(බිඟුන් මේනක ගමගේ)

කොරෝනා ආසාදිතයන් ඇතැයි යන සැකය මත කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ඇඟලුම් කම්හල් තුනක් තාවකාලිකව වසා දමා  ඇත.

එහි සේවකයෝ සිය නේවාසිකාගාරවල රැඳී සිටිති.

මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී අදාළ කම්හල් වල ප්‍රකාශකයන් පැවසුවේ කොරෝනා ආසාදිතයින් සිටින බවට වූ සැකය මත ⁣පාලනාධිකාරිය මෙම තීරණය ගෙන ඇති බවයි.

සේවක අයිතිවාසිකම් සම්බන්ධයෙන් සොයා බලන ස්ටෑන්ඩප් මූවමන්ට් ලංකා සංවිධානයේ විධායක අධ්‍යක්ෂ අශිලා දන්දෙනිය මහත්මිය පැවසුවේ මෙම ආයතනවල සේවකයන්ට නේවාසිකාගාරවලට යන ලෙස දන්වා ඇතත් ඔවුන් විධිමත් සෞඛ්‍ය පරීක්ෂණ ක්‍රියාවලියකට තවමත් යොමු කර නැති බවයි.

 මෙම ආයතනවල සේවය කරන සේවකයන් සමග එකට නේවාසිකව සිටින වෙනත් ආයතනවල සේවක පිරිස් අදත් සේවයට වාර්තා කර ඇතැයි ද එය අවදානම් තත්ත්වයක් යැයි ද දන්දෙනිය මහත්මිය චෝදනා කළාය.
 
 මේ සම්බන්ධයෙන් විමසීමට අමන්දොලුව ජයවර්ධනපුර ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සම්බන්ධ කරගැනීමට උත්සාහ කළ ද ඔහු දුරකථනයට ප්‍රතිචාර දැක්වූයේ  නැත.

 නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් මහතා පැවසුවේ මෙම සේවක සේවිකාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් පූර්ණ වගකීම අදාළ ආයතන ගත යුතු නමුත් ඔවුන් වගකීම්  විරහිතව ක්‍රියා කරමින් සිටින බවය.