මෙරට හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා තේරීපත්විය. ඒ ඉකුත් නොවැම්බර් 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙනි. දේශපාලන නිල ධූරාවලියේ අවම තරමින් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ලෙස දිනක් හෝ කටයුතු නොකළ ඒ මහතා ජනාධිපති ධුරය දක්වා පැමිණියේ කෙසේද? මේ ඒ නොපළ කතාවය.


2015 ජනවාරි මස 8 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජයට පත්විය. එය වූ කලී රාජපක්ෂ කඳවුර සිහිනයෙන් හෝ නොපැතු පරාජයකි. ජනාධිපති මහින්දයේ ප්‍රතිවාදියා වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේනය. ඔහු ඉදිරිපත් වූයේ පොදු අපේක්ෂකයා ලෙසය. එයට පෙර 2010 ජනාධිපතිවරණයේදීද ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව ඉදිරිපත් වූයේද පොදු අපේක්ෂකයෙකි. ඒ ජනතාවගේ යුද වීරයා වූ සරත් ෆොන්සේකාය. එහෙත් සරත් ෆොන්සේකා ලක්ෂ 18ක පරතරයකින් පරාජයට පත්කිරීමට මහින්ද රාජපක්ෂ සමත්විය.


එම පසුබිම තුළ මෛත්‍රීපාල සිරිසේන පරාජය කිරීම ඉතා පහසු යැයි රාජපක්ෂ කඳවුර සිතුවේය. එහෙත් ජනවාරි 9 වැනිදාට හිරු පහන්වන විට ඒ සිහින සීසීකඩ විසිරී තිබිණි. මහින්ද රාජපක්ෂ පරාජයට පත්ව මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කරගෙන තිබිණි. මේ වූ කලී රාජපක්ෂ කඳවුරට අදහාගත නොහැකි පරාජයක්ම විය. අනපේක්ෂිත පරාජයෙන් පසු මහින්ද රාජපක්ෂ සිය දරු පවුල සමග මැදමුලන බලා පිටත්ව ගියේය. ඒ යහ පාලනය සම්බන්ධ අපේක්ෂා දසත දැල්වෙමින් තිබියදීය.


“රාජපක්ෂලාත් ඉවරයි. රාජපක්ෂලාගේ ඔඩොක්කු කුක්කොත් ඉවරයි” මේ යහ පාලන කඳවුරෙන් ඇසුණු වචනය.
“රාජපක්ෂලා මැදමුලනට යයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙඩිය පිටින්ම ජනාධිපති මෛත්‍රී ළඟට යයි. මහ මැතිවරණය තව මාසයකින් දෙකකින් තියයි. දිනේෂ්ට, විමල්ට, වාසුට, උදය ගම්මන්පිලට නාම යෝජනා ලැබෙන්නෙත් නැහැ.” ජනාධිපතිවරණයෙන් පසුව රටේ අනාගත දේශපාලන සිතියම නැගෙමින් තිබුණේ එසේය.


ජනාධිපතිවරණයෙන් පසුව කළයුත්තේ කුමක්ද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු රාජපක්ෂ කඳවුරට ඒ සම්බන්ධයෙන් නිශ්චිත අදහසක් නොවීය. කාගෙත් මුහුණු සෝබරය. අනාගත දේශපාලන දඩයම් සම්බන්ධ භීතිය අමතර වශයෙනි. කවුරුන් අවිනිශ්චිත තත්පර ගෙවා දමමින් සිටියහ.
මේ, ජනවාරි 9 වැනිදාය. එනම් ජනාධිපතිවරණයෙන් පසු දිනයය. වේලාව පෙරවරු 9 ට පමණ වන්නට ඇත.


විමල් වීරවංශට දුරකථන ඇමතුමකි. ඒ ඇමතුම දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙනි.
‘විමල් සහෝදරයා මොකද්ද අපි දැන් කරන්නේ? මොනවද ඉදිරි ක්‍රියාමාර්ග?” වෛද්‍ය වසන්ත බණ්ඩාර විමසුවේය.


ඒ වනවිටත් විමල්ගේ සිතෙහි දේශපාලන සිතියම ඇඳෙමින් තිබිණි. සුළඟ හමන අත හොඳට දන්නා විමල්ට දකුණේ බහුතර මනස හොඳින් කියවා ගැනීමට හැකිවී තිබිණි.
“දකුණේ බහුතරයේ ජනාධිපතිතුමාට ඡන්දය දීලා තියෙනවා. ඡන්දය නොදීපු බහුතරයක් එහෙම කළේ රිද්දන්න මිසක් පරද්දන්න නොවෙයි” විමල් කීවේය.
වසන්ත බණ්ඩාර අසා සිටියේය.

 

 

 


මවුබිම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව ප්‍රතිෂේප කරලා නෑ. දැන් අපිට ඉතිරි වෙලා තියෙන්නේ එක විකල්පයයි. අපි ‘මහින්ද එක්කම නැගිටිමු” විමල් කතාබහ අවසන් කළේ එසේය. 


10 වැනිදා පෙරවරුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් බස්නාහිර පළාත් සභා ශ්‍රවනාගාරයේ පැවැත්විණි. මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට සුසිල් ප්‍රේමජයන්ත, ඩලස් අලහප්පෙරුම, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ හා උදය ගම්මන්පිල එක්වී සිටියහ.


‘මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පරාජයෙන් පස්සේ මල් පිපෙන්නේ නෑ. හුළං හමන්නේ නෑ. ගෙවල්වල ලිප ගිනි දැල්වෙන්නේ නෑ” යනුවෙන් විමල් කළ ප්‍රසිද්ධ ප්‍රකාශය පළමුවෙන් සමාජගත වූයේ එදිනය. විමල් සිය කරුණු පැහැදිලි කිරීම අවසන් කළේ මේ අවසානය නොවෙයි, තාවකාලික පසුබැසීමක්. මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග අපි නැවත එනවා එය ස්ථිරයි” යනුවෙන් ප්‍රකාශ කරමිනි.


මන්ත්‍රී උදය ගම්මන්පිලද කීවේ එබඳුම අදහසකි.


පසු කාලයේදී මන්ත්‍රී ගාමිණී ලොකුගේ මෙම ලියුම්කරු සමග ප්‍රකාශ කළේ මහින්ද මහත්තයාගේ පරාජයෙන් පස්සේ ඇත්තටම කම්පාවෙන් මම ගෙදරට වෙලා හිටියා. ඒ වෙලාවේ මම ටී වී එකෙන් අපේ සන්ධානයෙ නායකයන්ගේ ප්‍රවෘත්ති සාකච්ඡාව බල බලා හිටියේ. විමල් මන්ත්‍රීතුමායි, ගම්මන්පිල මන්ත්‍රීතුමයි කියාපු අදහස් මගේ හිතට කා වැදුණා. මමත් හිතුවා ඔව් කරන්න තියෙන්නේ එයම තමයි කියලා” යනුවෙනි.

 

 


කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාව අවසන් වූ සැණින් විමල් වීරකැටියේ මැදමුලන බලා පිටත්විය. විමල් මැදමුලනට යනවිට පස්වරු 2 පමණ වී තිබිණි. මැදමුලන නිවෙසේ ඒ වන විටත් විශාල පිරිසක් රැස්වි සිටියහ. ජෝන්ස්ටන් ප්‍රනාන්දු හා අමාත්‍යාංශ ලේකම්වරු විශාල පිරිසක්ද එහි සිටියහ. සියල්ලන්ගේම මුහුණුවල වූයේ පරාජිත හැඟීමකි. කිසිවකු වැරැදීමකින් හෝ සිනා නොවුණ තරම්ය.


විමල් මැදමුලන නිවෙසට යනවිට මහින්ද රාජපක්ෂ දිවා ආහාරය ගෙන මැද සාලයට පැමිණියා පමණි.


“ආ විමල් එන්න එන්න අපි කෑම ටිකක් කාලම ඉමු” මහින්ද රාජපක්ෂ කීවේය. විමල් කෑම මේසයේ පුටුවකට බරවිය. යාබද අසුනේ මහින්ද රාජපක්ෂ වාඩිවිය.
“ජනාධිපතිතුමනි, මොකද්ද අදහස?” විමල් ගෙන් ප්‍රශ්නයකි.


එහෙත් මහින්ද රාජපක්ෂ උත්තරයක් දීමට උනන්දු වූයේ නැත.


‘ජනාධිපතිතුමනි, මහ මැතිවරණයට කලින් අපි අපේ බලවේගය පණ ගහලා ගන්න ඕනෑ” විමල් කතාව වෙනත් මාවතකට යොමු කළේය.
“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන මම දන්නවනේ, විමල්. මේ පක්ෂය වැටුණෙත් නැගිට්ටවන එක ලේසි නෑ” මහින්ද කීවේය.
“බැරි දේ අපි කරමු. මේ රටේ ජනතාව ඔබතුමා එනකම් බලාගෙන ඉන්නවා. ඒ ජනතාවට ඔබතුමාගේ නායකත්වය අවශ්‍යයි” විමල් යළිත් කීවේය.
“බලමු....! බලමු....! ඒ මහින්දගේ පිළිතුර විය. 


සැබැවින්ම මේ වන විට මහින්ද රාජපක්ෂගේ පරාජයේ සංවේගය ගංවතුරක් මෙන් ගම් නියම්ගම්, නගර, ජනපද කරා ගලායමින් තිබිණි. රට පුරාම ජනයා බස් පිටින් මැදමුලන බලා එන්නට වූහ. ඔවුහු හඬමින්, වැලපෙමින් ඉල්ලා සිටියේ එකම දෙයකි.

 

 


“ජනාධිපතිතුමනි, ඔබතුමා යළිත් දේශපාලනයට එන්න. ජනතාවගේ ඉල්ලීම වූයේ එයයි” 


මේ මොහොත වනවිට එක්සත් ජනතා නිදහස් සන්ධානයේද පැහැදිලි කඳවුරු දෙකකි. එක් කඳවුරක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේය. අනෙක් කඳවුර සන්ධානයට ගොනු වී සිටි කුඩා පක්ෂය. දිනේෂ්, වාසු, විමල් හා උදය එම කඳවුර නියෝජනය කළහ. එම නායකයන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දු තීරණවලට යම් අදහස් දැක්වීමක් කළ හැකි වුවද දැඩි බලපෑමක් කළ නොහැකිය.


ඉහත පරිසරය තුළ දිනේෂ්, වාසු, විමල් හා උදය වෙනම කණ්ඩායමක් ලෙස ගොනුවීමට පටන්ගත්හ.
“අපි පොඞ්ඩක් මුණගැහිලා කතා කරමු” දිනක් දිනේෂ් යෝජනා කළේය. සියල්ලන්ගේම ඒකමතිකත්වය ලැබිණි.


සාකච්ඡාව සංවිධානය විය. ඒ බත්තරමුල්ල, කොස්වත්තේ පිහිටි දිනේෂ්ගේ සොහොයුරු ගීතාංජන ගුණවර්ධනගේ නිවෙසේය. මෙම සාකච්ඡාවට දිනේෂ්, වාසු, විමල්ට හා උදයට අමතරව එක්වූයේ ඩලස් අලහප්පෙරුමය.

 

 


 

අලුත් දේශපාලන තත්ත්වයට මුහුණදිය යුත්තේ කෙසේද යන්න සාකච්ඡාවේ මාතෘකාව විය. ඩලස්ගෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රවණතා විස්තර කෙරිණි. 
“මෛත්‍රී ජනාධිපතිතුමාට පක්ෂය බාරදිය යුතුයි කියල යෝජනාවකුත් තියෙනවා” ඩලස් කීවේය”


“මේ ගෙවී යමින් තිබෙන්නේ මේ රටේ දේශපාලන ඉතිහාසයේ කැතම මොහොත” ඩලස් වැඩිදුරටත් කීවේය.


ඩලස් එහෙම කීවේ ඇයි?


ඒ කතාව ලබන සතියට.


ප්‍රසන්න සංජීව තෙන්නකෝන් (ඡායාරූප අන්තර්ජාලයෙනි)