය අවසන් කරලා දෙමළ ජනතාවගේත් අයිතිය රැකදෙනවා. ඒකෙන් පැරදෙන්නේත් යූ.ඇන්.පීයි” ඔහු පැවසිය. 
 
 
එවකට ධීවර හා ජල සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද රාජපක්‍ෂද විවාදයේ පැටලුණේය.
‘යූ.ඇන්.පී කාලේ යුද්ධය හිඟන්නාගේ තුවාලයක් බවට හරවගත්තා. දහතුන් වසරක් ඒක විකුණාගෙන කෑවා. වාහන, ආයුධ, බූට්ස්, පතොරම් සතුරාට දුන්නා මෙවැනි යුද්ධයක් ලොව කොතැනකටත් තිබිලා නෑ. චන්ද්‍රිකා මැතිනිය ගෙනා සාම යෝජනා කොටි නොපිළිගත් නිසයි අපි යුද්ධමය විසඳුමට යන්න තීරණය කළේ.
 
 
එජාප මන්ත්‍රී වෛද්‍ය ජයලත් ජයවර්ධන “උතුරු - නැගෙනහිර යුද වාතාවරණය දෙස කවදත් බැලූවේ වෙනත් ඇසකිනි. ඔහු කොටි නායකයන් සමග සම්බන්ධකම් පවත්වන බවට චෝදනා නැගිණ. අවදානම් ගම්මානවල වැසියන්ට සයිරන් නළා බෙදා දී දිරිමත් කළ නිසා ඔහු වෙත පැසසුම්ද හිමිවිය.
අද තරුණයන් යුද්ධය ගැන කලකිරිලා ඔවුන් හමුදාවට බැඳෙන්න මැළිකමක් දක්වනවා. සෙබළුන්ට පොරොන්දු වුණු දීමනා හා පහසුකම් ලැබෙන්නේ නෑ. ආබාධිත සෙබළුන්ට කිසිදු සැලකිල්ලක් දක්වන්නේ නෑ මන්ත්‍රීවරයා චෝදනා නැගීය.
 
සිම්බාබ්වේහි සිට මෙරටට ගෙන එමින් තිබූ මිලිමීටර 81 මෝටාර් බෝම්බ 33,480 ක් මුලතිව් ගැඹුරු මුහුදේ දී කොටින් අතට පත් වූ බව සිම්බාබ්වේ ආරක්ෂක ඇමැති විදෙස් මාධ්‍යවලට පවසා තිබූ බව ඔහු පැවසීය.
දැන් කොටි අපට ගහන්නේ ඒ අවි වලින් තමයි. යුද්ධ කරන්නේ මෙහෙමද? මේක ප්‍රෝඩාවක්. ජයසිකුරු යුද උපක්‍රම සැලැස්ම කොටින් අතට පත්වෙලා.
 
මෙහිදී ජයලත් මන්ත්‍රීවරයා සමග වාදයට පැටලුණේ ෆීලික්ස් පෙරේරා අමාත්‍යවරයාය. 
 
සමහරු යුද්ධය ගැන කතා කරන්නේ ප්‍රභාකරන්ගෙ අයියලා මල්ලිලා වගෙයි. අපි මන්නාරමට යනවනම් ජයලත් මහත්තයත් එනවලු. ජා-ඇළ ඉඳන් මන්නාරම නොවෙයි යාපනයට යන්නත් අපි ලැස්තියි. මං හතර පාරක් ගියා එයාව දාගෙන වාහනය එළවන්නත් ලැස්තියි.
 
යුද්ධ කරන හැටි හමුදාවට උගන්වන්නට එජාපයේ කථිකයන් දරන උත්සාහය හාස්‍ය ජනක බව පැවසූ ෆීලික්ස් පෙරේරා එතුමා යුද්ධ කරන අතරේ සයිරන් නළා බෙදාදීම ගැන කතා කළේය.
 
 
මොකක්ද ඒකේ වැරැද්ද?” ජයලත් ජයවර්ධන විමසීය. “හයියෙන් නළා පිම්බයි කියලා විසඳුමක් ලැබෙන්නෙ නෑ. ඕව බෙදුවේ දේශපාලන වාසියටයි” කී ෆීලික්ස් ‘තමුන්නාන්සේ යූ.ඇන්.පී. ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමැති වුණාට ආරක්ෂක ඇමැති බව අදයි දන්නේ” යැයි පැවසිය.
 
එජාප මන්ත්‍රී ජෝශප් මයිකල් සමග ප්‍රවාහන ඇමැති අතාවුද සෙනවිරත්නද පැටලුණේය.
 
‘තමුන්නාන්සේලා මහ සංඝරත්නයේත්, වෘත්තිය සමිතිවල මෙන්ම ජනතාවගේත් හඬට කන්දෙන්නේ නෑ. මහ සඟරුවනත් භේද භින්න කරනවා’ මන්ත්‍රී  ජෝශප් මයිකල්ගේ චෝදනාවට අමාත්‍ය අතාවුද විමසුවේ’ තමුන්නාන්සේ බුද්ධාගමේද?’ කියාය.
 
“ඔව් මං කතෝලිකයෙක් තමයි තමුන්නාන්සේ බුද්ධාගමේද? ජෝශප් මයිකල් පෙරළා විමසීය. 
 
මෙහිදී කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍ය ධුරය දැරූ දි. මු. ජයරත්න ගෙන්ද වේගවත් පිළිතුරක් ලැබිණ.
 
බෞද්ධ උරුමය රැකගන්න සටන් මෙහෙයවපු ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ ඝාතනයට ඇඟිල්ල දික්වෙන්නෙත් ඔහෙලට බව රටම දන්නවා”
 
කෙසේ වෙතත් යෝජනාවට කළ වාචික ඡන්ද විමසීමේදී ඊට පක්‍ෂ වූ පාර්ශවයට ජයග්‍රහණය හිමිවිය. ඒ අනුව හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව සම්මත විය. එජාප මන්ත්‍රී සරත් ගුණවර්ධන එදින විවාදයේදී ගැයූ කවියක් පාර්ලිමේන්තු සබාගැබ තුළ රැව් පිළිරැව් දුන්නේය.
 
 
පැත්තක පොල් ගසකි දෙවියන් හට කියලා
පිරිසක් පොල් බෙදති තව පැත්තක ඉඳලා
වනසයි රටම ‘ඇනි අක්කා’ බොරු කියලා
එජාප රජයක් රටටම ඕනෑ වෙලා
 
 
 
 
 
 
 
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි



අදහස් (0)

මැති සබයට ගිය කොටි යුද්ධය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 21 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 867 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2500 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site