නව කොරෝනා වයිරසය නැවත වරක් ව්‍යාප්ත වීම හේතුවෙන් සෝල් අගනුවර සහ ඒ අවට ප්‍රදේශවල පාසල් වසා දමන්නැයි දකුණු කොරියානු බලධාරීහු අද (14) නියෝග කළහ.

ඒ අනුව අඟහරුවාදා, එනම් හෙට (15) දිනයේ සිට සෝල් අගනුවර සහ ඒ අවට ප්‍රදේශවල පාසල් වසා දැමෙනු ඇත.  

දකුණු කොරියාව තුළ, මුලින්ම නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම ආරම්භ වූයේ ඉකුත් ජනවාරි මස අග දී ය. පසුගිය පෙබරවාරි මාසයේදී වයිරසයේ උච්ඡතම කාලය වාර්තා වූ අතර ඉන් අනතුරුව වයිරස ව්‍යාප්තිය පාලනය කරගැනීමට දකුණු කොරියාව සමත් විය.

නව කොරෝනා වයිරසය ව්‍යාප්තිය පාලනය කරගැනීමේදී සාර්ථක වූ රටක් ලොව පිළිගැනුණු දකුණු කොරියාව මේ වනවිට වයිරසයේ තෙවැනි රැල්ලට මුහුණ දී සිටියි. දැන් උද්ගතව තිබෙන තත්ත්වය දකුණු කොරියාව තුළ වයිරසය පැතිර යෑමෙන් පසු ආරම්භ වූ නරකම තත්ත්වය යැයි ද වාර්තා වේ.

නව නීති අනුව දකුණු කොරියාවේ අගනුවර සහ ඒ අවට ප්‍රදේශවල පාසල්වල ඉගැන්වීම් කටයුතු මේ මාසය අවසන් වන තෙක් අන්තර්ජාලය මාර්ගයෙන් පැවැත්වෙනු ඇත.

දකුණු කොරියාව පසුගිය කාලයේදී සමාජ දුරස්ථභාවය සහ ඊට අදාළ සෞඛ්‍යාරක්ෂිත දැඩි සීමා ලිහිල් කළ අතර පැවැති සීමාවලට වයිරස ආසාදිතයන් ශීඝ්‍රයෙන් වාර්තා වීම පාලනය කරගැනීමට ප්‍රමාණත් නොවීය.
දකුණු කොරියාවේ සමාජ දුරස්ථභාවයට අදාළ සීමා යනු තෙවැනි අදියරේ සමාජ දුරස්ථභාවයට අදාළ නීති වන අතර ඊළඟ අදියරේදී මුළු රටම වසා දැමේ. ඒ අනුව බැලීමේදී දකුණු කොරියාව මේ වනවිට අවදානම් තත්ත්වය සිටින අතර මේ අදියරේදී තත්ත්වය පාලනය කරගැනීමට නොහැකි වුවහොත් ඊළඟ පියවරට යමින් දකුණු කොරියාවට රටට අගුළු දැමීමට සිදු වේ.

දකුණු කොරියාව යනු ආසියාවේ සිවුවැනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියන රට යි.

රටම ලොක්ඩවුන් කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් ඉතා පරෙස්සමෙන් විමසීමක් කළ යුතු යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දකුණු කොරියාවේ අග්‍රාමාත්‍ය චන්ග් සූ කියුන් පැවැසීය.

කෙසේ නමුත් වයිරස ආසාදිතයන් වේගයෙන් වැඩි වීම හේතුවෙන් දකුණු කොරියානු ආණ්ඩුවට දැඩි පීඩනයක් එල්ල වී ඇතැයි ද වාර්තා වේ.
 
රොයිටර්
055