IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


අයි.එස්.අයි.එස්. බිහිවෙයි

මරාගෙන මැරෙන මුස්ලිම් අන්තවාදයේ උපත

05 වැනි කොටස

 

අරාබි වසන්තය ඊළඟට මතුවූවේ ලිබියාවෙනි. ලිබියානු ඉස්ලාම් සමූහාණ්ඩුව දිගු කලක් තිස්සේ පාලනය කළේ මුවම්මර් අල් ගඩාෆි නම් වූ ජාතිකවාදී රැඩිකල් නායකයාය. කලකට පෙර සම්ප්‍රදායික රජකු යටතේ පාලනය වූ එරට කාන්තාරයටම සීමා වී තිබුණු අප්‍රකටම රාජ්‍යයක් විය. ලෝකයේ හොඳම තෙල් නිෂ්පාදකයෙකු වුවත් එම සම්පත හුදෙක්ම බටහිර රටවල ඕනෑකම් අනුව පැවතුනි. තෙල්වල ලාභය යුරෝපයේ සහ ඇමරිකාවේ බහුජාතික සමාගම් වෙත ගලා ගියේය. ලිබියානු ජනතාවට එයින් කිසිදු වාසියක් අත්වූයේ නැත. මෙවැනි පසුබිමක් තුළ හමුදා කුමන්ත්‍රණයක් මගින් රජු බලයෙන් පලවා හැර රාජ්‍ය බලය අත්කර ගත්තේ මුවම්බර් අල් ගඩාෆි නමැති තරුණ සොල්දාදුවෙකි. ඔහු රැඩිකල් මතධාරී නායකයෙකු වූ අතර තෙල්වල ලාභයෙන් කොටසක් ජනතාවගේ යහපත වෙනුවෙන් යෙදවීමට වග බලා ගත්තේය. 


නිරන්තරයෙන් අධිරාජ්‍යවාදයට එරෙහි වූ ඔහුගේ විදේශ ප්‍රතිපත්තිය ඇමෙරිකාව පුමුඛ බටහිර කඳවුරේ ඇසේ ඇනෙන කටුවක් බවට පත්ව තිබුණි. අරාබි වසන්තයේ රැල්ල ලිබියාවට හමා ආවේ මෙවැනි පසුබිමක් තුළය. ජනාධිපති මැදුර වැටලූ උද්ඝෝෂකයෝ දස දහස් ගණනින් රැස්ව ගඩාෆි ජනාධිපතිවරයා තම අත්අඩංගුවට ගෙන පොලුවලින් පහරදී මරා දැමූහ. ඉතා සමෘද්ධිමත් ස්ථාවර රාජ්‍යයක් වශයෙන් පැවති ලිබියා සමූහාණ්ඩුව 2011 සිට මේ වනතුරුත් අවුල් ගොඩකි. ගිනි ජාලාවකි. මේ සියල්ල පසුපස ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර කඳවුර නොයෙකුත් නූල් සූත්තර මෙහෙය වූ බව කව්රුත් දන්නා සත්‍යයකි.


මැදපෙරදිග කලාපයේ තවත් රටවල් කීපයක මෙම උද්ඝෝෂණ රැල්ල පැතිර ගිය නමුදු සුළු ප්‍රතිසංස්කරණ ඇති කිරීමෙන් ඒවා මැඩපවත්වා ගැනීමට ඒවායේ සම්ප්‍රදායික පාලකයෝ සමත්වූහ. ඉන් අනතුරුව ප්‍රශ්නය පැනනැගුණේ සිරියාවෙනි. දීර්ඝ කාලයක් සිරියාව පාලනය කළේ හෆේස් අල් අසාඞ් නම් ජනාධිපතිවරයාය. ඔහුගේ මරණින් පසු බලයට පත්වූවේ ඔහුගේ පුත් බෂීර් අල් අසාඞ්ය. සෑම ගහකටම කොටන කොට්ටෝරුවා කෙසෙල් ගසට කෙටූ දිනට හොට පටලවා ගන්නා බවට කතාවක් තිබේ. සිරියාවේදී අරාබි වසන්තකරුවෝ හොට පටලවා ගත්හ. සෑම රටකදීම අරාබි වසන්ත කැරලිකරුවන් ක්‍රියාත්මක වෙද්දී රජයේ හමුදාවන් ක්‍රියාත්මක වූවේ නැත. ඔව්හු අත්බැඳගෙන බලා සිටියහ. එහෙයින් පාළු ගෙයි වළං බිඳින්නාක් මෙන් උද්ඝෝෂණකරුවෝ බලය අත්පත් කර ගත්හ. සිරියාවේදී රජයේ හමුදාවෝ බෂීර් අල් අසාද්ගේ රජය ආරක්ෂා කර ගැනීම සඳහා පෙරට පැමිණියහ.
ඒ සමගම ඇමරිකා එක්සත් ජනපදය සිය සුපුරුදු ක්‍රියාමාර්ගය අනුගමනය කරමින් ලොව පුරා සිටින විවිධ මතධාරී ත්‍රස්ත කණ්ඩායම් සිරියාවට ගෙන්වා බෂීර් අසාඞ්ගේ රජයට එරෙහිව උසි ගන්වන ලදී. ඔවුන් අතර එකකට එකක් නොගැළපෙන පිරිස් බහුල වූහ. අවසාන විග්‍රහයේදී තමන් දිවි නොතකා යුද්ධ කරන්නේ කුමක් වෙනුවෙන්ද? කව්රුන් වෙනුවෙන්ද? යන්න ඔවුන්ටම අපැහැදිලි විය. එය අරුම පුදුම යුද්ධයක් විය. බෂීර් අසාද්ගේ රජය රැක ගැනීමට සටන් කරන සිරියානු හමුදාවය. එයට එරෙහිව සිරියානු හමුදාවෙන් පැනගිය (2011 දී) ප්‍රධාන හමුදා නිලධාරියෙකු වූ ලෝයා සාෆිගේ නායකත්වයෙන් යුතු නිදහස් සිරියානු රජයක් සඳහා සටන් කරන කැරලි කාර පාර්ශ්වයය. සිරියාවේ සහ ඉරාකයේ වෘත්තාන්ත ගත කලිෆා පාලනයක් සඳහාත් සුන්නි මුස්ලිම් අධිරාජ්‍යයක් සඳහා සටන් වැදී සිටින අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීහුය. ඉරාකයේ සිරියාවේ ඉරානයේ සහ තුර්කියේ සමහර ප්‍රදේශ එක්කර ඒකාබද්ධ කුර්දිස්ථානයක් පතා යුද වැදී සිටින කුර්දි ගරිල්ලෝය. ඊශ්‍රායලය ලෝක සිතියමෙන් මකා දැමීමට දිවුරුම් දී සිටින ලෙබනයේ හිස්බුල්ලා සටන්කාමීහුය. ඇමෙරිකාවට විනාශකාරී ප්‍රහාර එල්ල කළ අල් කයිඩා සංවිධානයය. එවැනිම සටන් සංවිධාන වූ අල් නුස්රා, අල් ජිහාඞ් ආදී සංවිධානද පොරපිටියේ විය. සිරියාවට අනුග්‍රහය දෙමින් රුසියාව පසුපසින් සිටියේය. ඇමෙරිකාව, බි්‍රතාන්‍යය, ප්‍රංශය මෙන්ම තුර්කියද සිරියා විරෝධීන්ට අත හිත දෙයි. මෙවැනි සංකීර්ණ රාජ්‍ය ගැටලුවක ප්‍රධාන පාර්ශවයක් වූ අයි.එස්.අයි.එස්. ගැනද මදක් විස්තර සාකච්ඡා කළ යුතුය.


අද ලෝකයට විශාල තර්ජනයක්ව තිබෙන අයි.එස්.අයි.එස්. සංවිධානය ඇති කිරීමේ නිර්මාතෘවරයා වන්නේ අබු මුෂාම් අල් සර්කාරි නම් වූ ජෝර්දාන් ජාතික සටන්කරුවාය. ජෝර්දානයේ සිට පසුව අනාථයෙකු බවට පත්වූ ඔහු මුලින්ම ආරම්භ කළ ත්‍රස්ත සංවිධානයට තැබූ නම වූවේ කම්හිද් - මා - ජිහාඞ් යනුයි. පසුව එහි නාමය ඉස්ලාම් ස්ටේට් ඔෆ් සිරියා ඇන්ඞ් ඉරාක් යනුවෙන් වෙනස් කරගෙන තිබේ. එය කෙටිකර අයි.එස්.අයි.එස් යනුවෙන් සඳහන් කරනු ලැබේ. මෙම සංවිධානයේ ප්‍රධාන අරමුණවන්නේ කාලිෆ් යුගයේ පැවති සිරියාව සහ ඉරාකයේ ඉස්ලාම් අධිරාජ්‍යය නැවත පිහිටුවීම බව කියැවේ. ඒ සඳහා ඔවුන් උපයෝගී කර ගනු ලබන්නේ දැඩි මර්දනකාරී සහ අමානුෂික ක්‍රමවේදයකි. කඩුවෙන් හිස ගසා දැමීම මෙන්ම අන්තවාදී දේශපාලන හා ආගමික මතවාද පතුරුවා හැරීමද ඔවුන්ගේ ව්‍යායාමය බවට පත්ව ඇත. මුළු ලෝකයටම ව්‍යසනයක්ව පවතින මෙම බලවේගය සිරියාවේ සහ ඉරාකයේ යුද කඳවුර පවත්වාගෙන යමින් විවිධ රටවල තරුණ තරුණියන්ට න්‍යායික සහ ප්‍රායෝගික සහ යුදමය පුහුණුව ලබා දෙන බව සඳහන් වේ. ඇමරිකාව බි්‍රතාන්‍ය සහ ප්‍රංශය වැනි රටවලත් ඉන්දියාව ශ්‍රී ලංකාව වැනි රටවල තරුණයෝ මෙහි පුහුණුව ලබා පැමිණ සිටිති. ඔව්හු යම් යම් විනාශකාරී ක්‍රියාවල යෙදෙති. 

 


පසුගිය අප්‍රේල් 21 වැනි පාස්කු ඉරිදා කොච්චිකඬේ සහ කටුවාපිටිය කතෝලික දේවස්ථානවලදීත් තවත් ස්ථාන කීපයකදීත් මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවාගෙන සිය ගණනක් ජීවිත විනාශ කර දමන ලද්දේත් ශ්‍රී ලංකාවට ආර්ථික හා දේශපාලන වශයෙන් මහත් පාඩුවක් ඇති කළේත් මෙම අයි.එස්.අයි.එස්. සංවිධානයේ පුහුණුව ලත් එහි ක්‍රියාකාරියෝ වෙති. ඉස්ලාම් ආගම අදහන සාමකාමී බහුතරය විසින් මෙම ක්‍රියාකලාපය හෙළාදැක තිබීම සතුටට කරුණකි. මෙවැනි අර්බුදකාරී අවස්ථාවලදී හංසයා කිරෙන් දිය වෙන්කර ගණනාක් මෙන් සූක්ෂමව වරද නිවරද තේරුම් ගෙන කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ. නොඑසේනම් හැඟීම්වලට බරව හදිසි තීරණ මත ක්‍රියා කළහොත් එය සැමගේම විපතට හේතුවනු නිසැකය.


මම පහළොස් වසරක් තරම් දිගු කාලයක් මැද පෙරදිග රටක් වන ඕමාන සුල්තාන් රාජ්‍යයේ දිවිගෙවා ඇත්තෙමි. 


එරට සහ මෙරට මුස්ලිම් සහෝදරයන් සිය ගණනක් සමග දැනටත් මිතුරු සබඳතා පවත්වමි. ඕමාන් ගුවන් හමුදාවේ සෙබළ තරුණයන්ට අරාබි භාෂාව සහ ඉස්ලාම් දහම ඉගැන්වීමට පැමිණ සිටි සුඩාන් හා මිසර ජාතික විද්වතුන් රැසක් සමග කතා බහ කර ඇත්තෙමි. මෙම ලිපිය සැකසෙන්නේ එම උපදෙස්ද පදනම් කරගෙන බව සඳහන් කරනු රිසියෙමි.


නිමි.


සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූපය අන්තර්ජාලයෙනි



අදහස් (0)

අයි.එස්.අයි.එස්. බිහිවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 642 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 832 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 359 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site