හුරුල්ලේ වලව්ව

 

 

අතීතයේ රජරටින් බිහිවූ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකි ඊ. එල්. බී. හුරුල්ලේ මැතිතුමා. එදා රජරට ජනතාව ඔහු හැඳින්වූයේ රජරට ගොවි කම්කරු නායක වශයෙනි. “රජරට මුළුල්ලේ පතළ නමකි හුරුල්ලේ” යන කියමන රජරට ජනතාවට එදා එය හොඳට හුරුපුරුදුය. 


ඩී. එස්. සේනානායක, ඩඞ්ලි සේනානායක, ජෝන් කොතලාවල, ජේ. ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ යන ජන නායකයින් සමග උරෙනුර ගැටී ක්‍රියා කළ කිසිමදාක වාසිය තකා තම දේශපාලන ප්‍රතිපත්ති වෙනස් නොකළ එතුමා මුළු ජීවිතයම කැප කළේ ජනතා සේවය උදෙසාය. 


ඉහතින් සඳහන් කළ රාජ්‍ය නායකයින් කීපදෙනෙකුම ඔහු ඇමතුවේ එඞ්වින් යන නාමයෙනි. එතුමාගේ සම්පූර්ණ නම එඞ්වින් ලොකුබණ්ඩාර හුරුල්ලේය.
1919 දී ඉපදී වයස අවුරුදු 90ක් පිරුණ විට 2009 දී සදහටම දෙනෙත් පියාගත් ඔහුගේ නාමය ජන හදවත් තුළ සදාකාලයෙහි රැඳී පවතිනු ඇත. 1956 පැවැත්වූ මහ මැතිවරණයේ දී ආසන 76කට අපේක්ෂකයින් ඉදිරිපත් කළ එජාපයට දිනාගත හැකි වූයේ ආසන 8ක් පමණකි. බණ්ඩාරනායකගේ නායකත්වයෙන් ගොඩනගාගත් මහජන එක්සත් පෙරමුණු සන්ධානය ආසන 60කට අපේක්ෂකයින් ඉදිරිපත් කළ අතර ඉන් ආසන 51ක් දිනාගැනීමට හැකි විය. පරාද වූයේ අපේක්ෂකයින් 9 දෙනෙක් පමණකි.
එම මැතිවරණයේ දී ජේ. ආර්. ජයවර්ධනට පවා කැලණිය ආසනය අහිමි වෙද්දී හුරුල්ලේ හොරොව්පොතාන ආසනය දිනා ගත්තේය. කොටින්ම කියනවා නම් එදා මහ මැතිවරණයෙන් ජයගත් යූ.ඇන්.පී. මන්ත්‍රීවරුන් 8 දෙනාට හුරුල්ලේ ද ඇතුළත් විය.


ඩඞ්ලි සේනානායක අගමැතිවරයාගේ රජයේ (1965 - 1970) ප්‍රවාහන ඇමති තනතුර දැරුවේ ඔහුය. ප්‍රවාහන ඇමති වශයෙන් ගල්අඟුරු කෝච්චිය වෙනුවට දුම්රිය සේවයට ඩීසල් එන්ජින් හඳුන්වා දුන්නේ ඔහු ය. එයාර් ලංකා ගුවන් සේවයට ට්‍රයිඩන්ට් ජෙට් ගුවන් යානා ප්‍රථමවරට ගෙන්වීම, ටැක්සි කාර් දිවයිනට ගෙන්වන අයට තීරු බදු රහිතව ඒවා ගෙන්වීමට මාර්ගය පාදාදීම “රජරට රැජිණ” දුම්රිය සේවය ඇරඹීම ආදිය එදා හුරුල්ලේ ප්‍රවාහන ඇමතිවරයා ඉටු කළ සේවාවන්ගෙන් බිඳකි.
1977 දී ජේ. ආර්. ගේ නායකත්වයෙන් යුත් යූ.ඇන්.පි.ය මහ මැතිවරණයෙන් හයෙන් පහක විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත්තේය. ජේ. ආර්. ජයවර්ධනගේ කැබිනට් මණ්ඩලයේ සංස්කෘතික ඇමති තනතුරට පත්වුණේ හුරුල්ලේ මැතිතුමාය. ලංකාවේ බෞද්ධ සංස්කෘතික පුනරුදයක් බිහි කළේ ඔහුය. සිංහල ශබ්ද කෝෂය ලිවීමේ කටයුතුවලට රාජ්‍ය අනුග්‍රහය ලබාදීම, ත්‍රිපිටකය සිංහලට පරිවර්තනය කිරීම මහාවංශ සම්පාදක මණ්ඩලයක් පත්කිරීම මිහින්තලාවේ දී ත්‍රිපිටක සංගායනාවක් පැවැත්වීම, රට පුරා සංස්කෘතික මධ්‍යස්ථාන සහ දහම් පාසල් ඇරඹීම, දහම් පාසල් අවසාන සහ ධර්මාචාර්ය විභාග සඳහා වූ සහතික පිළිගත හැකිවන පරිදි එම විභාග, විභාග දෙපාර්තමේන්තුව මගින් පැවැත්වීම අදිය ඔහුගේ විශිෂ්ට මෙහෙවරවේ.


එතුමා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ආරම්භ කළේය. දහම් පාසල් සිසුන්ට ද නොමිලේ පොත් ලබාදුන්නේය. දඹදිව ගමන් රජය මගින් සංවිධානය කළේය. විහාර දේවාලගම් පනත සංශෝධනය කළේය. රටට දැයට යහපත් වැඩදායක පොත් මුද්‍රණය කිරීමට ලේඛකයින්ට රාජ්‍ය අනුග්‍රහය ලබාදුන්නේය. දසසිල් මාතාවන් ලේඛනගත කර හැඳුනුම්පත් නිකුත් කළේය. දඹදිව ලාංකික බෞද්ධයින්ට වන්දනාමාන කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ලබාදුන්නේය. ලෝක බෞද්ධ නායකයින්ගේ සමුළුවක් ලංකාවේ පැවැත්වූවේය. දෙස් විදෙස් වියතුන් බුදුදහම පිළිබඳ ලියූ පැරණි ග්‍රන්ථ රාශියක් යළි මුද්‍රණය කිරීමට කටයුතු කළේය.


වසර 39කට පෙර පැරිස් නගරයේ දී පැවැත්වූ යුනෙස්කෝ මහ සමුළුවට ශ්‍රී ලංකාවේ සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතිය ඇරඹීම පිළිබඳ යෝජනාව ඉදිරිපත් කළේ ඔහුය. ශ්‍රී ලංකාවේ අනුරාධපුරය, පොළොන්නරුව, මහනුවර ආදී අතීත රාජධානිවල පිහිටි ලෝක උරුමයන් 6ක් ප්‍රතිෂ්ඨාපනය කිරීමට ඉදිරිපත් කළ යෝජනාවට යුනෙස්කෝ ආයතනයේ අනුමැතිය ලබාගැනීම මේ පුරුෂයා ඉටුකළ උදාර සේවයකි. ප්‍රේමදාස අගමැතිවරයා සහ ආචාර්ය රෝලන්ඞ් සිල්වා සමග එක්වී එවකට ජනපති ජේ. ආර්. ජයවර්ධනගේ ප්‍රධානත්වයෙන් එදා ජේතවන දාගැබේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළේය.


වසර 40කට පෙර ඉන්දියාවේ සිට කපිලවස්තු ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ලංකාවට වැඩම කරවා දින 90ක් තිස්සේ රට පුරා ස්ථාන 90ක එම ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය කිරීමට මුල් වූයේ එතුමාය. මම එවකට එතුමාගේ මාධ්‍ය ලේකම් තනතුර දැරුවෙමි. අනුරාධපුර කෞතුකාගාරයේ මුල්ලක දමා තිබූ දුටුගැමුණු රජතුමාගේ භෂ්මාවශේෂ එතුමා විසින් රාජ්‍ය අනුග්‍රහය යටතේ ප්‍රදර්ශනය කළ අයුරු මට කිසිදාක අමතක නොවේ.


ඈත අතීතයේ දී රජරට විශාලතම ගොවි ජනපදයක් වූ ගලෙන්බිඳුණුවැව හුරුළුවැව ජනපදය ඇරඹීමට එවකට ආදායම් පාලක නිලධාරී (ෘඍධ) තනතුර දැරූ ඔහු තම සහෝදරයා වූ සිවිල් ඉංජිනේරු ක්ලයිව් හුරුල්ලේ සමග ඉටුකළ සේවය ගැන දන්නේ කීයෙන් කීදෙනා ද? ඒ 1952 වර්ෂයේ දීය. එනම් වසර 67 කට පෙරය. එම කාලයේ ඔහුගේ මවගේ සහෝදරයා වූ පී. බී. බුලන්කුලමේ ඩී. ඇස්. සේනානායක අගමැතිවරයාගේ කැබිනට් මණ්ඩලයේ ඉඩම් ඇමති තනතුර දැරුවේය. රජරට පුරා පිහිටි වැව් 120කට වැඩි ප්‍රමාණයක් පිළිසකර කිරීමට ක්‍රියා කළේ ඔහුය.


සංඝමිත්තා මෙහෙණින් වහන්සේ විසින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ මෙරට වැඩම කළ අවස්ථාවේ දී පැමිණි පරිවාර පිරිස අතුරින් පැවත ආ පරම්පරාවේ අයෙකි මේ කියන ශාසන හිතකාමී මහෝපාසක ලංකා පුත්‍රයා. ඈත අතීතයේ සිටම අනුරාධපුර අටමස්ථානය භාරව කටයුතු කළේ ඔහුගේ මවගේ බුලන්කුලමේ පවුලය.
කලකට පෙර ඕස්ටේ්‍රලියාවේ ශ්‍රී ලංකා තානාපති හෙවත් මහ කොමසාරිස් වශයෙන් ශ්‍රී ලාංකිකයින්ට ඕස්ටේ්‍රලියාවේ රැකියා අවස්ථා ලබාගැනීමට මාර්ගය පාදාදීම, ඕස්ටේ්‍රලියාවේ ශ්‍රී ලාංකික බෞද්ධ විහාර ඇරඹීම ආදිය ද ඔහු ඉටුකළ උදාර මෙහෙවරකි. 


මධ්‍යම පළාතේ සහ උතුරුමැද ආණ්ඩුකාර ධුර දරමින් එතුමා ජන හදවත්වලට වඩාත් සමීප විය.
ඔහු කිසිදාක වේදිකාවට නැගී එකිනෙකාට අපහාස උපහාස කරමින් ගිරිය පුප්පාගෙන කෑගැසුවේ නැත.

දූෂණය වංචාව පිටු දැක්කේය. විරුද්ධවාදීන්ගෙන් පළිගත්තේ නැත. වාසියතකා තම දේශපාලන පක්ෂය මාරු කළේ නැත. හොරකම පිටුදැක්කේය. අවංකභාවයට හා සාධාරණත්වයට මුල් තැන දුන්නේය. එදා සිවිල් සේවයේ ඉහළම තනතුරක් වූ ආදායම් පාලක නිලධාරී (උපදිසාපති) තනතුර දරමින් සිටිය දී මහදිසාපති තනතුරට උසස්වීමක් ලැබීමට ඔන්න මෙන්න කියා තිබිය දී රජයේ සේවයෙන් ඉවත්වී දේශපාලනයට අවතීර්ණ වුණේය. ඔහු බෞද්ධ සංස්කෘතිය මෙන්ම ඉංග්‍රීසි භාෂාව පිළිබඳ විශාරදයෙකු ද විය.


මෙතරම් ජාතික සේවයක් ඉටුකළ එතුමාට ජනතාව උපහාර දැක්වූයේ කළගුණ සැලකුවේ ඔහුට අයත් හොරොව්පොතානේ මොරකෑව වලව්ව ගිනිතබා පොළවට සමතලා කරමිනි. මහත්මා දේශපාලනයෙහි නිරත වන්නන්ට ලංකාවේ අත්වන ඉරණම මෙයයි. මෙය 1900 වර්ෂයේ ඉදිකළ ඉපැරණි වලව්වකි. ඔහුට පෙර මෙම වලව්වේ ජීවත් වූයේ ඔහුගේ පියා වන ටිකිරි බණ්ඩා හුරුල්ලේ සහ මව වූ ඇලිස් බුලන්කුලමේ ය. අනුරාධපුර ත්‍රිකුණාමල මාර්ගයේ මොරකෑව වැව අසල මනරම් භූමි භාගයක ඉදිකර තිබූ මෙම දෙමහල් නිවස ඓතිහාසික ස්ථානයකි. මේ දෑහිතකාමී උගත් නැණවත් පඬිරුවනට ලංකාවේ ජනතාව කෘතගුණ සැලකූ ආකාරය ම්ලේච්ඡ සහ නින්දා සහගත නොවන්නේ ද? අවංක මහජන සේවය නිසා ඔහුට තම නිවසත් අහිමි විය.


මෙහිදී තවත් විශේෂ යමක් සඳහන් කළ යුතුමය. මා ලංකාවට පැමිණි එක අවස්ථාවකදීවත් ඔහුට උපහාර පිරිනැමීම උදෙසා ඔහුගේ ප්‍රතිමාවක් හෝ ඔහුගේ නමින් යුත් මාවතක් හෝ සමරු ඵලකයක් හෝ නොදුටුවෙමි. එමෙන්ම සංස්කෘතික ත්‍රිකෝණය හෙවත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ විවිධ උත්සවවල දී එහි නිර්මාතෘ වූ එතුමාගේ නමවත් කිසිවෙකු සඳහන් කරනු මම දැක නැත්තෙමි. මහත්මා දේශපාලනයට ලංකාවේ ලැබෙන තැන මෙයයි.

 

 


සිරී හීන්පැල්ල
ඡායාරූප අන්තර්ජාලයෙනි