ජේ.ආර්. ගෙන් කොල්වින්ට චරිත සහතික-02

 

1943 දී මා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සාමාජිකයෙකු වශයෙන් සිටියදී, ඩඞ්ලි සේනානායක මහතා සහ තවත් ටික දෙනෙකු සමග එක්වී ආචාර්ය කොල්වින් ඇතුළු සමසමාජ නායකයින් සිරභාරයේ තබා ගැනීමට විරුද්ධව යෝජනා ඉදිරිපත් කළා. අපි දැඩි අධිරාජ්‍ය විරෝධීවූත්, නිදහසට පක්‍ෂපාතීවූත් ආකල්පයක් අනුගමනය කළා.” 


“කොල්වින් සහ ඔහුගේ සගයන් සිර ගෙදර සිටියදී මා ඔවුන් බැලීමට කීපවරක්ම එහි ගියා. ඔවුන්ට සිර ගෙදරින් පැන යාමට මගේ සොයුරු කෝබට් ද උදව් දුන්නා යැයි මා සිතනවා. ඔහු ඒ ත්‍රාසජනක ක්‍රියාව ගැන කිසිම රහසක් කවදාවත් පැවසුවේ නැහැ.”


“කොල්වින්ගේ ජීවිතයේ වඩාත් නූතන ඉතිහාසය ගැන මෙහිදී දැනටමත් සඳහන්වී ඇති අතර තවත් අයද ඒ ගැන කතා කරනු ඇතැයි මම සිතනවා. නීතිඥයකු, දේශපාලනඥයකු හා කථිකයෙකු වශයෙන් ඔහු ගැන යමෙකුට කතා කළ හැකිය. ඔහුගේ ජීවිතය හා චරිතය පිළිබඳ කැපී පෙනෙන අංග බොහෝය. මා ඔහු ගැන සිතන්නේ කථිකයෙකු වශයෙනි. ඔහු මට කන් දෙන්නට ලැබුණු ඉතාම දක්ෂ ඉංග්‍රීසි කථිකයින් කිහිප දෙනාගෙන් කෙනෙකි. කථිකයෙකු වශයෙන් ඔහු ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ සහ ජී. ජී. පොන්නම්බලම් මහතාගේද ගණයේම ලා මා සලකනවා. යමෙකු උපතින්ම කථිකයෙකු වනවා මිස එවැන්නෙකු සෑදිය නොහැක. කථිකයෙකුට අදහස් තිබිය යුතුය. එම අදහස් අනු පිළිවෙළින්, තර්කානුකූලව ඉදිරිපත් කිරීමට ඔහුට හැකිවිය යුතුය. ඒ අදහස් පළ කිරීමට දිය ඇල්ලක් මෙන් ගලා යන වචන දහරාවක් ඔහුට තිබිය යුතුය. ඔහුගේ අදහස් සත්‍යයේ ගැඹුරුම තැනින් මතුවී ආ යුතුය.”


“මිනිසා විසින් මිනිසා සූරා කෑමක් සිදු නොවෙන සමාජයක් පිළිබඳ දේශපාලන අරමුණ සාක්ෂාත් කර ගැනීමේ ශ්‍රේෂ්ඨ අදහසක් කොල්වින් තුළ විය. මාක්ස්වාදය තුළින් මෙම අරමුණ ඉටු කර ගැනීම සඳහා හෙතෙම තම ජීවිතය කැප කළේය. එම අරමුණ බෞද්ධ දර්ශනය තුළින් ඉටු කර ගැනීමට මම මගේ ජීවිතය කැප කර ඇත්තෙමි.”
“කොල්වින් යෙහෙන් වැජඹේවායි මම පතමි. එදා පැතූ සේම, අද පතන්නාසේම, අනාගතයේදීත් මම ඔහුට සුබ පතමි.”


තම පළමු මිතුරාගේ නීතිඥ ජීවිතයට පනස් වසරක් සපිරීම නිමිත්තෙන් ජේ. ආර්. ජයවර්ධන මහතා එසේ සුභාශිංශන පිරි නැමීය. 


1982 මැයි මස 22 වැනි දින කොළඹ රාජකීය විදුහල් නව රඟහලේදී කොල්වින්ගේ දේශපාලන ජීවිතයට පනස් වසරක් සපිරීම නිමිත්තෙන් උපහාර උළෙලක්ද ඉතාමත් උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. එදිනටම එම උපහාර උළෙල සංවිධානය කොට තිබුණේ ශ්‍රී ලංකාව බි්‍රතාන්‍ය කිරීටයෙන් මුළුමනින්ම නිදහස් කොට ගනිමින් ස්වාධීන, ස්වෛරී, ජනරජයක් බවට පත් කරමින් කොල්වින් විසින් සම්පාදනය කළ 1972 ජනරජ ව්‍යවස්ථාව සම්මත වී නීතිගත කොට දස වසරක් සපිරුණු “ජනරජ දිනය” එදිනටම යෙදී තිබුණු හෙයිනි. එම ජනරජ ව්‍යවස්ථාව නීතිගත වී පැවැති උත්සවයද පැවැත්වුණේ 1972 මැයි මස 22 දින කොළඹ රාජකීය විදුහල් නව රඟහලේදීමය. 


මේ වන විට කොල්වින් සම්පාදනය කළ ජනරජ ව්‍යවස්ථාව අහෝසි කොට, විධායක ජනාධිපති ක්‍රමයක් සහිත 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වෙමින් පැවැති අතර ජේ. ආර්. සිය විධායක බලය උපයෝගී කර ගනිමින් ගෙන ගියේ ඒකාධිපති පාලනයකි. පාර්ලිමේන්තුවේ සිටි සියලුම එ.ජා.ප. මන්ත්‍රීවරුන්ගේ දින රහිත ඉල්ලා අස්වීමේ ලිපි ඔහු ලබාගෙන තිබුණි. පාර්ලිමේන්තුවේ සිටි එ.ජා.ප. මන්ත්‍රීවරුන් “සිග්නල් කණු” බවට පත්වී තිබුණු බවට ජනප්‍රවාදයක්ද පැවැතිණි. පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ සිටියේ ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රීවරුන් අට දෙනෙකු සහ ශ්‍රී.ල.කො.ප. මන්ත්‍රීවරයෙකු පමණි. විපක්‍ෂයේ ප්‍රධානතම පක්ෂය වූ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ ඒ අමිර්තලිංගම් ප්‍රමුඛ ද්‍රවිඩ මන්ත්‍රීවරුද එ.ජා.ප. ආණ්ඩුවට දැඩි ලෙස එරෙහිව සිටි අතර ශ්‍රී.ල.නි.ප. නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කොට, ඇයගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයද අහිමි කොට තිබුණි. 

 


“ඒකාධිපති වියරුව පරදවමු” මැයෙන් කොල්වින් ජේ. ආර්. ගේ ඒකාධිපති පාලනයට එරෙහිව රට පුරා දේශන පැවැත්වූ අතර ඊට ඉහළම ජනතා ප්‍රතිචාර ලැබී තිබුණි.
මේ අතර ජේ. ආර්. ව්‍යවස්ථාව සංශෝධනය කරමින් සිය නිල කාලය ඉකුත්වීමට ප්‍රථම ජනාධිපතිවරණයක් පැවැත්වීමට සූදානම්වෙමින් සිටින අයුරුද පැහැදිලි විය. 
ශ්‍රී.ල.නි.ප. නායිකා සිරිමා බණ්ඩාරනායක මැතිනියට ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට ප්‍රධාන බාධාව වී තිබුණේ ඇයගේ ප්‍රජා අයිතිය අහිමි කර තිබීමය. ජේ. ආර්. සමග සටනට යූ.ඇන්.පී. විරෝධී පොදු අපේක්ෂකයා කොල්වින් විය යුතු බවට රට පුරා ප්‍රබල ජනමතයක්ද ගොඩ නැගී තිබුණි. ශ්‍රී.ල.නි.ප.ය සිරිමා පිල සහ මෛත්‍රී - අනුර පිල ලෙස පැහැදිලිවම කණ්ඩායම් දෙකකට බෙදී තිබුණු අතර කොල්වින් පොදු අපේක්ෂකයා ලෙස සුදුසු බව ශ්‍රී.ල.නි.ප. නායිකාවද ඉඟි පළකොට තිබුණි.


“කොල්වින් දක්ෂයි - අවංකයි - එඩිතරයි අපට විශ්වාසයි” මැයෙන් ල.ස.ස.ප. විසින් රට පුරා ආකර්ෂනීය වෛවර්ණ පෝස්ටරයක්ද නිර්මාණය කොට අලවා තිබුණි. 
කොල්වින් පොදු අපේක්‍ෂකයා වනු ඇතැයි සිතූ ජේ. ආර්. කලබලයට පත්විය. රත්මලානේ පැවැති එ.ජා.ප. රැලියකදී “කොල්වින් දක්‍ෂයි. අවංකයි. එඩිතරයි. එහෙත් අකීකරුයි” කියමින් ප්‍රථම ප්‍රහාරය එල්ල කළේය. (රත්මලාන 1947 සිට 1965 දක්වා කීපවරක්ම කොල්වින් නියෝජනය කළ දෙහිවල - ගල්කිස්ස මැතිවරණ කොට්ඨාසයට අයත් විය.
මේ අතර මහනුවර පැවැති එ.ජා.ප. රැලියක් අමතමින් ජේ. ආර්. මෙසේ ප්‍රකාශ කළේය. 


“ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා ඉතාම උගතෙක්. බුද්ධිමතෙක්. එහෙත් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයෙකු ලෙස සිල්වා කෙනෙකු පත්වුණහොත් 1982 දී ශ්‍රී ලංකාව යළිත් පෘතුගීසිකාරයන් යටත් කරගත්තා යැයි මතු පරම්පරාව ප්‍රශ්න කරනු ඇත.” 


ජේ. ආර්. ඉතා සියුම් ලෙස මෙම කතාවෙන් මතු කළේ ඉතා පටු ගෝත්‍රිකවාදී අදහසක් වූ අතර රට පුරා බුද්ධිමතුන්ගේ දැඩි පිළිකුලට මෙම කතාව භාජනය විය.
මාස කිහිපයකට ඉහතදී තම පාසල් වියේ පටන් සිටි පළමු මිතුරා ඉතාමත් ඉහළින් වර්ණනා කළ ජේ. ආර්. තම බලය රැක ගැනීම සඳහා තම පළමු මිතුරා ගැන කළ මෙම ගෝත්‍රිකවාදී ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ “බලය” සඳහා කළ නොහැකි දෙයක් නොමැති බවයි.

 

 


ඊ. එල්. ජයන්ත ද සොයිසා
ඡායාරූප : අන්තර්ජාලයෙනි