ඇතුගල් පුරවරය කේන්ද්‍ර කරගත් හත් කෝරලයට අයත් වන විවිධ ක්ෂේත්‍රයන්ට අයත් උප සංස්කෘතීන් පවතී. මෙම ලිපි පෙළේදී අවධානයට යොමු වන කටුගම්පල පත්තුවේ තල්මල් කවි නමින් අංගයක් පැවති බවට සාධක තිබේ. අතීතයේ ග්‍රන්ථ සම්පාදනය සඳහා අවශ්‍ය තල පත්‍ර සපයන ලද්දේ වැඩි වශයෙන්ම කටුගම්පල ප්‍රදේශයෙන් යැයි විශ්වාස කෙරේ. එයින් පහත සඳහන් කවි රචනාවන්නේ පන්නලට ආසන්න බෝපිටිය නම් ගම්වරය වෙනුවෙනි.
 
බස් බොරු නැත සූ විස්සක් මුනි ගුණ 
- සිරස දරාගෙන මට නිත්තේ
දොස් නැත මහතුනි සිව්වර දෙවිඳුට
- වැඳලා සිට අවසර ගත්තේ
ගොස් සිට අප සැම බුදුන් වඳින්නට
- විහාර දොරකඩ සිට ගත්තේ
වස් නැත මහතුනි සුරතල් කලබල
- බෝපිටියේ පන්සල වත්තේ
 
දන්කොටු පාරේ මං බැස යනකොට
- මල් කැකුළක් උතුරෙන් පෙනුණේ
මන්මතයෙන් අතු ඉති නැමිලා
- ඉන්ඳු නීල රුවනක් ලෙසිනේ
තුන්ලොව සත වැඳ දුකින් මිදෙන්නට
- තුන් සිරි පාදෙට කොත නැමුණේ
පන්සල් වත්තේ විහාරෙ දොරකඩ 
- බෝපිටියේ තලමල පිපුණේ
 
තද කරතෙයි බිඟු රොන් ගනිතෙයි
- මල විහිද යනෙයි ගුවනේ කෙළිතෙයි
සඳ විලසෙයි රන් කැලුම ලෙසෙයි
- රන් කඳ කියනෙයි
සමහරු වැඳ පුදතෙයි බුදු ගෙයින් එතෙයි
- මිදුලට බසිතෙයි ගස උඩ බලතෙයි
බොරුව නොවෙයි රන් හවඩි දඟෙයි වත්තේ
- මල බෝපිටියේ පන්සල වත්තේ
 
සේල දිලෙයි මල්මාලා ලෙසයි රන් හවඩි දණෙන් 
- පාර සෙනුණේ
දෑල දිලෙයි මල් කිනිති නැමිලා
- රන් රසු දැල් ලෙස සුවර්ණ ගුණේ
පාර ළඟයි වෙල අසබඩමයි බුදුගෙට බඹයයි
- තල ගස වැවුණේ
නෑනෝ සැබැයි බෝපිටිය ගමෙයි පන්සල මිදුලෙයි
- තලමල පිපුණේ 
 
වපුල නෙවෙයි තල බීජය පැළ වී දෙරණින්
- ඒ ගස උස වැඩුණේ
පිපිලා ගුණැති සොඳ සිරිමහ බෝධිය
- බස්නා ඉර පැත්තෙන් සැදුණේ
ඇසළ මසේ ජලවකා තිතියට වුණේ
- කමල සිසිලා ගුණ සිරිමල් තලමල 
බෝපිටියේ පන්සලෙ පිපුණේ
 
 
අප්‍රකට කවියෙකු විසින් රචිත මෙසේ විස්තර කෙරෙන බෝපිටිය ග්‍රාමය අනාගතයේ දැවැන්ත දේශපාලන වෘක්ෂයක් බවට පත්වීමේ වාසනා ගුණය ඇති දරුවකුගේ උපතට කෙම්බිම වූවේය.
පානදුරා වාදය වූ කලී ශ්‍රී ලංකා ඉතිහාසය වෙනස් කිරීමට සමත් වූ හැරවුම් ලක්‍ෂ්‍යය වී යැයි කීවොත් එය අතිශයෝක්තියක් නොවේ. ආගම්වල අන්තර්ගතය විද්‍යාත්මක බව ඒවායේ ප්‍රායෝගික බව ආදී වශයෙන් මිෂනාරි පිරිසක් සහ බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා අතර පැවති මෙම විවාදවලදී භික්‍ෂූන් වහන්සේලා ජයගත්හ. එය හුදෙක්ම මුඛරි බව, චතුරත්වය, බිණීමේ හැකියාව ආදිය මත රඳා පැවතුනා වුවත් එහි යශෝරාවය ජාත්‍යන්තරය වෙත පැතිර යාම නිසා බෞද්ධයන්ට අයත් වූවේ විශාල වාසියකි. ඇමරිකානු ජාතික හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා මෙරටට පැමිණියේ ඒ අනුවය. පැට්‍රොවිනා බ්ලැවැට්ස්කි, නම් රුසියානු දානපතිනියද එතුමා සමඟ මෙරටට පැමිණියාය. ඕල්කට්තුමාගේ පැමිණීම බෞද්ධ පක්‍ෂයට මහත් ශක්තියක් වූවේය. පණ්ඩිත ශිරෝමණී හික්කඩුවේ ශ්‍රී සුමංගල මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු උගත් වියත් සංඝයා වහන්සේලාත් අනගාරික ධර්මපාල තුමන් ප්‍රමුඛ ගිහි පිරිසද ඕල්කට්තුමාට එක්වීම මගින් පරම විඥානාර්ථ බෞද්ධ සංගමය පිහිටුවීම එම ක්‍රියාමාර්ගයට තවත් රුකුලක් විය. එතෙක් කාලයක් මිෂනාරිවරුන්ගේ ඒකාධිකාරීයක් බවට පත්ව තිබූ අධ්‍යාපනය බෞද්ධයන්ට ඉතා අහිතකර ලෙස බලපාන බව වටහා ගත් මෙම විද්වත්හු බෞද්ධ අධ්‍යාපනය සඳහා පාසල් ඇති කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඕල්කට්තුමා ඇතුළු පිරිසකගේ මෙහෙයවීමෙන් කොළඹ ආනන්ද මහා විද්‍යාලය පිහිටුවන ලදී. 
 
 
 
 
මෙය ඉතා ඉක්මනින් ජනප්‍රිය වෙමින් පවතිද්දී විශාල ශිෂ්‍ය සංඛ්‍යාවක් එම පාසැලට ඇදී ඒමට පටන් ගත්හ. මෙකල එහි විදුහල්පති ධුරය දැරූ පී. ද ඇස්. කුලරත්න මහතාගේ දැඩි උනන්දුව හා කැපවීම මත ආනන්දය පුළුල් කිරීමට වැඩපිළිවෙළක් සකස් කරන ලදී. ඒ අනුව කැම්බල් පෙදෙසේ පිහිටි හිස් ඉඩමක තාවකාලික ගොඩනැගිල්ලක් ඇති කර ආනන්දයේ සිසුන් කණ්ඩායමකට පංති කීපයක් ඇති කළේය. ක්‍රමයෙන් සංවර්ධනය කරන ලද එහි අනගාරික ධර්මපාලතුමාගේද උපකාර ඇතිව වෙනම පාසලක් බවට පත් කරන ලදී. පසුව කොළඹ නාලන්දා විදුහල බවට පත් වූයේ මෙසේ සුළුවෙන් ඇරඹූ ශිල්ප නිකේතනයයි. මෙම විදුහලට එම නාමය තබන ලද්දේ එවකට ආනන්දයේ ධර්මාචාර්යවරයකු ලෙස කටයුතු කළ පූජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රය නාහිමිපාණන් වහන්සේය. අපදාන ශෝහිනී පක්‍ද්ක්‍දා යන ආදර්ශ පාඨය යෝජනා කළේද උන්වහන්සේය.
 
මෙම යුගය වන විට අනගාරික ධර්මපාලතුමා සහ වලිසිංහ හරිශ්චන්ද්‍ර, පියදාස සිරිසේන ආදී නායකයෝ දිවයින පුරා සංචාරය කරමින් ප්‍රසිද්ධ දේශන පවත්වමින් ජනතාව වැටී සිටින සිසිර නිද්‍රාවෙන් මුදවා ගනු පිණිස කටයුතු කරමින් සිටියහ. ඈත එපිට ගම් නියම් ගම්වල වෙසෙන ප්‍රාදේශීය නායකයන් හමුවෙමින් තමන්ගේ ජාතික ආගමික ව්‍යාපාරයන්ට ආධාර උපකාර ලබා ගැනීමද සිදු කෙරුණි. 
 
බෞද්ධයිනි නැගිටිව් ! බුද්ධගයාව බේරා ගනිව් ! ගෙරිමස් කෑමෙන් වළකිනු ! පර සුද්දන්ට බිය නොවනු ! ආරිය සිංහල නම් භාවිතා කරනු ! ආදී උපදෙස් ලබා දීමද සිදු කෙරුණි.
 
නාලන්ද විදුහලේ විදුහල්පති ධුරය දරමින් භාෂා සාහිත්‍යයටද අප්‍රමාණ මෙහෙයක් සිදු කරමින් සිටි ඇම්. ඩබ්ලිව්. කරුණානන්ද ගුරුපියාණන් මෙරට විද්‍යා අධ්‍යාපනය සිංහලයෙන් ලබාදීමට අවශ්‍ය පොත පත විරල වූ සමයක ඒවා සිංහලෙන් ලියා පළ කළ මහා පඬිවරයාද විය. නොයෙක් අත විහිදුණු ප්‍රඥා මහිමයෙන් යුතු එතුමාගේ ආචාර්ය මණ්ඩලයද එවැනිම ක්‍රියාශීලි උගත් බුද්ධිමත් දාර්ශනික මත දැරූ විශිෂ්ටයන්ගෙන් සමන්විත වූවේය. මෙම කාලය වන විට මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලයෙන් තම ගුරු පුහුණුව නිමා කළ ඒ. ටී. ආරියරත්න නම් නවක ගුරු භවතෙක් 1958 ජනවාරි පළමුවැනි දින නාලන්දාවේ ආචාර්ය මණ්ඩලයට බැඳුණේය.
 
ආරියරත්න මහතා ගුරු විදුහලේ සිටියදීත් සමාජ සේවා කටයුතු කෙරෙහි බලවත් උනන්දුවකින් කටයුතු කළ අයෙකු විය. ඔහු මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලයේ සමාජ සේවා සංගමයක් පිහිටුවා ගුරු සිසුන් දැනුම්වත් කිරීමට එහිදී දේශන මාලාවක්ද සංවිධානය කළේය. එසේ දේශන පැවැත්වීමට දිවයිනේ ප්‍රකට රජයේ නිලධාරීන් මෙන්ම වෙනත් ක්ෂේත්‍රවල විද්වත්හුද ආරාධනා ලැබූහ. මඩිහේ පක්‍ද්ක්‍දාසීහ මහ නාහිමි, එවකට අධ්‍යාපන අධ්‍යක්‍ෂ ඇස්. ඇෆ්. ද සිල්වා, ආනන්ද විදුහල්පති ඇස්. ආර්. විජයතිලක, ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ නොදියුණු සමාජ පිළිබඳ නිලධාරී ඩී. ඒ. අබේසේකර ආදී මහත්වරුද සහභාගි වූහ. වරක් අබේසේකර මහතාගේ දේශනයක් ඇසූ ශ්‍රාවකයෝ මවිතයට පත්වූහ.
 
 
 
 
මතු සම්බන්ධයි. 

 

 

 

 

 

 

 

සෝමසිරි වික්‍රමසිංහ