ආසියාවේ යෝධයන් මෙල්ල කළ “සිරිලක සිරිකත”06

ශ්‍රී ලංකාවේ දේශපාලනයේ පමණක් නොව ලෝක දේශපාලනයේ ද මහත් පෙරළියක් කරමින් පළමු කාන්තා අගමැතිවරිය වීමේ භාග්‍යය ලැබූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අධිරාජ්‍යවාදී පාලකයන් ඉතිරි කර ගිය රූකඩ දේශපාලන රටාව දේශීය ඌරුවට ගැළපෙන සේ වෙනස් කිරීමට මහත් කැපවීමක් කළාය.


ආසියාවේ පෙරළිකාරයා ලෙස පූජිත වූ තම සැමියා ගිය අඩිපාරේ ගමන් කරමින් ජනසතු ව්‍යාපාර රැසක් ජාතියට හඳුන්වා දුන් ඇය 1948 දී ලැබූ නාමමාත්‍රික නිදහස සැබෑ නිදහසක් බවට පත් කරමින් 1972 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දායා ද කළාය.


මෙම අරගලයේ දී ඇය වටා සිටි ඇතැම් මිතුරන් සතුරන් බවටත් සතුරන් යැයි සැලකූ පිරිසක් මිතුරෝ බවටත් පත් වූහ. ඇයගේ වැඩපිළිවෙළට මුල සිටම හරහට සිටි එක්සත් ජාතික පක්‍ෂය අවස්ථා බලමින් සිටියේ ඇයත් ඇගේ දර්ශනයත් සම්පූර්ණයෙන් පරාජය කිරීමටය. 


එතෙක් පැවති නින්දගම් ක්‍රම අහෝසි වූ අතර ඉඩම් අයිතිය අක්කර 50කට සීමා කෙරිණ. නව ඉඩම් පනත අනුව ඇයට උරුම වූ ඉඩම් කන්දරාව ද අක්කර 50 දක්වා අඩුවිය. මෙම සමාජවාදී පියවර එතෙක් සමාජවාදී යැයි කීර්තියට පත්ව සිටි වාමාංශික පක්‍ෂ පවා මවිතයට පත් කළේය.


එතෙක් පැවති හැම ආණ්ඩුවක්ම හිරවන ලෝක බැංකුවේ හා බහු ජාතික සමාගම්වල උගුල්වල නොවැටී ගත් ස්වාධීන පියවරයන් වීම සුවිශේෂී කරුණය. මෙරට පූර්ණ සමාජවාදී රාජ්‍යයක් වීමට ගත යුතු සැලසුම් රැසක් ඉතිරිව තිබියදී රටේ පැවතුණු ආර්ථික ගැටලු ප්‍රයෝජනයට ගත් යූ.ඇන්.පිය ප්‍රධාන ප්‍රතිගාමි බලවේග ජනතා මතය කනපිට පෙරළමින් 1977 දී මැතිනියගේ ආණ්ඩුව පෙරළා දැමීය.


1977 ජූලි 21 වැනිදා එම ජයග්‍රහණය ලැබූ දා පටන් යූ.ඇන්.පී ආණ්ඩුව කළේ තම හයෙන් පහේ ඡන්ද බලය උපයෝගී කරගෙන ව්‍යවස්ථා සංශෝධන හා අණපනත් රැසක් ගෙනැවිත් සම්මත කර ගැනීමය.


ඉන් පළමු වැනි පියවර වූයේ පූර්ණ විධායක බලය ඇති ජනාධිපතිවරයකු බිහිකිරීමය. දෙවැන්න තම ප්‍රධාන සතුරා වූ බණ්ඩාරනායක මැතිනිය ප්‍රමුඛ ප්‍රබල විරුද්ධවාදීන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමයි. ඒ අනුව ඔවුන්ට සත් අවුරුද්දකට මැතිසබයට පැමිණීම තහනම් වූ අතර ඡන්දයට ඉදිරිපත් වීම හෝ ඡන්දය දැමීම තහනම් විය.


මැතිනියට එරෙහිව ගෙනා චෝදනා පත්‍රයේ ප්‍රධාන තුරුම්පුවක් වූයේ ඇය සතුව තිබූ පාරම්පරික ඉඩම්වල වටිනාකම ව්‍යාජ ගණන් හිලව් යොදා වෙනස් කර වන්දි ලබා ගත්තාය යන චෝදනාවයි.


“අත්තනගල්ලේ මන්ත්‍රීතුමිය රජයට පවරා ගත් ඇගේ ඉඩම්වල වටිනාකම දස ගුණයකින් වැඩි වනසේ අගට බිංදුවක් එකතු කරලා.”


වේගවත්ව කතා කරමින් කෘෂිකර්ම ඇමැති ඊ.එල්. සේනානායක පාර්ලිමේන්තුව දෙවනත් කළේය.


මැතිනිය එම චෝදනා එකහෙළාම ප්‍රතික්‍ෂේප කළේ සාධාරණ පරීක්‍ෂණයකින් ඒවා ඔප්පු කරන ලෙස ආණ්ඩුවට හා ජේ. ආර්. ට අභියෝග කරමිනි.


“බිංදුමතී” යැයි ඇයට අපහාස කරමින් ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රීවරු කෑගැසූ අතර කතානායක ධුරය දැරූ ආනන්ද තිස්ස ද අල්විස් එය අනුමත නොකරමින් සභාව කල් දැමීමට සූදානම් විය.


සභාවට පැමිණි අගමැති ජේ. ආර්. සන්සුන් වන ලෙස තම මන්ත්‍රීවරුන්ට සංඥා කළේය.


අනතුරුව කඩිමුඩියේ කොමිසමක් පත්කර එහි තීරණය අනුව 1980 ඔක්තෝබර් මස 16 දින මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කළේය. එම යෝජනාවට විරුද්ධව ඡන්දය පාවිච්චි කළ අය අතර අද විපක්‍ෂනායක ආර්. සම්බන්ධන් ද විය.


මැතිනියට එරෙහි බලවේග අතරට එකතු වූ තවත් බලවේගයක් වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේම ජ්‍යෙෂ්ඨ මන්ත්‍රී කණ්ඩායමකි. ඔවුන් 1977ට පෙර සිටම එම ක්‍රියාදාමයේ නියැළි බව මැතිනියම වරක් පැවසුවාය.
මෙහිදී නියෝජ්‍ය නායක මෛත්‍රීපාල සේනානායකයන් ඇතුළු 13 දෙනෙකුගේ නම් කියැවිණ. එවකට පැවැති ඇතැම් පුවත්පත් හා ගුවන්විදුලිය පවා ඇගේ රැස්වීම් හා අදහස් පළ කිරීම නොකළ බවට ඇය චෝදනා කර තිබිණ.

කෙසේ හො 1977 මහ මැතිවරණයේදී එජාපය ලැබූ අතිමහත් බලයත් සමග ශ්‍රීලනිපය අසරණ විය. මැතිනිය වෙනුවෙන් පෙනී සිටීමට ඊට නොහැකි විණ.


“ප්‍රජා අයිතිය ඇතිව හෝ නැතිව මම ජනතාව වෙනුවෙන් මැරෙන තුරුම සේවය කරනවා.”


මැතිනිය එදා කළ ප්‍රකාශය යළි සිහිපත් කළේ 1994 යළි බලයට පත් ශ්‍රීලනිප ආණ්ඩුවේ අධිකරණ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්ය.


මැතිනිය දේශපාලනයෙන් ඵළවා දැමීමට කඩිනමින් සම්මත කළ ප්‍රජාතන්ත්‍ර විරෝධී සදාචාරයට පටහැනි ද්වේෂ සහගත ක්‍රියාදාම ඔහු හෙළි කළේය.


1996 අප්‍රේල් මස 08 වැනිදා මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ සම්මුතිය නිෂ්ප්‍රභා කිරීමේ යෝජනාව ගෙන එමින් ශ්‍රීලනිපය ගෙනා තර්ක හමුවේ එවකට විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ නැඟි සිටියේය.
“මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කළේ නීත්‍යානුකූල කොමිසමක තීන්දුව මතයි. ඒ නිසා අපේ යූ.එන්.පී පක්‍ෂය මේ විවාදයට එක් වන්නේ නෑ. අපි පිටවෙලා යනවා.”


“හැබැයි අනුර බණ්ඩාරනායක මන්ත්‍රීතුමා නම් කොමිසමේ තීන්දුවට විරුද්ධව ඡන්දය දුන්නා. එයාට නිදහසේ ඡන්දය දෙන්න අපි අවසර දෙනවා.”


අනුර ඉතිරිකර යූ.ඇන්පිය පිටව ගියේය. 


අමාත්‍ය ලක්‍ෂ්මන් ජයකොඩි ද කොමිසම පිහිටුවීම සදාචාර විරෝධි බව පැවසූ අතර දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ මඩකළපුව මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් මහතාගේ කතාව සුවිශේෂි එකක් විය.

 

“අවීනීත ඡන්ද කතාවට අප්‍රසාදය පළකරමින් එදා පක්‍ෂය වෙනුවෙන් විපක්‍ෂනායක ඒ අමිර්තලිංගම් ඇතුළු සියලු දෙනා කතා කළා. අපි හැමදාම ඒකාධිපතිවාදයට විරුද්ධයි. ප්‍රජාතන්ත්‍රවාදයට එකඟයි.”


අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, අමාත්‍ය බර්නාඞ් සොයිසා, අමාත්‍ය ලක්‍ෂ්මන් කදිරගාමර්, නීලන් තිරුචෙල්වම් අමාත්‍ය ඒ. එච්. එම්. අෂ්රොෆ්, රාජරත්නම්, අමාත්‍ය ඉන්දික ගුණවර්ධන, ඩී. එම්. එස්. බී. දිසානායක, ඩී. සිද්ධාර්ථන්, සතාසිවම් යන මන්ත්‍රීවරු මැතිනියගේ ප්‍රජා සේවය අගයමින් කොමිසමෙන් විපක්‍ෂයෙන් ක්‍රියාකාරිත්වය විවේචනය කරමින් කතා කළහ.


මන්ත්‍රී ඩී. සිද්ධාර්ථන් පැවසුවේ දිවංගත තම පියා වූ ධර්මලිංගම් මන්ත්‍රීවරයා බණ්ඩාරනායක මැතිනිය වෙනුවෙන් එදා කළ කතාව ගැන තමා ආඩම්බර වන බවකි. සිංහලෙන් කතා කළ සතාසිවම් මන්ත්‍රීවරයා මැතිනිය වතුකම්කරුවන් ඇතුළු වැඩ කරන ජනතාව වෙනුවෙන් අර්ථ සාධක අරමුදලක් ඇති කිරීම අගැයීමට ලක් කළේය.


අමාත්‍ය රිචඞ් පතිරණගේ යෝජනාව වූයේ මැතිනියගේ ප්‍රජා අයිතිය යළි ලබාදෙන මෙම ඓතිහාසික යෝජනාවට පක්‍ෂ හා විපක්‍ෂ මන්ත්‍රීවරුන් ගැන අනාගත පරපුරට බලා ගැනීමට වාර්තාගත කළ යුතු බවයි. මේ අනුව එම අවස්ථාවේ සභාවේ රැඳුණු මන්ත්‍රීවරුන් 124ක් යෝජනාවට පක්‍ෂව ඡන්දය දුන් අතර බණ්ඩාරනායක මැතිනිය පමණක් ඡන්දය දීමෙන් වැළකුණය.


මැතිනිය සර්වප්‍රකාරයෙන් නිදොස් බව සනාථ කෙරුණ එම දිනය ඇයටත් ප්‍රගතිශීලි ජනතාවටත් ඉතා සතුටුදායක දිනයක් විය. කෙමෙන් වියැකි යන තම සෞඛ්‍ය තත්ත්වය නිසා රෝද පුටුවට සීමා වූවද ඇගේ ප්‍රතාපවත් බවට සතුරා පවා මෙල්ලවිණ.


තම කනිටු දියණිය බලයට පත්ව 1994 දී මවට නිසි තැන හා ගෞරවය ලබා දෙමින් තුන්වැනි වරටත් රටේ අග්‍රාමාත්‍යධූරයෙහි පිහිටු වනු ලැබිණ. එහෙත් 2000 දී මැතිනිය සෞඛ්‍යමය හේතු මත තනතුරින් ඉවත්ව විවේක සුවයෙන් ගත කළාය.


2000 වසරේ එක් මැතිවරණ දිනයක මැතිනිය තම ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අත්තනගල්ල ශ්‍රී සංඝබෝධි විදුහලේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයට යෑමට සැරසුණාය. බණ්ඩාරනායක පවුලේ ඔටුනු හිමිකුමාරයා ලෙස හැඳුණු වැඩුණු අනුර බණ්ඩාරනායක මෙම මැතිවරණයේ දී ගත්තේ ශ්‍රී ලනිපයේ පාර්ශ්වය නොව යූ.ඇන්.පි.යේ පාර්ශ්වයයි.


ඒ නිසා සිත් වේදනාවෙන් පෙළුණු මැතිනිය ඡන්ද මධ්‍යස්ථානයට රැගෙන ගියේ වැඩිමහල් දියණි සුනේත්‍රාය. ඡන්ද පත්‍රිකාව ඇය අතට ලැබුණත් ඇගේ අතැඟිලි ඉදිමී තිබීම නිසා පැන්සල රඳවා ගැනීම අපහසු විය.
එබැවින් ඇය ඡන්ද නිලධාරියකුට කතා කළාය.


“කරුණාකරලා මගේ ඡන්දෙ පත්‍රිකාවේ සටහන් කරන්න. පුටුව ලකුණට විතරක් කතිරෙ ගහන්න. මනාප ලකුණු කරන්න එපා.‘’


ඇගේ අවසන් කැමැත්ත ගැන පසුදා මාධ්‍යවල ප්‍රධාන තැන දී තිබිණි. ඡන්දය පාවිච්චි කර සුනේත්‍රා සමඟ නුවරපාර ඔස්සේ කොළඹ එමින් සිටි මැතිනියගේ රෝග තත්ත්වය උත්සන්න වනු පෙනිණ.


“පුළුවන් තරම් ඉක්මනින් රෝහලකට ගෙනියමු” සුනේත්‍රා පිරිසගෙන් ඉල්ලා සිටියත් මැතිනියගේ කැමැත්ත ලෙස කඩවත පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇය යොමු කෙරිණි.


ගත වූ දෙපැය තීරණාත්මක විය. ගැහැනියක ලෙසත්, රාජ්‍ය නායිකාවක ලෙසත්, පෙරළිකාර ප්‍රතිපත්තිගරුක දේශපාලනඥවරියක ලෙසත් ආදර්ශයක් ඉතිරිකර සිරිමාවෝ මැතිනිය දැයෙන් සමුගත්තාය.

 

 

 

 

පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි