බොරැල්ල කනත්තේ විප්ලවය - 04

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ගෆූර් මහතා හූ හඬ මැද්දේ පලාගොස් පැය බාගයක්වත් ගතවන්නට නැති තරම්ය. වෙලාව රාත්‍රි 9.00ට ඇත. විදුලි උත්පාදන යන්ත්‍රවලින් කනත්තට ලැබෙන ආලෝකයෙන් සියල්ලම හොඳින් නොපෙනුනත් මුළු කනත්තම යුද්ධයක ස්වරූපයකි. කනත්ත පිරෙන්නට හිස් ගොඩකි. සොහොන් කොත් සේදී යන තරමව මහා කඳුළු ගංගාවකි. එකම විලාපයකි. නවතාලිය නොහැකි ආවේගයක ඝෝෂාවකි.
ඈතින් අඳුරේ මතුවන කුලු පොලු ගත් පොලිස් බැටෑලියන් එකකි. එය කෙමෙන් ඉදිරියට ඇදෙයි. ඒ ඇදුණේ නිකම්ම නොවේ. ඉදිරියේ තෙරපෙනවුන්ට පොලුපහර බෙදමිනි. නිරායුධ මිනිසුන් එකිනෙකා පෙරලා ගෙන ඒ මේ අත පනිති. දුවන්නට අතක් නැත. ඒ වනවිට කනත්තේ  මහ ගේට්ටුවද වසා තිබුණි.


ගිනිහම් නායකත්වයක් බෙරිහන් දෙයි. ඔහු අණදුන්නේ “කොහොම හරි මර්දනය කරව්” යනුවෙනි. ප්‍රහාරය තව තවත් වේගවත් විය. බැටන් පොලු පහරවල්වලට එල්ල වූවෝ කුඩා දරුවෝ, මහල්ලෝ හෝ ගැහැනු පිරිමි භේදයක් නොවූහ. ඒ මේ අත දුවන පනින නිරායුධ මිනිසුන් සොහොන් කොත්වල හැපෙමින් වැටෙමින් පෙරළෙමින් නැගිටිමින් එකම කලබැගෑනියකය. දරුවන්, ගැහැනුන් බේරාගැනීමට සමහරු උත්සාහ කළහ. සමහරු පිරිමි ගැහැනුන්, දරුවන් සහ දෙමව්පියන් වසා ඇති මහ ගේට්ටුවට උඩින් එළියට දමා ආපසු කැලැල්ල අතරට වූහ.


මේ ටිකකදි හතරවටින් විදින කඳුළු ගෑස් වෙඩි තැනින් තැන වැටී සුළිමෙන් විසිරෙන්නට විය. ලේන්සු ඇති අය මුහුණු වසා ගත්හ. සමහරු ඇද සිටි කමිස බැනියම් ගලවා මුහුණ වසා ගත්හ. සිහිඑළවාගත නොහැකි මිනිසුන් කනත්ත හතරවට තිබූ යකඩ වැට දෑතින් සොලවා බිම පෙරළන්නට ආවේගමත් වූහ. කනත්ත තුළ හිරවී සිටි මහා සෙනඟ ගංගාව එළියට ඇදුණේ ඒ බිම පෙරළුණ යකඩ වැටවල් අතරිනි. සමහරු තවමත් බිම වැටුණ තැන්වලය. සමහරු තමන් සමග සිටි ඥාතීන්, අඹුදරුවන් සොයා ඒ මේ අත දුවති. තවත් සමහරු විලාප දෙති. 


කනත්තේ යකඩ වැට පෙරළාගෙන ඒ මහජනතාව එළියට පැන්න මොහොත ඓතිහාසික කළු ජුලියේ ආරම්භය විය. 


මහා සෙනඟක් බොරැල්ල හන්දිය දෙසට යද්දී තවත් පිරිසක් ගියේ කිංසි පාරේය. ඒ පිරිස් ගොස් ඇත්තේ ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ වෝඞ් පෙදෙසේ පිහිටි නිවස කරාය. එහෙත් ඔවුන්ට එහි ළඟාවිය නොහැකිවිය. වෝඞ් පෙදෙස එතරම් විශාල හමුදා බළකායක ආරක්‍ෂාව මැද්දේ විය. ඒ හමුදාව විසින් විසිරුවා හරින ලද ඔවුහු හෝටන් පෙදෙස, බාන්ස් පෙදෙස, රොස්මීඞ් පෙදෙස පිහිටි මාර්ග වෙත කඩා වදින ලදී. ඔවුහූ එම පෙදෙස්වල පිහිටි ද්‍රවිඩ ජාතීන්ගේ නිවෙස් වලට ගල් ගසමින්, බෝම්බ ගසමින් මහා හානියක් කරන්නට වූහ. මේ තරම් ඉක්මනින් ඔවුන් අතට පෙට්‍රල් බෝම්බ පත්වූයේ කෙසේද යන්න දන්නේ ඔවුන්ම පමණි.
83 කළු ජූලියේ මුල්ම බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇත්තේ බොරැල්ලේ නාගලිංගම් රෙදි සාප්පුවටය. ඊළඟට සිවා වෙළෙඳසලටය. බොරැල්ල සන්ධිස්ථානය කරගෙන මරදාන පාර, බේස්ලයින් පාර, වෝඞ් පෙදෙස, ඩී. එස්. සේනානායක මාවත, කෝට්ටේ පාර ඔස්සේ සැණෙකින් ව්‍යාප්ත වූ දෙමළ ජාතික දඩයම හොඳින් පායා තිබූ සඳඑළියේ  සිදුකෙරුණි. ගිනි ජාලා සමග කළු දුම නැගෙන්නට විය. කිරි බැබළෙන සඳඑළිය කළුදුමෙන් වැසී මුළු කොළඹ නගරය කළුවර විය.


මුළු කොළඹ මෙසේ ගිනි ගනිද්දී මියගිය හමුදා සාමාජිකයන්ගේ ඥාතීන් සිටියේ ගාලු මුවදර හමුදා මූලස්ථානයේය. එහිදී ඔවුන්ට අයත් මළසිරුරු දැකගැනීමට හැකිවිය. ඔවුන් ආපසු නිවෙස් බලා ගියේ පසුදා උදෑසනම එම දේහයන් ඔවුන්ගේ නිවෙස්වලට ගෙනවිත්  බාරදෙන බවට හමුදාව වූ පොරොන්දුවෙන් පසුවය.


24 වැනිදා රාත්‍රි 12 පමණ වන තෙක් කොළඹ ගිනිකෙළිය පැවතිණි. පසුදා එනම් 25 වැනිදා සවස් වන විට ඒ ගින්න හා කළු දුම රටපුරා පැතිර ගියේය. වෙළෙඳසල් සහ නිවාස දස දහසක් පමණ ගිනිබත් වුණි. ජීවිත දහසක් පමණ අහිමිවුණි. දෙමළ ජාතිකයන්ට අයත් එළුවන්, හරකුන්, කුකුළන් ආදී සතුන්ද ජීවිතවලින් වන්දි ගෙවා තිබුණි. මේ අතර බොහෝ අනුවේදනීය සිදුවීම්ද විය.


සිංහල සිනමාවේ නිර්මාතෘන් අතර ඉහළින් සිටි එම්.එස්. නායගම් මහතා ඔහුගේ බිරිඳ සමග යම් පිරිසකට අසුවී ඇත. ඔහු තමා අහවලා යැයි කියද්දිත් ඒ දෙදෙනා වාහනය සමග ගිනිබත් කෙරිණි. පිටකොටුවේදී කොටුවූ විවාහ මංගල යුවළක් මංගල ඇඳුම් පිටින්ම වාහනය සමඟ දැවී අළුවී ගියහ.


කොළඹ කළු ජූලිය සිදුවුයේ ජූලි 24 වැනිදා රාත්‍රියේය. එය සැබැවින්ම ජාත්‍යාලය මතම ඇවිළුන එකක් බව පිළිගත හැකිය. ඊට සාධකද පවතී. එක්තරා සමාගම් අධ්‍යක්‍ෂවරයෙක් වූ සම්මුගරත්නම් නමැති අයෙකුගේ නිවසක් ගිනිතබා සම්පූර්ණයෙන්ම විනාශ කර තිබණි. ඒ සිද්ධියට නායකත්වය දී ඇත්තේ භික්ෂූන් වහන්සේලා දෙනමක් බව ප්‍රකාශ කර තිබුණේ එවකට නගරාධිපතිව සිටි සිරිසේන කුරේ මහතාය. 


ජාත්‍යාලයෝ එදා වැලිකඩ හිරගෙදර තුළත් සිටියහ. කොළඹ නගරය දැවෙන ගින්දර සහ නැගෙන කළු දුම ඔවුන් දුටුවේ හිරගෙදර රූස්ස තාප්පවලට උඩිනි. විපරම් කරද්දි හේතුව දැනගන්නට ලැබුණි. ඔවුහු හිරගෙදර ඇතුළේ එය පටන් ගත්හ. ඔවුහු වැලිකඩ චැපල්සයිඞ් බන්ධනාගාරයට පැන එහි එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් රඳවා සිටි කොටසට පැන පනස් දෙනකු පමණ ඝාතනය කළහ. එහි සිටි සෙල්වරාජා යෝගචන්ද්‍රන් හෙවත් කුට්ටමනී සහ ගනේෂනාදන් ජෙගනාදන් නොහොත් ජෙගන් දෙදෙනා එළියට ඇදගත්හ. ඒ දෙදෙනා එළියේ දණගස්වා යකඩ උල්වලින් ඇන ඝාතනය කර දමන්නට තරම් ඒ සිරකරුවෝ ජාත්‍යාලයන් වූහ.


කොල්ල ආලයන් කොළඹ නගරයට බැස්සේ 25 වැනිදා උදේය. රත්තරන් බඩු කඩ, රෙදි කඩ, ඉලෙක්ටි්‍රක් බඩු කඩ වැනි විවිධ කඩ සාප්පුවල ඇවිළෙන ගිනි අතරින් ඇතුළට රිංගා ඔවුන් ඒවායේ බඩු එකතු කර ගන්නට වූයේ තමන්ගේ තැනක මෙනි. සමහරු ලොරි රැගෙන විත් පාරේ නවත්වා එසේ එකතු කරන බඩු භාණ්ඩ එම ලොරිවලට පුරවා ගත්හ. බියක් සැකක් නැතිව එක ලොරිය දෙතුන්වරක් විත් මෙසේ බඩු එකතු කරගෙන ගියහ. සමහරු යතුරුපැදි වැනි දේද මෙසේ එකතු කරගෙන ගියහ. ගෙනගොස් ගෙවල්වල ගබඩා කර ගත්හ.


බොරැල්ල කනත්තෙන් ඇරඹුණ අරගලය කළු ජූලිය බවට පත්වූයේ එසේය.


හේම ශ්‍රී අමරසිංහගේ “83 ජූලි” පොත ඇසුරෙනි.

 


වදාකඩ නවරත්න
ඡායාරූපය : අන්තර්ජාලයෙනි.