(දයාරත්න ඇඹෝගම)
 
කොරෝනා ආසාදනය වී සිටින රාජාංගණය යාය පහ ප්‍රදේශයේ 16 හැවිරිදි පාසල් සිසුවා ඉගෙනුම ලබන පාසලේ සිසුන් 50 දෙනෙකු සහ ගුරුවරුන් 6 දෙනෙකු සහ එම ප්‍රදේශයේ පුද්ගලයන් 40 දෙනෙකු ස්වයං නිරෝධායනයට  ලක් කළ  බව උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පාලිත බණ්ඩාර මහතා අද (14) පැවසිය.
 
රාජාංගණය ප්‍රාදේශීය සෞඛ්‍ය  වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරින් විසින් අහඹු ලෙස පුද්ගලයින් 102 දෙනෙකු පී සී ආර් පර්ක්ෂණයකට භාජනය කිරිමෙන් පසුව මෙම ආසාදිත සිසුවා  ඊයේ (13)  හඳුනාගෙන තිබුණි.
 
මේ  හේතුවෙන් එම පාසලේ සිසුන් ඊයේ (13) දින සහ අද (14)  කිසිවෙකු පාසලට නොපැමිණි බවද වාර්තා විය. මේ සම්බන්ධයෙන් අප තඹුත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ජී.කේ.එම්.කේ.බණ්ඩාර මහතා ගෙන් කල විමසුමේදි මෙසේ පැවසිය.
 
පසුගිය 13 දින හා 14 දින කිසිදු සිසුවෙකු පාසලට පැමිණ තිබුණේ  නැහැ.ඒ වාගේම මේ පාසලේ සේවය කරන ගුරුවරුන් 34 දෙනා ගෙන් කිසිදු ගුරුවරයකු පසුගිය 13 දින සේවයට වාර්තා කර නැහැ. ඒ වාගේම අද (14) දින සේවය වාර්තා කර ඇත්තේ ගුරුවරුන් අට දෙනෙකු පමණයි.
 
පාසල් වැසිමට තීරණයක් නොමැති බවත් සෞඛ්‍ය බලධාරින්ගේ සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරින්ගෙන් ලැබෙන උපදෙස් මත ඉදිරියට කටයුතු කරන බවද අධ්‍යක්ෂකවරයා මෙහිදි පැවසිය.