(සිරිනිහාල් ගමගේ)

බද්දේගම හල්පාතොට ප්‍රදේශයේ ළමා නිවාසයක ළමයින් 12 කට හා සේවකයන් තිදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

මෙම ළමා නිවාසයේ අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි සේවකයකුට ඉකුත් දිනක කොරෝනා ආසාදනය වී ඇති අතර එම සේවකයා සමඟ ළඟින් ඇසුරු කළ සේවකයන් දෙදෙනකු හා ළමයින් දහනව දෙනෙකු ඉකුත් 12 දින පරීක්ෂණ ට භාජනය කර ඇත.

මෙම පරීක්ෂණ වාර්තා ඊයේ (15) දින ලැබී ඇති අතර එම අය අතුරෙන් පරිවාස ළමයින් දොළොස් දෙනකුට හා සේවකයන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බැව් තහවුරු කරගෙන ඇත.

එම කොරෝනා ආසාදනය වූ ළමයින් හා සේවකයන් දෙදෙනා ආරච්චිකන්ද ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකොට ඇත.

මෙම පරිවාස බාරයේ ඇති ළමා නිවාසයේ පරිවාස ළමයින් හැට පස් දෙනකු හා සේවකයන් පහළොස් දෙනෙකු සිටින අතර පිසිආර් පරීක්ෂණ සඳහා යොමුනොකර සිටි අනෙකුත් ළමයි හා සේවකයන් පිසිආර් පරීක්ෂණ සදහා යොමුකිරිම නියමිත බැව් සෞඛ්‍ය නිලධාරීන් පැවසීය.