1930.10.26 වැනිදා 

නායිනි 

මහ හිර ගෙදර සිට 

අද දහතුන් වැනි විය ලබන සදාදරණීය දියණි 

ඉන්දිරා ප්‍රියදර්ශනී 

ඔයාගේ උපන් දිනයට තුටු පඬුරු සහ සුබ පැතුම් ලබන්නට ඔබ පුරුදු වී තිබේ. සුබ පැතුම් නම් ඕනෑ තරම් එවන්නට පුළුවන. එසේ වුවත් මේ නායිනි සිරගෙදර සිට මා ඔබට එවන්නේ කුමන තුටු පඬුරක්ද? නෙතින් බලා අතින් අත ගා ප්‍රීතිවිය හැකි තෑග්ගක් එවන්නට මට හැකියාවක් නැත. ඔබට එවන්නට අද මට පුළුවන්කමක් ඇත්තේ සුන්දර සුරංගනාවියක් විසින් ප්‍රදානය කළ හැකි සුළඟට එසේත් නැතහොත් හිතට එසේත් නැත්තම් ආත්මයට නෑකම් කියන අන්දමට මෙම සිරමැදිරියේ මහ පවුරු පදනම්වලින් වැළැක්විය නොහැකි අන්දමේ පඬුරක් පමණකි. එනම් ආශිර්වාදයකි. 

 


දයාබර පෙම්පිඬ.... ඔබ උපන් අවුරුද්ද 1917 ලෝක ඉතිහාසයේ සඳහන්වන වැදගත් වර්ෂවලින් එකකි. තම රටවාසී පීඩිත ජනතාව කෙරෙහි පතළා වූ ආදරයකින් අනුකම්පාවකින් යුතු නායකයෙකු තම ජනතාව ලවා කවදාවත් අමතක නොවන සදානුස්මරණීය ඉතිහාසයක පරිච්ඡේදයක් ලියවූවේ එම අවුරුද්දේය. ලෙනින් රුසියාවේ හා සයිබීරියාවේ මුහුණුවර වෙනස් කළ මහා විප්ලවය ආරම්භ කළේ ඔබ උපන් අවුරුද්දේ හරියටම ඔබ උපන් මාසයේය. සාගින්නෙන් සහ දරඳඩු පාලනයෙන් පීඩිත සිය ජනතාව එම පීඩාවලින් මුදා සිය රටට නිදහස ලබාදීම සඳහා ජනතාවට ආදරයකින් සහ අනුකම්පාවෙන් හා මහත් වූ ආත්ම පරිත්‍යාගයකින් ඉදිරිපත්ව ජනතාව ජාතික නිදහස සඳහා මෙහෙයවන එබඳුම වීරයෙක් අද අපේ රටේ (ඉන්දියාවේ) සිටී. ඒ බාබුජීය (මහත්මා ගාන්ධිය) බාබුජී අද හිරගෙදරය. එහෙත් ඔහුගේ වචනයේ බලය හදවත් ඇතුළේ නිදන් කර ගත් ඉන්දියාවේ කෝටි ගණනක් ගැහැනු පිරිමි පොඩි දරුවන් පවා තම තමන්ගේ පැල්පත්වලින් පෙරමුණට පැමිණ ඉන්දියානු නිදහස් සටනේ යෝධයන් වී සිටිති. එය කොතරම් ආඩම්බරයට කරුණක්ද? 


අපි ඉන්දියාවේ ඉතිහාසය තනමින් සිටිමු. මේ මහා සිදුවීම සියැසින් දැක මේ මහා ක්‍රියාදාමයේ කිසියම් කොටසකට හෝ දායකවීමට අවස්ථාව ලැබූ ඔබත් මමත් ඉතාම වාසනාවන්තයෝ වෙමු.” 


ඉහත සඳහන් කළේ ශ්‍රේෂ්ඨ දේශපාලනඥයෙකු භාරත දේශයේ ප්‍රතාපවත් අගමැතිවරයෙකු සහ මහා චින්තකයෙකු ලෙසද කීර්තියක් දිනා සිටි ශ්‍රී ජවහර්ලාල් නේරු තුමා විසින් තම ළාබාල දියණිය වූ ඉන්දිරා ප්‍රියදර්ශනී වෙත ලියන ලද ලිපියකින් උපුටා ගත් කොටසකි. මේ වන විට ඔහු සිටියේ බන්ධනාගාරගතවය. බි්‍රතාන්‍ය හිරු නොබසින අධිරාජ්‍යයේ කොටසක් ලෙස වහල්භාවයේ පතුලටම වැටී සිටි ඉන්දියාව එම පීඩනයෙන් ගලවාගැනීම සඳහා මුල් පරපුරේ නිදහස් සටන්කාමීන් වූ ලෝකමාන්‍ය බාල් ගංගාධාර තිලක්, මොතිලාල් නේරු, දේශබන්ධු චිත්ත රන්ජන් දාස්, ගෝපාල් ක්‍රිෂ්ණ ගෝඛලේ, ලාලා ලාජ්පත් රායි, සර්දාර් භගත් සිං, බිපන් චන්ද්‍රපාල්, මහාදේව් ගොවින්ද රණාදේ, සහ සුරේන්ද්‍රනාත් බැනර්ජි වැනි ශ්‍රේෂ්ඨ භාරත පුත්‍රයෝ තම දේශයට නිදහස ලබාදීම සඳහා නොයෙකුත් සටන් ව්‍යාපාර දියත් කරමින් සිටියහ. මෙම පිරිස මෙන්ම තවත් දේශප්‍රේමීන්ද එක්ව ඉන්දියානු ජාතික සංගමය නැමති දේශපාලන බලවේගය පිහිටුවා ගැනීම එයින් ප්‍රධාන අවස්ථාවකි. 

 

 

මෙම පිරිස නායකත්වය දුන් ඉන්දියානු ජාතික සංගමය හුදෙක් ලන්ඩනයට නියෝජිත පිරිස් යවා සාකච්ඡා කිරීම, ලිඛිතව සන්දේශ ඉදිරිපත් කිරීම වැනි සම්ප්‍රදායික ක්‍රමවලට පමණක් හුරුවී සිටින බවක් පෙනෙන්නට තිබුණි. 

මෙම නායකයන් අතුරින් මොතිලාල් නේරු ගැන විශේෂයෙන් හඳුනාගත යුතුයැයි මෙහිලා සටහන් කරමි. කාශ්මීරයේ වංශාධිපති පවුලක දරුවෙකු වූ ඔහු ධනවත් බලවත් සහ දැනුවත් නීතිඥයෙකු ලෙස සමස්ත භාරතය පුරා කීර්තියට පත්ව සිටියේය. කාශ්මීරයේ සිට උත්තර ප්‍රදේශ්හි අලහබාද් නුවරට පැමිණි ඔහු සිය වාසභවනය වූ ආනන්ද භවනය නැමැති සුඛෝපභෝගී මන්දිරයෙහි ජීවිතය ආරම්භ කළේය. යමුනා නදී තීරයේ මනරම් ස්ථානයක පිහිටි මෙම සිටු මැදුර පසු කලෙක ඉන්දියානු නිදහස් සටනේ මධ්‍යස්ථානය බවට පත් විය. 


නීතිඥ මොතිලාල් නේරු පමණක් නොව ඔහුගේ එකම පුත්‍රයා වූ ජවහර්ලාල් නේරුද දියණිය වූ විජය ලක්‍ෂ්මීද ක්‍රමයෙන් මෙම විමුක්ති සටනට එක්ව සිටියහ. බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් සිය ගණන් නිරායුධ දේශප්‍රේමීන් මරා දමමින් තිබෙන අවධියක නිදහස් සටන මෙයට වඩා දැනෙන ආකාරයකින් සිදු කළ යුතුයැයි විශ්වාස කළ පිරිසක් ඉන්දියානු ජාතික සංගමය තුළ ගොඩනැගෙමින් සිටියහ. මෝහන්දාස් කරම්චන්ද් ගාන්ධි, ජවහර්ලාල් නේරු, සර්දාර් වල්හායි පතේල්, සුභාෂ් චන්ද්‍රබෝස්, භිම්රාවෝ රාම්ජි අම්බෙඞ්කාර් ආදී තරුණ නායකයන් පිරිසක් අතට නිදහස් සටන මෙහෙයවීමේ වගකීම මාරු වූවේ ඒ අයුරිනි. බිහාර් ප්‍රාන්තයෙන් පැමිණි රාජේන්ද්‍ර ප්‍රසාද්, මදුරාසියෙන් පැමිණි සර්වපල්ලි රාධ ක්‍රිෂ්ණන් ආදී නායකයෝද මොවුන්ට එක්වූහ. ගාන්ධි අවිහිංසකවාදියෙකු වූ අතර සුභාෂ්චන්ද්‍ර බෝෂ් දැඩි විප්ලවවාදියෙකු විය. පතෙල් මේ අතර මැද ප්‍රතිපත්තියක සිටියේය. එහෙත් ගාන්ධිගේ ප්‍රධානම අනුගාමිකයා වූවේ ජවහර්ලාල් නේරුය. 


ඔහු විවාපත්ව සිටියේ තවත් කාශ්මීර බ්‍රාහ්මණ පවුලකින් පැවත එන කමලා කෞල් මෙනවිය සමගය. ඉතා දැඩි විමුක්තිකාමියෙකු වූ ඇය සිය ස්වාමිපුරුෂයා සමග නිදහස් සටනට එක්වූවේ ඉතා දැඩි උද්යෝගයකිනි. 1920 දශකයේ පමණ වන විටත් ඉන්දීය කාන්තාවෝ නිදහස් අරගලයට වැඩියෙන් සම්බන්ධව සිටියේ නැත. සම්ප්‍රදායික භාරත සිරිත් විරිත් අනුගමනය කළ එහි කාන්තාවෝ ඒ වන විටත් සමාජයේ ඉදිරියට පැමිණීම සිදුනොකළහ. ඔවුන් සටනට සහභාගි වූවේ ඉතා සුළුවෙනි. එහෙත් කමලා නේරු එයට සම්බන්ධවීම කාන්තා පරපුරට පරමාදර්ශයක් විය. සිය ගණන් රැස්වීම් අමතමින් කාන්තාවන් ධෛර්ය ගැන්වූ ඇය ගමින් ගමට, නගරයෙන් නගරයට යමින් මාතෘ භූමියේ නිදහස සඳහා ගෙන යන අරගලයට ඒකරාශීවන ලෙස භාරත වනිතාවට ආයාචනය කළාය. ඒ අනුව සිය දහස් ගණන් කාන්තාවෝ අරගලයට ඇදී ආහ. ඔවුහු බන්ධනාගාර ගතවූහ. පොලිස් ප්‍රහාරවලට එඩිතරව මුහුණ දෙමින් ඉදිරියටම ගියහ. අපේ ගම්බද බසින් කියතොත් කිරෙන් කා තෙලෙන් අත සේදීමට තරම් ධනවත් සුකොමළ තරුණියක වූ නේරු මැතිනිය වරක් ‘බි්‍රතාන්‍යයෙනි, ඉන්දියාවෙන් පිටවෙයව්.’ යනුවෙන් පැවති විරෝධතාවකදී පොලිස් බැටන් පහරක් නිසා බරපතළ ලෙස රෝගාතුර වූවාය. මේ වන විට සැමියා වූ ශ්‍රී නේරු සිටියේ බන්ධනාගාරගතවය. එනිසා අසනීපව සිටි තම ආදරණීය බිරිඳ දැක ගැනීමට අවසර ලැබුණේ නැත. මෙහිදී බි්‍රතාන්‍ය පාලකයෙක් සට කපට උපක්‍රමයක් යොදමින් අසනීපයෙන් පෙළෙන තම බිරිඳ දැකගැනීමට ඔහුට අවසර දුන්නේය. ඒ නැවත බි්‍රතාන්‍ය විරෝධී කටයුතුවල නොයෙදෙන බවට කොන්දේසියක් පනවමිනි. කෙසේ හෝ යායුතු බැවින් නේරු කමලා බැලීමට සැතපුම් දහස් ගණනක් මග ගෙවා සිය බිරිය නේවාසිකව සිටි රෝහලට පැමිණියේය. මග පසුකරද්දී නේරුගේ සිත දැඩි පීඩනයකට ලක්වූවේ බි්‍රතාන්‍යයන් කියන පරිදි තමා තෝරාගත යුත්තේ භාරත නිදහස ද? කමලාද? යන උභතෝකෝටියක පැනය සිතට වධ දෙද්දීය. බරපතළ ලෙස රෝගාතුරව ලෙඩ ඇඳේ සිටි කමලාවෝ තම සෙනෙහෙබර සැමියා දැකීමෙන් මහත් ප්‍රීතියට පත්වූවාය. මේ කෙටි වකවානුව තුළ ඇය බන්ධනාගාරගත වූවාය. එහි නොවිඳිනා දුක් වින්දාය. පසුව පොලිස් බැටන් පහරකෑමෙන් දැඩි ලෙස රෝගාතුර වූවාය. ඒ සියලු දුක් සමනය වූවක් සේ ඇයට දැනුණේ තම පෙම්බරයා දැකීමෙන් උපන් සතුට නිසාය. එහෙත් කමලා ජවහර්ලාල්ගෙන් විමසුවේ බැරෑරුම් ප්‍රශ්නයකි. දුබල හඬකින් ඇය ඔහුගේ කනට කොඳුරා ඇසුවේ මෙම ප්‍රශ්නයයි. “මට ආරංචියක් ලැබුණා. එය ඇත්තක්ද කියා මම දන්නේ නැහැ. ඔබ මා නිසා ජාතික සටන අතහරිනවාද? මා වෙනුවෙන් සටන අතහරින ලෙස ඔවුන් ඔබට බල කරනවාද? එපා... එපා... මා නිසා සටන අතහරින්න එපා. ඔබ මොතිලාල් නේරුගේ පුතා. මගේ දයාබර සැමියා. භාරතයේ බලාපොරොත්තුව ඔබයි. ඔබට සටන අතහරින්න හිතන්නවත් පුළුවන්ද? මා කව්ද? මා කවදාහරි මැරෙනවා. නමුත් භාරතය නිදහස් කර ගැනීමයි ඔබේ වගකීම. මගේ ප්‍රාර්ථනාව. එනිසා ආපසු යන්න. සටන මෙහෙයවන්න. කිසිවිටෙක ඉංග්‍රීසීන්ට කැමැත්ත දෙන්න එපා.” 

 

 

ඒ ඉන්දිරාගේ මවගේ හඬයි. පියාගේ වීරත්වයට සරිලන දේශමාමකත්වයක් මෙන්ම ජාති වාත්සල්‍ය ඇය සතුව පැවතුණි. නේරු වරක් කමලාවන් හඳුන්වා දුන්නේ සිංහ ධේනුවක් ලෙසයි. මෙසේ සැමියා රටේ නිදහස් සටනට යැවූ ඇය ටික දිනයකින්ම රෝගී බව උත්සන්නවීමෙන් මරුමුවට පත්වූවාය. මනා අධ්‍යාපනයෙන්ද, දෙමාපිය දෙදෙනාගෙන් ලද සහජ උරුමයක් වූ දේශප්‍රේමී සමාජ අත්දැකීම්ද හේතුවෙන් ඉන්දිරා නේරු තරුණ වයසට එළඹෙත්ම ඉන්දියානු පාර්සි ජාතික තරුණයෙකු වූ ෆෙරොස් ගාන්ධි සමග විවාහ වූ අතර එයින් පසු ඉන්දිරා ගාන්ධි නම් වූවාය. 


1947 අගෝස්තු මස පහළොස් වැනි දින මධ්‍යම රාත්‍රියේදී ඉන්දියාව නිදහස් රාජ්‍යයක් බවට පත් වූ අතර ජනතා වරම ලබමින් එහි ප්‍රථම අගමැති තනතුරට පත් වූවේ ශ්‍රී නේරුතුමාය. එයින් පසු අගමැති නිල නිවාසය වූ තීන්මූර්ති මන්දිරයේ භාරකාරවරිය මෙන්ම අගමැතිවරයාගේ පෞද්ගලික සහකාරවරිය ලෙසද අතිශය කාර්යබහුල ජීවිතයක් ගත කිරීමට ඉන්දිරාට සිදුවිය. රාජ්‍යතාන්ත්‍රික වත් පිළිවෙත් අනුගමනය කරමින් විදේශ අමුත්තන් සමග කටයුතු කිරීම, දේශීය හා ආගමික සිරිත් විරිත් කඩ නොකරමින් විවිධාංගීකරණයවු විවිධ ආගම් අදහන විවිධ භාෂා කතාකරන බහුවිධ ඉන්දියානු සමාජයේ කටයුතු මෙහෙයවීමට අගමැතිවරයා සමග කටයුතු කිරීමට ඇයට සිදුවිය. රාජේන්ද්‍ර ප්‍රසාද්, මොරාජි දේශායි, අම්බෙඞ්කාර්. බිජු පන්නායික්, වී ටී ක්‍රිෂ්නමාචාරි, ක්‍රිෂ්ණ මෙනන්, ගුල්සාරිලාල් නන්ද, ලාල් බහදූර් ශාස්ත්‍රී, සර්දාර් වල්බායි පතේල් ආදී කැබිනට් ඇමතිවරුන් මෙන්ම විපක්ෂ නායකයන්ද දැන හඳුනාගැනීමට ඇයට අවස්ථාව ලැබුණි. 


දහහත් වසරක් ඉන්දියාව පාලනය කළ අග්‍රාමාත්‍ය ශ්‍රී නේරු වියපත්ව රෝගාතුරව 1964 මැයි 17 වැනිදා පරලෝ සැපත් විය. අනතුරුව අගමැතිධුරයට පත්කරගනු ලැබුවේ ලාල් බහදූර් ශාස්ත්‍රී මහතාය. තමාගේ රජය ශක්තිමත්ව පවත්වාගෙන යාමට නම් අභාවප්‍රාප්ත අගමැති නේරුගේ දේශපාලන උරුමය තම රජය තුළ නියෝජනය විය යුතුයැයි අදහස් කළ නව අගමැතිවරයා ඉන්දිරාට ප්‍රවෘත්ති සහ ගුවන්විදුලි අමාත්‍ය ධුරය පිරිනමා ඇගේ සහාය ලබාගත්තේය. ශාස්ත්‍රී අගමැතිවරයාගේ ධුර කාලය ඉතා කෙටි කලකට සීමාවූවේ එතුමාද හදිසියේ මියගිය බැවිනි. එම පුරප්පාඩුව පිරවීම සඳහා සමස්ත ඉන්දියානු ජාතික සංගමය විසින් ඉන්දිරා ගාන්ධි මැතිනිය පත්කර ගන්නා ලදී.

 

 


මතු සම්බන්ධයි.

 

 


සෝමසිරි වික්‍රමසිංහ