බණ්ඩාරනායක මහතාට වෙඩි තැබීමේ සිද්ධියත් එහිදී සෝමාරාමටද වෙඩි වැදුණු අන්දමත් විග්‍රහකළ චිට්ටි මහතා කියා සිටියේ බරපතළ තුවාල ලත් සෝමාරාම රෝහල්ගතව සිටියදී ඔහුගේ සමීපතම මිත්‍රයෙකු වූ කොළඹ සරණංකර හිමි රෝහලට ගොස් සෝමාරාම මුණගැසුණු අන්දම සහ එහිදී කෙරුණු කථාබහද විස්තර කර සිටියේය.

කොළඹ සරණංකර හිමි සෝමාරාමගේ හිතවත් මිතුරෙකි. පැවිදි වීමට පෙර ඔවුහු කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනේ අධ්‍යාපනය ලැබූහ. ඔවුන් දෙදෙනාම පැවිදිවීමෙන් පසුවද මිත්‍රත්වය එලෙසම පැවතුණි. වස් කාලවලදී සෝමාරාම තල්දූවේ පන්සලට යන අතර කොළඹ සරණංකර හිමිද එහි ගොස් ධර්ම දේශනා කිරීම සිරිතක් කොට පැවතුණි.


බණ්ඩාරනායක මහතාට වෙඩි තැබීමේ සිද්ධියත් සෝමාරාම ඊට සම්බන්ධ වූ බවත් ඔහුද තුවාල ලබා රෝහල්ගත කර තිබෙන බවත් සැල වූ විට සරණංකර හිමි රෝහලට ගොස් සෝමාරාම හමුවිය.

 

 

අගමැතිට කුමක් සිදු වී දැයි සෝමාරාම සරණංකර හිමිගෙන් අසා ඇත. අගමැතිතුමා තුවාල ලබා රෝහල්ගතව සිටින බව සරණංකර හිමි කී විට, “මම කරන්න ගිය වැඬේ හරියට කරගන්න බැරි වුණා. ආනන්ද මාත් එක්ක පොර බැදුවා” යයි සෝමාරාම ප්‍රකාශ කළ බවත්, කලින් දිනවලදී තමා මුණ ගැසීමට අමර විහාරයට ආ ගිය අය පිළිබදව හෙළිදරවු නොකරන ලෙස විහාරයේ නායක හිමියන්ට කියන ලෙසත් තමාට උපදෙස් දුන් බව කොළඹ සරණංකර හිමි ප්‍රකාශයක් කර තිබෙන බවද ච්ට්ටි මහතා සිය දේශනයේදී හෙළි කර සිටියේය. 
චිට්ටි මහතාගේ දේශනයෙන් පසු පැමිණිල්ලේ සාක්ෂි ඉදිරිපත් කරන ලදි. ඒ අනුව ඝාතන කුමන්ත්‍රණයට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බන්ධනාගාර ගත කර සිටි කොළොන්නාවේ පළාත් ආණ්ඩු සභාපතිවරයාව සිටි ආයුර්වේද වෛද්‍ය කරෝලිස් අමරසිංහ සත්‍ය තොරතුරු හෙළි කරන බවට දුන් පොරොන්දුව මත තාවකාලික සමාවක් මත අධිකරණය හමුවේ සිය සාක්ෂි ඉදිරිපත් කරන ලද්දේය.


තමාන් බුද්ධරක්ඛිත හිමි සහ ජයවර්ධන අතර තිබූ සම්බන්ධතාවන්ද, නිව්ටන් පෙරේරා සහ අනුර ද සිල්වා දැන හඳුනාගත් අන්දමත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන කටයුතු වලදී බුද්ධරක්ඛිතගේ භූමිකාවත්, අගමැතිවරයා ඝාතනය කිරීමට බුද්ධරක්ඛිත සහ ජයවර්ධන යන අය සෙසු අය පොළඹවාගත් අන්දමත් විස්තර කරමින් අමරසිංහ සිය සාක්ෂි ලබාදුන්නේය.


ඉන් අනතුරුව සාක්ෂි ලබාදෙන ලද්දේ කැලණි ගම් කාර්ය සභාවේ උප සභාපති වූ බුද්ධරක්ඛිත, ජයවර්ධන ළඟින් ඇසුරු කළ කැළණි විහාරය ආසන්නයේ ම පදිංචිව සිටි සූරිය ආරච්චිගේ දොන් සරණපාල ගුණවර්ධන විසිනි. ඔහු වෘත්තියෙන් වෛද්‍යවරයෙක්දවිය.


වසර දහයකට පෙර කැලණි විහාරයේ අයිතිය පිළිබඳව ඇති වූ ආරවුලකදී කැලණිතිලක වෙද මහතා ආධාරකර තිබුණේ බුද්ධ රක්ඛිතගේ ප්‍රතිවාදියා වූ සංඝරක්ඛිත හිමිටය. විහාරයේ හිමිකම සඳහා සිවිල් නඩුවක්ද එකල පැවතුණි.


කැළණි විහාරයේ සංඝාවාසයට බලහත්කාරයෙන් ඇතුළුවීමක් සම්බන්ධ සංඝරක්ඛිත හිමිගේ ආධාරකරුවන්ට එරෙහිව අපරාධ නඩුවක් වෙනම තිබුණි. සරණපාල ගුණවර්ධන ද එම නඩුවේ විත්තිකරුවෙකි. එම නඩුවේදී විත්තිකරුවන් වැරැදිකරුවන් වූ අතර ඇපෑල් උසාවියේ දී ඔවුහු නිදහස් වූහ. විහාරස්ථානයේ බල අරගලය නිමාවී බුද්ධරක්ඛිතට අයිතිය හිමිවීමෙන් අනතුරුව සරණපාල ගුණවර්ධන බුද්ධරක්ඛිත හිමි සමග සමීපවිය.


සරණපාල ගුණවර්ධනගේ සාක්ෂි විමසීමෙන් පසු සාක්ෂිදීම සඳහා කැඳවන ලද්දේ කැළණියේ පෙතියාගොඩ ගම්කාර්ය සභික වූ ඩබ්. කේ. දොන් සිරිසේන නොහොත් මයිකල් බාස් නමැත්තාය. ඔහුට අයත් මෝටර් රථ අලුත්වැඩියා කරන ගරාජයක් බොරැල්ලේ තිබුණි. අනුර ද සිල්වා කාර්මිකයෙකු ලෙස සේවය කළේද එම ගරාජයේමය.


පස්වැනි විත්තිකාර පොලිස් පරීක්ෂකවරයෙකු වූ නිව්ටන් පෙරේරා සාක්ෂි ලබාදුන් පසු ඇසින් දුටු සාක්ෂි කැඳවන ලදී. ඒ අනුව අගමැතිවරයාට වෙඩි තබන අවස්ථාවේ ඒ අසල සිටි නිවත්තිඩියේ ආනන්ද හිමිද, ඒ හිමියන් සමග පැමිණ සිටි පොළොන්නරුවේ ගොවියෙකු වූ ඩබ්. පියදාස, පොල්ගහවෙල පදිංචි ගුරුවරයෙකු වූ අයි. එම්. විජේකෝන් වික්‍රමසිංහ, අගමැතිවරයාගේ මස්සිනා කෙනෙකු වන බාන්ස් රත්වත්තේ යන මහත්වරුන් සහ සෝමාරාමගේ මිතුරෙකු වූ කොළඹ සරණංකර හිමිද එලෙස සාක්ෂි ලබාදී තිබුණි.


අනතුරුව ඝාතන සිද්ධිය සම්බන්ධව මූලික සාක්ෂි විභාගය පැවැත්වූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ඇන්. ඒ. ද ඇස්. විජේසේකර මහතා සාක්ෂි ලබාදුන්නේය. අගමැතිවරයාට වෙඩි තැබීමෙන් පසු ඝාතකයා ලෙස හඳුනාගත් තල්දුවේ සෝමාරාම බන්ධනාගාර නිලධාරින් විසින් තමා හමුවට පැමිණ වූ අයුරුත් එහිදී සෝමාරාම කළ ප්‍රකාශයත්, ඉන්පසුව මහේස්ත්‍රාත් අධිකරණයේදී විත්තිකුඩුවේ සිට ඔහු කළ ප්‍රකාශයත් විජේසේකර මහතා අධිකරණය හමුවේ කියවන ලදී.


පැමිණිල්ලේ සාක්ෂිවලට පසු විත්තිපාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහත්වරුන්හට පැමිණිල්ලේ දේශනයට පිළිතුරු දීමට අවස්ථාව හිමිවිය. ඒ අනුව තුන්වන විත්තිකාර අනුර ද සිල්වා වෙනුවෙන් පෙනී සිටි කේ. ෂින්යා නීතිඥ මහතා තම සේවාදායකයාගේ නිර්දෝෂීභාවය දක්වමින් දේශනයක් සිදු කළේය.


සෝමාරාම වෙනුවෙන් පෙනීසිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ලූෂන් ජී. වීරමන්ත්‍රී මහතා ඉතා දීර්ඝ දේශනයක් සිදු කළේය. එසේම නිව්ටන් පෙරේරාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ එන්. සත්යේන්ද්‍ර මහතා තම සේවාදායකයාගේ නිර්දෝෂීභාවය ඔප්පු කරනු පිණිස දීර්ඝ වූත්, සාධාරණ හේතු සාධක සහිතවූත් දේශනයක් සිදුකළේය.


විත්ති පාර්ශ්වයේ නීතිඥවරුන්ගේ දේශන සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් පැමිණිල්ලේ නීතිඥ චිට්ටි මහතා දීර්ඝ ලෙස කරුණු ගෙනහැර පාමින් ජූරි සභාව ඇමැතීය. ඉන්පසු බුද්ධරක්ඛිත සහ ජයවර්ධන යන විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි රාජනීතිඥ පීනියාස් ක්වාස් මහතා ජූරි සභාව අමතා සිය දේශනය සිදුකළේය.


රාජනීතිඥ පීනියාස් ක්වාස් මහතාගේ දේශනයෙන් අනතුරුව විනිශ්චයකාරතුමා ජූරි සභාව අමතා සාක්ෂි සම්පිණ්ඩනය කරමින් සිය දේශනය සිදුකළේය. 


අධිකරණ ඉතිහාසයේ සුවිශේෂ නඩුවක් වූ බණ්ඩාරනායක ඝාතන නඩුවේදී ගැටලුකාරී තැන් රැසක් දක්නට ලැබුණි. පොලිස් පරීක්ෂක නිව්ටන් පෙරේරා බුද්ධරක්ඛිත හිමිගේ ඉල්ලීම මත ඔසී කොරයාගෙන් රිවෝල්වරයක් ඉල්ලාගෙන ගොස් බුද්ධ රක්ඛිත හිමිට දී තිබුණි. ඔසී කොරයා නමගිය අපරාධකරුවෙකු විය. ඔහුට එරෙහිව නඩු කිහිපයක්ම තිබුණි. කොරයා නිව්ටන් පෙරේරාට දී තිබුණේ පොයින්ට් 450 උණ්ඩ යොදන රිවෝල්රයකැයි ඔහු සාක්ෂි දෙමින් කියා සිටියේය. එහෙත් වෙඩි තැබීම සිදුවූ ස්ථානයේත් අගමැතිවරයාගේ සිරුරේත් පොයින්ට් 450 සහ 455 උණ්ඩ තිබී හමුවිය. මේ ගැටලුව විසඳීමට රජයේ රස පරීක්ෂක සිරිමාන්න මහතාට පැවරුණි. ඔහු එම රිවෝල්වරයට 450 සහ 455 උණ්ඩ දෙවර්ගයක්ම භාවිතා කළහැකි බව සිරිමාන්න මහතා සාක්ෂි දෙමින් කියා සිටියේය.

 

 

මතු සම්බන්ධයි.

 

 

 

 

 

 

 

 

 

 


ප්‍රේමලාල් රණවිළ