පෙ ර රජ දරුවන්ගේ කාලයේ පටන් අපේ රට කෘෂිකර්මාන්තයෙන් දියුණු කිරීමට රාජරාජ මහාමාත්‍යාදීන් අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කළේ එහි ඇති වැදගත්කමත් අපේ ප්‍රධාන ආහාරය වන බත සපයාදීමට නම් රට ස්වයංපෝෂිත කළ යුතු බව අවධාරණාත්මකව අවබෝධ කර ගත් නිසාය. මහාපරාක්‍රමබාහු වැනි රජවරුන් අහසින් වැටෙන එක දිය බිඳකුදු නිකරුණේ මහා සාගරයට ගලා යාමට ඉඩ නොදී මහ වැව් අමුණු සකස් කොට ජලය රැස් කර ගත්තේ මහා වාපි සංස්කෘතියක් ඇතිකොට මහජනතාව කෘෂිකර්මයට උනන්දු කරවාලීමටය. මහ රජවරුන්ගෙන් පසුව විදේශීය බටහිර රටවල් ලංකාව අත්පත් කර ගත් අවස්ථාවල පවා විවිධ බාධක මධ්‍යයේ වුවද කෘෂිකර්මාන්තය අත් නොහලේ එහි ඇති වැදගත්කම අපේ රටේ මහජනතාව මැනවින් දැනගෙන සිටි බැවිනි. 


ඉන් පසුව 1948 වර්ෂයේ නිදහස ලැබීමෙන් පසුවද අපගේ පාලකයින් අඩු වැඩි වශයෙන් කෘෂිකර්මාන්තය දියුණු කිරීමටත්, කෘෂිකාර්මික නිෂ්පාදනයන්හි සුරක්ෂිතතාව පිණිසත් නිෂ්පාදන අලෙවිය සඳහාත් ගොවීන්ගේ කුඹුරු පිටි ඉඩ කඩම්වල ආරක්ෂාව සඳහාත් විවිධ අණපනත් පාර්ලිමේන්තුව මගින් සම්මත කරගෙන ක්‍රියා කළ ආකාරය දීර්ඝ කාලීන ඉතිහාසය පිරික්සීමේදී මැනවින් පැහැදිලි වේ. වර්තමානයේ වරින් වර වී මිල ඉහළ පහළ යාම, වී විකුණා ගැනීමට නොහැකි වීම, අස්වනු පාළු වීම, පාළු වූ ගොවිතැන් සඳහා වන්දි ලබා ගැනීමේ ගැටලු මේ ආදී දහසකුත් එකක් ප්‍රශ්නවලට ගොවියාට මුහුණ පෑමට සිදුවී තිබේ. සමහර කාලයන්හි වී අස්වැන්න අඩුවීම නිසා පිටරටින් පවා සහල් ගෙන්වන අතර සමහර කාලයන්හි පිටරටට සහල් යැවීමට තරම් සාර්ථක අස්වැන්නක් ලබා ගෙන තිබේ. වී නිෂ්පාදනයේ දී හා එළවළු හා විවිධ බෝග වගාවන් හිද වර්තමානයේ කියවෙන තවත් කාරණයක් නම් කාබනික ගොවිතැනයි. පොහොර හා කෘමි නාශක හා වල් නාශක යොදා කරනු ලබන වගාවත් කාබනික පොහොර යොදා කරනු ලබන වගාවේ ඇති වැදගත්කමත් නිරතුරුව සාකච්ඡාවට බඳුන් වේ. 


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 බලයට පත්වීමෙන් පසු ජාතික ආහාර නිෂ්පාදන වැඩ සටහන යටතේ කාබනික පොහොර යොදා කරනු ලබන වගාවන් පිළිබඳව දැඩි අවධානයක් යොමු වීම අපට අමතක කළ නොහැක. ගොවි ජනතාව ඒ සඳහා හුරු කිරීම ඉතා අසීරු කටයුත්තක් වුවද ඒ සඳහා දැඩි පරිශ්‍රමයක් දරා ක්‍රමයෙන් කාබනික වගාව සඳහා ගොවි ජනතාව හුරුකරවීමට ගන්නා උත්සාහය අමතක කළ යුතු නොවේ. මේ අතර මෙවර සාර්ථක වී අස්වැන්නක් ලැබී තිබෙන බවට කෘෂිකර්ම දෙපාර්තමේන්තු වාර්තා පෙන්නුම් කරන අතර මේ පිළිබඳ අග්‍රාමාත්‍යවරයා හා ජනාධිපතිවරයා විවිධ ප්‍රකාශ නිකුත් කර ඇත. ජනාධිපතිතුමා ප්‍රකාශ කර ඇත්තේ මෙවර වී අස්වැන්න වර්ධනය වීම කාගේවත් ප්‍රාතිහාර්යයක් නොව ස්වභාවධර්මය නිසා ඇති වූ සාර්ථක බලපෑම්වල ප්‍රතිඵලයක් බවයි. ආණ්ඩුව මැදහත්ව සිදු කළ කටයුත්තක් නොවන නිසි කලට වැසි ලැබී නිසි පරිදි ගොවිජනතාව උනන්දු වීමෙන් ලද ප්‍රතිඵලයක් බවයි. එම ප්‍රකාශය ද අප විසින් ගැඹුරින් සලකා බැලිය යුත්තක් බව සඳහන් කිරීම වටී. 


කෘෂිකර්මාන්තය සමග බැඳී ඇති ක්‍රියාවලියේ ඉතා වැදගත් අංගයක් වනුයේ වී නිෂ්පාදනය අලෙවි කර ගැනීමේදී සාධාරණත්වයක් ඇති වන පරිදි එය ඉටු කර ගැනීමත් පෞද්ගලික වෙළෙඳුන්ගේ ගසාකෑම්වලට ගොදුරු නොවන සේ සාධාරණ මිලක ස්ථාවරත්වය රඳවා ගැනීමත්ය. ඒ සඳහා රට පුරා වී ගබඩා ඇති කිරීමත් වී ගබඩා කර ගැනීමත් වී මෝල් මගින් නිසි කලට වී කොටා වෙළෙඳපොළට නිකුත් කිරීමත් සමුපකාර ව්‍යාපාරය ද සම්බන්ධ කර ගැනීමේ වැදගත්කමත් සහතික මිල ආරක්ෂා කර ගැනීමත් පිළිබඳව පුළුල් ලෙස අධ්‍යයනය කළා. 1970 - 77 රජය 1972 වර්ෂයේ දී ඒ සඳහා රාජ්‍ය ආයතනයක් වශයෙන් වී අලෙවි මණ්ඩලය ආරම්භ කරන ලදී. සිරිමාවෝ බණ්ඩාරනායක අග්‍රාමාත්‍යතුමියගේ කාලයේ දී ආරම්භ කරන ලද එම වී අලෙවි මණ්ඩලය රට පුරා ව්‍යාප්ත කිරීමට එහි ශාඛා ජාලයක් ඇතිකොට ප්‍රාදේශීය කාර්යාල වී ගබඩා, වී මෝල් රට පුරා පිහිටුවීමටත් ක්‍රියා කරන ලදී. කලින් ගොවි ජන සේවා දෙපාර්තමේන්තුව මගින් සිදු කළ කාර්යයන් ඉතා පුළුල් මට්ටමින් දීපව්‍යාප්තව ක්‍රියාත්මක කිරීම එහි අරමුණ විය. 


ඒ අනුව ඇති කළ වී ගබඩාවලට අමතරව කැකුළේ කොටන වී මෝල් හා තම්බා කොටන වී මෝල් රැසක් රට පුරා ආරම්භ කරන ලදී. අම්බලන්තොට වී හා සහල් සංකීර්ණය, මඩකළපුව වී සංකීර්ණය වැනි මෝල් කැකුළෙන් කොටන මෝල් වූ අතර තම්බා කොටන මෝල් ඇති කිරීමේදී නවීනතම යන්ත්‍ර උපකරණ යොදාගනිමින් ඒවා ඇති කිරීමට පියවර ගන්නා ලදී. ඒසේ ඇති කරන ලද මෝල් අතරින් කච්චිගල්ආර සහල් මෝල හා මොරකැටිය සහල් මෝල එකවිධියකට ක්‍රියාත්මක වන නවීන පන්නයේ වී මෝල් වූ අතර හසලක, ඉඟිණියාගල, ගල්ගමුව හා පොළොන්නරුව වී මෝල් එකම ආකෘතියකට හැදූ මහාපරිමාණ මෝල්ය. 


සිමෙන්ති ටැංකිවල වී ගබඩා කර තම්බා කොටන මෙම මෝල්වලින් එක් මෝලකට පැයකට වී ටොන් 2 ක් පමණ කෙටීමට හැකි විය. තම්බා කොටන වී මෝල් වශයෙන් චවලකඬේ වී මෝල ද ආරම්භ කරන ලද අතර එය ඉතා විශාල වීමෝල් සංකීර්ණයකි. එයට වඩා විශාලත්වයෙන් තරමක් අඩු ඒවා වශයෙන් කලාවැව, පදවිය, මැදවච්චිය, අනුරාධපුරය හා හිඟුරක්ගොඩ වී මෝල් ඉදිවිය. මෙසේ රට පුරා වී ගබඩා, වී මෝල් ඉදිකරමින් වී හා සහල් අලෙවි කර ගැනීමට සාධාරණ වැඩ පිළිවෙළක් හා ක්‍රියාකාරී ඉක්මන් වැඩපිළිවෙළක් ආණ්ඩුව විසින් යෙදුවා පමණක් නොව අගමැතිනියත් එවක කෘෂිකර්ම අමාත්‍යතුමාත් විශේෂ උනන්දුවක් දැක්වූයේ ඉක්මනින් මෙම ගබඩා හා වී මෝල් විවෘත කර ගොවි ජනතාවට වී හා සහල් පිළිබඳව විශේෂයෙන් අලෙවිය, මිලදී ගැනීම හා විකිණීම පහසු වන සේ ක්‍රියා කිරීමටයි. ඒ අනුව ඉදිකරන ලද හසලක වී හා සහල් මෝල් සංකීර්ණය ඇමරිකානු ආධාර යටතේ ඉදිකරන ලද්දකි. එය විවෘත කරන ලද්දේ 1976 වර්ෂයේදී බව එවකට හසලක සංකීර්ණයට ඉතා ආසන්නයේ කිලෝමීටර් 4 ක් පමණ ඈතින් පිහිටුවා තිබූ පල්ලේවත්ත වී මෝල් හා ගබඩා සංකීර්ණයේ ස්ථාන භාර නිලධාරි වශයෙන් එවකට සේවය කළ ඉංජිනේරු බෙනඩික් උල්ලුවිස් හේවා මහතා මා සමඟ පැවසුවේය. මේ ගබඩා හා වී මෝල් සංකීර්ණ ගැන තවදුරටත් කතා කළ උල්ලුවිස් හේවා මහතා හසලක සංකීර්ණය විවෘත කිරීමේදී ඇති වූ සිද්ධියක් එකල ලොකු කතා බහකට ලක් වූ බවද මා සමග කීවේය. මෙය විවෘත කිරීමට නියමිතව තිබුණේ එවකට අග්‍රාමාත්‍ය දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අතිනි. එතුමිය ඒ සඳහා පැමිණීමෙන් පැහැදිලි වන එක් කරුණක් නම් වී නිෂ්පාදනය හා අලෙවිය සම්බන්ධ පාලන තන්ත්‍රයේ ඉහළම තනතුර දැරූ රටේ අගමැතිතුමිය පවා කොතරම් සැලකිල්ලක් දක්වා තිබුණේ ද යන්නයි. ඉතා විශාල මෙම සංකීර්ණයේ වී ගබඩා කරන ටැංකි 4 ක්, වී මෝල්, හාල් ගබඩා, කාර්යාල කාමර, නිල නිවාස, විශාල ජල ටැංකි ආදිය මැනවින් ඉදිකර තිබුණි. ඉතා දර්ශනීය ආකාරයෙන් නවීන පහසුකම් ඇතිව ඉදි කර තිබූ සංකීර්ණ භූමිය ද ඉතා සිත්ගන්නාසුලු අයුරින් සකස් කර තිබූ අතර පසු දින උදේ විවෘත කිරීමට යොදාගෙන තිබියදී පෙර දින සවස 5.00 ට පමණ අතිවිශාල ජල ටැංකිය හෙණ හඬක් පුපුරන්නා සේ කඩාගෙන වැටුණි. මෝලේ කටයුතුවලට අත්‍යාවශ්‍ය නිසා ඉතා විශාලව ඉදිකර තිබුණ ජල ටැංකිය කඩා වැටීම ලොකු ප්‍රශ්නයකි. ඒ නිසා සිදු වූයේ ලොකු කලබලයකි. දැන් හෙට උදේ මැඩම් කොහොමද මෙම විවෘත කිරීම කරන්නේ කියලා කවුරුත් අතර කතා බහ ඇති විය. සංවිධායකයින් කිසිවක් කර කියා ගත නොහැකි තත්ත්වයකට පත් විය. ජල ටැංකියේ කෑලි හා සුන්බුන් සංකීර්ණයේ හැම තැනම විසිරී තිබිණි. හරියටම ඒ මොහොතේම විශාල වැස්සකුත් ඇවිත් පැයක් විතර ඒ වැස්ස තිබුණ කියලා උල්ලුවිස්හේවා මහතා කීවේය. “දැන් කොහොමද හෙට උදේ අගමැතිතුමිය අතින් මෙය විවෘත කරන්නේ.” අමාත්‍යාංශයේ නිලධාරි මණ්ඩලයේ නිලධාරීන් අතිනි. අවට ගබඩා හා මෝල්වල නිලධාරීහූත් සියල්ලෝම විශාල ප්‍රශ්නයකට මුහුණ පෑහ. කලින් පැමිණ සිටි ආරක්ෂක අංශත් කලබලයට පත් විය. කෙසේ වෙතත් කොටි ත්‍රස්තවාදයක් එවකට නොතිබූ නිසා ඒ ගැන නම් සැකයක් ඇති නොවුණි. කෙසේ වෙතත් රජයේ වැඩ කඩාකප්පල් කරන්න කරපු වැඩක්ද? 


ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ගේ දුර්වල කම් නිසා ඇති වූ කඩාවැටීමක් ද? ආදී ප්‍රශ්න රැසක් හට ගත්තේය. සිදු වූ දේ සිතා ගන්නත් අපහසු විය. කෙසේ වෙතත් වැස්සෙන් පසු අවශ්‍ය උපකරණ හා යන්ත්‍ර සූත්‍ර ගෙන්වා ගෙන කැඩී බිඳී ගිය සියලු කොටස් ඊට පසු දිනය දා උදේ වන විට අස්කර ශුද්ධ කර එවැනි දෙයක් සිදු වී නැති ආකාරයට පරිසරය සකස් කර අදාළ සියලු දෙනා මහත් පරිශ්‍රමයක් දරා භූමිය යථාතත්ත්වයට පත් කරගෙන තිබේ. කෙසේ වෙතත් ඊට පසු දින අගමැතිනිය පැමිණ මෙම වී හා සහල් සංකීර්ණය උත්සවාකාරයෙන් විවෘත කළාය.


මේ අවස්ථාවට සහභාගී වූ එවකට කෘෂි කර්ම නියෝජ්‍ය ඇමැති මිනිපේ එච්. එම්. නවරත්න මහතා මේ සිද්ධිය ගැන විවෘත කිරීමෙන් පස්සේ අගමැතිනියටත් කියලා තිබෙනවා. 
1975 න් පසු ආණ්ඩුව අවුරුදු 2 ක් දික්කර ගෙන කරගෙන යන අවධියේ සිදු වූවක් නිසා මෙය විරුද්ධ පාක්ෂිකයින්ගේ කඩාකප්පල්කාරී වැඩක් දැයි කියා කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැතිතුමා අගමැතිනියට කියා තිබෙන බවට එකල කතා පැතිරී ගියේය. එපමණක් නොව විවෘත කිරීමට පෙර දිනම මෙවැනි විශාල ජල ටැංකියක් කඩා වැටී බාධා ඇති වීම ආණ්ඩුවට ඉදිරියේදී සිදු වන පරාජයක් පෙන්නුම් කරන අසුබ නිමිත්තක් දැයි සමහරු කතා කළහ. 


කෙසේ වෙතත් ඊට ටික කලකට පසු 1977 පැවැත් වූ මහ මැතිවරණයෙන් සිරිමාවෝ මැතිනියගේ රජය බරපතළ පරාජයකට මුහුණ දුන් බව අමුතුවෙන් කිව යුතු නොවේ. වතුර ටැංකිය කඩා වැටීම හා මැතිවරණ පරාජය අතර කිසිදු සම්බන්ධයක් නැතත් යමක් සිදු වූ විට සත්‍ය හෝ අසත්‍ය එක එක කතා හා ප්‍රචාර සිදු කිරීම අපේ සමාජයේ එක් ලක්ෂණයක් වන අතර දේශපාලන ලෝකයේ එවැනි කතාවලට තටු ලැබීම නැවැත්විය නොහැක.