අදහස් හුවමාරුවට මෙන්ම වෙලාව බලා ගැනීමටත් ජංගම දුරකථනයක් භාවිත කළ ඇය දකුණු පළාතේ ප‍්‍රධාන පෙළේ කාන්තා විද්‍යාලයක උසස් පෙළ විභාග අපේක්ෂක සිසුවියකි. විභාග ශාලාවට ජංගම දුරකථන ගෙනයාම තහනම් බව කීවිට ලොකු අයියා ඇයට අලූත් අත්ඔරලෝසුවක් තෑගි දුන්නේ විභාගයට ද සුබ පතමිනි.

උදේ විභාගයට යාමට සූදානම්ව ඔර්ලෝසුවේ වේලාව බැලූ ඇයට තවත් පැය එකහමාරක් ඇති බව පෙනිණි. අවසන් මොහොතෙත් තවත් ටිකක් පාඩම් කිරීමට පාසල් ඇඳුම පිටින්ම ඇය කාමරයට ගියාය. ටික වෙලාවකට පසු කාමරයට එබුණ අම්මා කීවේ ”ළමයො ගියේ නැද්ද? දැන් අටයි කාලයි” කියාය. යළිත් ඔර්ලෝසුව දෙස බැලූ ඇයට තරු පෙනුණේ කලින් වෙලාව බලද්දී මිනිත්තු හා පැය කටු දෙක මාරුවී හඳුනාගෙන ඇති බව වැටහුණු නිසාය. ඒ වනවිටත් සැබෑ වෙලාව අටට ආසන්නව තිබී ඇත.

කඩිනමින් විභාග ශාලාවට දිව ගියත් ඒ වනවිට විභාගය පටන්ගෙන තිබිණි. එහෙත් මිනිත්තු තිහකට වඩා ප‍්‍රමාද නොවීමේ වාසිය නිසා ඇයට විභාගය ලිවීමට අවසර ලැබුණා.