IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


නුගේගොඩ රැලියේ තිත්ත ඇත්ත

ගෝඨාභය රජ පුටුවට ගෙන ආ මෙහෙයුමේ නොපළ කතාව-3

 

මෙරට හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා තේරී පත්විය. ඒ ඉකුත් නොවැම්බර් 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙනි. දේශපාලන නිල ධූරාවලියේ අවම තරමින් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ලෙස දිනක් හෝ කටයුතු නොකළ ඒ මහතා ජනාධිපති ධුරය දක්වා පැමිණියේ කෙසේද? මේ ඒ නොපළ කතාවය.

දෙහිවල නගරාධිපති ධනසිරි අමරතුංගගෙන් විමල් වීරවංශ ඉල්ලා සිටියේ නුගේගොඩ රැලියට ජෙනරේටරයකි. ධනසිරි අමරතුංග එම ඉල්ලීම නොපමාව ඉටු කළේය. එහි විශේෂත්වය වන්නේ රටේ පැවැති වාතාවරණය තුළ මහින්ද ළඟම සිටි පිරිස් පවා මහින්ද වෙනුවෙන් පෙනී සිටීම මගහැර සිටි හෙයිනි. නුගේගොඩ රැලිය සංවිධානය කිරීමේ දී එම තත්ත්වය වඩාත් හොඳින්ම නිරූපණය විය.


පෙබරවාරි 17 වැනිදා රාත්‍රියේ නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රඟ මඩලේ වේදිකාව සකස් කිරීමේ කටයුත්ත ආරම්භ විය. ඒ වෙනුවෙන් මැදිහත් වීමට සිටියේ ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයන්ය. දිනේෂ්ගේ, වාසුගේ හා උදය ගම්මන්පිලගේ හිතවත්හු පැමිණ උදව් කළහ. විශේෂත්වය වූයේ සාමාන්‍ය ජනතාව පැමිණ උදව් උපකාර කිරීමය. වේදිකාව සකස් කරන පිරිස්වලට ඔවුහු කෑම බීම ගෙනත් දුන්හ.


රාත්‍රිය ගෙවී ගියේ එසේය.


රැලිය සජීවීව ආවරණය කිරීමට විමල් සැලසුම් කළේය. ඒ වෙනුවෙන් පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූහ. එම පිරිසට විමල් උපදේශයක් දුන්නේය.
“වීඩියෝ වෝල් එක හයිලෙවල් පාරට මුහුණලා හයි කරන්න. හැබැයි මම කියනකම් ඔන් කරන්න එපා.”
විමල් එසේ උපදෙස් දුන්නේ පූර්ව අවබෝධයක් සහිතවය. එනම් රැලියට මහ සෙනඟක් එනු ඇතැයි විමල් කල්පනා කළේය. හයිලෙවල් පාර දෙසට “වීඩියෝ වෝල්” එක හරවන්නැයි විමල් උපදෙස් දුන්නේ එම පැත්තෙන් පොදිකන ජනතාවට රැළිය සජීවීව නැරඹීම සඳහාය.
රැලිය සාර්ථක වෙයි ද එම ප්‍රශ්නය කිසිවකු හෝ මතු කළේ නැත. එහෙත් එය සැකයක් ලෙස සිත් පහුරුගාමින් තිබිණි.
“නුගේගොඩ රැස්වීමට පුළුවන්නම් පන්දාහක් ගෙන්වලා පෙන්වන්න” එජාපයෙන් එබඳු අභියෝග ද විය.


රැලිය ආරම්භ කිරීමට නියමිත වූයේ සවස 4ටය. එහෙත් දහවල් 1 - 2 වන විටත් නුගේගොඩ මහ සෙනගින් පිරී යන්නට පටන් ගත්තේය. සවස 4 වන විට මුළු නුගේගොඩම එකම හිස් ගොඩකි. ආනන්ද සමරකෝන් රඟහල ඉදිරිපස සියලු මහා මාර්ග වසා දැමීමට සිදුවිය. වේදිකාවට පිටුපසින් හයිලෙවල් පාර දක්වා ජන ගඟකි.
ලක්ෂ සංඛ්‍යාත ජනී ජනයා අත මහින්දගේ රුව රැගත් පෝස්ටරයකි. නැතහොත් ජාතික කොඩිය විය. ඔවුහු මහත් උද්යෝගයෙන් එම රැලියට එක්වෙමින් සිටියහ.
දිනේෂ්, වාසු, විමල් මෙන්ම උදය ගම්මන්පිල ද අති ප්‍රීතියෙනි. මෙම රැලිය සමාජ මාධ්‍ය ජාල හරහා සජීවීව විකාශය කෙරුණි. එදින පාර්ලිමේන්තු දිනයක් විය. ආණ්ඩු පක්ෂයේත්, විපක්ෂයේත් මන්ත්‍රීවරු තම අත රැඳි ජංගම දුරකථන මගින් රැලිය සජීවීව නරඹති.
“මාර සෙනගක්” ඔවුන්ගෙන් පිටවෙන්නේ එකම කතාවකි. ජංගම දුරකථනයෙන් රැලිය නරඹන මන්ත්‍රීවරු අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ද වෙති. පක්ෂයේ තීරණයට අනුව ඔවුන්ට මෙම රැලියට සහභාගි විය නොහැක. එහෙත් පාර්ලිමේන්තුවේ රැඳී සිටීමට ද ඔවුන්ට නොහැකිය. එහෙයින් ඔවුහු එකා දෙන්නා පාර්ලිමේන්තුවෙන් පිටවී නුගේගොඩ දෙසට ඇදී ආහ.


කළුගංතොට සිංහයා යැයි කී කළුතර කුමාර වෙල්ගම වේදිකාවට ගොඩවිය. එය රැස්ව සිටි පිරිසගේ උද්දාමයට හේතුවක් විය.
මෙම රැලියේ දී මහින්ද රාජපක්ෂගේ නිවේදනයක් කියවීමට තිබිණි. එය කළ යුතුව තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයකු විසිනි. එහෙත් ඒ සඳහා ඉදිරිපත් වීමට කෙනෙකු නැත.
“මොකද කරන්නේ?” දිනේෂ් හා විමල් අතර සාකච්ඡාවකි. එම සාකච්ඡාව යන අතරතුර විමල් දුටුවේ දයාන් ජයතිලක රැස්වීම නැරඹීමට පැමිණ සිටින බවය. දයාන් පැමිණ සිටියේ බිරිය සමගය. විමල් වහා දයාන් ළඟට ගියේය.
“ජනාධිපතිතුමාගේ ප්‍රකාශයක් තියෙනවා. ඒක ඔබතුමා කියවන්න” විමල් කීවේය.
දයාන් අදිමදි කළේය.


“මම ඔය වැඬේට ගැළපෙන්නේ නෑ. මම පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් නෙවෙයිනේ” දයාන් කීවේය. විමල්ගේ සහායට පැමිණියෙ දයාන්ගේ බිරිය ය.
“ඔයා මන්ත්‍රී කෙනෙක් නොවුණට කමක් නෑ. ඕක කියවන්න” බිරිය කීවාය. අවසානයේ දී දයාන් එයට එකඟ විය. මහින්ද රාජපක්ෂගේ ප්‍රකාශය දයාන් කියෙව්වේ එසේය. 
මෙම රැලියේ දී කිසිවකු හෝ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ප්‍රහාරයක් එල්ල නොකළහ. එය උපායශීලීව කළ දෙයකි. එයට හේතුවක් තිබුණි. මහ මැතිවරණය කොයි මොහොතක හෝ පැවැත්වීමට නියමිතය. එම මහ මැතිවරණයේ දී අගමැති අපේක්ෂකත්වය මහින්දට ලබාගත යුතුය. එයට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පොලඹවා ගත යුතුය. එහෙයින් එම රැලියේ දී වැඩිම ප්‍රහාරය එල්ල වූයේ අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුවටය.


රැලිය අවසන් වීමෙන් පසුව සියල්ලන්ම විසිර ගියේ තෘප්තිමත් මනසිනි. මෙම රැලියේ එක් බලගතු සිදුවීමක් වූයේ වැනි වැනි සිටි පිරිස් කෙළින්ම මහින්ද රාජපක්ෂ කඳවුරට නැඹුරුවීමය. එමෙන්ම යළිත් මහින්ද රාජපක්ෂ සමග විජයග්‍රාහී ගමනක් ආරම්භ කළ හැකිය යන විශ්වාසය ගැඹුරු ලෙස පැලපදියම් වීමය.
රැලියට පසු දිනම දිනේෂ්, වාසු, විමල් හා උදය නුගේගොඩ උඩහමුල්ලේ පිහිටි මහින්ද රාජපක්ෂගේ නිවෙසට ගියහ. රැලියේ සාර්ථකත්වය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ ද සිටියේ අමන්දානන්දයට පත්වය.


එම නිවසේ විමල් සිටියදීම ඔහුගේ ජංගම දුරකථනයට එස්.එම්.එස්. පණිවිඩයක් ලැබිණි. එය එවා තිබුණේ ඇමෙරිකාවෙන්ය.
‘ද ග්‍රේඞ් ජොබ්’ එම එස්.එම්.එස්. පණිවිඩයේ සඳහන්ව තිබිණි. පණිවිඩය එවා තිබුණේ ඇමෙරිකාවේ සිට බැසිල් රාජපක්ෂය.
නුගේගොඩ රැලියේ උණුසුම පහව යාමටත් මත්තෙන් ඒ වෙනුවෙන් විමල්ට හොඳ තෑග්ගක් ලැබිණි. ඒ තෑග්ග කුමක්ද?

 


ඒ කතාව ලබන සතියට..

 

ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ඡායාරූපය අන්තර්ජාලයෙනි



අදහස් (1)

නුගේගොඩ රැලියේ තිත්ත ඇත්ත

Royfedricks Saturday, 04 January 2020 12:50 AM

හැමදාම ශ්‍රී ලංකා දේශපාලන ක්ෂේත්‍රයේ අසිරිමත් ක්‍රියා සිදුවන බව ලියන්නෝ පවසති. සත්‍ය නම් මේ ප්‍රාතිහාර්ය කොතරම් සිදුවුවත් බහුතරය නුගත් බවත් දිළිඳු බවත් සදා උරුම කොටගෙන සිටිති.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 96 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 898 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site