විලියම් ගොපල්ලව මහතා හා සීලවතී ගොපල්ලව මහත්මිය

 

 

ශ්‍රී ලංකාවට ජනාධිපති ධුරයක් මුලින්ම හඳුන්වා දෙන්නේ, 1972 ප්‍රථම ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගිනි. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 සහ 20 යන වගන්තිවලින් පිහිටු වන ලද මෙම ජනාධිපති ධුරය කිසියම් ඓතිහාසික ආණ්ඩුක්‍රම විකාශනයකින් බිහි වූවක් බව පෙන්වා දිය හැකිය. ඩොනමෝර් ආණ්ඩුක්‍රමය අවසානය දක්වා පැවති අග්‍රාආණ්ඩුකාර ධුරය නිදහසින් පසු ඩොමීනියන් තත්ත්වය යටතේ නාමික විධායකය බවට පත් විය. 1972 මැයි 22 වැනි දින ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් වීමත් සමග එම අග්‍රාණ්ඩුකාර ධුරය අහෝසි වී ජනාධිපති ධුරය බිහි විය. 1972 දී ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් වීමෙන් පසු ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක නොවන ජනාධිපතිවරයා ලෙස විලියම් ගොපල්ලව මහතා පත් විය. අපක්ෂපාතී හා ගෞරවනීය රාජ්‍ය නායකයකු ලෙසත්, මනුෂ්‍යත්වයෙන් හෙබි ගුණාංගවලින් යුත් පුද්ගලයෙකු ලෙසත්, එතුමා ප්‍රසිද්ධියට පත්ව ඇත. මේ විලියම් ගොපල්ලව චරිතය පිළිබඳව තබන සටහනකි. 


ත්‍රිපිටකය පළමු වතාවට ග්‍රාන්ථාරූඪ කළ මාතලේ අලුවිහාරේ සිට සැතපුම් 12ක් පමණ උතුරු දිශාවට ගමන් කළ විට කෙත්වතුවලින් අලංකාර වූ දූල්ලෑව නමැති ග්‍රාමය පිහිටා ඇත. ඒ ගමේ ඉඩම් හිමි පැරණි පෙළපතක් වූ ටිකිරි බණ්ඩා හා ටිකිරි කුමාරිහාමි යුවළගේ කුළුඳුල් දරුවා 1897 සැප්තැම්බර් 17 වැනි දින දූල්ලෑව මහවලව්වේ දී බිහි විය. ඒ දරුවාට විලියම් යන නම තබන ලදී. විලියම් ගොපල්ලව මහතාගේ උපත සිදුවූයේ එසේය. විලියම්ට අවුරුදු තුනක් පමණ වන විට විලියම්ගේ පියා මියගිය අතර එතැන් සිට ඔහු තම මවගේ සෙනෙහස මධ්‍යයේ හැදී වැඩුණේය. 


කුඩා විලියම්ට මුලින්ම අකුරු කිය වූයේ කපුකොටුවේ පන්සලේ ලොකු හාමුදුරුවෝය. අකුරු කියවා ටික දිනකින් දූල්ලෑවේ විද්‍යාලයට යාමට කටයුතු පිළයෙළ කරන ලදී. දූල්ලෑව මහ වලව්ව ඉදිරිපිටම පිහිටි මෙම පාසල සාදවා ආණ්ඩුවට බාර දී ඇත්තේ දූල්ලෑවේ අධිකාරම් විසිනි. දූල්ලෑව සිංහල පාසලෙන් දෙවැනි පංතිය සමත් වීමෙන් පසු විලියම්ට කාලයට ගැළපෙන පරිදි ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලබා දීමට මව තීරණය කළාය. ඒ අනුව මහනුවර ගැටඹේ ක්‍රිස්තියානි පාසලට ඇතුළත් වූ ඔහු පාසලෙන් තුන්වැනි පන්තිය සමත් වීමෙන් පසු වර්ෂ 1909 දී මහනුවර ධර්මරාජ විද්‍යාලයට ඇතුළත් විය. එහිදී ඉතා දක්ෂ ශිෂ්‍යයෙකු ලෙස කටයුතු කළ ඔහු සාහිත්‍යමය සහ කලා අංශයේ කටයුතුවල දී කැපී පෙනුණේය. 1917 වර්ෂයේ දී කේම්බි්‍රජ් සීනියර් විභාගයට පෙනී සිටීමෙන් පසු ඔහු මහනුවරට ආයුබෝවන් කියා ආපසු මාතලේ බලා පිටත් විය. 


මාතලේ දී බෞද්ධ පාසලක ගුරුවරයකු ලෙස කටයුතු කළ විලියම් ගොපල්ලව, සමාජ සේවකයෙකු ලෙස ද කැපී පෙනුණේය. ගුරුවරයෙකු වශයෙන් කටයුතු කරන අතරම පාසලේ තත්ත්වය නගා සිටුවීමට ද විලියම් ගොපල්ලව සෑම උත්සාහයක්ම දැරුවේය. ඒ අනුව පුස්තකාලයක් ආරම්භ කර බාල දක්ෂ කණ්ඩායමක් ද ඇති කළේය. 
අනගාරික ධර්මපාලතුමා රට වටේ යමින් අමද්‍යප ව්‍යාපාරය ප්‍රචලිත කිරීමට උත්සාහ ගනිමින් සිටිය දී මාතලේ නගරයේ අමද්‍යප ව්‍යාපාරයේ පෙරමුණ ගත්තේ තරුණ විලියම් ගොපල්ලවය. ඒ නිසා ප්‍රදේශයේ මත්පැන් වෙළෙඳුන්ගේ තර්ජනවලට මුහුණ දීමට සිදු වුවත්, විලියම් ගොපල්ලව කිසි විටෙක අධෛර්යයට පත් නොවීය. මාතලේ ප්‍රදේශයට වඩාත් හොඳ සේවයක් කිරීම සඳහා සමාජ සේවා සංගමයක් පිහිටුවා ගැනීමට ද විලියම් ගොපල්ලව කටයුතු කළේය. එසේ පිහිටුවා ගත් සමාජ සේවා සංගමය ඉතා ප්‍රබල සංවිධානයක් බවට පත් විය. පොදු ජන යහපත උදෙසා විශාල වැඩ කොටසක් සංගමය මගින් කළ හැකි විය. මාතලේ නගරයට පළමු වතාවට වින්නඹු මාතාවන් පත් කිරීම, රාත්‍රී පාසලක් මගින් වැඩිහිටියන්ට අධ්‍යාපනය ලබා දීම ආදිය සමාජ සේවා සංගමය මගින් කෙරුණු වැදගත් සේවාවලින් සමහරකි. 


1924 වර්ෂයේ දී නීතිඥ විභාගය සමත් වූ තරුණ විලියම් ගොපල්ලව පෙරකදෝරු මහතා නීතිඥ වෘත්තිය අරඹමින්, ඒ වන විට ජනප්‍රිය නීිතිඥවරයෙකු වූ බර්නාඞ් අලුවිහාරේ මහතා සමග මහනුවර අධිකරණයේ සිය වෘත්තිය ආරම්භ කළේය. නමුත් ටික කලෙකින් අලුවිහාරේ මහතා බැරිස්ටර් කෙකෙනු වීම සඳහා එංගලන්තය බලා ගිය විට විලියම් ගොපල්ලව නැවත මාතලේ බලා පිටත් විය. මාතලේ අධිකරණයේ නීතිඥයෙකු වශයෙන් කටයුතු කරන අතරතුර තම සමාජ සේවා කටයුතු ද නොඅඩුව සිදු කළ විලියම් ගොපල්ලවගේ සිත ඊළඟට යොමු වූයේ දේශපාලනය කෙරෙහිය. 

 

 


එවකට ලංකාවේ පැවතියේ පළාත් ආණ්ඩු සභා හතරකි. එනම් මීගමුව, හලාවත, රත්නපුරය සහ මාතලේ යන හතරය. 1926 දී මාතලේ දකුණු කොටස සඳහා තරග කළ විලියම් ගොපල්ලව එම ආසනය පහසුවෙන්ම දිනා ගත්තේය. අලුතින් පත් වූ පළාත් ආණ්ඩු සභාවේ සභාපති ධුරයට පත්වූයේ සී. අරියනායගම් මහතාය. ඔහුගේ අසනීප ගතිය නිසා ඒ මහතා ටික දිනකින් ඉල්ලා අස් විය. ඒ අනුව හිස් වූ ආසනයට විලියම් ගොපල්ලව මාතලේ පළාත් ආණ්ඩු සභාවේ සභාපති ධුරයට ලංකාවේ ළාබාලම සභාපතිවරයා ලෙස පත්විය. මාතලේ නගරයේ කීර්තිමත් නීතිඥවරයෙකු මෙන්ම, ජනප්‍රිය නගර සභාපතිවරයෙකු වූ විලියම් ගොපල්ලව මහතා තම දේශපාලන ජීවිතයේ ඊළඟ පියවර ලෙස රාජ්‍ය මන්ත්‍රණ සභාවට තරග කිරීමට කටයුතු කළේය. 


1936 දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණය සඳහා ගොපල්ලව මහතා ද අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් විය. පක්ෂ ක්‍රමයක් නොතිබුණු නිසා (ස්වාධීන අපේක්ෂකයන්) හැටියට තරග කළ අතර ගොපල්ලව මහතා සමග තරගයට ඉදිරිපත් වූ අනිත් අපේක්ෂකයන් තිදෙනා නම් බර්නාඞ් අලුවිහාරේ, එඞ්වඞ් ද සිල්වා සහ ඩබ්. ටී. ඩී. කරලියද්දේය. අවසානයේ දී බර්නාඞ් අලුවිහාරේ මහතා මාතලේ අසුන ජය ගත්තේය. මාතලේ ආසනයට තරග කිරීමෙන් ලත් පරාජය විලියම් ගොපල්ලව මහතාගේ ජීවිතයේ පළමු වැනි පරාජයයි. දේශපාලනය යනු කොතරම් පිළිකුල් කටයුතු සෙල්ලමක් දැයි ඔහු පළපුරුද්දෙන් දැන ඉගෙන ගත්තේය. ඉන්පසු යළිත් කිසි දිනෙක දේශපාලන පොරපිටියට නොබැස ජීවිතය ඊට වඩා අර්ථවත් අරමුණු කෙරෙහි යොමු කරවීමට ඔහු සිතා ගත්තේය. විලියම් ගොපල්ලව මහතාගේ එම තීරණය ගැන එදා අන් සියලු දෙනාටමත් වඩා වැඩියෙන් උදම් වූයේ ඒ මහතාගේ බිරිය සීලවතී ගොපල්ලව මහත්මියයි. 


විලියම් ගොපල්ලව පෙරකදෝරු මහතාත්, සීලවතී රඹුක්වැල්ල මෙනවියත් අතර විවාහය සිදු වූයේ 1928 මාර්තු මස 08 වෙනිදාය. ඉතාමත් සාමකාමී ආදර්ශමත් විවාහ ජීවිතයක් ගත කරන මේ යුවළට දාව පුතුන් දෙදෙනෙක් සහ දියණියන් දෙදෙනෙක් සිටියහ. අසෝක ගොපල්ලව සහ මෛත්‍රා කුඩා බණ්ඩා ගොපල්ලව (මොන්ටි) පුතුන් දෙදෙනාය. අයිරාංගනී රත්වත්ත සහ චින්තා මැදිවක දියණියන් දෙදෙනාය. 


1939 අවුරුද්දේ දී මහනුවර නගරයට මහ නගර සභා ක්‍රමය ලැබීමත් සමග නාගරික කොමසාරිස්වරයෙකුගේ අවශ්‍යතාව ඇති විය. ඒ අනුව එම තනතුරට විලියම් ගොපල්ලව මහතා ඉල්ලුම් කළේය. සමාජ කටයුතු පිළිබඳව මෙන්ම දේශපාලනය හා නීතිය පිළිබඳව පුළුල් අවබෝධයකින් යුතු ගොපල්ලව මහතාට අවසානයේ එම තනතුර හිමි විය. නාගරික කොමසාරිස්වරයෙකුව මහනුවර පදිංචියට ආ ගොපල්ලව මහතාට එම තනතුරේ කටයුතු කිරීමට සිදුවූයේ අවදානම් සහගත වකවානුවකය. හේතුව දෙවන ලෝක යුද්ධය ඇවිළි ඒමත් ඒ අවුරුද්දේම සිදු වීමය. නගරයේ ප්‍රශ්න විසඳීමට පියවර ගැනීමේ දී ඔහුට බොහෝ අවස්ථාවල දේශීය නිලධාරීන් සමග පමණක් නොව ඉංග්‍රීසි අධිරාජ්‍යයේ ප්‍රසිද්ධ නිලධාරීන් සමග ද ගැටෙන්නට සිදු විය. මහනුවර නාගරික කොමසාරිස් ලෙස ගොපල්ලව මහතා සිදු කළ කටයුතුවලින් විශේෂයෙන්ම සඳහන් කළ යුත්තේ, දංගොල්ල යෝජනා ක්‍රමයයි. මෙය ඇති කරන ලද්දේ, මහ ගංවතුරින් ගැටඹේ ප්‍රදේශය විනාශ වී යාම වැළැක්වීම සඳහාය. ගැටඹේ වැසියන්ට ගංවතුර නිසා විඳින්නට සිදු වූ පීඩාව පළපුරුද්දෙන්ම අවබෝධ කරගෙන සිටි ගොපල්ලව මහතා ඉතා සුළු කලක දී දංගොල්ල නිවාස යෝජනා ක්‍රමය නිමා කරවා ගැටඹේ වැසියන් එහි පදිංචි කරවීය. මේ අනුව ගංවතුර නිසා අවුරුදු පතා විපතට පත් ජන කොටසකට සහනය ළඟා විය.

 

 


මහනුවර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ලෙස කීර්තියක් ඇති කරගත් විලියම් ගොපල්ලව මහතා, කොළඹ නාගරික කොමසාරිස්වරයා ලෙස පත් වී පැමිණියේ 1951 අවුරුද්දේය. විශේෂයෙන් 1953 හර්තාලය උද්ගත වීමත් සමග කොළඹ නගර සභාව ද තාවකාලිකව අත්හිටුවා නගරය පාලනය කිරීමේ සියලු බලතල ඇති විශේෂ කොමසාරිස්වරයා ලෙස විලියම් ගොපල්ලව මහතා පත් කරන ලදී. වෙඩි තැබීම්, ගිනි තැබීම් හා බෝම්බ පිපිරීම් නිසා කොළඹ නගරයේ ජන ජීවිතය මහත් තර්ජනයකට ලක් වූ අතර රජය මගින් පනවන ලද හදිසි නීතිය යටතේ ගොපල්ලව මහතා කොළඹ නගරයේ පාලනය තමන් වෙත ගෙන වගකීම් සහගතව කටයුතු කළේය. හදිසි තත්ත්වය අවසානයේ නගර සභාව අත්හිටුවීම ඉවත් කර ගැනීමෙන් පසුත්, ඔහු තම සේවය ඉටු කළේය. මෙසේ 1951 වසරේ සිට වසර 6ක් කොළඹ නාගරික කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ විලියම් ගොපල්ලව මහතා 1957 වසරේ දී විශ්‍රාමගෙන මාතලේට ගියේය. 


1957 වසර අග භාගයේ දී චීනයේ පළමු වෙනි ලංකා තානාපතිවර විල්මට් ඒ. පෙරේරා මහතා එම ධුරයෙන් අස් වී ලංකාවට පැමිණියේය. ඉන්පසු මාස ගණනක්ම එම තානාපති ධුරය හිස්ව පැවතුණි. ඇස්.ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක අගමැතිතුමා විසින් එම ධුරයට විලියම් ගොපල්ලව මහතා පත් කිරීමට තීරණය කරන ලදි. ඒ අනුව චීනයේ ලංකා තානාපති වශයෙන් විලියම් ගොපල්ලව මහතා 1958 ජුනි මස 18 වැනිදා පත්ව ගියේය. චීනයේ ජනාධිපතිව සිටි මාඕ සේතුං මහතාට අක්තපත්‍ර බාර දුන් විලියම් ගොපල්ලව මහතා තම වෘත්තියේ කටයුතු ආරම්භ කළේය. එතෙක් නිරතව සිටි වෘත්තීන්ට වඩා බොහෝ වෙනස් වුවද, විවිධ අංශවලින් ලබා තිබුණු පළපුරුද්ද නිසා අලුත් රටටත් අලුත් වගකීම්වලටත් හැඩ ගැසීම ගොපල්ලව මහතාට අපහසු නොවීය. 1959 වන විට හාල් තත්ත්වය පිළිබඳව ගැටලුව ලංකාවට උග්‍රව බලපා තිබුණි. ඒ අනුව අගමැති බණ්ඩාරනායක මහතාගේ ඉල්ලීම පරිදි චීන අගමැති චෞ එන්ලායි සමග සාකච්ඡා කළ ගොපල්ලව මහතා චීනයෙන් ලංකාවට හාල් ටොන් 40,000 ක් ගෙන්වා ගැනීමට කටයුතු සලසන ලද අතර චෞ එන්ලායිගේ විශේෂ නියමය පිට ටොන් එකක මිල පවුමකින් අඩු කිරීමට ද තීරණය කළ බව දැන ගැනීමට ලැබුණි. 

 

 

 

මූලාශ්‍ර - ගුණදාස ලියනගේ මහතා විසින් රචිත ජනාධිපති විලියම් ගොපල්ලව කෘතිය.

මතු සම්බන්ධයි.

එම්. තාරික්
ඡායාරූප අන්තර්ජාලයෙනි