ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත‍්‍රීධුරය අහිමි කරමින් ලබාදුන් අධිකරණ තීන්දුවට මාධ්‍ය මගින් ලැබුණේ දැඩි ප‍්‍රතිචාරයකි. එම තීන්දුවට එරෙහිවූ ඇය ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළාය. එම විභාගය තවමත් අවසන් නැත. අතුරු නියෝගයක් මගින් කුමාරසිංහ මහත්මියට ඇය ඉල්ලා තිබුණු යම් සහනයක් සලසා දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය එම නඩුව විභාග කරමින් පවතී. එම විමර්ශනය අවසානයේ උගත් විනිසුරු තුමන්ලා නියමිත තීන්දුව ප‍්‍රකාශ කරනු ඇත. එය පිළිගැනීමට කවුරුත් බැඳී සිටිති.


මේ ගැන අලූතෙන්ම දැන ගැනීමට ලැබුණු ආරංචිය වූවේ පසුගිය මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු අපේක්ෂක ලැයිස්තුවේ නම සඳහන් වු හිටපු අමාත්‍ය පියසේන ගමගේ මහතා තමාටද මෙම නඩුවේ පාර්ශ්ව කරුවෙකු වීමට අවසර පතමින් මෝසමක් ගොනු කර ඇති බවය. එමගින් ඒ මහතා දක්වා ඇති කරුණූ මෙසේ වේ.


ඉහත කී අභියාචනාධිකරණ පෙත්සම ක‍්‍රියාත්මකවීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය පනවා ඇති අතුරු තහනම ඉවත් කරන ලෙස ඉල්ලා සිටින ගමගේ මහතා මෙම අතරමැදි පෙත්සම මගින් කියා සිටින්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු සහ හිටපු ඇමැතිවරයෙකු ලෙස තමා වසර ගණනාවක් කටයුතු කළ බවත් ඒ වසර ගණනාව තුළ පොදු ජන එක්සත් පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයෙන් යටතේ අමාත්‍යධුර ගණනාවක් හෙබවූ බවත්ය.


එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් 2015 අගෝස්තු 17 වැනි දින පැවැති මැතිවරණයේදී ඉදිරිපත්ව මනාප ඡුන්ද 47,248 ක් ලබා ගාල්ල දිස්ත‍්‍රික්කයේ සන්ධාන අපේක්ෂක ලැයිස්තුවේ හත්වැනි ස්ථානයට පත්වූ බවද ප‍්‍රකාශ කරන ගමගේ මහතා සන්ධාන ලැයිස්තුවේ හය දෙනෙකු පමණක් පාර්ලිමේන්තුවට තේරී පත්වීම නිසා තමනට එම මැතිවරණයේදී පාර්ලිමේන්තුවට පත්වීමට වරම් අහිමිවු බව කියා සිටී.


ශ්‍රී ලංකාවේ සහ ස්විස්ට්සර්ලන්ත පුරවැසියෙකු වශයෙන් ද්විත්ව රටවැසිභාවය දැරීම නිසා ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තු මන්ත‍්‍රීධුරය දැරීමට නුසුදුසු බවට අභියාචනාධිකරණය පසුගිය මැයි මස තුන් වැනිදා නඩු තීන්දුවකින් ප‍්‍රකාශ කළේය. එම නඩු තීන්දුවට විරුද්ධව ඇය ඉදිරිපත් කළ අභියාචනය විභාගයට ගැනීමට මැයි 05 වැනිදා ශේෂ්ඨාධිකරණය අදාළ අභියාචනාධිකරණ තීන්දුව ක‍්‍රියාත්මක වීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් පැනවීය.


අදාළ නඩු තීන්දුව ප‍්‍රකාශ වීමෙන් පසු ගීතා කුමාරසිංහ මහත්මියගෙන් පුරප්පාඩු වන මන්ත‍්‍රීධුරය සඳහා ඊළඟට ගාල්ල දිස්ත‍්‍රික් සන්ධාන ලේඛනය අනුව පත්වීමට සිටින්නේ තමා බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා තමාට දැන්වූ බවත් ඒ තනතුර ලැබේයැයි තමන් අපේක්ෂාවෙන් සිටි බවත් ගමගේ මහතා තම පෙත්සම මගින් කියා සිටී.


එහෙත් ශේෂ්ඨාධිකරණය මෙම නඩු තීන්දුව කි‍්‍රයාත්මක කිරීම අත්හිටුවීම නිසා තමන්ට එම අවස්ථාව අහිමි වන අතර ඉන් තමාට විශාල අගතියක් සිදුවන බව ඒ මහතා පවසයි. එබැවින් මෙම අභියාචන විභාගයට මැදිහත්වී කරුණූ දැක්වීමට අවස්ථාව දෙන ලෙසත් පෙත්සමෙහි වගඋත්තරකාර පාර්ශ්වයක් ලෙස තමන් නම් කරන ලෙස නියෝග කරන ලෙසත් පියසේන ගමගේ මහතා තම පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඇයැද සිටී.


අග‍්‍ර විනිශ්චයකාර ප‍්‍රියසාත් ඩෙප්, ඊවා වනසුන්දර සහ උපාලි අබේරත්න යන ත‍්‍රී පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විභාග වන මෙම නඩුව ලබන ජුලි හත්වැනිදා යළි කැඳවීමට නියමිතව ඇත. මන්ත‍්‍රීධුරවලට පත්වූ අයගේ පත්වීම්වලට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝග කළ අවස්ථා බොහෝ ගණනක් අපේ නඩු වාර්තාවල සඳහන්ව ඇත. අපේක්ෂකයන්ම හෝ ඔවුන්ගේ නියෝජිතයන් ලෙස කටයුතු කළ ඒ අයගේ උදව් කාරයන් විසින් කරන ලද වැරදි සම්බන්ධයෙන් මෙම නඩු පවරා තිබුණි. මෙයින් නඩු බොහෝ සංඛ්‍යාවක් ඉවත දැමුණු අතර තවත් සංඛ්‍යාවක් සාධාරණ සැකයෙන් තොරව ඔප්පු වීම නිසා මන්ත‍්‍රීන් රැුසකට මන්ත‍්‍රීධුර අහිමි කළ අවස්ථා ගැන අපි දනිමු. දීර්ඝ අධිකරණ ක‍්‍රියා මාර්ගවලින් යුතු මෙවැනි ඡුන්ද නඩු අවධානයට ගැනීමේදී එක්තරා දුර්ලභ මාදිලියේ මැතිවරණ පෙත්සමක් ගැන මගේ මතකය ඇදී යයි. එය සුවිශේෂී වන්නේ එක් මන්ත‍්‍රීවරයෙකුගේ පත්වීම අහෝසි කළ ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු මැතිවරණයක් පැවැත්වීමට නියෝග නොකර පෙත්සම්කාර පරාජිත අපේක්ෂකයා මන්ත‍්‍රීවරයා ලෙස පත්කරන ලෙස නියෝග කිරීමය. දශක අට හමාරක් තරම් වූ මෙරට සර්වජන ඡුන්ද බලය කියාත්මක වන අතිදීර්ඝ කාල පරාසයක් තුළ ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ එකම සිද්ධිය මෙය වීමය. එම අතිශය දුර්ලභ අධිකරණ ක‍්‍රියාමාර්ගය පෙළ ගැස්වෙන්නේ මෙසේය.


මෙරට පාර්ලිමේන්තු ක‍්‍රමය ආරම්භ වීමේදී කොට්ඨාස අසූ නවයකින් මන්ත‍්‍රීවරුන් අනූපස් දෙනෙකු පත් කර ගැනීමට නියමිතව තිබුණි. බහු මන්ත‍්‍රී ආසන පහක් නම් කර තිබූ නිසා එය එසේ සිදුවිය. පාර්ලිමේන්තු ආසන දිනා ගෙන තම ප‍්‍රජාව නියෝජනය කිරීමට ඉඩ නොලැබෙන ජන කණ්ඩායම් වෙනුවෙන් අග‍්‍රාණ්ඩුකාරතුමා විසින් පත් කරනු ලබන මන්ත‍්‍රීවරුන් හය දෙනෙක්ද පත් කිරීමට විධි විධාන සලස්වා තිබුණු නිසා මැති සබයේ මන්ත‍්‍රීධුර සංඛ්‍යාව එකසිය එකක් විය.


මෙසේ සංයුතිය ලැබූ ප‍්‍රථම ලංකා පාර්ලිමේන්තුවේ පානදුර ආසනය ඉතා විශාල ප‍්‍රදේශයකින් යුක්ත විය. එහි ජයග‍්‍රාහකයා වුවේ බෝල්ෂේවික් ලෙනිනිස්ට් පක්ෂයේ අපේක්ෂකයා වූ හෙන්රි පීරිස් මහතාය. ලංකා සම සමාජ පක්ෂයෙන් බිඳී ගිය කණ්ඩායමක් වූ එම පක්ෂය පසු කලෙක සම සමාජයටම අන්තර්ග‍්‍රහණය වී සමගියෙන් කටයුතු කරනු දක්නට ලැබුණි. කෙසේ වුවත් පානදුර ආසනය සාමාන්‍ය පරිදි සලකන විට වාමාංශික ආසනයක් ලෙස සලකනු ලැබීය. 1956 දී සම සමාජ ප‍්‍රබලයෙකු වු ලෙස්ලි ගුණවර්ධන මහතා විසින් අල්ලා ගන්නා ලද මෙම ආසනය පුරා විසි එක් වසරක් නොකඩවා නියෝජනය කළේය. ඒද සම සමාජ පක්ෂයෙනි.


මැතිවරණ නීතියට අනුව ජනගහනය වැඩිවීමේදී ව්‍යවස්ථාදායකගේ නියෝජනය වැඩි කළ යුතුය. ඒ අනුව 1958 දී පාර්ලිමේන්තු කොට්ඨාස නීර්ණය කොමිසන් සභාවක් පත් කරන ලද්දේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වෝල්ටර් තල්ගොඩපිටිය මහතාගේ ප‍්‍රධානත්වයෙනි. එහි නිර්දේශය පරිදි පානදුරේ ආසනයේ කොටසක් වෙන්කර බණ්ඩාරගම නමින් ආසනයක් වෙන් කර තිබුණි. එම කොට්ඨාසය සඳහා ප‍්‍රථම වරට මන්ත‍්‍රීවරයෙකු තෝරා පත්කර ගනු ලැබූවේ 1960 මාර්තු මැතිවරණයේදීය. නොයෙකුත් පක්ෂ මගින් අපේක්ෂකයන් බොහෝ සංඛ්‍යාවක් එම මැතිවරණයට තරග කිරීම නිසා ප‍්‍රතිඵලය ව්‍යාකූල වූ බව ප‍්‍රසිද්ධ කරුණකි. බණ්ඩාරගම ආසනය නිර්මාණය වීමෙන් පසු පැවැති ප‍්‍රථම මැතිවරණයෙන් එම ආසනය දිනාගන්නා ලද්දේ එක්සත් ජාතික පක්ෂයේ ඞී. සී. ඩබ්ලිව්. කන්නන්ගර මහතාය. එයට පෙර 1952 දී පානදුර ආසනය දිනා ගෙන මැතිසබය නියෝජනය කළ පළපුරුදු දේශපාලනඥයෙකි. මෙවර පත්වීමෙන් පසු ඔහුට මන්ත‍්‍රීධුරයේ කටයුතු කිරීමට ඉඩ ලැබුණේ මාසයක් පමණි. බහුතරයක් නොතිබුණු රජයට සිය රාජාසන කතා ස්තුති යෝජනාව සම්මත කර ගැනීමට හැකියාව නැතිවූ බැවිනි. පාර්ලිමේන්තුව විසුරුවා හැරුණි. 1960 ජූලි 20 වැනිදාට නැවත මහා මැතිවරණයක් පැවැත්වීමට නියමිත විය.


එම මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය හා කොමියුනිස්ට පක්ෂය නිතරග ගිවිසුමක් මත සටනට පිවිසි නිසා එම ආසනයට වමෙන් තරග කිරිමේ භාග්‍ය ලැබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂක කේ. ඬේවිඞ් පෙරේරා මහතාටය. පළාත් පාලන දේශපාලනයෙන් එම ක්ෂේත‍්‍රයට අවතීර්ණ වූ කේ. ඞී. ඞී. පෙරේරා මහතා 1960 මාර්තු මැතිවරණයේදීත් තරග කර ප‍්‍රතිවාදී කන්නන්ගර මහතාට ප‍්‍රබල තරගයක් දීමට සමත් විය. එහෙත් ලංකා සම සමාජ පක්ෂය, පිලිප් ගුණවර්ධන මහතාගේ මහජන එක්සත් පෙරමුණ, සහ ලංකා කොමියුනිස්ට් පක්ෂයද අපේක්ෂකයන් ඉදිරිපත් කර තිබුණු වාතාවරණය හමුවේ බරපතළ ලෙස වමේ ඡුන්ද බෙදී යාම පෙරේරා මහතාට දැඩි අවාසියක් වූවේය. මහජන එක්සත් පෙරමුණ නිතරග ගිවිසුමට ඇතුළත්ව නොසිටියා වුවද රාජාසන කතාව විවාදයේදී එම පක්ෂය ගත් ස්ථාවරය එහි ඡුන්ද දායකයෝ බහුතරයක් අනුමත නොකළහ. ඒ නිසා ජූලි මැතිවරණයේදී මෙම සියලූ කණ්ඩායම් වල සහයෝගය ලබමින් කේ. ඞී. ඞී. පෙරේරා මහතාට පහසු ජයක් අත්කර ගැනීමට හැකිවිය.


ආණ්ඩු පක්ෂයේ පසු පෙළ මන්ත‍්‍රීවරයෙකු ලෙස සිටියද ඔහු ආණ්ඩුවේ බොහෝ කටයුතු සම්බන්ධයෙන් බලපෑම් කළ හැකි අයෙකු විය. 1962 අයවැය ලේඛනය මගින් එවකට පැවැති සහල් සලාකය සේරු භාගයකින් අඩු කිරීමට ගත් තීරණය අවස්ථාවේදී එයට විරුද්ධව ඔහු තමාගේම රජයට එරෙහිව වුවද දැඩි ලෙස සටන් කළේය. මේ ආකාරයෙන් ජනතා සුබ සෙත උදෙසා නොපසුබටව ක‍්‍රියා කළ ඒ මහතා පොදුවේ කාගෙත් හිත දිනාගත් මන්ත‍්‍රීවරයෙක් විය.


ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ක‍්‍රියා කරන අතරම තම රජය ආරක්ෂා කර ගැනීමටද උපරිම කැපවිමෙන් කටයුතු කළේය. 1964 දෙසැම්බර් තුන් වැනිදා ශ්‍රී ලංකා සම සමාජ සභාග රජය බිඳ වැටෙද්දීද රජයේ නියෝජ්‍ය නායක සී. පී. ද සිල්වා මහතාගේ ප‍්‍රධානත්වයෙන් මන්ත‍්‍රීවරු දාහතර දෙනෙකු විපක්ෂයට එක්වුනු අවස්ථාවේදී වුවද බණ්ඩාරගම මන්ත‍්‍රීවරයා තම පක්ෂයේ රජය ආරක්ෂා කර ගැනීම සඳහා ඍජුවම පෙනී සිටියේය. එහෙත් එක් ඡුන්දයකින් රජය පරායට පත් වීම නිසා පාර්ලිමේන්තුව විසුරුවා හරින ලදුව තවත් මහා මැතිවරණයක් සඳහා රටම යොමු විය. 1965 මාර්තු 22 වැනිදා එම ඡුන්දය පැවැත්වීමට නියමිත වූවේය.


එදා පැවැති මහා මැතිවරණයේදීද කේ. ඞී. ඞී. පෙරේරා මහතා පහසු ජයක් අත්කර ගත්තේය. එහෙත් එම මැතිවරණ අවස්ථාවේදී ප‍්‍රතිවාදී අපේක්ෂක ඞී. සී. ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ පෞද්ගලික චරිතයට අපහාස වන අන්දමේ වැරදි ප‍්‍රකාශ ඇතුළත් පත‍්‍රිකාවක් ප‍්‍රකාශයට පත් කරන ලදැයිද එනිසා පෙරේරා මහතාගේ පත්වීම අවලංගු කරන්නැයිද ඉල්ලමින් ඡුන්ද පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් විය. එය විභාග කළ ඒ ඩබ්ලිව්. අබේසුන්දර විනිසුරු තුමා එම ඡුන්ද පෙත්සම නිශ්ප‍්‍රභා කර පෙරේරා මහතාගේ වාසියට තීන්දුව ප‍්‍රකාශ කළේය. මෙම තීන්දුවට එරෙහිව පෙත්සම්කරු අභියාචනයක් ඉදිරිපත් කළේය. එයින් කියවුණූ අර්ථය වූවේ පෙරේරා මහතාගේ පත්වීම අහෝසි කරන ලෙසය. මෙම අභියාචනය විභාග කළ අභියාචනාධිකරණය පෙත්සම්කරු කියා සිටින කාරණය තමන් පිළිගන්නා බවත් යටකී පත‍්‍රිකාව මගින් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක ඞී. සී. ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ පෞද්ගලික චරිතයට අපහාසයක් සිදුවී ඇති බැවින් මන්ත‍්‍රී කේ. ඞී. ඞී. පෙරේරා මහතාගේ මන්ත‍්‍රීධුරය නීත්‍යානුකූල නොවන බැවින් එම පත්වීම් අවලංගු කරන බවත් එනිසා අතුරු මැතිවරණයක් පැවැත්විය යුතු බවත් අභියාචනාධිකරණය ලබාදුන් නඩු තීන්දුවේ සඳහන් විය. මේ අනුව එම අතුරු මැතිවරණය 1967 ඔක්තෝබර් 20 වැනිදා පැවැත්වුණි.


මෙම අතුරු මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ජෝර්ජ් කොතලාවල මහතාත් ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඊ. ඒ. බණ්ඩාර මහතාත් නාමයෝජනා භාර දුන්හ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් යළිත් ඉදිරිපත් කරන ලද්දේ කේ. ඞී. ඞී. පෙරේරා මහතාය. ජෝර්ජ් කොතලාවල මහතා හිටපු අග‍්‍රාමාත්‍යවරයෙකු වූ සර් ජෝන් කොතලාවල මහතාගේ ඥාති සොහොයුරෙකු වූ බවද එකල කියවුණි. මෙම අතුරු මැතිවරණයෙන්ද කේ. ඞී. ඞී. පෙරේරා මහතා ජයග‍්‍රහණය කළේ ඉතා පහසුවෙනි. නැවතද වරක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඡුන්ද පෙත්සමක් ඉදිරිපත් වූයේ පෙරේරා මහතා විෂමාචාර චෝදනාවකට වරදකරුව සිටියදී අපේක්ෂකත්වයට නුසුදුසු තත්ත්වයක සිටියදී මන්ත‍්‍රීවරයෙකු වශයෙන් තෝරා පත් කර ගැනීම නීති විරෝධී බැවින් ඔහුගේ පත්වීම අවලංගු කරන ලෙසත් ඒ වෙනුවට තමා බණ්ඩාරගම ආසනයේ නීත්‍යානුකූල මන්ත‍්‍රීවරයා ලෙස ප‍්‍රකාශ කරන ලෙසත් ජෝර්ජ් කොතලාවල මහතා විසින් ගොනු කරන ලද පෙත්සමේ සඳහන් විය. මෙම ඡුන්ද පෙත්සම විභාග කරන ලද්දේ ඒ. සී. ඒ. අලස් විනිසුරුතුමා විසිනි. එම විභාගය අවසානයේ 1968 ජුනි 14 වැනිදා ප‍්‍රකාශයට පත් කළ තීන්දුවට අනුව කේ. ඞී. ඞී. පෙරේරා මහතාගේ මන්ත‍්‍රීධුරය නැවතත් අවලංගු කරන ලද අතර දෙවැනි ඉල්ලීම වූ ජෝර්ජ් කොතලාවල මහතා මන්ත‍්‍රීවරයා ලෙස ප‍්‍රකාශ කරන ලෙස කර තිබුණු ඉල්ලීම ඉවත දැමීය. මෙම තීන්දුවට එරෙහිව විත්ති පැමිණිලි දෙපක්ෂයම අභියාචනා ඉදිරිපත් කිරීම විශේෂිත සිදුවීමක් විය. කේ. ඞී. ඞී. පෙරේරා මහතා තම මන්ත‍්‍රී ධුරය අහෝසි කිරීම වැරදි බවට අභියාචනා කළ අතර ජෝර්ජ් කොතලාවල මහතා ඉල්ලා සිටියේ අතුරු මැතිවරණයේදී නීති විරෝධී අයුරින් තරග කළ ප‍්‍රතිවාදියාට ආසනය අහිමි වන්නේ නම් නිසැක වශයෙන්ම තමාට මන්ත‍්‍රීධුරය හිමිවිය යුතු නිසා එය ප‍්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලා සිටියේය. මේ පිළිබඳව දෙපාර්ශ්වයේ නීති තර්කවලට සවන් දුන් අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල මන්ත‍්‍රී කේ. ඞී. ඞී. පෙරේරා මහතාගේ අභියාචනය ඒකමතිකව ප‍්‍රතික්ෂේප කළහ. ඒ අනුව ඔහුගේ මන්ත‍්‍රීධුරය අහෝසි විය. පෙත්සම්කාර ජෝර්ජ් කොතලාවල මහතාගේ ඉල්ලීම වැඩි ඡුන්දයෙන් පිළිගත් රජතුන් කට්ටුව හිස්ව ඇති බණ්ඩාරගම ආසනයේ මන්ත‍්‍රීවරයා ලෙස ඔහු පත් කිරීමට නියෝග කළේය. අසූ වසරක සර්වජන ඡුන්ද බලය භාවිත කරන ජනතාවක් වුවද එදා මෙදා තුර අධිකරණ ක‍්‍රියාදාමයක් තුළින් මන්ත‍්‍රීවරයෙකු පත් කළ එකම අවස්ථාව මෙම බණ්ඩාරගම මන්ත‍්‍රීධුරය පිළිබඳව සිද්ධිය පමණකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංකල්පය ක‍්‍රියාත්මක වන වෙනත් රටකවත් එවැනි අත්දැකීමක් ලබා ඇතිදැයි දන්නෝ විරලය. ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත‍්‍රීධුරය පිළිබඳ සිදුවන අධිකරණ විමර්ශනයට මැදිහත්වීමට පියසේන ගමගේ මහතා අවසර ඉල්ලූ බව මාධ්‍යයේ දකින විට අපේ සිහියට නැගුණු මෙම කතාවෙන් මෙම සිද්ධි දෙකේ සමාන කමක් ඇති බව පෙනී යයි. ඉතිහාසය යනු නැවත නැවතත් ඇතිවන සිද්ධි සමුදායක් බව යමෙකු විසින් කියා ඇත්තේ ඒ නිසාය.

සෝමසිරි වික‍්‍රමසිංහ