IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ප්‍රභාකරන් සොයා වන්නි කැලයට ගිය ගමන

අගමැතිවරයා වශයෙන් එවකට ද සිටි රනිල් වික්‍රමසිංහ මහතා සහ එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් අතර සටන් විරාම ගිවිසුමක් අස්සන් කළේ 2002 වසරේ පෙබරවාරි මාසයේ 22 වැනිදා නෝර්වේ රජය මැදිහත්කරුවකු ලෙස පෙනී සිටිමිනි.


මෙම සාම ගිවිසුමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වවුනියාව ඕමන්ත ප්‍රදේශයේ සිට ද ප්‍රභාකරන් කිලිනොච්චිය කොටි සාම මහ ලේකම් කාර්යාලයේ සිට ද අස්සන් කළහ. එල්.ටී.ටී.ඊ. සංවිධානය අතර, පසු කාලයක විරසකකම් ඇතිවී අවසානයේ නැගෙනහිර නායකයාව සිටි කරුණා අම්මාන් සමග විශාල පිරිසක් සංවිධානය අතහැර යාමට ගිවිසුම ප්‍රබල සාධකයක් වූ බව එකල දේශපාලන විචාරකයෝ පෙන්වා දුන්හ.


සාම ගිවිසුම අස්සන් කර මාස දෙකකට පමණ පසු ප්‍රභාකරන්ගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වීමට යෙදුණේ කිලිනොච්චිය වට්ටකච්චිය ප්‍රදේශයේදීය. ප්‍රභාකරන්ගේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගිවීම සඳහා දෙස් විදෙස් මාධ්‍යවේදීහු 300කට වැඩි පිරිසක් වන්නියට පැමිණ සිටියහ.


එල්.ටී.ටී.ඊ. සංවිධානය පිහිටුවීමෙන් පසු දෙස් විදෙස් මාධ්‍යවේදීන් හමුවේ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වූ දෙවැනි අවස්ථාව එය විය.
ප්‍රභාකරන් මුල් වරට මාධ්‍ය සාකච්ඡාවක් පවත්වනු ලැබුවේ 1990 වසරේ අප්‍රේල් මාසයේ පළමු වැනිදාය. ඒ යාපනයේ එවකට පිහිටා තිබූ එල්.ටී.ටී.ඊ. කාර්යාලයේදීය.


එයින් වසර 27කට පසු ප්‍රභාකරන් පැවැත්වූ දෙවැනි මාධ්‍ය සාකච්ඡාව මෙය විය.


එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් විසින් පවත්වන්නට යෙදුණු මෙම මාධ්‍ය සාකච්ඡාවට දිනපතා ලංකාදීපය වෙනුවෙන් මෙම සටහන තබන ලේඛකයා ද රත්නපාල ගමගේ ද ප්‍රසන්න සංජීව තෙන්නකෝන් ද සහභාගි වූහ.

 

 

මේ ගමන අපිත් එක්ක ගිය අපේ ඡායාරූප ශිල්පියා වූයේ ඇලෙක්සැන්ඩර් බාලසූරිය යි.


කොළඹ සිට එදා කොටි පාලනය යටතේ පැවති කිලිනොච්චියට අපිව රැගෙන ගිය අපේ මාතලී වූයේ විජය පුවත්පත් ආයතනයේ ප්‍රවාහන අංශයේ රියැදුරු තිලකරත්නය.


රජයේ පාලනය යටතේ පවතින අපේ හමුදාවේ අවසන් මුර කපොල්ල පිහිටා තිබුණේ වවුනියාව ඕමන්ත ප්‍රදේශයේය. 


ඕමන්ත ප්‍රදේශයේම එක්කොටසක් පැවැතියේ එල්.ටී.ටී.ඊ.යේ පාලනය යටතේය. එතැනින් එහාට පාලනය කළේ එල්.ටී.ටී.ඊ.ය විසිනි.
ඕමන්ත කොටි පාලනය කළ ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ. ප්‍රධාන පිරික්සුම් මූලස්ථානය පිහිටා තිබිණි.


ඕමන්ත පිහිටි රජයේ හමුදා පිරික්සුම් මූලස්ථානයේ සිට බලන විට එල්.ටී.ටී.ඊ. පිරික්සුම් මූලස්ථානය පිහිටා තිබුණේ පෙනෙන නොපෙනෙන මානයේය. මේ පිරික්සුම් කඳවුරු දෙක අතර ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේ නියෝජිතයන් රැඳී සිටියේ සාම ගිවිසුමේ එක් කොන්දේසියක් අනුවය.


ප්‍රභාකරන්ගේ ප්‍රවෘත්ති සාකච්ඡාව වාර්තා කිරීමට අප පිටත්ව ගියේ ඒ සාකච්ඡාව පැවැත්වීමට දින දෙකකට කලිනි.


ඒ වෙනකොටත් දෙස් විදෙස් මාධ්‍යවේදීහු හා මාධ්‍යවේදිනියෝ ප්‍රභාකරන්ගේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගිවීමේ අපේක්ෂාවෙන් කිලිනොච්චියට යාමට ඕමන්තේ හමුදා පිරික්සුම් මුරපොළ වෙත පැමිණ සිටියහ.


ඒ කාලයේ ඕමන්ත පිරික්සුම් මුරපොළේ කාර්ය බාර නිලධාරියා ලෙස කටයුතු කළේ කපිතාන් ඉලංගකෝන් ය.


කපිතාන් ඉලංගකෝන් මහතා මාධ්‍යවේදීන්ගේ ළඟම හිතවතෙක් මෙන්ම කාටත් ප්‍රියමනාප හමුදා නිලධාරියෙක් ද විය.


හමුදා මුරපොළේ පිරික්සීම්වලින් පසු ලංකාදීපයේ අපි කිලිනොච්චිය බලා යාමට පිටත්ව ගියෙමු.


ඊට කලින් අපව ඕමන්ත එල්.ටී.ටී.ඊ. පිරික්සුම් මුරපොළේදී ද දැඩි පරීක්ෂාවලට ලක්වූයේ අපගේ ඡායාරූප වෙන වෙනම ලබාගෙන එල්.ටී.ටී.ඊ. කෙල්ලන් වීඩියෝ කරන අතරවාරයේය.


අප සේවය කරන විජය පුවත්පත් ආයතනයේ ලිපිනයට අමතරව අප එකිනෙකාගේ පෞද්ගලික ලිපිනයන්ද ඕමන්ත කොටි පිරික්සුම් මුරපොළේ සිටි කොටි සාමාජික සාමාජිකාවෝ අසා ලියා ගත්තෝය.


මා නම් කිසිම දවසක මාගේ ඇත්ත ලිපිනය කොටින්ට ලබා නොදීමට වගබලා ගෙන තිබුණ අතර, මෙවර ද කොටි අඩවියට ඇතුළුවීමේදී ලබා දුන්නේ වෙනදා මෙන්ම දෙහිවල ප්‍රදේශයේ ලිපිනයකි.


ඕමන්ත කොටි පිරික්සුම් මුරපොළේ පිරික්සුම්වලින් පසුව අප රැගත් ලංකාදීපයේ වෑන් රථය කිලිනොච්චිය බලා පිටත්ව ගියේ කොටි අඩවියට සැඳෑ අඳුර ගලා ඒමට සූදානම් වෙමින් තිබූ හෝරාවේ ය.


අපට නවාතැන් ගැනීමට පහසුකම් සපයා තිබුණේ කිලිනොච්චිය වට්ටකච්චිය නගරයේ සිට අතුරු මාර්ගයක් ඔස්සේ කිලෝමීටර් පහක හයක පමණ දුරක් ගිය පසු හමුවෙන නවාතැන්පොළකය.


එල්.ටී.ටී.ඊ. පුනරුත්ථාපන හා ආර්ථික සංවර්ධන මධ්‍යස්ථානය යනුවෙන් එහි විශාල නාම පුවරුවක් ප්‍රදර්ශනය කර තිබූ බව මට මතකය. අප කණ්ඩායම එහි යන විටත් දෙස් විදෙස් මාධ්‍යවේදීහු සැලකිය යුතු සංඛ්‍යාවක් එහි පැමිණ සිටියහ.


මාධ්‍යවේදීන් සම්බන්ධකරණය කරනු ලැබුවේ එල්.ටී.ටී.ඊ. මාධ්‍ය ප්‍රකාශකවරයාව සිටි දයා මාස්ටර්ය.


මීට පෙර තිබූ දැන හැඳුනුම්කම් මත එල්.ටී.ටී.ඊ. දේශපාලන අංශයේ නායිකාවව සිටි තමලිනී ද අප සමග තරමක වේලාවක් කතා බහ කර ගියේ යළිත් හමුවීමේ බලාපොරොත්තුවෙනි.


ඕනෑම කෙනෙකුට කැමතිනම් නවාතැන් ගෙන උදේට නවාතැන්පොළෙන් පිටව යා හැකි බවත්, එහෙත් සවස 5.00ට කලින් යළිත් නවාතැන්පොළට පැමිණිය යුතු බවටත් කොන්දේසියක් පනවා තිබෙන බව අප දැන ගත්තේ එල්.ටී.ටී.ඊ.යේ නායකයකුව සිටි සුදා මාස්ටර් නමැත්තාගෙනි.


එහෙත් ප්‍රභාකරන්ගේ ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වෙන දිනයේ කිසිම කෙනෙකුට මොනම හේතුවක් නිසාවත් නවාතැන්පොළෙන් පිටවී යා නොහැකි බවට නියෝගයක් පනවා ඇති බව ද පැමිණ සිටි දෙස් විදෙස් මාධ්‍යවේදීන්ට සුදාමාස්ටර් ප්‍රකාශ කළේය.


අලුත්ම අලුත් ඇඳ ඇතිරිලි, කොට්ටා සහ පැදුරු නිදා ගැනීමට කොටින් විසින් සියලුම මාධ්‍යවේදීන්ට සපයා තිබූ අතර, එහි ගත කළ කාලය තුළ කෑම බීම ද ඔවුන් විසින් නොමිලයේ සපයනු ලැබීය.

 


ඉතිරිය ඊළඟට.....

 

 

 

 

 

 

 

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
ඡායාරූප -
ඇලෙක්සැන්ඩර් බාලසූරිය
සහ අන්තර්ජාලයෙනි.



අදහස් (0)

ප්‍රභාකරන් සොයා වන්නි කැලයට ගිය ගමන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site