ඉරණමට හිස නමා පක්ෂ නායකත්වය අත්හළ රාහුල්  ගාන්ධිගේ පුරාවත

03 වැනි පුරාවත

 

 

බරපතළ ලෙස රෝගී වූ ෆෙරොස් ගාන්ධි 1960 දී අභාවයට පත් වූවේය. ඒ වන විටත් 1944 අගෝස්තු 20 වැනිදා උපන් රාජිව් සහ 1946 දී උපන් සංජේ ගාන්ධි ද එම කැදැල්ලට එක්ව තිබුණි. ලාල් බහදුර් ශාස්ත්‍රී අගමැතිවරයාගේ අභාවයෙන් පසුව 1966 අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ ඉන්දිරා ගාන්ධි මැතිනිය පැමිණියේ මෙවැනි දේශපාලන පසුබිමක් සහ පන්නරයක් ඇතිවය. 


පෙර සඳහන් කළ පරිදි නේරු කීවාක් මෙන් ඉන්දිරා තම උර මතට ගත්තේ ප්‍රශ්න හැට කෝටියක් පමණක් නොවේ. එයිනුත් දෙගුණයකැයි මාධ්‍යවේදීහු ලියූහ. එනම් ප්‍රශ්න එකසිය විසි කෝටියකි. මෙයින් බහුතරය නිර්මාණය කරනු ලැබුවේ සතුරන් විසින් නොව තමාගේම ඉන්දීය කොන්ග්‍රස් පක්ෂය තුළින්මය. ඉන්දිරා සමග අගමැති තරගයට ඉදිරිපත් වූ මොරාජි දේශායි ඇතුළු දක්‍ෂිණාංශික නායකයෝ සෑම විටම ඉන්දිරාගේ වාමවාදී ප්‍රගතිශීලි දේශපාලන ගමනට අකුල් හෙළුෑහ.


මුලින් රහසිගතව පැවති මෙම යටිකූට්ටු හතුරුකම් ක්‍රමයෙන් කරළියට පැමිණියේය. ඉන්දියාව පුරා ලොකුකුඩා රාජ්‍ය පන්සියයකටත් අධික ප්‍රමාණයක නාම මාත්‍රික පාලනයක් පවත්වාගෙන යමින් ජනතාවගේ මුදල්වලින් යැපෙමින් කාමසුඛල්ලියානුයෝගී ජීවිතයක් ගෙන ගිය රටට කිසිදු සේවයක් නොකළ නමට මහාරාජා පදවිය දැරූ ප්‍රභූ පාලක පිරිසකගේ සියලු වරප්‍රසාද අහිමි කිරීමට ඉන්දිරා අගමැතිනිය ගත් පියවර කඩාකප්පල් කිරීමට මෙම දක්‍ෂිණාංශික නායකයෝ හැකි උපරිම ශක්තිය යොදා කටයුතු කළහ. එහෙත් මෙම කටයුත්තේ වටිනාකම දත් සිය කෝටියකට ආසන්න ඉන්දීය ජනතාවෝ ඉන්දිරා වටා පවුරක් මෙන් රොක් වූහ. ඊළඟ අර්බුදය මතු වූයේ ඉන්දීය ජනාධිපතිවරයා පත්කර ගැනීමේ අවස්ථාවේදීය. සම්ප්‍රදාය අනුව ජනාධිපතිවරයාගේ සේවා කාලය නිමවීමෙන් පසු නම් කරනු ලබන්නේ සිටින උපජනාධිපතිවරයාය. ඒ අනුව යමින් අගමැතිනිය නව ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස සිටින උපජනාධිපතිවරයා වූ වී. වී. ගිරි මහතා නම් කළාය. එහෙත් පක්ෂයේම දක්‍ෂිණාංශික කණ්ඩායම එවකට පාර්ලිමේන්තුවේ කතානායකවරයාව සිටි නීලම් සංජීව රෙඞ්ඩි මහතා ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලදී. එකම පක්ෂයෙන් යෝජනා කර ඇති අපේක්ෂකයන් දෙදෙනෙකු වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට ඉන්දියාවේ ලෝක් සභාව රාජ්‍ය සභාව සහ ප්‍රාන්ත මන්ත්‍රී මණ්ඩලවල නියෝජිතයන්ට සිදු විය. ප්‍රතිවාදීන් විසින් කුමන උපක්‍රම යොදන ලද්දේ වුවද වී. වී. ගිරි මහතා ජයග්‍රහණය ලද්දේය. එය පෞද්ගලිකව ඉන්දිරා ගාන්ධිගේ දිනුමක් විය. කොන්ග්‍රස් පක්ෂයේ සභාපති කාම්රාජ් නිජලිංගප්පා, මොරාජි දේශායි, සංජීව රෙඞ්ඩි ආදී බලවන්තයෝ ඉන්දිරාට එරෙහිව කඳවුරු බැඳ ගත්හ. පක්ෂය දෙකඩ විය. මොරාජි දේශායිගේ කණ්ඩායම කොන්ග්‍රස් ධ නම් විය. එය පැරණි යන අර්ථය ගත්තේය. ඉන්දිරා කඳවුර කොන්ග්‍රස් (ආර්) නම් විය. ඒ පාලන කණ්ඩායම යනු ය. මෙම බෙදීම නිසා ඉන්දිරාට පාලනය ගෙන යාම අතිශයින්ම දුෂ්කර විය. ප්‍රතිවාදී පිලේ බලපෑම නිසා බොහෝ ප්‍රාන්ත ආණ්ඩුද දුර්වල විය. මේ මොහොතේ අගමැතිනිය විශාල අවදානමක් දරා ගනිමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරියාය. 1971 මාර්තුවේදී මහා මැතිවරණයක් පැවැත්වුණි. 


කන්දක් නැග්ගොත් පල්ලමක්ද හමුවෙතැයි කතාවක් තිබේ. එය පල්ලමක් බැස්සොත් කන්දක් නගින්නටද සිදු වෙනු ඇතැයි කෙනෙකුට අරුත් දීමටද පුළුවන. ඉන්දිරා ගාන්ධිටද එවැනි කාලයක් උදාවිය. සුමට මගක් ඔස්සේ රෝස මල් ඇතිරූ විල්ලුද පලස් මතින් නේරු පවුලේ ප්‍රභාෂ්වර කීර්ති රාවය ඔස්සේ මහා ඉන්දියානු රාජ්‍යයේ අග්‍රාමාත්‍ය ධුරය හිමි කොටගෙන 1971 දී නැවත වරක් මහා මැතිවරණ ජයග්‍රහණයකින් අභිසෙස් ලැබුවද පල්ලමෙන් පසු කන්ද නැගීමේ දුෂ්කරතාවට ඇය මුහුණ දුන්නාය. එකී මැතිවරණයේදී ඇය ඉතා ආකර්ෂණීය පොරොන්දුවක් දුන්නාය. එය හින්දි භාෂාවෙන් කියවුණේ “ගරිබ් හතාවෝ” යනුවෙනි. දුප්පත්කම දුරලමු යනු එහි සිංහල අරුතයි. අතිශයින්ම ජනප්‍රිය වූ මෙම පොරොන්දුවට ගැමියෝ වහවැටුණහ. ගතවූවේ මාස කීපයක් පමණි. රටපුරා පැතිරුණු මහා නියඟයෙකින් සමස්ත ඉන්දියාවටම ඇළලී ගියේය. රටේ ප්‍රාන්ත රාශියකටම බීමටවත් ජලය නොමැතිව සාගතයක් ඇති විය. ගොවිතැන් බතක් කරගත නොහැකිව ගැමියෝ සුසුම් හෙළුෑහ. අටු කොටු හිස් විය. කන්න කීපයකින්ම වී ඇටයක් නොලැබූ ගොවියෝ සාගින්නෙන් ආර්ථික අහේනියෙන් සහ දරුවන්ගේ මන්දපෝෂණය නිසා වියරු වැටුණහ. මුළු රටම උග්‍ර ආහාර හිගයකට මුහුණ පෑවේය. සමහර ප්‍රාන්තවල මිනිසුන් කුසගින්න හා දිය පොදක් නොමැතිකම නිසා මියගිය බවද වාර්තා විය.

 

 

 

 


තවත් කොටසක් ලබන සතියේ.


සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප අන්තර්ජාලයෙනි