2000 ඔක්තෝබර් 10 වැනි දින පැවැති ශ්‍රී ලංකාවේ එකොළොස් වැනි මහ මැතිවරණයේ ප්‍රතිඵල අනුව සමානුපාතික ක්‍රමය යටතේ පොදු ජන එක්සත් පෙරමුණ වැඩිම මන්ත්‍රීධූර සංඛ්‍යාවක් ලැබූවද ආණ්ඩුවක් පවත්වාගෙන යෑම සඳහා එය ප්‍රමාණවත් නොවීය.


ලැබුණු ප්‍රතිඵල අනුව ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග විසින් 2000 ඔක්තෝබර් 13 වැනි දින අග්‍රාමාත්‍යධූරයට රත්නසිරි වික්‍රමනායක මහතා පත් කර නව අමාත්‍ය මණ්ඩලයක්ද පත්කරන ලද්දේ සුළු පක්‍ෂ කීපයක සහයෝගය ලබාගනිමිනි.

එකොළොස් වැනි පාර්ලිමේන්තුවේ කථානායක ලෙස එක්සත් ජාතික පක්‍ෂයේ අනුර බණ්ඩාරනායක මහතා පත් කිරීමට අග්‍රාමාත්‍යවරයා කරන ලද යෝජනාව විපක්‍ෂ නායකවරයා ස්ථිර කළේය. එය අලුත් ආදර්ශයක් විය. නියෝජ්‍ය කථානායක ලෙස ජනරාල් සරත් මුණසිංහ මහතාත් කාරක සභා උප සභාපති ලෙස ලලිත් දිසානායක මහතාත් පත්වූයේද නිතරඟයෙනි. පාර්ලිමේන්තු සභානායක ලෙස රිචඞ් පතිරණ මහතාත් ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස රෙජී රණතුංග මහතාත් විපක්‍ෂ ප්‍රධාන සංවිධායක ලෙස වි. ජ. මු. ලොකු බණ්ඩාර මහතාත් පත්විය.


ආණ්ඩුව පිහිටුවා ඉතා කෙටිකලකින්ම අභ්‍යන්තර ආරවුල් ඇති වූ අතර ඒ නිසා විවිධාකාර දේශපාලන දෙදරීම් ඇතිවිය. අභ්‍යන්තර හා අන්තර්ජාතික වෙළඳ වාණිජ කටයුතු, නාවික සංවර්ධන හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යධූරය දැරූ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා 2001 ජුනි මාසයේදී අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීම අර්බුදයේ ආරම්භය විය. ඒ සමගම මුස්ලිම් කොංග්‍රසයේ හා ජාතික සමගි පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඔවුන් දැරූ තනතුරු වලින් ඉවත්ව විපක්‍ෂයේ අසුන් ගත්හ. මේ නිසා විපක්‍ෂයේ මන්ත්‍රී සංඛ්‍යාව 115 දක්වා වැඩි වූ අතර ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රී සංඛ්‍යාව 109 දක්වා අඩුවිය.


2001 ජුලි 10 වැනි දින විපක්‍ෂ මන්ත්‍රීවරුන් 115 දෙනකු අත්සන් කරන ලද විශ්වාසභංග යෝජනාවක් කථානායක අනුරබණ්ඩාරනායක මහතාට භාර දුන්නේය. මේ තත්ත්වය හමුවේ පාර්ලිමේන්තු සැසිවාරය එදිනම අවසන් කළ ජනාධිපතිනි මීළඟ සැසිවාරය සැප්තැම්බර් 07 වැනි දින කැඳවන බවට නිවේදනය කළාය.


මේ කාලයේ ඇති වූ තවත් කතා බහක් වූයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමයි. ඒ සඳහා ජනමත විචාරණයක් පැවැත්වීමට අගෝස්තු 21 දිනට නියම විය. පසුව එය ඔක්තෝබර් 18 දක්වා කල් තබනු ලැබීය. මේ අතර අගෝස්තු 25 වැනි දින වන විට ජනතා විමුක්ති පෙරමුණ හා ජනාධිපතිනිය අතර පරිවාස ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ සාකච්ඡා ඇති විය. මේ අනුව පාලක පොදුජන එක්සත් පෙරමුණ හා ජනතා විමුක්ති පෙරමුණ අතර දේශපාලන සහයෝගීතාවන් ඇති වී එය මුහුකුරා ගොස් 2001 සැප්. 05 වැනි දින දෙපාර්ශ්වය අතර පරිවාස ආණ්ඩුවක් ඇති කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරිණ. ඒ අනුව කැබිනට් මණ්ඩල සංශෝධනයක්ද සිදු විය. ගිවිසුම් ප්‍රකාරව විසි දෙනකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් පත්කර 2001 සැප්. 14 වැනිදා ජනාධිපතිනිය ඉදිරියේ දිවුරුම් දුන්නේය. 

 


ඒ අනුව නියෝජ්‍ය අමාත්‍යධූර සංඛ්‍යාවද 20කට සීමාවිය. මෙම කැබිනට් සංශෝධනය සමඟ එතෙක් ඇමතිවරුන් ලෙස ක්‍රියාකළ ආණ්ඩුවේ ප්‍රබලයින් කිප දෙනකු නියෝජ්‍ය ඇමැතිවරු ලෙස පත් කිරීමත් කීප දෙනෙක් දෙන ලද ඇමැති ධූර භාර නොගැනීමත් නිසා ආණ්ඩුවේ අභ්‍යන්තර දේශපාලන අර්බුදය වර්ධනය විය. පරිවාස ආණ්ඩුව නිසා පාර්ලිමේන්තුවේ බහුතර බලය හේතුවෙන් රජය පවත්වාගැනීමට හැකිවිය. 


පරිවාස ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය.
1. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මිය - ජනාධිපතිනි, මුදල් හා ක්‍රමසම්පාදන සමෘද්ධි, ව්‍යවස්ථා කටයුතු විද්‍යා හා තාක්‍ෂණ, ජනමාධ්‍ය.
2. රත්නසිරි වික්‍රමනායක මයා - අග්‍රාමාත්‍ය, බුද්ධශාසන සංස්කෘතික හා ආගමික කටයුතු, වැවිලි කර්මාන්ත.
3. රොනී ද මැල් මයා - වෙළඳ කර්මාන්ත සංවර්ධන හා ග්‍රාමීය කර්මාන්ත.
4. දි. මු. ජයරත්න මයා - කෘෂිකර්ම, වන සම්පත්, ආහාර. 
5. මහින්ද රාජපක්‍ෂ මයා - වරාය, නාවික හා ධීවර කටයුතු
6. රිචඞ් පතිරණ මයා - රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන හා දක්‍ෂිණ සංවර්ධන.
7. අමරසිරි දොඩංගොඩ මයා - මානව සම්පත් සංවර්ධන, කාර්මික හා වෘත්තීය අධ්‍යාපන.

8. නිමල් සිරිපාල ද සිල්වා මයා - සෞඛ්‍ය, දේශීය වෛද්‍ය හා සමාජ සේවා.
9. මංගල සමරවීර මයා - නාගරික සංවර්ධන, මහජන උපයෝගිතා, නිවාස සහ ක්‍රීඩා. 
10. අනුරුද්ධ රත්වත්ත මයා - ඉඩම් වාරිමාර්ග හා බලශක්ති.
11. ඉන්දික ගුණවර්ධන මයා - තැපැල් හා විදුලි සංදේශ.
12. ඒ. එච්. එම්. ෆවුසි මයා - මහා මාර්ග හා මුස්ලිම් ආගමික කටයුතු.
13. ලක්‍ෂමන් කදිර්ගාමර් මයා - විදේශ කටයුතු.
14. මෛත්‍රීපාල සිරිසේන මයා - මහවැලි සංවර්ධන හා පාර්ලිමේන්තු කටයුතු.
15. බැටී වීරකෝන් මයා - අධිකරණ, ජනවාර්ගික කටයුතු හා ජාතික ඒකාබද්ධතා.
16. සරත් අමුණුගම මයා - අධ්‍යාපන හා උසස් අධ්‍යාපන.
17. ඩග්ලස් දේවානන්ද මයා - උතුරු පළාත් සංවර්ධන පුනරුත්ථාපන හා ප්‍රතිසංස්කරණ.
18. දිනේෂ් ගුණවර්ධන මයා - ප්‍රවාහන සහ පාරිසරික ආරක්‍ෂණ.
19. ෆේරියල් අෂ්රොෆ් මිය - නැගෙනහිර සංවර්ධන පුනරුත්ථාපන හා ප්‍රතිසංස්කරණ ග්‍රාමීය නිවාස සංවර්ධන හා වනිතා කටයුතු.
20. අතාවුද සෙනෙවිරත්න මයා - කම්කරු, තරුණ කටයුතු හා ඛණිජ සම්පත් සංවර්ධන අමාත්‍ය


ධූර 44ක්, 20ක් දක්වා අඩු කිරීම මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරු 35ක් 20 දක්වා අඩුකිරීමටද පරිවාස ආණ්ඩු කැබිනට් සංශෝධනය තුළින් සිදුවිය. එතෙක් ඇමතිවරුන් වශයෙන් ක්‍රියාකළ ආණ්ඩුවේ ප්‍රබලයන් කීපදෙනකු නියෝජ්‍ය ඇමැතිවරු ලෙස පත්කිරීමත් නියෝජ්‍ය ඇමතිවරුද 20 පමණක් පත් කළ නිසා 35ක් වූ නියෝජ්‍ය අමාත්‍යවරු සංඛ්‍යාවෙන් විශාල පිරිසකට තනතුරු අහිමිවීමත් අභ්‍යන්තර අර්බුද උග්‍ර කිරීමට හේතුවිය.


2001 ඔක්තෝබර් 08 වැනිදා ශ්‍රීලනි පක්‍ෂ ලේකම් ධූරයෙන් එස්. බී. දිසානායක මහතා ඉවත්කර ඒ වෙනුවට මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කිරීම සිදුවිය. ඔක්තෝබර් 09 වැනිදා පොදු පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී මහජන එක්සත් පෙරමුණේ බන්දුල ගුණවර්ධන මහතා විපක්‍ෂයේ අසුන් ගත්තේය. ඊට පසුවදා එනම් 2001 ඔක්තෝබර් 10 වැනිදා එස්.බී. දිසානායක, මහාචාර්ය ජී.එල්. පිරීස්, මහින්ද විජේසේකර, විජේපාල මෙන්ඩිස්, බන්දුල පරාක්‍රම ගුණවර්ධන, එදිරිවීර ප්‍රේමරත්න, ජයසුන්දර විජේකෝන් හා ආනන්ද මුණසිංහ යන පොදු පෙරමුණු මන්ත්‍රීන් 08 දෙනා විපක්‍ෂයට එක් වූහ.


ඒ අතර ආණ්ඩුවේ ප්‍රබල බලකණුවක් වූ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතා ආණ්ඩුවෙන් ඉවත්විය. ඔක්තෝබර් 12 වැනිදා ලක්‍ෂමන් කිරිඇල්ල සහ සරත් මුණසිංහ යන මන්ත්‍රීවරු ආණ්ඩුවෙන් ඉවත්ව විපක්‍ෂයේ වාඩිවූහ. ඒ අතර ඔක්තෝබර් 16 වැනිදා කථානායක අනුර බණ්ඩාරනායක මහතා එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉවත් වී පොදුජන එක්සත් පෙරමුණට එක්විය.


මේ තත්ත්වය තුළ තවදුරටත් ආණ්ඩුව පවත්වා ගෙන යාමට පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද ප්‍රමාණයක් නොමැති වූයෙන් ජනාධිපතිනිය විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද අතර ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය 2001 දෙසැම්බර් 05 වැනි දිනට දින නියම විය. 2001 දෙසැම්බර් 05 වැනි දින පැවැති 12 වැනි පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පොදුජන එක්සත් පෙරමුණ පරදා එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ බලයට පත්විය. නමුත් ඔවුනට හිමි වූයේද පාර්ලිමේන්තු බහුතර බලයක් නොව මන්ත්‍රීධූර 109ක් පමණි. අනෙකුත් සුළු පක්‍ෂ මන්ත්‍රීවරුන්ගේ සහයෝගයෙන් ආණ්ඩුව පවත්වාගෙන යෑමට ඔවුහු උත්සාහ කළහ.

බණ්ඩාරගම - සමරසේන මුදලිගේ