බ්‍රිතාන්‍යයෙන් මුල්වරට හඳුනාගත් කොවිඩ් - 19 වයිරසයෙහි නව ප්‍රභේදය වැළඳුනු රෝගීන් හය දෙනකු ඉන්දියාවෙන් හමුවී තිබේ.
 
මොවුන් සියලුදෙනා බ්‍රිතාන්‍යයේ සිට පැමිණි අය බවත් මේවනවිට හුදකලා කර ඇති බවත් ඉන්දීය බලධාරීහු පවසති.
 
ඔවුන් සමග සමීප සබඳතා පැවැත්වූ අය සහ පවුල්වල සාමාජිකයන් සොයා නිරෝධායනය කිරීමට කටයුතු කරන බව බලධාරීහු වැඩිදුරටත් පවසති.
 
පසුගිය සැප්තැම්බර් මාසයේ දී එංගලන්තයේ දකුණු දිග ප්‍රදේශයේ දී මුල්වරට හඳුනාගත් මෙම නව ප්‍රභේදය මෑත සතිවලදී ලන්ඩන්, ගිණිකොන දිග එංගලන්තය සහ එංගලන්තයේ නැගෙනහිර ප්‍රදේශ දක්වා ද ව්‍යාප්ත විය.
 
කැනඩාව, ජපානය, ස්පාඤ්ඤය, ස්වීඩනය සහ ප්‍රංශය ඇතුළු ලොවපුරා රටවල් ගනනාවකින් කොරෝනා නව ප්‍රභේදය මේ වනවිට වාර්තා වී තිබේ.
 
නව ප්‍රබේධය අනෙක් ප්‍රභේද වලට වඩා වේගයෙන් ව්‍යාප්ත වන බව සොයාගෙන ඇති නමුත් මුලින් හඳුනාගත් ප්‍රභේද වලට වඩා භයානක නොවන බව විශේෂඥයෝ පවසති. 
 
මෙම නව ප්‍රබේදය රට තුළට පැමිණිම වැළැක්වීමේ අරමුණින් ඉන්දියාව පසුගිය සතියේ සිට බ්‍රිතාන්‍ය හා සම්බන්ද සියලුම ගුවන්ගමන් නවතා දැමීය.
 
ඉන්දියාවේ සියලුම ගුවන්තොටුපලවල නව ප්‍රභේදය සම්බන්ද පරීක්ෂණ සිදුකෙරෙන බව රජය නිල වශයෙන් දන්වා ඇත. පසුගිය මාසය තුළ බ්‍රිතාන්‍යයේ සිට මගීන් 33,000ක් පමණ ඉන්දියාවට පැමිණ  ඇති අතර ඔවුන්ගෙන් 114 දෙනකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගෙන තිබේ.
 
ඉන්දියාවේ මේ වනවිට කොරෝනා ආසාදිතයින් මිලියන 10කට වඩා වැඩි සංඛ්‍යාවක් වාර්තා කර ඇති අතර කොරෝනා රෝගීන් සංඛ්‍යාවෙන් ලොව දෙවන ස්ථානයට පත්වී තිබේ.
 
කොරෝනා රෝගය හේතුවෙන් ඉන්දියාවේ මේ වනවිට පුද්ගයන් 148,190ක් පමණ මියගොස් තිබේ.
 
(බීබීසී ඇසුරිණි - 085)