යුගොස්ලෝවියාව, රටවල් ගණනාවකට බෙදී වෙන්විය. සර්බියාව, මැසිකේනියාව ක්‍රොඒෂියාව, මොන්ටිනීග්‍රෝ, බොස්නියා හර්සග්‍රොවිනා සහ ස්ලෝවේනියා වශයෙන් වෙන වෙනම රටවල් ලෝක සිතියමේ නිර්මාණය විය. රුමේනියාවේ කොමියුනිස්ට් නායක නිකොලයි චව්චෙස්කු මරා දැමූ ප්‍රතිසංස්කරණවාදීහු එය බටහිර ප්‍රතිපත්ති පිළිගන්නා අනුගාමික රාජ්‍යයක් බවට පත්කළහ.


මේ අතරවාරයේ සෝවියට් දේශයේ කොමියුනිස්ට්වාදී පාලකයාවූ මිහායෙල් ගොර්බචොප් තම රටටද දැඩි ප්‍රතිසංස්රකරණ දෙකක් හඳුන්වා දෙනු ලැබීය. ‘පෙරොස්ත්‍රයිකා’ නම්වූ දේශපාලන ප්‍රතිසංස්කරණයක්ද ‘ග්ලාස් නොට්’ නම් ආර්ථික වෙනසක්ද යෝජනා කෙරුණි. එය ක්‍රියාත්මක කිරීමත් සමඟ බාහිරට ප්‍රදර්ශනය නොවුනත් දැඩි ලෙස ක්‍රියාත්මක වූ ‘යකඩ තිරය’ ඉවත්විය. සෝවියට් දේශයටත් එහි පුරෝගාමී බලයවූ කොමියුනිස්ට් පක්ෂයටත් එරෙහි බලවේග ක්‍රියාත්මක  විය. මාක්ස් වාදය සහ සෝවියට් ක්‍රමය යන බැමිවලින් රඳවා තිබුණු එක්සත් සෝවියට් සමාජවාදී සංගමය යන ඒකාබද්ධ රාජ්‍යයේ බන්ධනය ලිහිල්විය. ඒ සමගම සියලුම සෝවියට් සමූහාණ්ඩු තුළ ජාතිකවාදී සහ ආගම්වාදී බලපෑම් ඉස්මතුවන්නට පටන් ගත්තේය. සෝවියට් දේශය බිඳ වැටුණි. ඒ මහා භූමිතලය මත රුසියානු රාජ්‍ය, ජෝර්ජියාව, යුක්රේනය, බයිලෝ රුසියාව, මොල්ඬේවියාව, ලැට්වියාව, ඇස්ටෝනියාව, ලිතුවේනියාව, කසකස්ථානය, තජිකිස්ථානය, තුර්ක්මෙනිස්ථානය, අසර්බයිජානය, අර්මේනියාව ආදී වශයෙන් වෙනම රාජ්‍යයන් විශාල සංඛ්‍යාවක් නිර්මාණය විය. සෝවියට් දේශය නැමැති විශාල රාජ්‍ය මෙසේ බෙදී බිදී විසිරී යාමත් සමඟ තම ඓතිහාසික කාර්යභාර්ය නිමා කළ ජනාධිපති මිහාසෙල් ගෝර්බචොප් කරළියෙන් අතුරුදහන් වූවේය. මේ සියලුම රාජ්‍යයන්ට වෙන වෙනම ජනාධිපතිවරු පත්වූහ. මේ අනුව රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රධානියා වශයෙන් එම තනතුරට පත්වූයේ බොරිස් යෙල්ස්ටින් මහතාය. ඔහු දක්ෂ පරිපාලකයෙකු නොවූ අතර ඉක්මනින් දේශපාලන කරළියෙන් ඉවත්වීමට සිදුවිය.

අනතුරුව බලයට පත්වූ නායකයාවන්නේ ව්ලැඩිමීර් පූටින්ය. ඉතා දක්ෂ නායකයෙකුවූ ඔහු බරපතළ කඩාවැටීමකට ලක්ව පසුබැස තිබුණු රුසියාවේ කීර්තිය යළිත් ළඟාකර ගැනීමට හැකිවන අයුරු ක්‍රියාමාර්ග රැසක් ගත්තේය. සාර් රාජ සමයේදී ශුද්ධවූ රුසියානු අධිරාජ්‍ය වශයෙන් හඳුන්වා ගනිමින් තිබුණු පසුව සෝවියට් පාලනය යටතේ සම මහ බලවතෙකුගේ තැන සිට කැඩී බිදී විසිරයෑම මගින් රටවල් විශාල සංඛ්‍යාවක් බිහිවීමෙන් අවමානයට පත්ව තිබූ රට නැවතත් පෙර පැවති ශ්‍රී සමෘද්ධිය කරා මෙහෙයවීම සඳහා උත්තුංග කාර්යභාර්යයක් ඉටු කළේය. සෝවියට් දේශයෙන් වෙන්ව ගිය අනෙක් බොහෝ රටවල්  ඇමරිකාව ප්‍රමුඛ බටහිර පිලට නැඹුරුවෙද්දී පූටින් රුසියාව එයට ප්‍රතිපක්ෂව මෙහෙයවූවේය.


අතීතයේදී පීඩාවට පත්වන රටවලට නිරන්තරයෙන් සෙවණ සැලසූ, බොහෝ ජාත්‍යන්තර ගැටලු සම්බන්ධයෙන් අවදානම් නොකතා පෙනී සිටි සෝවියට් යුගය සිහිගන්වමින් පූටින් අධිරාජ්‍යවාදී කඳවුරෙන් පීඩාවට ලක්වූ ඕනෑම රටක් වෙනුවෙන් හඬනැගීය. පෙනී සිටියේය. එයින් ගොඩනගාගත් ප්‍රෞඪත්වය මගින් තම රාජ්‍යය වූ රුසියාවට ලෝක පරිමාණයේ නායක මට්ටමේ ඔසවා තැබීමක් සහ කීර්තියක්ද අත්කර දුන්නේය. ජිනීවාහි මානව හිමිකම් කොමිසම ඉදිරියට යෝජනා ගෙන එමින් ඇමරිකාව ශ්‍රී ලංකාව අපහසුවට පත්කළ සෑම අවස්ථාවකදීම පූටින් ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ රුසියානු සමූහාණ්ඩුව ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සහ ගෞරවය සඳහා පෙනී සිටි ආකාරය හොඳම නිදසුනකි. බොරිස් යෙල්ට්සින් ජනාධිපති යටතේ කලක් අගමැති ධූරය දැරූ පූටින් පසුව ජනාධිපති ධුරයට පත්වූයේ ජනතා වරමිනි. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නොකඩවා දෙවරක් පදවිය දැරීමෙන් පසු නිලය දැරිය හැකි කාලය නිමාවෙයි. ඕනෑම රටක ව්‍යවස්ථාව උත්තරීතර බව සැබෑය. එහෙත් ව්‍යවස්ථාව පවතිනුයේ ජනතාවගේ ශුභ සිද්ධිය වෙනුවෙනි. එම අර්ථයෙන් සලකන කල වඩාත් උත්තරීතර වනුයේ ජනතා පරමාධිපත්‍ය බව සැලකිය හැකිය. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේවග ඉතා පැහැදිලිව දක්වා තිබේ.


රුසියාවේ පීටර්ස්බර්ග් නගරයේදී මෙයට හැටපස් වසරකට පෙර උපත ලද ව්ලැඩිමීර් ව්ලැඞ්ඩිමිටරොවිච් පූටින් දෙවැනි ලෝක මහා සංග්‍රාමයේදී යුදබිමේ සටන් කළ රතු හමුදා නිලධාරියෙකුගේ පුත්‍රයෙකු වේ. ඒ අනුව උපතින්ම දේශානුරාගය ලබා උපන් ඔහු නියම රුසියානු භූමි පුත්‍රයෙක් වන්නේය.

ව්‍යවස්ථාවේ කුමක් සඳහන් වුවද රුසියානු ජනතාව හතරවැනි වරටත් ඔහු රුසියාවේ ජනාධිපති තනතුරට පත්කරගෙන තිබේ. ලෝකයේ නොයෙක් දෙනා මේ පිළිබඳව නොයෙකුත් ආකාරයේ අදහස් උදහස් සහ විවිධ අර්ථ නිරූපණ ඉදිරිපත් කරමින් සිටිති. චීනයේ නායක ක්ෂි ජින් පින් ජීවිත කාලයම තනතුර දැරීමට නීතිමය ප්‍රතිපාදන සකස්කරගෙන පසුබිමක ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ද උපහාසයෙන් යුතුව එම සිදුවීම අගය කර ඇති මොහොතක එම සිදුවීම් දෙකටම වඩා රුසියානු ජනාධිපති පූටින්ගේ ජයග්‍රහණය අතිශය වැදගත්වන්නේ ඔහු බලයට පත්වන්නේ එකොළොස් කෝටියක් වූ රුසියානු ජනතාවගේ ඡන්දය ප්‍රකාශ කළ පිරිසගෙන් සියයට හැත්තෑහයක් සහ දශම හයයි හතක ප්‍රතිශතයක්වූ අති බහුතරය ඔහු වෙනුවෙන් කැමැත්ත ප්‍රකාශකර ඇති නිසාය. අවසාන විග්‍රහයේදී උත්තරීතර වනුයේ ජනතා කැමැත්ත වන නිසාය. මෙම උත්කෘෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපති පූටින්ට අපේ සුබපැතුම් පිරිනැමීමටද මෙය අවස්ථාව කරගනුයේ ඔහු ශ්‍රී ලංකාවේ අවංක හා ඍජු මිතුරෙකුද වන නිසාය.

 

 

 


සෝමසිරි වික්‍රමසිංහ