“ලෝකෙන් උතුම් රට ලංකාවයි”
“සැම දන මන දිනූ සුජාතධරණී”


තම ළය තුළ කැකෑරුණු දේශපාලන අදහස් එළියට දැමීමට ඔහු භාවිත කළේ පටු වාගාලාප නොව ගීත සහ සාහිත්‍යයි. ඩඞ්ලි සේනානායක මෙන්ම බණ්ඩාරනායක හා පිලිප් ගුණවර්ධන වැනි විවිධ දේශපාලන නායකයෝ ඔහුගේ ගජ මිතුරෝ වූහ. ඒ අතරින් ඩඞ්ලිගේ නිවුන ගතිගුණවලට ඔහු ආදරය කළේය.

 

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ සංස්කෘතික, අධ්‍යාපන අමාත්‍ය ධුරයන් දැරූ අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ලගේ නාමය වඩාත් ප්‍රචලිත වුණේ ඔහු ලියා පළකළ මනුතාපය හා දේවතාපය ඇතුළු පරිවර්තන හා අනුවර්තන ගොන්න නිසාය. දේවතාපය පිදුරුතලාගල නම් මනුතාපය මහමේරුව වැනියයි වරක් ඊරියගොල්ල පැවසීය.


1930 දී සිළුමිණ කෙටිකතා තරගයකින් ප්‍රවීණයන් පරදා පළමු තැන දිනුයේ ඔහුගේ පොඩි මාමාගේ මගුල් ඔත්තුව කතාවය. ඉන් ලැබූ පන්නරය තුළින් පුවත්පත් කලාවේදියකු, කර්තෘවරයකු, මන්ත්‍රීවරයකු, උපඇමැතිවරයකු, අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍ය තනතුරු දක්වා පියවර තැබීය.


1907 වසරේ ජනවාරි 03 වැනිදා කුරුණෑගල ඊරියගොල්ලේ ගම් දහ අටක් බාරව සිටි ආරච්චි ඉමියා මුදියන්සේලාගේ රෆායල් අබේවංශ ලෙස උපත ලැබ ගමේ විදුහලෙන් උඩහමුල්ල ඉංග්‍රීසි විදුහලටත් එතැනින් කොළඹ ආනන්දයටත් ඔහු පැමිණියේ කුසලතාවන් දක්වමිනි.
ආනන්දයේ බුද්ධාගම හැදෑරුවේ බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය නාහිමියන්ගෙන් වන අතර ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, රොබට් ගුණවර්ධන හා ගත්කරු ජී. බී. සේනානායක, ප්‍රියතම සිසුවෝ වූහ. ආනන්දයෙන් නාලන්දට පැමිණි වැඩිහිටි සිසුවා අමද්‍යප ව්‍යාපාරය තුළින් ධර්මපාලතුමාගේ අනුගාමිකයකු විය.


ඊරියගොල්ල තුළ සමාජ ශෝධනය කෙරෙහි දැඩි හැඟීම් ඇතිවූයේ මෙම යුගයේය. ඔහු පාසලේදී වුවද අසාධාරණ තීරණ හමුවේ සමාව නොගත් බැවින් පාසල් දිවියට සමුදුන්නේය.


ඊළඟට ඔහුට ඕනෑ වූයේ පොලිසියට බැඳී පළාතේ චණ්ඩින් මෙල්ල කිරීමටය. උපපොලිස් පරික්ෂකවරයකු ලෙස බඳුණු වහාම කළේ කුප්පියාවත්තේ මදාවියන්ට තලා හිරේ යැවීමය.


පුහුණුවකදී අතට වෙඩි වැදුණ ඔහුගේ තුවාලය සුවවීමට පෙර යළි සේවයට කැඳවීම ගැන උරණ වූ ඔහු 1955 දී පොලිස්පති ඩවුබිගින්ට හා අධිරාජ්‍යවාදී පොලිසියට බැණ වැදී ඉල්ලා අස්විය.


අසාධාරණය පෙන්වන්න බැරි අහංකාර පුද්ගලයකු ලෙස ප්‍රචලිතවූ ඊරියගොල්ල 1931 දී ජගත් කෙටිකතා තරගයට ලේඛිකාවක ලියූ පුනරුත්පත්තිය කෘතිය සිංහලට පෙරළා පත්‍රයේ පළ කළේය. තමන්ට නොදන්වා කළ එම උපුටනයට එරෙහිව ලේඛිකාව නීතිමගට බසින්නට තීරණය කළාය.


සමාව ඉල්ලීමට මාතලේ කයිකාවල පිහිටි ඇගේ නිවසට ගිය තරුණ ඊරියගොල්ලට රාණි බියටි්‍රස් ගුණසේකර නමැති ලේඛිකාව හමුවූ අතර ඔහු ආපසු කොළඹ පැමිණියේ ඇය හා යුගදිවියට පිවිසෙන සහතිකය පිටය.


රාණි හා ඊරියගොල්ල යුවළට ගාමිණී, චන්ද්‍රිකා, පුෂ්පමාලා, දේවරංජන, සාම කුමාරි, සාගරිකා, දර්ශන යන රටේම සුපතළ වූ දූපුතුන් හත්දෙනෙක් ලැබිණ.


ශ්‍රීමත් ඩී. බී. ජයතිලක මහතාගෙන් ලද ආභාසයෙන් දේශපාලන දිවියට පිවිසි ඊරියගොල්ල 1947 දී දණ්ඩගමුව අසුනට තරග කළේ එජාපය හා වාමාංශික ව්‍යාපාරය ගැන අපහැදීම නිසා ස්වාධීනවය. එහිදී ඡන්ද 1316 කින් එජාප ප්‍රබලයකුවූ ජේ. ඊ. අමරතුංග පැරදවීය.
1952 දී ස්වාධීනව තරගකර එජාප ප්‍රතිවාදියා ඡන්ද 11,742 කින් පැරදවීය. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ඉංග්‍රීසියෙන් දොඩමළු වෙද්දී ඊරියගොල්ල මවුබසින් සභාව ඇමතුවේ එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාට ද ප්‍රථම තල්ලුව දෙමිනි.


1956 දී බණ්ඩාරනායක, පිලිප් ගුණවර්ධන, ඩබ්. දහනායක සමග මහජන එක්සත් පෙරමුණ පිහිටුවා ක්‍රියාකාරීව කටයුතු කළ ඊරියගොල්ල අතින් අපූරු දේශපාලන පෝස්ටර් පෙළක් නිර්මාණය විය.


බණ්ඩාරනායක ද කොතලාවල ද එහි මාතෘකාව විය. මෙම මිතුරෝ 1956 දී රටේ බලය ඇල්ලුවේ දණ්ඩගමුවෙන් එජාප ප්‍රබලයන්ද පරදවා වැඩි ඡන්ද 13,167කිනි. බණ්ඩාරනායක මහතා සමග මහජන ආණ්ඩුව තනා රටේ අධ්‍යාපන ඇමැතිකම බලාපොරොත්තු වූ ඊරියගොල්ලට ලැබුණේ ස්වදේශ කටයුතු උපඇමතිකමයි.


කෝ මට දෙන්න පොරොන්දුවුණ අධ්‍යාපන ඇමතිකම.


ඊරියගොල්ල බණ්ඩාරනායක අගමැතිතුමාගෙන් ඇසීය. බණ්ඩාරනායක මහතා කට කොනකින් සිනාසුණා පමණි.


මිස්ටර් ඊරියගොල්ල රටට වැඩ කරන්න ඇමැතිකම් මොකටද? මේ අගමැතිකම ඕනැත් නෑනේ.


මෙය ඇසූ ඊරියගොල්ලට පැරණි හිතුවක්කාර සිතුවිලි යළි ඇවිස්සෙන්නට විය. ඔහු වහාම තනතුරින් ඉල්ලා අස්වී ගියේ තම මිතුරා වන ඩඞ්ලි සේනානායක සොයාගෙනය. ඩඞ්ලිගේ මිතුරුකම නිසා තමාට ඇමැති තනතුරු අහිමි වී යයි ඔහු සිතීය.


1965 දී එජාපයෙන් කුලියාපිටියට තරග කළ ඊරියගොල්ල එජාප ආණ්ඩුවේ අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යවරයා ලෙස කිරුළ පැලැන්දේය.


ඊරියගොල්ල ගේ හදවත තුළ සංස්කෘතික මිනිසකු ජීවත්වන බව දුටු මාධ්‍යවේදී වෝල්ටර් ජයවර්ධන සීගිරි කාශ්‍යප පසුබිම වන නවකතාවක් ලියන්නට යෝජනා කළේය.


‘මං කොහොමද මේ තරම් ජීවමාන කලාකාමී කාශ්‍යප මළැයි කියලා ලියන්නේ.’


ඊරියගොල්ල කීය. පාසල් දරුවන්ට ප්‍රායෝගිකව ගොවිතැන් කටයුතු කියාදෙන්නට උත්සාහ කළ එකම අධ්‍යාපන අමාත්‍යවරයා ඔහු විය. සමකාලීන දේශපාලන මිතුරන් එකිනෙකා වියෝවෙද්දී ශෝකය දරාගත නොහැකිවීමෙන් වසර 65 දී ඊරියගොල්ල මැතිඳුන් හෘදයාබාධයකින් මියගිය බව පැවසේ.

පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි