නොයනා හිරු රැස් සිදු ගැබ පතුළත
අගනා මිණි රැස අඳුරෙම සැඟවෙන
පිපෙනා වනයෙහි කුසුමන් නිම නැත
හමනා සුළඟින් වනයෙම පරවෙන
 
1945 මැයි මස 30 දින රාජ්‍ය මන්ත්‍රණ සභා ගර්භයෙන් මෙම කවි හඬ නැගුණේ නිදහස් අධ්‍යාපන පනත ගෙන ආ ආචාර්ය සී. ඩබලිව්. ඩබ්ලිව්. කන්නන්ගර සූරීන් වෙතිනි. දැනට පවතින අධ්‍යාපන ක්‍රමය නිසා අනාගතයේ දී බලය හා සල්ලි මිස මොළය නැත්තන්ගෙන් පන්ති කාමර පිරී යනු ඇති. සල්ලි හා බලය නැතත් ඉගෙනීමෙහි දක්ෂ දුප්පත් දරුවන්ට අධ්‍යාපනයේ දොර කවුළු වැසී යන මෙම අසාධාරණ ක්‍රමය අපේ යුගයේදීම පරාජය කළ යුතුයි.
 
මෙතුමා එසේ හඬනඟන විට ඉදිරිපෙළ අසුන්ගෙන සිටි අධිරාජ්‍ය ගැති බටහිර අධ්‍යාපනයෙන් හිස් උදුම්මාගත් පාරම්පරික දේශපාලනඥයන් රැසකගේ මුහුණු මැළවී යනු දක්නට ලැබිණ.
 
ක්‍රිස්ටෝපර් විලියම් විජේකෝන් කන්නන්ගර වනාහි ආර්ථිකය උසස් නොවූ බෞද්ධ පවුලක තුන්වැනි පුත්‍රයා ලෙස හද්දා පිටිසර අම්බලන්ගොඩ රන්දොඹේ ලුල්බද්දාවේ දී උපත ලැබූවෙකි. සාමාන්‍ය ලිපිකරුවකු හා පිස්කල්වරයකු හා බෞද්ධයකු වූ ජෝන් ඩැනියෙල් පියාණන්ට හා ඇන්ලියානු කතක වූ එමලි විජේසිංහ මෑණියන්ට දාව 1884.10.11 දින ඔහු මෙලොව එළිය දුටුවේය.
 
පියාගේ රැකියාව අහිමි වී සියලු පැතුම් බොඳව පවුලම අසරණව සිටි සමයක වෙස්ලියන් විදුහලේ ත්‍යාග උළෙලට පැමිණි රිච්මන්ඞ් විදුහල්පති ජේම්ස් හෝර්න්ඩැරල් පියතුමා කුඩා දරුවාගේ හැකියාවන් දැක ඔහුට ශිෂ්‍යත්වයක් පිරිනැමීය. ඒ අනුව 1899 සහ 1901 දී ලන්ඩන් හි කේම්බි්‍රජ් සරසවියෙන් ජූනියර් සහ සීනියර් විභාග සමත්වීමට හැකිවිය.
 
තරුණ කන්නන්ගරගේ දක්ෂ හා ප්‍රියතම විෂයයක් වූයේ අංක ගණිතය හා ඉංග්‍රීසි භාෂාවයි. ඊට අමතරව බිලියඞ් හා ක්‍රිකට් ලෝලියෙක් විය. එබැවින් ඩැරල් පියතුමා ඔහුට රිච්මන්ඞ් විදුහලේ ගුරු පදවියක් පිරිනැමීය. 1907 දී මොරටුව ප්‍රින්ස් ඔෆ් වේල්ස් විදුහලේ ආචාර්ය මණ්ඩලයට බැඳිණ. ඒ නීතිය හැදෑරීමට මුදල් සොයා ගැනීමටය.
 
අලුත් ගණිත ගුරුවරයා වූ කන්නන්ගරට එහි විදුහල්පතිවරයා අලුත් නීතියක් දැම්මේය. තමා ප්‍රාදේශීය පාලක සභාවට තරග කරන බැවින් සියලු ගුරුවරු ඡන්ද කටයුතුවලට උදව් කළ යුතු බවයි.
 
“සල්ලිවලට වඩා ආත්මගරුත්වය මට වටිනවා. ඒ නිසා මං අස්වෙනවා.”
 
රැකියාවෙන් ඉවත්වූ ඔහු බොරැල්ලේ වෙස්ලි විදුහලට බැඳිණ. 1910 දී නීති විද්‍යාලයෙන් උපාධිය ලබා ගාල්ලට ගිය කන්නන්ගර නීතිවේදියා සමාජ සේවා ක්ෂේත්‍රයට තදින් නැඹුරු විය.
 
1915 සිංහල මුස්ලිම් ජාතිවාදී කෝලාහලය නිසා සිරබත් කෑ අහිංසක ජනතාව බේරාගැනීමට නීති උපදෙස් දුන් ඔහු 1916 ගාල්ලේ ජන ජීවිතය වසාගත් උණ වසංගතය නිවාරණය කිරීමට තම ගුරුවරයා වූ ඩැරල් පියතුමා අනුගමනය කරමින් නිවෙස් ගානේ ගොස් රෝගී ජනතාවට පිහිට විය. 1916 දී ලංකා ප්‍රතිසංස්කරණ ලීගය පිහිටුවීමෙහිලා පුරෝගාමී විය.
 
ලංකා ජාතික සංගමය හා ලංකා ප්‍රතිසංස්කරණ ලීගයේ ගාලු දිස්ත්‍රික් නායකයා වූයේ කන්නන්ගර තරුණයාය. ශ්‍රීමත් ජේම්ස් පීරිස් නායකත්වය දැරූ ලංකා ජාතික සංගමයේ සභාපති පදවිය 1930 දී ඔහුට පිරිනැමිණ.
 
බුදු දහම හැදෑරීමට කන්නන්ගර පවුල නැඹුරුවූයේ මේ අතරය. ඊට ආසන්නතම හේතුව වූයේ ඔහුගේ බාල සොහොයුරාගේ අකල් වියෝවය. ඒ අනුව සොහොයුරිය හැර සියලු දෙනා බුදු දහම වැලඳගත්හ.
 
මෙතෙක් විවිධ භූමිකාවන්හි නියැළී සිටි කන්නන්ගර තරුණයාට ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කිරීමට අවස්ථාව ලැබිණ. එය ගාලු අසුන නියෝජනය කළ ඕ. සී. තිලකරත්නගේ අභාවය නිසා පුරප්පාඩු වූ අතර එයට තරග කළ ඔහුට විශිෂ්ට ජයග්‍රහණයක් අත්විණ. 1926 දී ප්‍රැන්සිස් සොයිසා පරදවා එම ජයග්‍රහණය තහවුරු කරගත්තේය.
 
රටේ අධ්‍යාපනයට සංස්කෘතියට හා ආර්ථිකයට නොගැළපෙන පනත් කිහිපයක්ම පරාජය කිරීමට කන්නන්ගර මන්ත්‍රීවරයා සටන් කළේය. 1923 - 1931 වකවානුව තුළ ගෙන එනු ලැබූ අමද්‍යප ව්‍යාපාරය පිළිබඳ පනතට සහයෝගය දෙමින් පරදාර පරපුරුෂ සේවනය ලංකාවේ අපරාධ නීතියට ඇතුළත් වරදක් කළ යුතු බවත් මරණ දඬුවම ඉවත් කළ යුතු බවත් බෞද්ධයන් සඳහා රජයේ නිවාඩු ගණන වැඩි කළ යුතු බවත් ඔහු පැවසීය.
රාජ්‍ය සේවක වැටුප් වර්ධනය කළ යුතු අතර පොලිසියේ ම්ලේච්ඡත්වය රජයේ දෙපාර්තමේන්තුවල නාස්තිය අකාර්යක්ෂමතාව පිළිබඳව ද කන්නන්ගර මන්ත්‍රීවරයා තදින් කරුණු දැක්වීය.
 
පරදාර පරපුරුෂ සේවනය ලංකාවේ සාපරාධී වරදක් බවට ප්‍රකාශ කරමින් ඉන්දියාවේ මෙන්ම මෙරටේ ද නීති සංග්‍රහය වහා සංශෝධනය විය යුතුයි.
 
 
1925 දී කෑගල්ල මන්ත්‍රී ඒ. එෆ්. මොරමුරේ හඬනැගීය. ඊට ඇටෝර්නි ජනරාල් විරුද්ධ විය. “ඉන්දියාවේ හැර ලොව කිසිම රටක ඒක වැරැද්දක් ලෙස පිළිඅරන් නෑ.” ඔහුගේ පිළිතුර විය.
 
කන්නන්ගර මන්ත්‍රීවරයා ඊට දැඩි පිළිතුරක් දුන්නේය.
 
“අපේ භාර්යාවන්ගෙ දියණිවරුන්ගෙ පතිවත ආරක්ෂා කරන්න උදව් ඉල්ලුවම බි්‍රතාන්‍ය නීතිය අනුගමනය කරන්න කියන එක වැරදියි. මොකද අපේ රටවැසියන්ගෙ මොන වැරදි තිබුණත් ඒවා ඔය ශීලාචාර යයි කියාගන්නා රටවල අයගෙ වැරදිවලට වඩා බොහොම උතුම්.”
 
1926 දී මාතෘ භාෂාවෙන් අධ්‍යාපනය දිය යුතු යැයි යාපනය මන්ත්‍රී ඒ කනගරත්නම් ගෙන ආ යෝජනාවේදී කන්නන්ගර මන්ත්‍රීවරයා පැවසුවේ නූතන අධ්‍යාපන ක්‍රමය තුළින් පරාජිතයන් බිහිවන බවය.
ලෝකයේ උක් වගාව පහත වැටී ඇති බැවින් උක් වලින් මධ්‍යසාරයක් නිපදවීමට ඒ. ඩබ්ලිව්. වික්ටර් යෝජනා කළේය. “මෙම යෝජනාව සීනි තැවරූ මත් ගුලියක්, රා, අරක්කු හා පිටරට මත්පැන් රටටම ශාපයක් වෙලා. මේකට අවසර දුන්නොත් අපටත් සහගහවි.” කන්නන්ගර මන්ත්‍රීවරයා තම මතය පළ කළේය.
 
1931 දී ඩොනමෝර් ආණ්ඩුක්‍රමය යටතේ මතුගම ආසනයෙන් ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාවට පත්වීමේ අවස්ථාව කන්නන්ගරයන්ට ලැබිණ. එහිදී අධ්‍යාපන විධායක කාරක කමිටුවේ සභාපති පදවිය ඔහුට පිරිනැමිණ.
1932 පළමු අත්හදා බැලීම ඔහු මහනුවර හන්දෙස්සේ ග්‍රාමීය පාසල තුළින් ඇරඹූ අතර 1939 වන විට එවන් පාසල් 253 ක් රටපුරා පිහිටුවන ලදී. ස්වභාෂා පාසල්වල ඉංග්‍රීසි විෂය කලඑළි දැක්විණ. වැඩිහිටි අධ්‍යාපන ආයතන 271 ක් ඇරඹිණ. ගුරුදෙගුරු සමිති 2390 ක් පිහිට වූ අතර පස්වැනි පන්තියේ සිසුන් උදෙසා පොදු විභාගයක් ඇරඹීය. සිසුන්ට දිවා ආහාරය සැපයීම ආරම්භ කළේද කන්නන්ගර සංකල්පය මතමය.
 
ගැමි පාසල් ගුරුවරුන්ට රජයේ වැටුප් ගෙවන උපකෘත පාසල් ද බෞද්ධ හින්දු මුස්ලිම් ආගමික පාසල්වලට රජයේ වැටුප් ගෙවන පාසල්ද ඇතිකළ අතර මව්පිය ලිඛිත අවසර නොමැතිව ආගම මාරු කිරීමද තහනම් කෙරිණ.
මෙවැනි අත්හදාබැලීම් ගණනාවක් කරමින් සද්භාවයෙන් 1939 නිදහස් අධ්‍යාපන පනත රාජ්‍ය මන්ත්‍රණ සභාවට ගෙන ඒමට කන්නන්ගර සූරීන් කටයුතු කළද ඊට ආණ්ඩුව තුළින් බාධා පිට බාධා එල්ල විය.
අන්තිමේදී 1938.09.26 වැනිදා විවාදයට ගැනුණේ පනත කල් දැමීමට උත්සාහ කළ බලවේගවලට එරෙහිව ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා සහ ඊ. ආර්. තම්බිමුත්තු වැනි මන්ත්‍රීවරුන් කතාකළ නිසාය. විවාදය කල් තැබීමේ යෝජනාව ජී. සී. එස්. කොරයා වැනි අයගෙන ආ අතර ඊට ඡන්ද විමසීමේදී 33 ක්ද පක්ෂව ඡන්ද 13 ක්ද ලැබූ නිසා විවාදය ඇරඹී පනතද සම්මත විණ. 1939.09.01 වැනිදා සිට ක්‍රියාත්මක කෙරිණ.
1939.02.09 දින ගලගෙදර මන්ත්‍රී ඊ. ඒ. නුගවෙල යෝජනා කළේ අධ්‍යාපන කොමිසන් සභාවක් පත්කළ යුතු බවකි. මුදල් ප්‍රශ්නයක් නිසා කොමිසම වෙනුවට විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමට පියවර ගැනිණි.
 
අධ්‍යාපන අධ්‍යක්ෂ රජයේ ගුරු විදුහල්පති, රාජකීය විදුහල්පති, එම්. ජේ. ලොගොක් පියතුමා ආර්. ඩබ්ලිව්. ස්ටොෆර්ස් දේවගැතිතුමා, පී. ද ඇස්. කුලරත්න හා එස්. සිවපාතසුන්දරම් යන අයට සහය පිණිස යුනිවර්සිටි කොලිජියේ විදුහල්පති එස්. ඒ. ජේක්මන් මහාචාර්ය ජී. පී. මලලසේකර, ජී. කේ. ඩබ්ලිව්. පෙරේරා, එන්. නඩරාජා, ජේ. සී. අමරසිංහ, ශ්‍රීමත් අයිවෝර් ජෙනිංස් යන විද්වතුන් එක්වූ අතර සභාපති වූයේ කන්නන්ගර සූරීන්ය.
1940.04.04 දින සම්මත වූ යෝජනා අනුව මීරිගම වැලිතර මහනුවර සහ වීරකැටිය ගුරු විදුහල් ඇරඹුණ අතර ග්‍රාමීය පාසල් සඳහා ගුරුවරු ඉන් පුහුණුව ලැබූහ. 1943 දී මෙම අධ්‍යාපන කමිටු වාර්තාව රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කළ අතර විවිධ ජනතා පාර්ශ්වයන්ගෙන් ප්‍රතිචාර හා යෝජනා ගලා එන්නට විය. ඇතැම් අන්තවාදීන් හා ධනවාදී මාධ්‍යයන්ගේ බිහිසුණු විවේචනයන් ඊට එල්ල වුවත් සැලුණේ කන්නන්ගරයන් නොවේ.
 
 
 
 
 
මතු සම්බන්ධයි.
 
 
 
 
 
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි