රාජ්‍ය නායකයෙකු වශයෙන් බණ්ඩාරනායක මහතා ඒ සියලු අභියෝගවලට මෛත්‍රියෙන්, කරුණාවෙන් හා ඉවසීමෙන් මුහුණ දුන්නේය. සමහර ගැටලුවලදී ඔහු අනුගමනය කළ නම්‍යශීලි ප්‍රතිපත්ති නොරිස්සූ අය ඔහුට “සෙවල බණ්ඩා’ යනුවෙන් අපහාස කිරීමට පවා පෙළඹුනහ. කෙසඟ සිරුරකින් යුත් කුඩා මිනිසෙකු සේ රටට පෙනුණු බණ්ඩාරනායක මියයාමත් සමග දැවැන්ත, ප්‍රබල චරිතයක් බවට පරිවර්තනය විය.


බණ්ඩාරනායක මහතාගේ දේහය රොස්මීඞ් හි ඔහුගේ නිවසට රැගෙන ආ මොහොතේ සිට රටේ සෑම ප්‍රදේශයකින්ම ලක්ෂ සංඛ්‍යාත ජනී ජනයා වැල නොකැඩී එතුමාගේ දේහය දැක බලා ගෞරව දැක්වීම සඳහා රොස්මීඞ් පෙදෙසට ඇදී ඒමට පටන් ගත්හ. සුදු වතින් සැරසුණු ජනයාගෙන් සැදුම් ලත් දිගු පෝලිම් සැතපුම් ගණන් ඈතට විහිදී ගියේය. අන්ත දුගී දුප්පත් මිනිසුන්, ගැහැනුන් අත දරුවන් පවා රැගෙන දිවා රාත්‍රී නොබලා ඒ පෝලිම්වල රැඳී සිටියේ ස්වකීය සදාදරණීය නායකයාට අවසන් බුහුමන් දැක්වීම තම යුතුකමක් සේ සලකමිනි.
ලෝක රාජ්‍ය නායකයන්, තානාපතිවරුන්. දෙස් විදෙස් සංවිධාන, සිවිල් සංවිධාන සහ සාමාන්‍ය සිවිල් පුරවැසියන් රැගෙන ආ මල් වඩම්වලින් රොස්මීඞ් නිවස පිරීගියේය. ඒ සා මලින් වැසුණු දේහයක් මෙරට ඉන් පෙර නොවීය.

 

 

රොස්මීඞ් හී තැන්පත්කර තිබූ දේහය පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වෙත රැගෙන යාමෙන් පසුවද ජන ගංගාවේ වෙනසක් නොවීය. පොලිසියත් ත්‍රිවිධ හමුදාවත්, මහජනයාගේ අවශ්‍යතා සහ ආරක්ෂාව සඳහා යොදවා තිබූ අතර, ඊට අමතරව බාලදක්ෂ කණ්ඩායම්ද මහජනයා හැසිරවීම පිණිස යොදා ගැනීමට සිදුවිය. රතුකුරුස සංවිධානයද ජනයාගේ විශේෂ අවශ්‍යතා සොයා බැලීමට යොදවන ලදී.

 


 

එළඹුණු බදාදා අගමැතිවරයාගේ දේහය එතුමාගේ නිජ භූමිය වූ අත්තනගල්ලේ හොරගොල්ල වලව්වට රැගෙන යාමට කටයුතු සූදානම් කෙරුණි.

අත්‍යාලංකාරයෙන් තැනූ රන්සිවි ගෙයක තැන්පත් කරන ලද දේහය පූර්ණ රාජ්‍ය ගෞරව මධ්‍යයේ පෙරහැරකින් හොරගොල්ල බලා රැගෙන යාමට පාර්ලිමේන්තුවේ සිට ගමන් ආරම්භ කෙරුණේය. ලක්ෂ සංඛ්‍යාත ජනී ජනයා මග දෙපස රැඳී සිටිමින් තමන් පසු කර යන ඒ නිහඬ උතුම් නායකයාට දෑත් එක්කොට වැඳ ගෞරවාදර දැක්වූහ.


පොලිස් දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන අනුව කලගෙඩිහේනේ සිට හොරගොල්ල දක්වා පමණක් මග දෙපස දස ලක්ෂයකට අධික ජනකායක් රැස්ව සිටි බව කියැවුණි. අගමැතිවරයාගේ දේහය හොරගොල්ල වලව්වේ මැද සාලයේ තැන්පත් කරන ලද අතර, එතුමාට අවසන් ගෞරවය දැක්වීමට ගම්වාසීහු පේළි සැදී සිටියහ. පසුදින එනම් බ්‍රහස්පතින්දා අවසන් කටයුතු සඳහා සූදානම් වනතුරුම ජන ගංගාව ගලා ගියේය. 


පසුදින අවමංගල උත්සවයේ සාම්ප්‍රදායික වත් පිළිවෙත් සිදු කර අවසානයේ දේහය වලව්ව පිහිටි භූමි භාගයේ විශේෂයෙන් තනවන ලද සුදු සිව්රැස් තොරණකින් පරික්ෂිප්ත වූ සුසානාගාරයේ තැන්පත් කරන ලදී. අභාවප්‍රාප්ත අගමැතිවරයාගේ ගුණ අළලා ගරුතර මඩිහේ පක්‍ඳ්ඤාසීහ, ගරු හිස්සැල්ලේ ශ්‍රී ඤානෝදය, ගරුතර ඇතුල්ගම දේවරක්ඛිත නාහිමිවරු දේශනා පැවැත් වූ අතර ඉංග්‍රීසි බසින් වජිරාරාමවාසී සෝම ස්ථවිරයන් වහන්සේ දේශනය පවත්වන ලදී. ගිහි පාර්ශ්වය වෙනුවෙන් ඒ වන විට අග්‍රාමාත්‍ය ධුරයට පත්ව සිටි ඩබ්. දහනායක මහතා කථා කළේය.


මේ අවස්ථාවට සහභාගිවීම සඳහා ලෝකයේ රටවල් රාශියකින් නියෝජිතයෝ, රාජ්‍ය නිලධාරීහු, තානාපතිවරුද පැමිණ සිටියෝය. මතක වස්ත්‍ර පූජා කිරීමෙන් පසු සියලු චාරිත්‍ර අවසන් වූ අතර පවුලේ සමීපතම ඥාතීහු බණ්ඩාරනායක මහතාගේ දේහයට සිය අවසන් ගරු බුහුමන් දැක්වූහ. ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානයකින් අහසේ සිට සමන් පිච්ච මල් දේහය මතට ඉසින ලද අතර, දශ ලක්ෂයකට අධික ජනකායකගේ සෝ සුසුම් අහස් කුසට විහිදී යත්දී, විශේෂයෙන් තනා තිබූ සොහොත් ගැබේ ඒ විශිෂ්ට දේශපාලනඥයාගේ දේහය සහිත දෙණ තැන්පත් කරන ලදුව සියලු අවමංගල කටයුතු නිමාවිය.

 

කැලණි රජමහ විහාරයේ නායක මාපිටිගම බුද්ධරක්ඛිත හිමි, එච්.පී. ජයවර්ධන, මෝටර් කාර්මිකයෙකු වූ අනුර ද සිල්වා, පොලිස් පරීක්ෂකයෙකු වූ නිව්ටන් පෙරේරා, ආයුර්වේද වෛද්‍යවරයෙකු මෙන්ම කොළොන්නාව පළාත් ආණ්ඩු සභාපති වරයාද වූ අමරසිංහ ආරච්චිගේ කරෝලිස් අමරසිංහ, ඇමති වරියකව සිටි විමලා විජේවර්ධන, ඩිකී ද සොයිසා සහ බොරැල්ලේ ආයුර්වේදයේ අක්‍ෂිරෝග විශේෂඥයෙකු වූ තල්දූවේ සෝමාරාම හිමි යන අය රහස් පොලිස් නිලධාරීන් විසින් අත් අඩංගුවට ගන්නා ලදහ.

 

 


නීත්‍යානුකූලව වුවද මනුෂ්‍ය ජීවිතයක් නැතිකර දැමීමට බලවත් අකමැත්තක් දැක් වූ බණ්ඩාරනායක අගමැතිවරයා ‘මරණ දඬුවම’ තාවකාලිකව අත්හිටවා තිබුණි. එතුමාගේ අභාවයෙන් අනතුරුව අගමැති ධුරයට පත් දහනායක මහතා ‘මරණ දඬුවම’ නැවත සක්‍රීය කළේය. අගමැති ඝාතනය පිළිබඳව පරීක්ෂණ පවත්වන රහස් පොලිසියට උපදෙස් දෙනු පිණිස  බි්‍රතාන්‍යයේ ස්කොට්ලන්ඞ්යාඞ් රහස් පොලීසියේ විශේෂ නිලධාරීන් දෙදෙනෙකු මෙරටට ගෙන්වන ලදහ.


රහස් පොලිස් නිලධාරීහු දිවා රෑ නොබලා දහස් ගණනකගෙන් ප්‍රශ්න කරමින්, කට උත්තර ලබාගනිමින් තොරතුරු එක්රැස් කළෝය. සියලු තොරතුරු එක්රැස් කොට, ඒවා විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව කැලණි රජමහ විහාරයේ නායක මාපිටිගම බුද්ධරක්ඛිත හිමි, එච්.පී. ජයවර්ධන, මෝටර් කාර්මිකයෙකු වූ අනුර ද සිල්වා, පොලිස් පරීක්ෂකයෙකු වූ නිව්ටන් පෙරේරා, ආයුර්වේද වෛද්‍යවරයෙකු මෙන්ම කොළොන්නාව පළාත් ආණ්ඩු සභාපති වරයාද වූ අමරසිංහ ආරච්චිගේ කරෝලිස් අමරසිංහ, ඇමති වරියකව සිටි විමලා විජේවර්ධන, ඩිකී ද සොයිසා සහ බොරැල්ලේ ආයුර්වේදයේ අක්‍ෂිරෝග විශේෂඥයෙකු වූ තල්දූවේ සෝමාරාම හිමි යන අය රහස් පොලිස් නිලධාරීන් විසින් අත් අඩංගුවට ගන්නා ලදහ.


අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවන් මහේස්ත්‍රාත් තුමා වෙතට ඉදිරිපත් කරන ලද අතර, එහිදී ඩිකී ද සොයිසා පමණක් නිදහස් කරන ලදී. සෙසු අය රිමාන්ඞ් බන්ධනාගාර ගත කරන ලද්දෝය.


1959 දෙසැම්බර් මස 14 වැනි දින මූලික සාක්ෂි විභාගය කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ඇස්.ඒ.ද.එස්. විජේසේකර මහතා ඉදිරියේ ආරම්භ විය. දින 124 ක් පැවැති එම විභාගයේදී  පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් 193 දෙනෙකු සාක්‍ෂි ලබාදුන් අතර, 12 දෙනෙකු විත්තිපාර්ශ්වයේ සාක්ෂිකරුවන් ලෙස සාක්ෂි ලබා දී තිබුණි.


 

පැමිණිල්ලේ සාක්‍ෂි දීම අවසානයේදී හයවැනි විත්තිකාරිය වූ විමලා විජේවර්ධන චෝදනාවලින් නිදහස් කර යවන ලදී. හත්වැනි විත්ති කරුවූ කරෝලිස් අමරසිංහ සත්‍ය තොරතුරු ඉදිරිපත් කරන පොරොන්දුවක් දුන් බැවින් කොන්දේසි සහිතව තාවකාලික සමාවක් ලැබිණ. එහෙත් ඔහු දිගටම බන්ධනාගාරයේ රඳවා තැබීමට මහේස්ත්‍රාත්තුමා නියෝග කළේය.

 

 


තව කොටසක් ලබන සතියට

 

 

 

 

 

ප්‍රේමලාල් රණවිළ