ඇඹිලිපිටිය නගරයේ උත්සව ශාලාවක පැවැති විවාහ මංගල උත්සවයක දිවා භෝජන සංග්‍රහයට ජීවී පණුවන් සහිත කුකුල් මස් ව්‍යංජනය තැබීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කෙරුණු ශාලා කළමනාකරුවකු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට අැඹිලිපිටිය මහේස්ත්‍රාත් කේ.පී.ආර්.එල්. විදානගම මහත්මිය නියෝග කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.
මිනිසාගේ මූලික අවශ්‍යතා අතර ආහාර ඉදිරියෙන් වෙයි. කුමක් තිබුණද ආහාර නොමැතිනම් පැවැත්ම සරි නොවේ. ආහාර යනු මොනවා හෝ කෑමක් ද නොවේ. එම ආහාරය හරහා මිනිසාට ආයුෂ, මරණය, සැපය, බලය හා ප්‍රඥාව ලැබිය යුතුය. ඒ පංච බලය නොලැබෙන ආහාරයකින් වැඩක් නැත. ජීවී පණුවන් දමා එම පංච බලය ඇති කළ හැකි නොවේ.
‘සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා’ යනුවෙන් ‘සියලු සත්වයෝ ආහාරයෙන් ජීවත් වෙති’ යැයි බුදුපියාණෝ දේශනා කළහ. ආහාරය අවශ්‍ය වන්නේ ජීවත් වීමටය. එහෙත් ඇතැම් අමනුෂ්‍යයෝ ආහාර වෙනුවෙන් ජීවත් වෙති. එබඳු ගෙවල යක්කු සිටිති. ජීවී පණුවන් සහිත කුකුළු මස් ව්‍යංජනයක් මංගල උත්සවයකට පැමිණි ආරාධිතයන්ට පිළිගැන්වූ ඇඹිලිපිටියේ උත්සව ශාලා කළමනාකරු එබඳු ගෙවල යකෙකු යැයි කවුරු හෝ කිව්වොත් එය අසාධාරණ ද? තීරණය පාඨක ඔබට බාර කරමු.
මංගල උත්සවයට පැමිණ සිටි වෛද්‍යවරයකු මස් කැබැල්ලක ජීවී පණුවන් සිටින බව දැක ඇඹිලිපිටිය නගරසභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක හර්ෂ අබේසිංහ මහතාට පැමිණිලි කර ඇත. වහා ක්‍රියාත්මක වූ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ව්‍යංජන භාජනය තමා බාරයට ගෙන උත්සව ශාලා කළමනාකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළේය.
මස් වෙනම තම්බා බැද තැටිවල අසුරා ශීතකරණයක තබා වෙනම සැකසූ හොද්දකට එම මස් කැබලි එක් කරන බව සෞඛ්‍ය බලධාරීන්ගේ විමර්ශනයේදී අනාවරණය වූ බව ද අප ප්‍රවෘත්තියේ සඳහන්ය.
විවිධ හේතු මත මංගල උත්සව සහ වෙනත් උත්සව හෝටල්වල, උත්සව ශාලාවල පැවැත්වීමට බොහෝ දෙනෙක් යොමුවී සිටිති. මෙම තත්ත්වය වර්තමානය වනවිට සංස්කෘතික අංගයක් තරමට වර්ධනය වී තිබේ. විශාල වශයෙන් මුදල් වැය කළ ද උත්සව අවස්ථාවට සරිලන සේ ඉතා පිරිසිදුවත් රසවත් හා ගුණවත් ලෙසත් ආහාරපාන සපයනු ඇති බවට ජනයා තරයේ විශ්වාස කරති. ඇඹිලිපිටිය සිද්ධිය එම විශ්වාසය කඩාබිඳ දමන්නකි.
නගරයක පෙට්ටි කඩයේ සිට මහා පරිමාණ හෝටල් සංකීර්ණ දක්වා අපිරිසිදු ආහාර පාන විකිණීම සිදු කරන බවට චෝදනා නැඟී තිබේ. මිලදී ගත් වඩේ එකක බෙහෙත් ප්ලාස්ටරයක් හමුවීමේ සිද්ධිය කොළඹින් වාර්තා වූයේ මෙයට හත් අට මාසයකට ඉහතදීය. ඇතැම් හෝටවල්වල මුළුතැන්ගෙය හෙවත් කුස්සිය මිහිපිට අපායක් බඳුය. හෝටලයේ වැසිකිළියේ ඇති පයිප්පයෙන්ම මස්, මාංශ, එළවළු හෝදන හෝටල් තිබෙන බවට මාධ්‍ය වාර්තා පළ වූයේ එකක් පසුපස එකක් වශයෙනි. නිල මැස්සන්ගේ රජදහන් බවට පත්ව ඇති කුස්සියේ පිසූ ආහාර වර්ග ෙහා්ටලයේ ඉදිරිපසට රැගෙන ගිය පසු පාරිභෝගිකයාට ඒ බවක් නොදැනේ.
පසුගිය සමයේ වාර්තා වූ එක් ප්‍රවෘත්තියකින් කියැවුණේ එක් හෝටලයක සීනි ගබඩා කර තිබුණේ වැසිකිළියේ ඉඩ තිබූ තැනක බවය. එබඳු වෙළඳුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ ප්‍රවෘත්ති මාධ්‍ය කොතෙක් වාර්තා කළ ද වැරැදි කරන්නන් නිවැරැදි වන බවක් ද නොපෙනේ. සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ හඳුනා නොගත් රෝගවලින් මිය යන පුරවැසියන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන බවය. ජීවී පණුවන් සහිත ආහාර ගත්විට වැළඳිය හැකි රෝගය කුමක්ද යන්න හඳුනාගැනීමට නොහැකි වීම බලාපොරොත්තු විය යුත්තකි.
මෙබඳු අමන වැඩ කරන්නන්ට ප්‍රධාන වී තිබෙන්නේ මුදල් ය. මුදල් ඉපැයීමට ඔවුහු ඕනෑම අපරාධයක් කරති. අනෙකාට හෙණ ගැහුවත් මට මොකදැයි ඔවුහු සිතති. ඒ ආත්මාර්ථකාමීත්වයේත් ධන තණ්හාවේත් පත්ලටම වැටුණු අමනයකුට වැසිකිළියේ සීනි ගබඩා කළ හැකිය. වැසිකිළියේ වතුර පයිප්පයෙන් එළවළු හා මස් මාළු සේදිය හැකිය. ජීවී පණුවන් සහිත කුකුළු මස් කෑම අමුත්තන්ට ලබාදිය හැකිය.
මෙම තත්ත්වය බැරෑරුම්ව සැලකිල්ලට ගත යුත්තේ මෙයින් රෝගී වන්නේ මුළු මහත් ජාතියම බවය. රෝගී ශ්‍රී ලංකාවක් අනාගතයේදී නිර්මාණය වීම වැළැක්වීමට නම් පුරවැසියන් මෙන්ම අදාළ බලධාරීන් මීටත් වඩා කාර්යක්ෂම විය යුතුය. විමසුම් සහගත විය යුතුය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
'එම ආහාරය හරහා මිනිසාට ආයුෂ, මරණය, සැපය, බලය හා ප්‍රඥාව ලැබිය යුතුය . මරණය ආහාරයෙන් ලැබෙන බව කියවේ. මෙය මරණය නොව වර්ණය ලෙස වියයුතුයි. ආයු, වර්ණ සැප බල ප්‍රඥා ලැබෙන්නේ ආහාරයෙන් නොව දානයෙනි. තුන් සිත පහද දෙන දානයෙහි ආනිසංස ආයු, වර්ණ සැප බල ප්‍රඥා ලැබීමයි.
මෙවැනි හෝටල් හිමියන්ට දැනට දෙන දඬුවම් 'ඇත්නම්' ඒවාද ඊට අමතරව අදාල විදිහට ඔවුන්ගේ හෝටල්/ ආපනශාලා බලපත් අවලංගු කිරීම යනාදිය යෝජනා කරමු.
මේ මිනිස්සුන්ට ලොකු සල්ලි විතරයි. මනුස්සකම්, යුතුකම්, සාරධර්ම කෝ. මොන වරදක් කළත් මේ අය සල්ලි වලින් බේරෙනවා.මගෙ සහෝදර මිත්‍රවරුනි මින්පසු සියළු උත්සව ඉඩ තියෙන හැටියට තමන් ගේ ගෙවල් වලම ගත්තොත් මුදලත් ඉතුරුයි. කෑමත් පිරිසිදුයි නේද. එක වතාවට දහ වතාවක් කල්පනා කරල හරිම හරි තීරණ ගන්න.
මෙවැනි පුදගලයන්ට මිනිමැරීමට තැත්කළ බවට චෝදනා කර ඊට පසු නඩු දන්නා ඕන. මට මතකයි මම දෝහා ඉන්න කොට, කොත්තු රොටී වලට ගන්න රොටි කපල ශීතකරණ තිබුණ කියල ඒ රටේ නගර සභාවෙන් සිංහල අවන්හල සීල් තිබ්බ. ඒ වගේම තා ඉන්දියානු අවන්හලලට සීල තිබ්බ කුකුල් මස් වතුරේ දල තිබ්බ කියල. ඒ වගේ ඉතාම දැඩි දඬුවම් දෙන්න ඕන.
කෑම කන කඩවලින් ගිහින් සබන් කෑල්ලක් ඉල්ලන්න නැහැ කියනවා. ළඟ කඩේකට ගිහින් සමහරු ගෙනත් දෙනවා. ඒ කියන්නේ උයන පිහන මිනිස්සු සබන් ටිකක්වත් දාලා අත සෝදන්නේ නැහැ කියන එකයි. අාහාර වර්ග ගන්නෙත්, සල්ලි ගන්නෙත් එකම අතින්.. අත සෝදන්නේ නැහැ... අපිට කඩවල්වලින් පුදුමාකාර ජරාවක් කවන්නේ...
මේ හෝටල් වල දවසේ අදායම ලක්ෂයකට වැඩිය වැඩිය්. මේ ඇපේ හෝටල් හිමියාට දැනෙන්නේවත් නෑ.
ලංකාවේ අනෙක් ප්‍රදේශවලට සාපේක්ෂකව ඇඹිළිපිටියේ හෝටල් හා ආපශාලාවල අපිරිසිදුකම ඉතාම ඉහළයි...
සමහරු තර්ක කරනවා උයපු කෑම වල දඟලන (පණ තියෙන) පනුවෝ ඉන්නවාද? මේක ආපන ශාලාවට පහර ගැසීමට සැලසුමක් වෙන්න බැරිද කියලා... තම්බිලා තෙලේ බැදලා වුණත් සති ගණන් තියෙනවිට මස් වල පණුවෝ හැදෙනවනේ... පිනට දුන්නත් මුදලට, වුනත් සොඛ්‍යාරක්ෂිතව පිරිසිදුව දිය යුතුමයි...
ඇඹිළිපිටියේ කුකුල් මස්වල පණුවො හිටිය හෝටලේ නම මොකක් ද ? කව්රුත්ම දන්නෙ නැද්ද ?