ලංකා සමසමාජ පක්ෂයේ 40 වන සංවත්සරය වෙනුවෙන් ගාල්ලේ දී පැවැති පෙළපාළියේ ල.ස.ස.ප නායක ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, ල.ස.ස.ප ප්‍රධාන ලේකම් බර්නාඞ් සොයිසා, බළපිටිය මහජන මන්ත්‍රී පී. ඩී. වීරසිංහ ද සිල්වා, ගාල්ල ල.ස.ස.ප ප්‍රධාන සංවිධායක හා ගාල්ල හිටපු පුරපති මන්සූර් මරික්කාර් සමග අම්බලන්ගොඩ මහජන මන්ත්‍රී ඇල්.සී.ද සිල්වා මහත්වරුන් ඉදිරියෙන්ම ගමන් ගත් ආකාරය.

 

 

1965 මහා මැතිවරණය මෙරට දේශපාලන ඉතිහාසයේ තීරණාත්මක මැතිවරණයක් බවට පත්වූයේ “පුවත්පත් නිදහස“ වෙනුවෙන් බව පවසමින් එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සී. පී. ද සිල්වා මහතාගේ නායකත්වයෙන් මන්ත්‍රීවරුන් දහ හතර දෙනෙකු විපක්ෂයට එක්කර ගනිමින් රාජාසන කතා ස්තුති යෝජනාවේදී එක වැඩි ඡන්දයකින් ශ්‍රී.ල.නි.ප - ල.ස.ස.ප සභාග රජය පෙරළා දැමීමෙන් පසු එළඹි මහා මැතිවරණය වීම නිසාය.


මෙම මහා මැතිවරණයේදී සියලු පුවත්පත් ආයතන “පුවත්පත් නිදහස” සඳහා එක්සත් ජාතික පක්ෂයට ප්‍රබල සහයක් ලබාදුනි. ඔව්හු අත දිග හැර මුදල් වියදම් කළහ. ශ්‍රී.ල.නි.ප - ල.ස.ස.ප සභාග රජයට එරෙහිව, විශේෂයෙන්ම ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා ප්‍රමුඛ ලංකා සමසමාජ පක්ෂයට එරෙහිව අවි අමෝරා නැගී සිටියහ. 1965 වසර සඳහා ඇන්. ඇම්. ඉදිරිපත් කළ අය - වැය යෝජනාවලට එරෙහිව සඟ පෙරමුණ බිහිවිය.


ඇන්. ඇම්. ඉදිරිපත් කළ අය - වැය යෝජනා තුළින් පාසල් පොත් මුද්‍රණය රජයේ මුද්‍රණාලය මාර්ගයෙන් කොට සිංහල මූල්පොත් සත විසිපහක මිලට අලෙවි කිරීම ගැන කෝපයට පත් පාසල් පොත් මුද්‍රණය කොට අලෙවි කළ පුවත්පත් ආයතන හිමිකරුවන්ද නැගී සිටියේ ශ්‍රී.ල.නි.පයටත් වඩා ල.ස.ස.ප.යට එරෙහිවය. ඇන්. ඇම්. ප්‍රමුඛ ල.ස.ස.ප.යට එරෙහිව පුවත්පත් පිටු පුරවා මඩ ප්‍රහාර දියත් කළහ. ඇන්. ඇම්. සහ සිරිමාවෝ මැතිනියට එරෙහිව සභ්‍යත්වයට පවා නිගාදෙන කාටුන් පළකළහ. 


මඩ ප්‍රචාරවලින් යුත් පොත් පිංචවල් පුවත්පත් සමග නොමිලේ බෙදාහැරියහ. ශ්‍රී.ල.නි.ප - ල.ස.ස.ප සභාගයට මුල් වී ක්‍රියා කළ, බෝරා කාරයින් මගින් කළ කරවල වෙළඳාම ස.තො.ස මගින් ක්‍රියාත්මක කළ ටී. බී. ඉලංගරත්න වැනි අයට කරවල කුමාරයා යැයි නම් පටබැඳ, ස්විස් බැංකු ගිණුම් ගැන අමූලික අසත්‍ය ප්‍රචාර කළහ. ල.ස.ස.ප අපේක්ෂකයින් පරාජය කිරීමට අතදිග හැර මුදල් වියදම් කළහ.
මෙම තීරණාත්මක 1965 මහා මැතිවරණයේදී බළපිටිය ආසනය සඳහා ලංකා සම සමාජ පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළේ ඇල්. සී. ද සිල්වාය. ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂකයා වූයේ 1960 මාර්තු මහා මැතිවරණයේදී ඇල්. සී. සමග තරඟ කොට වැඩි ඡන්ද 647කින් ජයගත් ශ්‍රී.ල.නි.ප අපේක්ෂක ආර්. ලක්ෂ්මන්ද සිල්වාය. 1965 දී ඔහු බළපිටිය ආසනය සඳහා තරඟ කළේ ශ්‍රී.ල.නි.ප අපේක්ෂකයා ලෙස නොව සී. පී. ද සිල්වාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් සමාජවාදී පක්ෂයේ අපේක්ෂකයා ලෙසිනි.


සී. පී. ද සිල්වා සමග රාජාසන කතා ස්තුති යෝජනාවේදී විපක්ෂයට එක් වූ මන්ත්‍රීවරුන් දහහතර දෙනාට එරෙහිව එ.ජා.ප.ය අපේක්ෂකයන් ඉදිරිපත් නොකළ අතර ඔවුන්ට සිය පූර්ණ සහාය දුන්නේය. ඔව්හු ඇල්. සී. ට හා සමසමාජ ව්‍යාපාරයට එරෙහිවද බළපිටිය ආසනය තුළ විවිධ ප්‍රචාර දියත් කළහ. ඇතැම් අවස්ථාවන්හි පටු ආකල්පයන්ගෙන් යුත් ප්‍රචාරාත්මක ප්‍රහාරයක්ද දියත් විය.
1965 මාර්තු 22 දින මැතිවරණය පැවැත්විණි. ලංකා සම සමාජ පක්ෂයේ අපේක්ෂක ඇල්. සී. ද සිල්වා ඡන්ද 16,615 ක් ලබාගත් අතර ශ්‍රී.ල.නි.ස.ප අපේක්ෂක ආර්. ලක්ෂ්මන්ද සිල්වා ඡන්ද 16,519 ක් ලබාගත්තේය. ස්වාධීන අපේක්ෂක ජයසේන මුණසිංහ ඡන්ද 164 ක් හා ස්වාධීන අපේක්ෂක පී. එල්. වී. ගුණවර්ධන ඡන්ද 130ක් ලබාගත් අතර ඇල්. සී. වැඩි ඡන්ද 96 කින් බළපිටිය ල.ස.ස.ප මන්ත්‍රීවරයා ලෙස පත්විය.


මෙම මැතිවරණයේදී ගාල්ල දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස නවයෙන් හයක්ම එක්සත් ජාතික පක්ෂය ජයගත් අතර අනෙක් ආසන තුන ජයගත්තේ බද්දේගම ල.ස.ස.ප අපේක්ෂක නීල්ද අල්විස් (වැඩි ඡන්ද 733) හබරාදුව ස්වාධීන අපේක්ෂක ප්‍රින්ස් ගුණසේකර (වැඩි ඡන්ද 93) හා බළපිටිය ල.ස.ස.ප අපේක්ෂක ඇල්. සී. (වැඩි ඡන්ද 96) ය.


1965 මැතිවරණයෙන් බළපිටිය ල.ස.ස.ප මන්ත්‍රීවරයා ලෙස පත් වූ ඇල්. සී. ප්‍රදේශවාසී ජනතාව සමග ඉතා සමීපව විපක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස සිය දේශපාලන භූමිකාවට පණ පෙවීය.


1920 අගෝස්තු 31 වැනි දින අම්බලන්ගොඩ පින්නදුව ග්‍රාමයේ උපන් ලොකුගේ චන්ද්‍රදාස ද සිල්වා නම් වූ ඔහු අම්බලන්ගොඩ ධර්මාශෝක මහා විද්‍යාලයෙන් සහ කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරීය. පාසල් වියේ සිටම වාම දේශපාලනයට ඇලුම් කළ ඔහු ක්‍රියාකාරී දේශපාලනයට පිවිසියේ 1947 මහා මැතිවරණයේදී අම්බලන්ගොඩ බලපිටිය බහු මන්ත්‍රී ආසනය සඳහා වාමාංශය වෙනුවෙන් ඉදිරිපත් වූ පී. එච්. විලියම් ද සිල්වා මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියාශීලීව කටයුතු කිරීමෙනි.


සිය තරුණ වියේදීම ලංකා සම සමාජ පක්ෂයට එක් වූ ඔහු 1954 වතුගෙදර සුළු නගර සභාවට නිතරඟයෙන් තේරී පත්ව සිය ජනතා මෙහෙවර ආරම්භ කළේය. වතුගෙදර සුළු නගර සභාවේ බලය ලංකා සමසමාජ පක්ෂයට හිමිකර දෙමින් එහි සභාපති ධූරයට පත් වූ ඔහු 1977 දී සුළු නගර සභා ක්‍රමය අහෝසි කරන තෙක් එහි සභාපති තනතුර දැරීය. සුළු නගර සභා ක්‍රමය අහෝසි කරන තෙක් වතුගෙදර සුළු නගර සභාව ලංකා සම සමාජ පක්ෂ පාලනය යටතේ පැවතීම සුවිශේෂි කරුණක් වන අතර කීප වතාවක්ම වතුගෙදර සුළු නගර සභාවේ කොට්ඨාස හයම ලංකා සමසමාජ පක්ෂයට හිමිවිය. එම ජයග්‍රහණයන් ඇල්. සී. ගේ නායකත්වය නිසාම බව අවිවාදිතය. ඔහුගේ භාර්යාව වූ පර්ල් ද සිල්වා මහත්මියද එම සුළු නගර සභාවේ නියෝජිතවරියක් ලෙස කීපවතාවක්ම ක්‍රියා කළාය.


1953 එ.ජා.ප ආණ්ඩුවට එරෙහිව මෙහෙයැවූ හර්තාලයේදී ඔහු ප්‍රදේශයේ ජනතාවට නායකත්වය දෙමින් අම්බලන්ගොඩ, බළපිටිය, රන්දොඹේ, අහුන්ගල්ල, කරන්දෙණිය, ඌරගහ ප්‍රදේශවල හර්තාල් සටන මෙහෙයැවීමට සිය සගයන්ද සමග ක්‍රියාශීලිව කටයුතු කළේය.

1955 දී අම්බලන්ගොඩ ධර්මාශෝක මහා විද්‍යාලයේ කළමනාකාර තනතුරට පත් වූ ඔහු 1963 පාසල් රජයට පවරා ගන්නා විටද එම තනතුර දැරීය. පාසල් රජයට පවරා ගැනීමට එරෙහිව රට පුරා උද්ඝෝෂණ පැවති අතර ධර්මාශෝක මහා විද්‍යාලය සිය කැමැත්තෙන්ම රජයට පවරාදීමට අම්බලන්ගොඩ සුගත ශාසනෝදය සමිතියේ අනුග්‍රහය ලබා ගනිමින් ඔහු මූලික විය.


1960 දී ගාලු වැල්ලබඩ පත්තු විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපතිධූරයට පත් වූ ඔහු 1972 සමූපකාර ප්‍රතිසංවිධාන පනත ක්‍රියාත්මක වනතෙක් එම තනතුර දැරීය.


ඇල්. සී. මුලින්ම මහා මැතිවරණයකට තරඟ වදින්නේ 1960 මාර්තු මහා මැතිවරණයේදීය. 1960 මාර්තු 19 වැනි දින පැවැති මහා මැතිවරණය සඳහා “ඇන්. ඇම්. අගමැති කරමු” සටන් පාඨය තේමා කරගෙන ලංකා සමසමාජ පක්ෂය මැතිවරණ ආසන 101 ක් සඳහා අපේක්ෂකයින් ඉදිරිපත් කළේය. ලංකා සම සමාජ පක්ෂයේ අපේක්ෂකයා ලෙස බළපිටිය ආසනයට ඉදිරිපත් වූයේ ඇල්. සී. ය (මුලින් අම්බලන්ගොඩ - බළපිටිය නමින් තිබූ බහු මන්ත්‍රී කොට්ඨාසය අම්බලන්ගොඩ, බළපිටිය හා රත්ගම යනුවෙන් මැතිවරණ කොට්ඨාස තුනකට වෙන්වී තිබුණි) බළපිටිය ආසනය සඳහා පැවැති මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂක ආර්. ලක්ෂ්මන් ද සිල්වා ඡන්ද 8465 ක් ලබාගත් අතර ලංකා සමසමාජ පක්ෂයේ අපේක්ෂක ඇල්. සී. ද සිල්වා ඡන්ද 7818 ක් ලබාගත්තේය. වැඩි ඡන්ද 647කින් ඇල්. සී. පරාජයට පත්විය. මෙම මැතිවරණයේදී බලපිටිය ආසනය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කළ 1952 සිට 1956 දක්වා අම්බලන්ගොඩ - බළපිටිය බහු මන්ත්‍රී ආසනයේ හිටපු එ.ජා.ප මන්ත්‍රී ඉයන් ද සොයිසා ඡන්ද 6235 ක් ලබා තෙවන ස්ථානයට පත්විය. ස්වාධීන අපේක්ෂක ධර්මසේකර වේලාරත්න ඡන්ද 1304 ක්ද අගමැති ඩබ්. දහනායක මහතාගේ ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අපේක්ෂක ඒ. ඉසෙඞ් ජයතිලක ඡන්ද 1027 ක්ද බෞද්ධ ජනතා පක්ෂයේ අපේක්ෂක ඒ. පී. ද සොයිසා ඡන්ද 145 ක් හා ස්වාධීන අපේක්ෂක ජයසේන මුණසිංහ ඡන්ද 116 ක්ද ලබා තිබුණි.


1960 ජූලි 20 වැනි දින නැවත මහා මැතිවරණයක් පැවැත්වුණේ 1960 මාර්තු පිහිට වූ එ.ජා.ප ආණ්ඩුවේ ආයු කාලය මාස තුනකට සීමාවීම නිසාය. ල.ස.ස.ප.ය ශ්‍රී.ල.නි.ප සමග ඇතිකරගත් නිතරඟ ගිවිසුම නිසා 1960 ජූලි මැතිවරණයේදී බළපිටිය ආසනය සඳහා ඉදිරිපත්වීමට ඇල්. සී.ට නොහැකි විය.


1964 ජූනි මස ශ්‍රී.ල.නි.ප - ල.ස.ස.ප. සභාග රජයක් බිහිවිය. ල.ස.ස.ප නායක ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මුදල් අමාත්‍ය පදවියට පත්විය. මුදල් අමාත්‍ය ඇන්. ඇම්. ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති පදවියට පත් කළේ ඇල්. සී. ය. 1964 ජූනි සිට 1964 දෙසැම්බර් දක්වා සභාග රජය පෙරළා දමන තුරු ඇල්. සී. ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ක්‍රියා කළේ සභපතිවරයාට හිමි දීමනාව පවා නොගෙනය. ලංකා සමසමාජ පක්ෂයේ මෙහෙයවීමෙන් ප්‍රකාශයට පත්කළ ජනදින ජනසතිය, ජනකවි, ජනකලා විදු සතර, ද නේෂන් පුවත්පත් සමූහය අයත් වූ සීමාසහිත සූරිය ප්‍රකාශකයෝ ආයතනයේ අධ්‍යක්ෂක වරයෙකු ලෙසද ඔහු දීර්ඝ කාලයක් කටයුතු කළේය.


1965 මාර්තු මස පැවැති මැතිවරණයේදී බළපිටිය ල.ස.ස.ප මන්ත්‍රීවරයා ලෙස පත් වූ ඔහු 1968 ඔක්තෝබර් දක්වා ඡන්ද පෙත්සමකින් සිය අසුන අහිමිවන තුරුම බළපිටිය මහජන මන්ත්‍රීවරයා ලෙස කටයුතු කළේය.


1970 මැයි 27 දින පැවැති මහා මැතිවරණයේදී ශ්‍රී.ල.නි.ප - ල.ස.ස.ප - කො.ප. සමගි පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඇල්. සී. ලංකා සම සමාජ පක්ෂය වෙනුවෙන් අම්බලන්ගොඩ ආසනයට ඉදිරිපත් විය. ඇල්. සී. ලැබු ඡන්ද සංඛ්‍යාව 22,356 ක් වූ අතර එ.ජා.ප. අපේක්ෂක හිටපු මන්ත්‍රී එම්. එච්. සද්ධාසේනට ලබාගත හැකි වූයේ ඡන්ද 11,728 ක් පමණි. ස්වාධීන අපේක්ෂක යූ. ඩී. කුලසිංහ ඡන්ද 544 ක් ලබා තිබුණි. ඇල්. සී. වැඩි ඡන්ද 10,628 කින් අම්බලන්ගොඩ මහජන මන්ත්‍රීවරයා ලෙස තේරී පත්විය.


1970 සිට 1977 දක්වා ඔහු අම්බලන්ගොඩ මහජන මන්ත්‍රීවරයා ලෙස විශිෂ්ට කාර්යභාරයක් ඉටු කළේය. 1972 සමගි පෙරමුණු රජය දියත් කළ වගා සංග්‍රාමයේදී අම්බලන්ගොඩ ගොවි පෙරමුණු සම්මේලනය ගොඩ නගා එම වගා සංග්‍රාමයේදී ඉමහත් කාර්යභාරයක් ඉටු කළේය. පුරන්ව තිබූ කුඹුරු යායන් අස්වැද්දිනි. ඉඩම් නොමැති ගොවීන්ට ඉඩම් ලබා දුනි. කෘෂි සේවා මධ්‍යස්ථාන, පලදා වර්ධන කමිටු හරහා ජනතාවට සේවාවන් ලබාදීමට ඔහු මූලික විය. අම්බලන්ගොඩ මැතිවරණ කොට්ඨාසයේ ඉඩම් ප්‍රතිසංස්කරණ සමූපකාර සමිතිය පිහිටුවා රජයට පවරාගත් ඉඩම් ලාභ ලබන තත්ත්වයට පත් කළේය.


1970 සමගි පෙරමුණු රජය පත් කළ තීරු බදු සේවා පිළිබඳ කමිටුවේ සභාපතිවරයා වශයෙන්ද ක්‍රියා කළ ඔහු 1970 සිට 1975 සැප්තැම්බර් දක්වා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වශයෙන්ද 1975 සැප්තැම්බර් සිට 1977 දක්වා විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වශයෙන්ද තමා ජනතා නියෝජිතයෙකු ලෙස තෝරා පත්කර ගත් ජනතාවගේ ගෞරවය රැක ගනිමින් කටයුතු කළේය.


ඔහු තනතුරු, වරදාන හා වරප්‍රසාද හඹා නොගියේය. 1975 සැප්තැම්බර් 02 දින සමගි පෙරමුණු රජයෙන් සමසමාජ ඇමතිවරුන් ඉවත් කිරීමෙන් පසු ඇල්. සී. ආණ්ඩු පක්ෂය තුළ රඳවා ගනිමින් තනතුරු ලබාදීමට ඔහුට ඉතා හිතවත් වූ ශ්‍රී.ල.නි.ප ඇමතිවරුන් කීප දෙනෙකු කළ යෝජනා ප්‍රතික්ෂේප කළබව මහජන රැස්වීම් අමතමින් ඔහු ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළේය.


සමගි පෙරමුණ බිඳ වැටීමෙන් පසු ල.ස.ස.ප දේශපාලන මණ්ඩලය හා මධ්‍යම කාරක සභාව ගත් තීන්දුව මත 1975 සැප්තැම්බර් 04 දින පාර්ලිමේන්තුව රැස් වූ විට ල.ස.ස.ප ප්‍රධාන ලේකම් බර්නාඞ් සොයිසා පෙරෙටු කොට ගනිමින් සභා ගර්භයට පැමිණි ඔහු ඇතුළු සම සමාජ මන්ත්‍රීවරු විපක්ෂයේ අසුන් ගත්හ.


1977 ජූලි 21 වැනි දින පැවැති මහා මැතිවරණය සඳහා වාමාංශික එක්සත් පෙරමුණ වෙනුවෙන් ලංකා සම සමාජ පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඇල්. සී. ඉදිරිපත් විය. සමගිය බිඳවැටීම හා එ.ජා.ප.යේ ධර්මිෂ්ඨ සමාජ ප්‍රතිපත්තිය නිසා මුළු රටම හසුවූ දේශපාලන කුණාටුවට ඔහුද අසුවිය. ල.ස.ස.ප අපේක්ෂක ඇල්. සී. ඡන්ද 9654 ක් ලබාගත් අතර ශ්‍රී.ල.නි.ප අපේක්ෂක අ. ම. කරුණාරත්න ඡන්ද 6748 ක්ද ම.එ.පෙ අපේක්ෂක එස්. එම්. වැයිහේන ඡන්ද 111 ක්ද ස්වාධීන අපේක්ෂක ඒ. ඩී. පීරිස් ඡන්ද 58 ක්ද ලබාගත් අතර එ.ජා.ප අපේක්ෂක රයිටර් තිලකසේකර ඡන්ද 17,829 ක් ලබා වැඩි ඡන්ද 8175 කින් අම්බලන්ගොඩ අසුන ජය ගත්තේය.


ල.ස.ස.ප නායක ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා අභාවප්‍රාප්ත වූ විට අවමංගල්‍ය කමිටුවේ සභාපතිවරයා වශයෙන් සිය සදාදරණීය නායකයාණන්ගේ අවසන් කටයුතු අභිමානවත්ව කිරීම සඳහා ඔහු ඉමහත් කැපවීමකින් ක්‍රියා කළේය. සිය ගම් ප්‍රදේශයේ ජනතාවට ඔහු සනී මහත්තයා විය. ආසනයේ ජනතාවට ඔහු ඇල්. සී. මහත්තයා විය සමසමාජ පාක්ෂිකයින්ට සහ වාමාංශිකයින්ට ඇල්. සී. සහෝදරයා විය. දේශපාලනඥයින්ට හා හිතවතුන්ට ඇල්. සී. විය.


බළපිටිය හා අම්බලන්ගොඩ ආසනවල පමණක් නොව ගාලු දිසාවේ ජනතාව වෙනුවෙන් අමිල සේවයක් කළ ඔහු 1989 ජූනි 22 දින දැයෙන් සමුගත්තේය. ගාලු දිසාවෙන් සම සමාජ ව්‍යාපාරයට හා වාමාංශයට ජීවය දුන් ඔහු කළ සේවය කෘතවේදී ජනතා සිත් සතත් තුළ සදා ජීවමානව පවතිනු නොඅනුමානය.

ඊ. එල්. ජයන්ත ද සොයිසා