වර්ෂ 1915 මැයි මස 28 දින සැන්ඳෑවේ බෞද්ධ බැති ගී ගායන කණ්ඩායමක් තූර්යවාදනයෙහි යෙදෙමින් ගම්පොළ අඹගමුව වීදියේ ගමන් ගත්තෝය. ඒ සඳහා පොලිසියේ හා අදාළ බලධාරීන්ගේ අවසරය ලබාගෙන තිබිණ. එහෙත් මාර්ග ආරක්ෂාවට සිටි කුරේ නමැති පොලිස් නිලධාරියා වාදක කණ්ඩායම්වලට එම වීදියෙන් ගමන් කිරීම තහනම් බවට අනතුරු ඇඟවීය.

ඔහුට අවනත වූ බැති ගී කණ්ඩායම යළි වෙනත් විදියක් ඔස්සේ යද්දී යාර 120 ක් ඈතින් පිහිටි මුවර් මුස්ලිම් දේවස්ථානයක සිටි පිරිසක් එම පිරිසට උසුළු කරන්නට වූහ. එබැවින් යළි හැරී ගමන් කරද්දී එම මැර පිරිස ඔවුන් වෙත ගල් මුගුරු ප්‍රහාරයක් එල්ල කළහ. 


මෙයින් උදහසට පත් බෞද්ධ පිරිසක් පෙරළා මුස්ලිම් පල්ලියට පහර දී හානි කළෝය. මෙසේ ඇවිළී ගිය කෝලාහලයෙන් දේපොළවලට මෙන්ම ජීවිතවලට ද  බරපතළ හානි සිදු වීමට ගියේ දෙදිනක් පමණ කෙටි කාලයකි. 


සැකකරුවන් කිහිප පොළක් පොලිස් අත්අඩංගුවට ගත් බව ප්‍රකාශ වුව ද කෝලහාලය අඩු නොවිණ, පොලිසියට අරගලය මැඩලිය නොහැකි තැන වහා එහි පැමිණීමට පංජාබ් හමුදාවට සුදු පාලකයෝ ඇරයුම් කළහ. 
එයින් සිදු වූයේ තව තවත් දේපොළ හානි වීමත් ලේ වැගිරීමත්ය. එපමණක් නොව ජාතිවාදී ස්වරූපයක් ගත් අරගලය බස්නාහිර පළාතට පැතිරිණ. ඊළඟ දිනයේදී දකුණු මධ්‍යම උතුරු මැද හා සබරගමු පළාත් ජාතිවාදී හා ආගම්වාදී ගිහි සිළුවලින් වෙළාගෙන තිබිණ. 


මෙය අවසානයේදී සුදු පාලකයෝ තේරුම් ගත්තේ බි්‍රතාන්‍ය පාලනයට එරෙහිව සිංහල බෞද්ධයන් විසින් නිර්මාණය කළ කැරැල්ලක් ලෙසයි. නිදහස් සටන් අරගලයේම නව ආගම්වාදී මුහුණුවරක් බව මෙරට පාලකයෝ බි්‍රතාන්‍ය රජුට දන්වා යැවූහ. 


එකල දේශප්‍රේමී හා බෞද්ධ චින්තනයෙන් තෙදවත් වී සිවී සිංහල බෞද්ධ නායකයන් වෙත පාලකයන්ගේ අවධානය යොමු විය. බි්‍රතාන්‍ය පාලනය අභ්‍යන්තර ගැටලු නිරාකරණය කිරීම සඳහා ගන්නා අමානුෂික ක්‍රියා මාර්ග පිළිබඳව සිංහල බෞද්ධ ජනයාගේ ද විරෝධය මතු වීමට පටන්ගත් අතර අන්තගාමීන් මෙල්ල කරනු වෙනුවට ජීවිත හා දෙපොළ රැක ගැනීමට ඉදිරිපත් වූ සිංහල නායකයන් අත්අඩංගුවට ගැනීමට පාලකයෝ ක්‍රියා කළහ. 
මේ අනුව ජාතික නිදහස් සටනට අමද්‍යප සටනට, බෞද්ධ උරුමයන් රැක ගැනීමේ සටනට නායකත්වය දෙමින් සිටි ඩී. ඇස්. සේනානායක, ඩී. බී. ජයතිලක, ඩබ්. ඒ. සිල්වා ඒ. ඊ. ගුණසිංහ සහ අනගාරික ධර්මපාලතුමන් වැනි දේශප්‍රේමීන්ට මාසයක් දෙකක් සිරබත් කන්නට ද සිදු විය.


මුස්ලිම්වරුන් හෙවත් මුවර්වරුන්ට සිදු වූ ජීවිත හා දේපොළ හානි පිළිබඳව උලුප්පා දක්වා තිබිණ. ඒ අනුව මරණ 25 ක්, තුවාල කිරීම් 189 ක් ස්ත්‍රී දූෂණ 04 ක් හානි කිරීම් 86 ක් සොරකම් 4075 ක් කඩ ගිනි තැබීම් 350 ක් වාර්තා කර තිබිණ. 


සිංහල හා මුස්ලිම් විරෝධී ගැටුම්වල ඉතිහාසය ඊට පැරණි නමුත් 1915 දී වූ කෝලහල ජනවර්ග හා ආගමික යුද්ධයක් බවට වූ අර්ථකථනය නිසා මෙම සිද්ධිය අතිශය ප්‍රසිද්ධ විය.


බි්‍රතාන්‍ය රජය විසින් වර්ෂ 1800 දී වැවිලි වතු ක්ෂේත්‍රය මෙරටට හඳුන්වා දුන් අතර ඒ සඳහා ඉන්දීය හා මලයාලම් ජාතික කම්කරුවෝද ඉන්දීය මුස්ලිම් වෙළෙන්දෝද මෙරටට ගෙන ආහ. 


වර්ෂ 1833 දී කෝල්බෲක් ආණ්ඩුක්‍රමය ඇරඹිදා සිට මෙරට මුස්ලිම්වරුන් නියෝජනය වූයේ දෙමළ ජනතාව හරහාය. මුහුදුබඩ යෝනක, ලංකා යෝනක මැලේ යන නම්වලින් ඔවුන් වර්ගීකරණය වී තිබිණ. මේ අතරින් මැලේ ජාතිකයෝ කොළඹ සහ මහනුවර ඔවුන්ගේ අනන්‍යතාව ආරක්ෂා කරගෙන සිටියහ. අන්තිමේදී මැලේ නායකයන්ගේ හඬ මුස්ලිම් හඬ බවට පිළි ගැනිණ. 


එබැවින් එවක පටන් මුස්ලිම් ජාතිකයන් දෙමළ ජන කොටසට අයත් නොවන ස්වාධීන පිරිසක් බවට වර්ෂ 1889 දී පිළි ගැනිණ. 


මෙරට බහුතරය වූ සිංහලයන් අතරට ද්‍රවිඩ ජාතික කතෝලික ආගමිකයන් මෙන්ම මුහම්මද් ලබ්ධිකයන් ද එක්වූහ. ඈත අතීතයේ වාණිජ කටයුතු සඳහා දකුණු ඉන්දියාවේ මලබාර් වෙරළෙන් සංක්‍රමණය වූ මුහම්මද් ලබ්ධිකයන් පිරිසක් හඳුන්වන ලද්දේ ඉන්දියානු මුවර්වරු නමිනි. 


1907 දී අඹගමුව වීදියේ පළමු මුවර්වරුන්ගේ පල්ලිය ඉදි කරනු ලැබිණ. චාරිත්‍රානුකූලව පවත්වාගෙන එනු ලැබූ ගම්පොල - වල්ලහගොඩ දේවාලයේ ඇසළ පෙරහරට එරෙහිව මුවර්වරුන්ගේ පල්ලියෙන් එල්ල වුයේ දැඩි විරෝධයකි. ඊට පෙර සිටි මුස්ලිම්වරුන් එසේ නොකළ අතර මුවර්වරුන්ගේ විරෝධය මහත් කරදරයක් විය. 


නමුත් පොලිස් අවසර පත්‍රය අනුව නම් කවර පෙරහැරක් වුවද පූජනීය ස්ථානයක ආගමික කටයුතු කරන අවස්ථාවලදී ඊට යාර සියයක් ඈත දී වාදනය හා වෙනත් ගෝෂා නැවැත්විය යුතුය. මුස්ලිම් විරෝධය නිසා වර්ෂ 1909 දී බස්නායක නිලමේ විරෝධය ද නොතකා පෙරහර ගමන් ගන්නා මාර්ගය වෙනස් කිරීමට පොලිසිය පියවර ගති. 


වර්ෂ 1911 දී යළි සාම්ප්‍රදායික ලෙස පෙරහර පැරණි මාර්ගයේම යාමට ඒජන්තවරයා අවසර දුන්නේය. ඒතාක් පල්ලිය ඉදරිපිට තූර්යවාදනය කිරීම නිසා 1912 දී පෙරහර පැවැත්වීමට මුවර්වරු බාධා කළහ. එය තදබල ගැටුමක් බවට පරිවර්තනය විය. 


මේ නීතිය නිසා දේවාල නිලධාරීන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට නිලමේවරයා නුවර දිස්ත්‍රික් උසාවියට පැමිණිලි කළේය. වර්ෂ 1914 දී නඩුව ඇසූ පෝල් ඊ. පීරිස් බෞද්ධයන්ට සාධාරණ වන ලෙස දුන් තීන්දුවට එරෙහිව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කළේය.


ඉන් සිදු වූයේ එම තීන්දුව වර්ෂ 1915 පෙබරවාරි 02 වැනිදා මහේස්ත්‍රාත් සෝහා ඩී. සිම්පියෝ විසින් වෙනස් කිරීමය. 


මෙයින් කළ කරුණු බෞද්ධ නායකයෝ ලන්ඩන්හි ප්‍රිවි කවුන්සිලයට අභියාචනය කළහ. එම තීන්දුව නිසා උඩරට රාජධානියට බලවත් පහරක් වදින අතර, සිංහල බෞද්ධ අයිතීන් හා සිරිත් විරිත් කෙළෙසන බවට බෞද්ධයෝ තර්ක කළහ. වර්ෂ 1815 දී බි්‍රතාන්‍ය සමඟ කළ ගිවිසුමෙන් පවා මෙම අයිතිය සුරැකෙන බව ඔවුහු පෙන්වා දුන්හ. 


වර්ෂ 1915 වන විට එම ගිවිසුමට වසර සියයක් සපිරුණ අතර සිංහල බෞද්ධයන්ට වූ පොරොන්දුව ඉටු කිරීමට බි්‍රතාන්‍ය පාලනය අපොහොසත්වීම පිළිබඳව ස්වදේශිකයන් තුළ ඇති වූයේ දැඩි සංවේගයකි කෝපයකි. 
ගම්පොළ බෞද්ධ නායකයන්ගේ අභියාචනයට කන් නොදුන් බි්‍රතාන්‍යයෝ ප්‍රිවිකවුන්සිලයේ තීන්දුව අනුමත කළහ. මුවර්වරුන්ගේ පල්ලියක් ඉදිරි පිටින් තූර්ය වාදනය කරමින් ගමන් කිරීම තහනම් කිරීමේ නීතිය නිසා සිංහල බෞද්ධයන් සමග නිරන්තරයෙන් ගැටෙමින් සිටි බි්‍රතාන්‍යයට ඔවුන් මර්දනය කිරීමට නව පණක් ලැබුණසේ විය. 


මේ වනවිට මුවර්වරු අධික මිලකට මෙරට දුප්පත් මිනිසුන්ට භාණ්ඩ අලෙවි කරමින් ලාභ ලබමින් සිටි බවත් බි්‍රතාන්‍යයන් හා එකම ක්ෂේත්‍රයක ගනුදෙනු කරන්නන් බවටත් පත්ව සිටි බව නොරහසකි. එබැවින් මුවර්වරුන්ට බි්‍රතාන්‍යයේ සහය හා රැකවරණය ලැබීම පුදුමයට කරුණක් නොවන බවත් බෞද්ධ ආගමික කටයුතුවලට බාධා පැමිණ වීමට මුවර්වරුන් ලද වෙස්වළා ගත් ආශීර්වාදයක් බවත් මයිකල් රොබට්ස් පෙන්වා දෙයි. 


මෙවැනි උණුසුමින් කැකෑරුණු වාතාවරණයක් මැද 1915 දී ගම්පොළ පෙරහරට පහර දීමේ කෝලාහලය ඇති විය. 


මෙම කෝලාහලය පිටුපස තවත් බරපතළ හේතුවක් වන බව දේශපාලන විචාරකයෝ පවසති. මුස්ලිම් වරුන් අත පැවති ආහාර හා වෙළෙඳ ඒකාධිකාරයට සිංහලයන් තුළ වූයේ බරපතළ නොකැමැත්තකි. පළමු ලෝක සංග්‍රාම සමයේ පැවැති ආහාර හිඟය දඩමීමා කරගෙන ආසාධාරණ මිලට ආහාර අලෙවි කිරීම පිළිබඳ ඔවුන්ට දොස් පැවරිණ. 


මුස්ලිම්වරු වෙළඳාමට දක්ෂ පිරිසක් බැවින් ද ගිනි පොළියට ණය දෙන්නට රුසියන් බැවින්ද ඔවුන් අවංක හා සාධාරණ පුද්ගලයන් නොවන බවටත් ඔවුන්ගේ කඩ සහ ආපන ශාලා වර්ජනය කළයුතු බවට ද මේ වනවිට මතයක් ගොඩනැගී තිබූ බව එම්. ජේ. තම්බියන්ගේ සංස්කරණ ග්‍රන්ථයේ දැක්වේ.


සිංහල මුවර්වරුන්ගේ ගැටුම ජාතිවාදී හෝ ආගම්වාදී හේතු නිසා වූවක් නොව පහතරට වෙළෙඳුන්ගේ ව්‍යාපාරවලට මුවර්වරුන්ගෙන් එල්ල වූ වාණිජ තරගකාරීත්වය නිසා ඇති වූ තත්ත්වයක් බව කේ. එම්. ද සිල්වාගේ සංස්කරණය දක්වයි. 


පොල් මිල ඉහළගොස් රබර් වෙළෙඳාමට බාධා ඇතිවීම නිසා විරැකියාව ආහාර හිඟය භාණ්ඩ මිල වැඩිවීම වැනි අසහනාකාරී වාතාවරණයක විසූ සිංහල බෞද්ධ ජනතාව මුවර් වෙළෙඳුන් විසින් සූරාකෑම නිසා මෙම වෛරය ඇති වූ බවත් කුමාරි ජයවර්ධනගේ සංස්කරණය කියයි.

 
අධ්‍යාපන වශයෙන් මයිකල් රොබට්ස්ගේ කියමනක් දෙස අපගේ අවධානය යොමු කළ යුතුව ඇත. ඔහුගේ මතය අනුව සිංහල මුස්ලිම් අරගලයට හේතු වූයේ සිංහල බෞද්ධ සංස්කෘතියනට බි්‍රතාන්‍යයන්ගේ ඇති බිය නිසා පෙරහර තහනමට ද බෙර වාදනය තහනම ද තහනම් කර ආගම් භේද අවුළුවා බෞද්ධ පුනර්ජීවනයේ කොඳුනාරටිය කඩා දැමීමට කළ උපක්‍රමයක් බවයි.

 

 

 

 

පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි