1994 දී බලයට පත්වූ චන්ද්‍රිකා ආණ්ඩුවත්, උතුරේ කොටි සංවිධානයත් අතර 1995 ජනවාරි මස 8 දා සටන් විරාම ගිවිසුමක් අත්සන් කෙරුණේය. එහෙත් එම සටන් විරාමය ඉතා කෙටි කාලයකට පමණක් සීමාවිය. එසේ වූයේ 1995 අප්‍රේල් මස 19 වැනිදා රාත්‍රී කාලයේ ත්‍රිකුණාමල වරායේ නැංගුරම් ලා තිබූ නාවික යාත්‍රා දෙකකට හදිසි ප්‍රහාරයක් එල්ල කළ කොටි සංවිධානය සටන් විරාමය ඒකපාර්ශ්විකව කඩකළ බැවිනි.

 

එම ප්‍රහාරය ගැන අසා කලබලවූ ආරක්ෂක නියෝජ්‍ය ඇමැති අනුරුද්ධ රත්වත්තේ මහතා “මම ඔය අවදානම ගැන කලින්ම කිව්වා. කොටින් එක්ක මොන සාම කතා ද?” යි අසමින් ජනාධිපතිනියට ද නෝක්කාඩු කියා තිබුණේය. කොටි සංවිධානය කෙරෙහි කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බව කී රත්වත්තේ මහතා මුල සිටම දැරූ ස්ථාවරය වූයේ කොටින් අවි බලයෙන් පරාජය කළ යුතු බවය.
විශේෂයෙන්ම ඔහුගේ හිස ගිනිගෙන තිබුණේ ඒ දිනවල මෙරට ආරක්ෂක හමුදාවන් සතු යුද අවි ප්‍රමාණය දිනෙන් දිනම පහළ වැටෙමින් පවතින බවට ආරක්ෂක අංශ ප්‍රධානීන්ගෙන් ලැබුණු රහස්‍ය වාර්තාවක් නෙත ගැටීමෙනි. ඒ වනවිට ආයුධවලට අමතරව යුද්ධ ටැංකි, කාල තුවක්කු සහ ට්‍රක්රථ සඳහා අවශ්‍ය අමතර කොටස් හිඟයක් ද පැවති අතර ඒවා කඩිනමින් ලබාගැනීමේ වගකීම පැවරී තිබුණේ ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිවරයාගේ කර මතය.


“එංගලන්තය වැනි රටවල් අපට ඒ අමතර කොටස් සහ අවි ආයුධ ලබාදීමට අදිමදි කෙරුවා. මොකද කොටි සංවිධානය මුළු යුරෝපාකරය පුරාම ශ්‍රී ලංකාව ගැන නොයෙකුත් දුර්මත පළකර තිබුණා. ආණ්ඩුව තම හමුදා බලය යොදවා මෙරට සුළුතරයක් වන දෙමළ ජනතාවට අමානුෂික ලෙස සලකන බවටයි කොටි සංවිධානය ඒ වනවිට ලොව පුරා පතුරුවා තිබුණේ...”යි කී අනුරුද්ධ රත්වත්තේ මහතා වරක් ලියුම්කරු සමග ප්‍රකාශ කර තිබුණේ එම තත්ත්වය මත මහා බි්‍රතාන්‍යය ප්‍රමුඛ යුරෝපාකරයේ බොහෝ රටවල් ශ්‍රී ලංකාව දෙස වපර ඇසින් බැලීමට පෙළඹී සිටි බවය.


මේ කාලය තුළ මහා බි්‍රතාන්‍යයේ විදේශ නියෝජ්‍ය ඇමැති ලියොන් ෆොක්ස් මහතා රාජ්‍ය තාන්ත්‍රික කර්තව්‍යයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටියේය. ඔහුත්, අනුරුද්ධ රත්වත්තේ මහතාත් අවස්ථා කීපයකදීම හමුවී සාකච්ඡා කර තිබූ අතර ඒ නිසාම දෙදෙනා අතර සුහදතාවක් ද ඇතිවී තිබුණේය.


“ඉතින් මම දවසක් එතුමාට කිව්වා අපට මෙන්න මේ විදියේ බරපතළ ප්‍රශ්නයක් මතුවී තිබෙනවා. එංගලන්ත ආණ්ඩුව වැරදි වැටහීමක් ඇතිකරගෙන අපට ඒ අවි ආයුධ සහ අමතර කොටස් ලබාදීමට අදිමදි කරනවයි කියලා. ඒ වෙනකොටත් එතුමාට අපේ රටේ ත්‍රස්තවාදී ප්‍රශ්නය ගැන හොඳ අවබෝධයක් ඇතිවී තිබුණා. ඒ සැරේ එයා කිව්වා, හොඳයි මම ඒ ගැන මොකක් හරි වැඩපිළිවෙළක් යොදන්නම් කියලා...” යි කී අනුරුද්ධ රත්වත්තේ මහතා ඉන් සති දෙකකට පමණ පසු ලියොන් ෆොක්ස් මහතාගෙන් විශේෂ පණිවුඩයක් තමන් වෙත ලැබුණු බව වැඩිදුරටත් සඳහන් කළේය.


ඒ අනුව ඔහු බි්‍රතාන්‍ය ආරක්ෂක ලේකම්වරයා ඇතුළු ඉහළපෙළේ බලධාරීන් සමග සාකච්ඡාවක් රත්වත්තේ මහතා වෙත ලබාදීමට සූදානම් කර තිබුණේය. අනුරුද්ධ රත්වත්තේ මහතා ඒ පිළිබඳව ජනාධිපතිනිය වෙත දැනුම් දුන්න ද ඇයගෙන් ලැබී තිබුණේ දුර්වල ප්‍රතිචාරයකි.


“වැඩක් වෙයිද අනුරුද්ධ...” යි ඇසූ චන්ද්‍රිකා මැතිනිය, “හොඳයි කොයි එකටත් ගිහින් කතා කරල බලන්න...” යි කියා සිටියේ එතරම් විශ්වාසයකින් නොවන බව ඇයගේ ස්වරයෙන්ම නියෝජ්‍ය ඇමැතිවරයාට වැටහිණි. ඒ නිසාම ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රානන්ද සිල්වා මහතා ද එම ගමනට එක්වීමට අදිමදි කළ අතර රත්වත්තේ ඇමැතිවරයා ඒ සඳහා කැඳවා ගත්තේ ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකි.


ඔවුන් දෙදෙනා එංගලන්තයට යනවිටත් ලියොන් ෆොක්ස් මහතා අදාළ ඉහළපෙළේ සාකච්ඡාව සූදානම් කර තිබුණේය. එංගලන්තය වෙනුවෙන් එරට ආරක්ෂක ලේකම් යන නිල නාමයෙන් හඳුන්වනු ලබන ඇමැතිවරයාත්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරු ද ශ්‍රී ලංකාව වෙනුවෙන් අනුරුද්ධ රත්වත්තේ මහතාත් ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා සහ එවකට එරට සිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාත් එම සාකච්ඡාවට සහභාගි වූහ.


“අපි දැනට වසර 14කටත් වැඩි කාලයක් තිස්සේ උතුරු ප්‍රදේශයේ ත්‍රස්තවාදීන් පිරිසක් සමග ගරිල්ලා යුද්ධයක යෙදී සිටිනවා. අපේ රටේ යුද හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාවම ආරම්භ කර තිබෙන්නේ බි්‍රතාන්‍ය පාලන යුගයේ. ඒ වගේම දැනට අප සතුව තිබෙන යුද උපකරණවලින් වැඩි කොටසක් බි්‍රතාන්‍යයේ නිෂ්පාදනය කරන ලද ඒවායි. අද අප මුහුණදී තිබෙන ප්‍රධානම ප්‍රශ්නය තමයි ඒ අවි ආයුධ සහ යුද්ධ ටැංකිවලට අවශ්‍ය අමතර කොටස් හිඟවීම. ඒවා අලුතින් ගන්නත් අපට මුදල් නෑ. ඒ නිසා එම අමතර කොටස් අපට සහන මිලකට ලබාදෙන්නැයි මා ඔබතුමන්ලාගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා.”


රත්වත්තේ ඇමැතිවරයා ඉතා පැහැදිලි ඉංග්‍රීසි බසින් එසේ කියද්දී ඊට සවන්දී සිටි එරට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා තමන්ට යමක් දැන ගැනීමට අවශ්‍ය යැයි කියමින් ඒ සඳහා අවසර ඉල්ලා සිටියේය. එම සාකච්ඡාවේ මුලසුන දැරූ ආරක්ෂක ලේකම්වරයාගෙන් ඒ සඳහා අවසර ලැබුණු පසු මහත් උදාරම් ලෙසින් නැගී සිටි සුද්දා අනුරුද්ධ රත්වත්තේගෙන් විමසා සිටියේ “ත්‍රස්තවාදීන් සමග වසර 14ක් තිස්සේ යුද වැදී සිටින ශ්‍රී ලංකාවේ ආණ්ඩුව එම කාලය තුළ කුමක් කළාදැයි” යනුවෙනි. ඔහුගේ එම කතාවට අනුරුද්ධගේ සිත රිදුණේය.
“මූට නං හොඳවයින් දෙකක් නොකිය බෑ...” යි තමන් දෙපස සිටි ශ්‍රී ලාංකික නිලධාරීන් දෙස බලා සිංහලෙන් කී රත්වත්තේ ඇමැතිවරයා එකෙණෙහිම නැගිට සුද්දාගෙන් විමසා සිටියේ “වසර 14ක් තිස්සේ උතුරේ ත්‍රස්තවාදීන් සමග යුද වැදී සිටින අප එතරම් කාලයක් කුමක් කළා දැයි විමසන ඔබට අයර්ලන්ත ගරිල්ලන්ගේ ප්‍රශ්නය වසර 28ක් යනතුරු විසඳා ගැනීමට නොහැකිවූයේ ඇයිදැයි” යනුවෙනි.


“අපට නං නොයෙකුත් අඩුපාඩු තිබෙනවා. අපට අවශ්‍ය නවීන පන්නයේ අවි ආයුධ නෑ. අපේ යුද්ධ ටැංකිවලට ට්‍රක් රථවලට අමතර කොටස් නෑ. ඒවා අලුතින් ගන්න අපට මුදල් නෑ. ඒ නිසයි අපේ රටේ ත්‍රස්තවාදී යුද්ධය මේ තරම් කාලයක් දික් ගැස්සුනේ. ඒත් ඔය කියන කිසිම හිඟ පාඩුවක් නැති එංගලන්තයට වසර 28කටත් වැඩි කාලයක් යනතුරු අයර්ලන්ත ගරිල්ලන්ගේ ප්‍රශ්නය විසඳා ගැනීමට නොහැකිවී තිබෙනවා...”


රත්වත්තේ ඇමැතිවරයා එසේ කියද්දී එවැනි පිළිතුරක් කිසිසේත්ම අපේක්ෂා නොකළ මහා බි්‍රතාන්‍යයේ මාණ්ඩලික ආරක්ෂක ප්‍රධානියාගේ මුහුණ ලජ්ජාවෙන් රතු පැහැයට හැරුණේ ඉබේටමය. මේ අතර එහි ඊළඟ ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලංකාවට අවශ්‍ය අවි ආයුධ සහ සියලුම අමතර කොටස් සහන මිලකට සැපයීමට බි්‍රතාන්‍ය රජය එකඟත්වය පළ කිරීමය. අනුරුද්ධ රත්වත්තේ මහතා ඉන්පසු බටහිර ජර්මනියට ද ගොස් පෙරළා ශ්‍රී ලංකාවට පැමිණෙනවිට බි්‍රතාන්‍ය රාජකීය ගුවන් හමුදාවට අයත් යානයකින් එම සියලුම අවි ආයුධ ඇතුළු අමතර කොටස් මෙරටට එවා තිබුණේය.

නිහාල් ජගත්චන්ද්‍ර