IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


තමිල් සෙල්වම් කොළඹින් මතුවෙයි

කොටි දේශපාලන අංශයේ නායක තමිල් සෙල්වම් ගුවන් ප්‍රහාරයකින් මැරුම් කෑවේ උතුරුකරයේ වෙසෙන කොටි නායක නායිකාවන්ට මරණ බිය ඇතිකරවමින්ය. සාමාන්‍ය පෙළ පන්තියේ දී පාසල් අධ්‍යාපනයට සමු දුන් පසු රස්සාව වශයෙන් කර ඇත්තේ කරණවෑමිකමය. කොළඹ කොටහේන ප්‍රදේශයේ බාබර් සාප්පුවක ද ඔහු ගැටයා කාලයේ සේවය කර ඇත.


කොටහේන බාබර් සාප්පුවේ සේවය කරන කාලයේ තමිල් සෙල්වම් හමුදාවේ හා පොලිසියේ නිලධාරීන්ගේ ද කොණ්ඩය කපා තිබේ. යාපනය චාවකච්චේරිය මිරිසුවිල් ප්‍රදේශයේ දී 1964 වසරේ උපන් තමිල් සෙල්වම් කොටි සංවිධානයට බැඳී ඇත්තේ 1983 වසරේ දීය. 


යාපනය, චාවකච්චේරිය මහා විද්‍යාලයේ ඔහු අ.පො.ස සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනුම ලැබුවෙකි.

 

 

එල්.ටී.ටී.ඊ. සංවිධානයට බැඳී ගරිල්ලා සටන් පුහුණුව ලැබූ තමිල් සෙල්වම් පසු කාලයක ප්‍රභාකරන්ගේ ශරීරාරක්ෂකයකු ලෙසද කටයුතු කර තිබේ. ප්‍රභාකරන්ගේ ශරීරාක්ෂකයකු ලෙස කටයුතු කරද්දී ඔහුගේ (ප්‍රභාකරන්ගේ) විශ්වාසය දිනාගැනීමට තමිල් සෙල්වම් සමත් වී ඇත. 


කොටි නායකයා එක් අවස්ථාවක ඉන්දියාට පළාගිය අතර ඒ සමඟ තමිල් සෙල්වම් ද ඔහුත් සමග ඉන්දියාවට පළා ගොස් තිබිණි. 


ප්‍රභාකරන් ඉන්දියාවේ සිටින කාලය පුරා ඔහුගේ ආරක්ෂකයා ලෙස ඔහු ළඟින්ම සිටියේ තමිල් සෙල්වම්ය. එල්ටී.ටී.ඊ. සන්නද්ධ අංශයේ නායකයකු ලෙස කටයුතු කරමින් හමුදාවට එරෙහිව සටන් මෙහෙයවා ඇති තමිල් සෙල්වම් කිහිප වරක්ම ජීවිතය බේරාගෙන ඇත්තේ යන්තමිනි. 


එක් වරක් හමුදා ප්‍රහාරයකින් තමිල් සෙල්වම්ගේ එක් පාදයකට බරපතළ තුවාල සිදු වී තිබිණි. යාපනය මූලික රෝහලෙන් ප්‍රතිකාර ලබා තමිල් සෙල්වම් සුවය ලැබුවත් ඔහු ආබාධිත තත්ත්වයට පත් විය. කකුලේ වූ ආබාධය නිසා එතැන් පටන් ඔහු ඇවිද්දේ  හැරමිටියක ආධාරයෙනි. 


ආබාධිත තත්ත්වය සැලකිල්ලට ගනිමින් සන්නද්ධ අංශයේ නායක තනතුරින් තමිල් සෙල්වම් ඔහු ඉවත් කර එල්.ටී.ඊ. දේශපාලන අංශයට යොමු කර ඇත. 


තමිල් සෙල්වම්ගේ එක් පාදයකට වෙඩි වැදුණේ 1993 වසරේ යාල්දේවි හමුදා ක්‍රියාන්විතයට එරෙහිව සටන් මෙහෙයවීමට ගොස්ය. 1994 වසරේදී කොටි දේශපාලන අංශයේ නායකත්වයට පත් වූ දවසේ සිට ගුවන් ප්‍රහාරයකට ලක්ව 2007 වසරේ මියයන තෙක්ම ඔහු එම තනතුර දැරීය. 


එවකට පැවති එක්සත් ජාතික පක්ෂ රජය හා එල්.ටී.ටී.ඊ.ය අත්සන් කළ සටන් විරාම ගිවිසුමෙන් පසු තමිල් සෙල්වම් හමුවීමට යාමට මෙම ලේඛකයාට ද අවස්ථාව ලැබිණි. තමිල් සෙල්වම් හමුවීමට මෙම ලේඛකයාට අවස්ථාව උදා කර දුන්නේ කොටි මාධ්‍ය ප්‍රකාශකවරයාට සිටි දයා මාස්ටර්ය. 


“මම කරණවෑමියෙක් ලෙස කොටහේනේ බාබර් සාප්පුවක සේවය කර තිබෙනවා. ඒ කාලයේ හමුදාවේ හා පොලිසියේ අයගෙත් මම කොණ්ඩය කපා තිබෙනවා. එල්.ටී.ටී.ඊ.යට බැඳෙද්දි මගේ වයස අවුරුදු 19 ක් විතර වෙනවා. ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට ගොස් මම සටන් පුහුණුවීම් ලබා තිබෙනවා” යැයි තමිල් සෙල්වම් පැවසූ ආකාරය අදටත් මගේ මතකයේ රැඳී ඇත. සාම සාකච්ඡා පැවැත්වෙන සෑම අවස්ථාවකම එම සාකච්ඡාවලට තමිල් සෙල්වම් සහභාගී වූයේ ප්‍රභාකරන් නියෝජනය කරමින් ඔහුගේ විශේෂ නියෝජිතයා වශයෙනි. 


බැංකොක්, නෝර්වේ, තායිලන්තය හා ජපානයේ පැවති සාම සාකච්ඡාවලට ඔහු සහභාගී වී ඇත. නෝර්වේ සාම නියෝජිත එරික් සෝල්හයිම් හා ජපාන විශේෂ සාම නියෝජිත යෂුෂි අකාශි යන මහත්වරුන් ඇතුළු විදේශීය රාජ්‍ය නායකයන් රැසක් සමග තමිල් සෙල්වම් සාකච්ඡා පවත්වනු ලැබුවේ ප්‍රභාකරන්ගේ උපදෙස් අනුවය. ඒ තරමටම ඔහු ප්‍රභාකරන්ට විශ්වාසවන්තයකු වී සිටියේය. දන්නා කියනා කාලයකින් අනුන්ගේ දුකකදී ඇස්වලට කඳුළු උනා නැතැයි කියන ප්‍රභාකරන්ගේ ඇස්වලට කඳුළු නැගී ඇත්තේ තමිල් සෙල්වම්ගේ මරණය දැන ගැනීමට ලැබුණු මොහොතේ යැයිද පැවසේ.


එවකට පැවති රජය හා එල්.ටී.ටී.ඊ. සංවිධානය අතර 2002 වසරේ ඔක්තෝබර් මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා සාම සාකච්ඡා වටයක් පැවැත්වුණේ තායිලන්තයේ දී ය. 


තායිලන්තයේ පැවති මෙම සාකච්ඡාවලට ප්‍රභාකරන්ගේ නියෝගයක් මත එහි ගොස් සිටියේ එල්.ටී.ටී.ඊ. දේශපාලන අංශයේ නායක තමිල් සෙල්වම්ය. සාම සාකච්ඡාවලට තායිලන්තයට ගොස් සිටි තමිල් සෙල්වම් කටුනායක ගුවන් තොටු පොළට පැමිණ එතැන් සිට කිලිනොච්චිය ක්‍රීඩාංගණයට පැමිණියේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයකිනි. 


හෙලිකොප්ටර් යානයෙන් තමිල් සෙල්වම් කිලිනොච්චිය ක්‍රීඩාංගණයට එන දිනයේ මම ද එවකට ලංකාදීපයේ අපිත් එක්ක සේවය කළ රමේෂ් ද සිටියේ කිලිනොච්චියට ගොස්ය. අප දෙදෙනා එක්ක ගොස් සිටි අපේ ඡායාරූප ශිල්පියා වූයේ සංජීව නිරෝෂණ ය. මේ වන විට ඔහු ඉතාලියේ රැකියාවක නිරතව සිටින්නේය. 


තායිලන්තයට ගිය තමිල් සෙල්වම් කිලිනොච්චිය ක්‍රීඩාංගණයට චොපර් එකකින් පැමිණෙන බව පවසා ඔහු පැමිණීමට හෝරා දෙක තුනකට පමණ කලින් අපව ක්‍රීඩාංගණයට කැඳවාගෙන ගියේ දයා මාස්ටර් ය. සාම සාකච්ඡාවලට ගිය තමිල් සෙල්වම් පැමිණ තිබුණේ එරටින් මිලදී ගත් ලක්ෂ ගණනක් වටිනා සුඛෝපභෝගී භාණ්ඩ තොගයක් ද රැගෙනය. 


විශාල පෙට්ටි කිහිපයකට ඒවා බහා තිබූ තර එම පෙට්ටි ගොඩබෑමට සිවිල් ඇඳුමින් සැරසුණු කොටි සාමාජිකයන් රැසක්ම පැමිණ සිටි අයුරු අදටත් මගේ මතකයේ රැඳී තිබේ. තමිල් සෙල්වම් ගෙනා බඩු බාහිරාදිය තොගය අතරේ වායු සමීකරණ යන්ත්‍ර, අධිශීතකරණයක්, විදුලි පංකා හා තවත් ඉලෙක්ට්‍රොනික උපකරණ ද තිබෙන අන්දම එදා අපට දැක ගැනීමට ලැබිණි. 


තායිලන්තයේ සිට ගෙනා මෙම සුඛෝපභෝගී එම බඩු බාහිරාදිය සහිත පෙට්ටි ගුවන් යානයෙන් ගොඩබාන අන්දමත් ඒවා තමිල් සෙල්වම්ගේ බිරිඳ ඇතුළු පවුලේ උදවිය පැමිණි වාහනවලට පටවාගෙන යන ආකාරයත් අපේ ඡායාරූප ශිල්පී සංජීව නිරෝෂණගේ කැමරා කාචයේ සටහන් කරගෙන පසුව එම ඡායාරූප ලංකාදීපයේ පළවිය. 


අපේ සහෝදර පුවත්පත වන සන්ඬේ ටයිම් පුවත්පතේ ද මේ ගැන ඡායාරූප ද සමග පළ කර තිබිණි. කෙසේ හෝ ඡායාරූප සහිත මේ පුවත පළවීම ගැන තමිල් සෙල්වම් නොසතුටට පත්ව සිටින බව අපට දයා මාස්ටර් දුරකතනයෙන් කතා කර දැනුම් දීමක් කර තිබුණි.

 

 

 

 

 

 

 

 


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

 



අදහස් (0)

තමිල් සෙල්වම් කොළඹින් මතුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1235 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1202 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 439 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site