සබරගමුව පළාත් සභාවේ හිටපු සභානායක හා මාවනැල්ල මැතිවරණ කොට්ඨාසයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක එම්.අයි.එස්. කාදර් නැමැත්තාගේ නිවෙසේ සඟවා තිබූ විදේශයේ නිෂ්‍පාදිත ගිනි අවි තුනක්, ජීව උණ්ඩ තොගයක් හා දැලි පිහි දෙකක් සොයාගත් බවත් එම ගිනි අවි සමග අදාළ ආසන සංවිධායකවරයා අත්අඩංගුවට ගත් බවත් සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. දැන් ඔහු රිමාන්ඩ් බාරයේය. පොලිස් විශේෂ කාර්ය බළකාය මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව සඳහන් කරන අප පුවත්පත වැඩිදුරටත් සඳහන් කරන්නේ විනෝදාංශයක් ලෙස මෙම ගිනි අවි මිල දී ගෙන තමා සන්තකයේ තබාගත් බව ආසන සංවිධායක සැකකරු පවසන බවයි.

දේශපාලනඥයන් විනෝදාංශයක් වශයෙන් ගිනි අවි ඒකරාශී කරනවිට ඡන්දදායකයන්ට සිදුවන්නේ වෙඩි කෑම විනෝදාංශයක් වශයෙන් පුරුදු කිරීමටය. රට පත්වී ඇති ඉරණම කුමක්ද යන්න මෙමඟින් මනාව නිරූපණය වේ.

1987න් පසුව ඇරැඹුණු ශාපලත් භීෂණ සමයේදී එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ තමන්ගේ ආරක්ෂාව තමන්ම බලාගත යුතු බවය. එම ප්‍රකාශයේ හඬ මැකී යාමටත් පෙර නාඳුනන තුවක්කුකරුවා ප්‍රසිද්ධ දේශපාලනයේ නියැලුණු දේශපාලන පක්ෂ නියෝජිතයන් සොයා ආවේය. නාඳුනන තුවක්කුකරුවාගේ නියෝගය වූයේ එතෙක් දැරූ දේශපාලන මතවාදයෙන් තමන් ඉවත් වූ බවත්, එම දේශපාලන පක්ෂයේ සාමාජිකත්වයෙන් තමන් ඉවත් වූ බවත් ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කර දේශපාලන කටයුතුවලින් ඉවත් විය යුතු බවත්ය. එම නියෝගයට අවනත නොවන්නේ නම් ​ෙද්‍රා්හියන්ට මරණ දඬුවම යටතේ මරණය හිමිවන බවත් එයට අමතරව පවුල්වල සාමාජිකයන්ට මරණය හිමිවන බවත්ය.

කැන්ගරු අධිකරණයේ මෙම තීන්දුව රටේ තැන තැන ක්‍රියාත්මක වීම ඇරැඹුණ අතර අැතමෙක් නාඳුනන තුවක්කුකරුවාගේ නියෝගයට අමතරව දේශපාලනයෙන් සමුගත්හ. ඇතැමෙක් එසේ සමු නොගත්හ. එහෙත් ඔවුන්ට ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්න මතු විය. එකම විසඳුම වූයේ තමන්ගේ ආරක්ෂාව තමන්ම බාර ගැනීමේ න්‍යාය ක්‍රියාත්මක කිරීමය. ඒ වෙනුවෙන් එම දේශපාලනඥයෝ තමන්ගේම වූ සන්නද්ධ කල්ලි නිර්මාණය කර ගත්හ. ආරක්ෂාවට අමතරව තමන්ට තර්ජනයක් වේ යැයි සිතූ ගමේ විසූ තරුණයන් ඝාතනය කිරීමට ද ඔවුහු පියවර ගත්හ. ඇතැම් දේශපාලනඥයන්ගේ නම්වලින් හැඳින් වූ සමූහ සුසාන භූමි පිළිබඳ අත්දැකීම තවමත් තිබේ.

දේශපාලනය හා පාතාලය අතර සම්බන්ධයක් ගොඩනැඟුණේ එසේය. දේශපාලනඥයා තමා ආරක්ෂා කිරීම ඒකාන්ත යැයි සිතූ පාතාලය ඉවක් බවක් නොමැතිව දේශපාලනඥයාගේ අරමුණ මුදුන් පැමිණවීමට කටයුතු කළේය. තමන්ගේ ආරක්ෂාවට ඇති එකම මාවත ආරක්ෂාව තර කර ගැනීම යැයි සිතූ දේශපාලනඥයෝ පතාලයන්ට අවැසි පරිදි ක්‍රියා කිරීමට පියවර ගත්හ.

​ෙද්ශපාලන පාතාලය ගොඩනැඟුණේ එසේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් නිල හමුදාවලට අමතරව නොනිල හමුදා කරළියට ආවේය. ප්‍රා. කහ බළල්ලු, කොළ කොටි ආදී නාම පුවරු එයට උදාහරණ වේ. මෙහි තාර්කික අන්තය වූයේ හැට දහසක් තරුණ තරුණියන් මිනීවළවල් නොකැපී මිහිදන් වීමය. මවුවරුන්ට කඳුළු උරුම වීමෙන් හා පියවරුන්ට වේදනාව උරුම වීමෙන් එම වේදනාබර ශාපලත් යුගය නිමාවට පත් විය.

ඉතිහාසය එසේ වූවද වර්තමානය බෙහෙවින් වෙනස්ය. උතුරේ හෝ දකුණේ වෙඩි පත්තුවෙන්නේ නැත. දේශපාලන අරමුණු වෙනුවෙන් අවි අතට ගත් සන්නද්ධ ක්‍රියාකාරීත්වයක් දකු​ෙණ් ද නැත. එහෙයින් ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ ප්‍රශ්නයක් රටේ කිසිදු බිම් අඟලක නැත. පාතාලයන්ගේ ගිනි අවි පත්තුවීම හැර සන්සුන් සංහිඳියාවක රට ගිලී තිබේ.

මෙබඳු පරිසරයක රට කරවන ප්‍රධාන පක්ෂයක ආසන සංවිධායකවරයකුගේ නිවෙසින් විදේශයේ නිෂ්පාදිත ගිනි අවි හා ජීව වෙඩි උණ්ඩ තොගයක් හමුවීම විශේෂ සැලකිල්ලට ගත යුතුය. මෙම ගිනි අවි කිසියම් අපරාධයක් සඳහා මෙයට පෙර යොදා ගත්තේ ද යන්න සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වන බව අප පුවත්පත වාර්තා කළේය. එමෙන්ම මෙම මොහොත වනවිට ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණ සම්බන්ධයෙන් ද විවිධ කතා මාධ්‍ය මගින් ප්‍රකාශයට පත් වෙමින් තිබේ. ඒ සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ සේවය අත්හිටුවා දීර්ඝ වශයෙන් ප්‍රශ්න කරමින් ද තිබේ.

මෙම පරිසරය තුළ දේශපාලනඥයකුගේ නිවෙසින් ගිනි අවි හා ජීව උණ්ඩ හමුවීමේ පුවත සරල නැත. මෙරට දේශපාලනඥයන් වැඩි දෙනකු නොකරන්නේ ද දේශපාලනයම පමණි. පාතාල කල්ලි ප්‍රවර්ධනය කිරීම, අල්ලස් ගැනීම්, කොමිස් ඉල්ලීම්, සොරකම් කිරීම් ජයටම කරගෙන යති. අංගපුලාවක් නැති මෙම දේශපාලනයට තිත තැබිය යුතුය. ඒ සියල්ලටම ඉහළින් නීතිය බලගැන්විය යුත්තේ එහෙයිනි.