අතුරු මැතිවරණ පුරාණයෙන්

1947 මහා මැතිවරණයේ පටන්ම නොවෙනස්ව පවතින අගලවත්ත ඡන්ද කොට්ඨාසය “සම සමාජ බලකොටුවක්ව” තිබුණ ආකාරය මැතිවරණ ප්‍රතිඵල නිරීක්‍ෂණය කරන විට පැහැදිලි වෙයි. 1947 සිට 1977 දක්වා කාල පරිච්ඡේදය තුළ අගලවත්ත ආසනය ල.ස.ස.ප යෙන් වෙනස් වූයේ අවස්ථා දෙකකදී පමණය. ඒ 1952 සහ 1977 යන මැතිවරණවලදීය.

1947 ප්‍රථම මහා මැතිවරණයේදී අගලවත්ත ආසනය ල.ස.ස.ප.යට හිමිකර දුන් ඡන්ද ප්‍රතිඵලය මෙසේය. එස්. ඒ. සිල්වා (ල.ස.ස.ප- - පුටුව) 4135, ඩී. ඩී. ඇතුලත්මුදලි (බයිසිකලය) 3356, ඒ. ඒ. පෙරේරා (කුඩය) 3295, පී. ඒ. විජේගුණවර්ධන (අලියා) 1877, ඩී. ඇම්. ඇතුලත් මුදලිගේ (ඔරලෝසුව) 828, පර්සි කොරයා (ගෙය) 644 වැඩි ඡන්ද සංඛ්‍යාව 779, ප්‍රතික්ෂේපිත ඡන්ද පත්‍රිකා ගණන : 620, ඡන්දය ප්‍රකාශ කළ මුළු ගණන : 14,755, ලියාපදිංචි ඡන්දදායකයින්ගේ සංඛ්‍යාව : 35,803 ඉන් අනතුරුව එළඹියා වූ 1952 දෙවන මහා මැතිවරණයේදී ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයෙකු වශයෙන් වාර්තමානයේදී පවා ජනතා බුහුමන් ලබන “නිදහස් අධ්‍යාපනයේ පියා” යන විරුදාවලිය ලත් ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා, හිටපු මන්ත්‍රී එස්. ඒ. සිල්වා මහතා (6627) දෙවැනි ස්ථානයට පත්කර, සෙසු අපේක්‍ෂකයන් තිදෙනෙකුද (ඒ. පී. ජයසූරිය අලියා, 3480, ඩබ්ලිව්. එච්. බෝධිදාස (යතුර - 3240 සහ මුතුකුඩ බෙස්ටෝ ඬේවිඞ් ලාම්පුව - 440) පරාජයට පත් කර වැඩි ඡන්ද 7032ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරමින් ප්‍රථම වතාවට අගලවත්ත ආසනය එ.ජා.පයට හිමිකර දුන්නේය. ඉන් පසු 1956, 1960 මාර්තු සහ 1960 ජූලි සහ 1965 මැතිවරණ වලදී අගලවත්ත ආසනයේ එකම උරුමක්කාරයා වීමේ භාග්‍යය උදාකර ගත්තේ ල.ස.ස.පයේ අනිල් කුමාර් මුණසිංහ මහතාය.


1956 දී වැඩි ඡන්ද 12,721ද, 1960 මාර්තු මැතිවරණයේදී 3880 ද, 1960 ජූලි මැතිවරණයේදී 6304ද ලබාගෙන ඉතා පහසු ජයග්‍රහණ වාර්තා කිරීමට හෙතෙම සමත් විය. මැතිවරණ පෙත්සමකට මුහුණ දී මන්ත්‍රී ධූරය අහිමිවීමට පෙර අවසන් වරට 1965 මහා මැතිවරණයේදී අනිල් මුණසිංහ මහතාගේ ජයග්‍රහණය සනිටුහන් කළ ඡන්ද ප්‍රතිඵලය මෙසේය. අනිල් මුණසිංහ (ල.ස.ස.ප- යතුර) 20,752, ජී. ඩී. ඬේවිඞ් (එ.ජා.ප) 15,555, වැඩි ඡන්ද සංඛ්‍යාව 5197 කි.


අනිල් කුමාර් මුණසිංහ මහතා එම මැතිවරණයේදී අගලවත්ත ආසනයේ මන්ත්‍රී ධුරයට තේරී පත්වීමට විරුද්ධව 1965-04-14 දින ශ්‍රේෂ්ඨාධිකරණයට ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කෙරිණි. සිය නීතිඥවරුන් මාර්ගයෙන් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ අගලවත්ත, ජී. ඩී. යසපාල සහ පන්නිල, ජයනෙත්ති කෝරලලාගේ දොන් විල්මට් යන දෙදෙනාය. මෙයින් දෙවනු කී ජයනෙත්ති මහතා 1960 මාර්තු සහ ජූලි මැතිවරණවල දී එ.ජා.පයෙන් තරග කළ අපේක්‍ෂකයා විය (1). අනිල් කුමාර් මුණසිංහ මහතා හෝ ඔහුගේ නියෝජිතයන් විසින් ඔහුගේ කැමැත්ත හා අනුදැනුම ඇතිව අල්ලස් දීම (2) ඡන්දදායකයින් සිය ඡන්දය දීමෙන් වළක්වාලීම ගමනාගමන ඇමති හැටියට (1960 ජූලි මහා මැතිවරණයෙන් පසු) ලංකා ගමනාගමන මණ්ඩලය, ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ වරාය සංයුක්ත මණ්ඩලය යන ආයතන සතු දේපළ මැතිවරණ කටයුතු සඳහා අයථා ලෙස පරිහරණය කිරීම, එකී පෙත්සමෙන් ඔහුට විරුද්ධව නගා තිබූ චෝදනා විය. වර්ෂ එක හමාරක් පමණ කාලයක් මුළුල්ලේ විභාග කෙරුණ මෙම ඡන්ද පෙත්සම පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ 1966-08-13 දිනදීය. 1965 මහා මැතිවරණයේ දී ල.ස.ස.ප.යේ අනිල් කුමාර් මුණසිංහ මහතා අගලවත්ත ආසනයේ මන්ත්‍රී ධුරයට තේරී පත්වීම අවලංගු කරමින් පෙත්සම විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ. එල්. එස්. සිරිමාන මහතා ප්‍රකාශයට පත් කළ තීන්දුවේ සඳහන් වූයේ අයුතු බලපෑම, තර්ජනය කිරීම සහ අල්ලස් පිළිබඳව ඡන්ද පෙත්සමේ සඳහන් චෝදනා ඔප්පු වී ඇති බවයි. අයුතු බලපෑම් හා අල්ලස් පිළිබඳ ක්‍රියාවන් සම්බන්ධයෙන් වරදකරුවන් වූ තැනැත්තන්ට විරුද්ධව අග්‍රාණ්ඩුකාර උතුමාණන් වෙත වාර්තා නොකිරීමට හේතු ඇත්නම් දක්වන ලෙසටද නියෝග කර තිබුණි. අල්ලස් පිළිබඳ සිදුවීම් 12 දෙනෙකුටද, අයුතු බලපෑම් සිද්ධීන් 16 දෙනෙකුට ද එල්ල වී තිබුණි. පෙත්සම්කරුවන් වෙනුවෙන් ජේ.ඩබ්ලිව්. සුබසිංහ, එස්. ඊ. ක්‍රොසට් තම්බයියා, ජේ. ඊ. පී. දැරණියගල යන නීතිඥවරුන් සමඟ එම්. බාර්කුමාර් කුලසිංහ සහ රාජනීතිඥ පී. නවරත්නරාජා මහතා පෙනී සිටියේය. වගඋත්තරකාර අනිල් මුණසිංහ මහතා වෙනුවෙන් මර්වින් සෙන්ට්, ජේ. කාසිචෙට්ටි මහතාගේ උපදෙස් මත කේ. ෂින්යා, ස්ටැන්ලි තිලකරත්න, ටියුඩර් සිරිවර්ධන සහ එල්. වී. ගුණරත්න සමඟ අධිනීතිඥ නිමල් සේනානායක මහතා කරුණු දැක්වීය.


ඒ. එල්. එස්. සිරිමාන විනිසුරුතුමා දෙනු ලැබූ තීන්දුවට එරෙහිව අනිල් මුණසිංහ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළේ මන්ත්‍රීධූරය ආරක්‍ෂා කර ගැනීමේ බලාපොරොත්තුව තවදුරටත් රඳවා තබා ගනිමිනි. එහෙත් ඔහුගේ උත්සාහය නිෂ්ඵල කරමින් 1967-02-10 දින තීන්දුව ප්‍රකාශයට පත් කළ ඇපෑල් අධිකරණය මුල් නඩු තීන්දුව ස්ථිර කරමින් ඇපෑල නිෂ්ප්‍රභා කළේය. පෙත්සම්කරුවන්ගේ නඩු ගාස්තු ගෙවීමටද නියම කෙරුණි. ඡන්ද නඩුවේ තීන්දුව අනුව ඔහුට හත් වසරක් ගත වෙන තුරු ඡන්ද බලයද අහිමි වූයේය. මෙම තීන්දුව අග්‍රාණ්ඩුකාර කාර්යාලය වෙත දන්වා යැවීමෙන් අනතුරුව අගලවත්ත ආසනය සඳහා අතුරු මැතිවරණය 1967-05-17 දින පවත්වන බවත් ඒ සඳහා නාම යෝජනා භාර ගැනීම 1967-03-29 දින සිදු කරණ බවත් සඳහන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් විය. නියමිත පරිදි නාම යෝජනා පත්‍ර භාර ගැනීම 1967-03-29 දින කළුතර දිස්ත්‍රික්කයේ ආණ්ඩුවේ ඒජන්ත එම්. සිවනාදන් මහතා ඉදිරියේ සිදුකෙරිණි.

 


මතු සම්බන්ධයි.

 

ජී. ආර්. ඩී. බණ්ඩාර
ඡායාරූපය : අන්තර්ජාලයෙනි