(ඩිල්ෂානි චතුරිකා දාබරේ)

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ මේ දක්වා මිය ගිය පිරිසගෙන් වැඩි ප්‍රමාණයක් වයස අවුරුදු 60ට වැඩි පිරිස බව  වසංගත රෝග විද්‍යා අංශය අද(07) නිකුත් කළ වාර්තාවකින් දැක්වේ. එම අගය ප්‍රතිශතයක් ලෙස 67%කි.

අවුරුදු 61-75ත් අතර 36%ක්ද, 76-90ත් අතර 28%ක්ද, වයස අවුරුදු 90%ට වැඩියෙන් 3%ක් ද වන ප්‍රමාණයක් කොරෝනා ආසාදිතව මිය ගොස් ඇත.

වයිරසය ආසාදනය වීම හේතුවෙන් අද වනවිට ආසාදිතයන් 219දෙනෙකු මිය ගොසිනි.

මිය ගිය 219 දෙනාගෙන් 137දෙනෙක් පිරිමි පුද්ගලයන් වන අතර, 82දෙනෙක් කාන්තාවෝ වෙති.  

මිය ගිය අවුරුදු 15ට අඩු සහ අවුරුදු 16-30ක් අතර ආසාදිතයන් 1%ක ප්‍රතිශතයක් ගනී.

අවුරුදු 31-45 අතර වයස්වල පසුවන මිය ගිය පිරිස ප්‍රතිශතයක් ලෙස 8%කි.

අවුරුදු 46-60ත් අතර 23%ක ප්‍රතිශතයක් මිය ගොස් ඇත.

මේ අනුව, වයස අවුරුදු 60ට වැඩි පිරිස කොරොනා වයිරසයේ අවදානමට වැඩි වශයෙන් ලක්ව ඇති බව පෙනේ.

ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියනයකට වාර්තා වන කොරෝනා රෝගීන් ගණන 2121ක් වන අතර, ජනගහනය මිලියනයකට සිදු වූ කොරෝනා මරණ ගණන 10කි. ඉන්දියාවේ එම අගය 108කි. දකුණු ආසියානු කලාපයේ මිලියනකට සිදු වූ මරණ ගණන මේ වනවිට 91 කි.