කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා හා 
රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ
ධම්ම දිසානායක


ක්‍රමයක් සහ විනයක් නැති රටක ඉරණම මේ ආකාරයෙන් විසඳෙන තුරු ඔහේ බලා සිටින ජන සමාජයක්. විනාශයෙන් ගැලවීමට ක්‍රමයක්, මඟක් සහ විනයක් නොසොයා ජනයාගේ මුදලින් ලක්ෂ ගණනින් වැටුප් ගනිමින් ඔහේ වගක් නැතිව සිටින හෝ න්‍යාය වමාර වමාරා තලු‍මරන බුද්ධිමතුන් නොවන උගතුන් රෑනක්. රටට, රටේ පරිපාලන ක්‍රියාවලියට දෙස් දෙවොල් තියමින් තම දරුවන් නොරටකට හෝ රටේම ඇති නොරටුන්ගේ ආයතනවලට යවා උසස් අධ්‍යාපනය සහ ඉහළ රස්සා ලබාදීම අරමුණු කර ගනිමින් අර කලින් කී මේ රටේ පරිපාලන ආයතනවල ලොකු ලොකු පුටුවල වැඩවසම් ප්‍රභූන් සේ ලැග සිටින ඒ ආයතනවලට ක්‍රමයක් සහ විනයක් යෝජනා කොට ක්‍රියාත්මක නොකරන නිලධාරි රංචුවක්, තම බලයම බල පංගුවම මිස රටකට අත්වෙමින් තිබෙන මහා විනාශය ගැන කිසිදු තැකීමක් නැති ෂයිලොක් පන්නයේ පාලක කල්ලි, ලෙඩා මැරුණත් බඩ සුද්දයි පන්නයේ නිමක් නැති නීති සහ ව්‍යවස්ථා තර්ක, රටට ජන සමාජයට සිදුවෙමින් තිබෙන විනාශය ට එරෙහිව ඒ කිසිවෙකුත් වග නොකියන, කළ යුත්ත මඟ හරින මෙවැනි පසුබිමක අප කළ යුත්තේ කුමක්ද? මෙවර ලිපිය ඒ ගැනය.

දිගු කාලයක සිට ගැටුම් නිරාකරණය, සමථනය සඳහා සටන් වැදුණු ගැටුම් නිරාකරණය පිළිබඳ දේශ දේශාන්තරවල දැනුම, තාක්ෂණය සහ බුද්ධිය ලද ඇදුරෝ, මහැදුරෝ රාජ්‍ය නොවන සංවිධානවල දේශීය අධ්‍යක්ෂවරු සහ විධායක අධ්‍යක්ෂවරු සටන් විරාමයකට ගොස් සිටිති. ඒ විරාමය තුළ ඔවුන් ගැටුම් විසඳනු වෙනුවට ගැටුමට සම්බන්ධ කුමන හෝ කල්ලියක උපදේශකයෝ හෝ ගැත්තෝ වී සිටිති. පෙනෙන ආකාරයට ඔවුන් ගැටුම් නිරාකරණයට  නැවත එනු ඇත්තේ ඔවුන් කැමැති ආණ්ඩුවක් හෝ පාලක කල්ලියක් තමන්ගේ ම දායකත්වයෙන් මහන්සියෙන් බලයට පත්කරගෙන ඒ යටතේය. ඒ අතින් ඔවුන්ගේ “මධ්‍යස්ථභාවය” අති විශිෂ්ටය.

එහෙත් ඒ බඩගෝස්තරවාදී පක්ෂග්‍රාහී නිරාකරණකරුවන් ඒ තැනට එනවිට රටක් ඉතිරි වනු නැතැයි සිතන ජනයා, මේ ගැටුම නැතහොත් අර්බුදය විසඳා ගැනීම තම පරම කටයුත්තක් ලෙස සලකා ඉදිරියට ආ යුතුය යන්න මගේ අදහසයි. නැතහොත් සිදුවන්නේ කලක් තිස්සේ ඔඩුදුවා ඇති අර්බුදයකට හේතු වූ රටේ දේශපාලන සහ ව්‍යවස්ථා ක්‍රමයේ ඇති වැරැද්ද පුද්ගලයන් අතර හෝ පුද්ගලයකුගේ වැරැද්දක් ලෙස ගෙන එකිනෙකා අතර කැත විනාශකාරී ගැටුම් ඇතිවන තත්ත්වයක් සමාජය තුළ නිර්මාණය වීමය. මා ලද සරල අත්දැකීමක් දෙස බලන්න.

කොළඹට ඉතා ම නුදුරු තැනක ඇති වැල්ලම්පිටිය පාලම හරි අමුතු එකකි, අමුතු තැනකි. මා දන්නා ආකාරයට දවසකට මගීන් සිය ගණනක් නඟින බසින පාලමක් උඩ ඇති ලංකාවේ එකම බස් නැවතුම ස්ථාන ගත කර ඇත්තේ වැල්ලම්පිටියේ පටු පාලමේ ය. පාලමේ ඇති ආරක්ෂක වැටේ සමහර කොටස් කැඩී ගොස් අනාරක්ෂිත ය. එතැන සිටින මගීන් බසයක් එනතුරු බලා සිටිය යුත්තේ හැම විටම තමන් ගැන සහ තම කුඩා දරුවන් ගැන දැඩි අවධානයකින් යුතුවය. ඒ පාලම පසුවන විටම වමට වැටී ඇත්තේ කැලණි ගඟ දක්වා යන මාර්ගය ය. ඒ මාර්ගය පටන් ගන්නා තැන පටු වුවද ඉන්පසු එය තරමක් පළල්ය.

දිනක් මා ඒ මඟෙහි යනවිට අයිනෙන් නොයා වාහන ගමනට අවහිරවන සේ ගමන් කරන දෙදෙනකු ට අයින්වන ලෙස සංඥා වනසේ ඉතා කෙටි හඬකින් යුතුව නලාව නාද කෙළෙමි. ඊට ඔවුන් ප්‍රතිචාර දැක්වූවේ මාර්ගයෙන් අයින් නොවී මට බැණවදිමිනි. කෙසේ හෝ වාහනය ඉදිරියට ගත් මා සමඟ සිටි මගේ වැඩිමහල් දියණිය ඇසුවේ වැරැද්ද කළා මදිවට ඒ දෙන්නා අප්පච්චිට බනිනවා, දැක්කේ නැද්ද?’ යන්නය. මා ඇයට දුන් පිළිතුර වූයේ, ‘දුව ඒ පාර ලොකු වුණාට පයින් යන අයට පේව්මන්ට් එකක් හදල නෑ, අඩුම ගානේ සුදු ඉරකින් වෙන් කරලවත් නෑ, එහෙම සීමා මායිම් ලකුණු කරලා තිබුණ නම් එයාලා පාර මැද යන්නෙත් නෑ, ඉතින් ඒ නිසා එයලා වැරැදිත් නෑ, අපි වැරැදිත් නෑ’ යනුවෙනි. 

‘කවුද එහෙනම් වැරැදි?’ ඒ දියණියගේ ප්‍රති ප්‍රශ්න කිරීමය.

 ඊට මගේ පිළිතුර වූයේ, ‘ඒකට වැරැදි, වගකියන්න ඕනි මහජනයා අරමුණු කරගෙන ක්‍රමයක් විනයක් නොහදපු, තවමත් හදන්නේ නැති මේ රටේ පාලකයන් මිසක් ඒ මිනිසුන් දෙන්නා නොවේ, ක්‍රමයේ වැරැද්දට ඒ මිනිස්සු මට බැණලා වැඩකුත් නෑ, මං ඒ මිනිස්සුන්ට බැණලා වැඩකුත් නෑ, ඇත්තටම මොකටද දුව ක්‍රමයේ වැරැද්ද හරිගස්සන්න වැඩ නොකර අපි, අපි ගහ මරාගන්නේ?’ 

මගේ පැහැදිලි කිරීමට එකඟ වූ ඇය කීවේ ‘ඒක නම් ඇත්ත අප්පච්චි’ යනුවෙනි.

මේ මොහොතේ රටක් විධියට අප සියල්ල මුහුණ දී ඇති අර්බුදය මීට සමාන නොවේද? මේ රටට යහපත් ජනහිතකාමී ක්‍රමයක්, විනයක් සහ ස්ථිරසාර වැඩපිළිවෙලක් සෑදීමට හරියටම කිවහොත් පාර්ලිමේන්තුවටත් බැරි විය. ජනාධිපති ක්‍රමයටත් බැරි විය.

ව්‍යවස්ථාදායකයටත් බැරි විය. විධායකයටත් බැරි විය. අධිකරණයටත් බැරි විය. ඒ සියල්ලට ඉහළින් සිටින ජනතා පරමාධිපත්‍යයටත් බැරි විය. එසේ නම් අප දැන් මුහුණපා සිටින්නේ ඒ බැරිකමේ අර්බුදයටය. 

මෙහි තවත් පැත්තක් තිබේ. එනම් බැරිකමට වඩා ඕනෑ කමක් නැති කමය. තම අංශවල සහ තම පැවැත්ම ම  මිස ජනකේන්ද්‍රීයව ප්‍රගතිශීලී අයුරින් මේ රට හැදීමට අර අංශ තුනටම ඕනෑකමක් තිබුණේ නැත, තවමත් නැත. එහි ප්‍රතිඵලය වී ඇත්තේ විධිමත් ක්‍රමයක් සහ විනයක් නැති අශීලාචාර ආර්ථික, දේශපාලන, සමාජ සහ සංස්කෘතික කලාපයක් බවට රට පත් වී තිබීමය. මේ මොහොතේ මතුවී පෙනෙන්නේ එහි කූටප්‍රාප්තිය ය.

මේ මොහොතේ ඇති අර්බුදයෙන් රට සහ ජනතාව ගලවා ගැනීම සඳහා කෙටි කාලීන සහ දිගුකාලීන විසඳුම් අවශ්‍යය ය. මීට කෙටි කාලීන විසඳුමක් ලෙස අප යෝජනා කරන්නේ භාරකාර ආණ්ඩුවක් යටතේ නොව භාරකාර මණ්ඩලයක් යටතේ පවත්වන පාර්ලිමේන්තු මැතිවරණයක් ය. ඒ හරහා ජනතා කේන්ද්‍රීය ප්‍රගතිශීලී පාර්ලිමේන්තුවක් ක්ෂණිකව පැන නඟින්නේ නැති බව ඇත්තකි. එහෙත් පැහැදිලි ආණ්ඩු පක්ෂයක් සහ පැහැදිලි විපක්ෂයක් ඇතිකිරීම සඳහා එය පිටුබලයක් වනු ස්ථිරය. කෙටි කාලීනව  එය ප්‍රමාණවත්ය.

දිගු කාලීන විසඳුම් ලෙස ජනසම්මුතිවාදී නව ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීම අත්‍යවශ්‍යය ය. එය නීතිකාරයන් කීප දෙනෙකු සහ බලකල්ලියක් විසින් තැනෙන ස්වකීය දේශපාලන බල ව්‍යාපෘති අරමුණු කරගත් එකක් නොව රටේ ජනයාගේ යහ පැවැත්ම සහ යහ ජීවනය අරමුණුකරගත් ජනසම්මුතික ව්‍යවස්ථාවක් කර ගැනීමට ජනයා රොද බැඳ ගත යුතුය. ඊට අනුව ආණ්ඩුක්‍රමය ජනාධිපති-පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් විය යුතුය. ඒ ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට ඇමැතිකම් නොලැබේ. ලද අයකු වේ නම් ඔහුගේ/ඇයගේ මන්ත්‍රී ධුරය අහෝසි වේ. එනම් ඇමැතිවරුන් නැති පාර්ලිමේන්තුවක්  පිහිටුවා ගනු ඇත. එහෙත් ඇමැති මණ්ඩලය සහ ජනාධිපති කාර්යයන් පාර්ලිමේන්තුවට වගඋත්තර බැඳිය යුතුය. නිශ්චිත අමාත්‍යාංශ ගණන ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතුය. අමතරව යම් අමාත්‍යාංශ අවශ්‍ය විය හැකි නිසා එහි ද යා හැකි උපරිම ගණන ව්‍යවස්ථාවේ දැක්විය යුතුය. පත් කරගන්නා ඇමැතිවරුන් පිළිබඳ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වග උත්තර බැඳිය යුතුය. 

මන්ත්‍රී ධුරය වාර දෙකකට සීමා කළ යුතුය. දේශපාලන නින්දගම් ක්‍රමයක් බවට පත්වී ඇති පාර්ලිමේන්තු ක්‍රමය ඉන් මුදවා ගැනීම එහි අරමුණයි. ඒ අනුව තරුණ තරුණියන් සහ අලු‍ත් සිතන්නන් පාර්ලිමේන්තුවට පැමිණෙනු ඇත. විශ්‍රාම වැටුප් ලබා දිය යුත්තේ පිටපිටම වාර දෙකක් මන්ත්‍රී ධුරය දැරුවෙකුට පමණි. ඒ මන්ත්‍රී ධුරය දැරූ තැනැත්තාගේ කාර්ය මණ්ඩලයට ඒ වරප්‍රසාදය නොලැබේ. මැති ඇමති කාර්ය මණ්ඩල අනිවාර්යයෙන්ම මධ්‍යම ආණ්ඩුවේ හෝ පළාත් රාජ්‍ය සේවයෙන් පමණක් ම බඳවා ගත යුතුය. මේ මා ඉදිරිපත් කරන දිගුකාලීන විසඳුමට අදාළ යෝජනා කීපයක් පමණි.

නැවතත් කෙටිකාලීන විසඳුම් දෙස හැරෙමු. වහා පාර්ලිමේන්තු මැතිවරණයකට යා යුතුය යන ජන සමාජයේ යෝජනාවට එරෙහිව තවත් යෝජනාවක් ඉදිරිපත්වී ඇත. ඒ පළමුව ජනාධිපතිවරණයකට යා යුතුය යන්න ය. එහෙත් එහි ගැටලු‍වක් ඇත. දැනට තිබෙන පාර්ලිමේන්තුවේ කිසිදු තනි දේශපාලන කණ්ඩායමකට හෝ කල්ලියකට බහුතරයක් නැත. එනම් කාටවත් 113 ක් නැත. ඒ නිසා පිටත දී විරුද්ධව මැතිවරණයකට මුහුණ දුන් කල්ලි ජනසෙත සඳහා නොව හුදු ධන බල වුවමනා වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ දී සන්ධානගත වීම සිදුවිය. ඉදිරියේදීත් සිදුවිය හැක. අප දැනුත් මුහුණ  දී සිටින්නේ එවැනි නොගැළපුන සහ නොහික්මුණ සන්ධාන දේශපාලනයක් නිසා ඇතිවුණ ඛේදවාචකයකටය. ජනාධිපතිවරණයක් පවත්වා එයින් ගැලවීමට හැකියාවක් නැත. හේතුව ඉන්පසුත් පවතින්නේ අර විකෘති අබල දුබල විකාර ලෙස සන්ධානගත වන පාර්ලි​ෙම්න්තුවමය. අප පාර්ලිමේන්තු මැතිවරණය පළමුව සහ වහා අවශ්‍ය බව අවධාරණය කරන්නේ ඒ නිසාය.

විසඳුම අප ඉදිරිපත් කරන දෙය නොවේ නම්, ඊට වඩා වෙනස් සහ බරසාර විසඳුමක් තිබේ නම් ඒ විසඳුම ඉදිරිපත් කරන ලෙස බලපොරයේ සිටින සියලු‍ පාර්ශ්ව වෙතින් ඉතා ඕනෑකමින් මේ රටේ ජනයා වෙනුවෙන් අපි ඉල්ලා සිටිනවා පමණක් නොව ඒ විසඳුම ක්‍රියාවේ යෙදවීමට ද හැකි උපරිමයෙන් කටයුතු කරන්නෙමු. හැබැයි ඒ විකල්ප විසඳුම් යෝජනාව බලපොරයේ සිටින සියලු‍ පාර්ශ්ව වෙතින් අනුමැතිය ලැබූ ඒකාබද්ධ එකක් විය යුතුමය.