එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි මහා සභා සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජිනීවාහිදී ආරම්භ වූයේ පසුගිය 25 වැනිදාය. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මානව හිමිකම් තත්ත්වය පිළිබඳ සොයා බැලීම එහිදී සිදුවේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය සම්බන්ධයෙන් වන යෝජනාවේ ප්‍රගතිය ගැන සැකැසූ සම්පූර්ණ ලිඛිත වාර්තාව කවුන්සිලයට එහිදී ඉදිරිපත් කෙරෙනු ඇත. මාර්තු 20 වැනිදා ඉදිරිපත් කෙරෙන මෙම වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් ද පැවැත්වේ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ සමඅනුග්‍රහය ඇතිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට 2015 දී ඉදිරිපත් කළ යෝජනාවෙන් ලංකාව ඉවත් කරගැනීමට අපේක්ෂා කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදහස් පළකරන්නේ එවැනි පසුබිමකය. ඉලක්ක සම්පූර්ණ කරගත් පරිසරයක මෙවැනි තීන්දුවකට ලංකාව එළැඹියේ නම් ගැටලුවක් නැතත් මේ මොහොතේ මෙවැනි සූදානමක් ගැන කවුන්සිලයට වාර්තා වීම බරපතළ තත්ත්වයක් වනු ඇත. විශේෂයෙන්ම මෙහිදී රාජ්‍යමය වශයෙන් ගැනීමට සූදානම් වන තීන්දුවේ පදනම ගැන අපට අවධානය යොමු කිරීමට සිදුවේ. එය හුදෙක්ම ජනාධිපතිවරයාගේ නිගමනයකි. එනිසා එය ජාත්‍යන්තර තලයේදී බරපතළ ප්‍රතිවිපාක උදාකරන තත්ත්වයක් බවට පවා පත්වීමට ඉඩ නැතිවා නොවේ.

ජනාධිපතිවරයා සන්ඩේ ටයිම්ස් පුවත්පතට කළ ප්‍රකාශයක් අනුව ලංකාව සමඅනුග්‍රහ යෝජනාවෙන් ඉවත් කරගැනීමට සූදානම් වන්නේ හමුදාව යුද අපරාධ නොකළේය යන තර්කයෙහි පිහිටාය. එහෙත්  ජනාධිපතිවරයාගේ මෙම දේශපාලන යෝජනාව අපට සලකා බැලීමට සිදුවන්නේ 2015 යහපාලනයේ මූලාරම්භය සමඟ බව අවධාරණ කටයුතුය. 2015 ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා හැටියට තරග කළ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ එක් පොරොන්දුවක් වූයේ යුද සමයේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පැවැත්වීමය. 2015 දී ජිනීවා සමුළුවට ඇමෙරිකා එක්සත් ජනපදය ඉදිරිපත් කළ යෝජනාවලියට සමඅනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකාව කටයුතු කළේ එම ස්ථාවරයේ එක් පියවරක් හැටියටය. එම යෝජනාවලියේ අන්තර්ගතව තිබූ කරුණු ගැන සිහිකිරීම මෙහිදී වටී.

2009 යුද සමයේ යුද අපරාධ සිදුවී නම් ඒ පිළිබඳව සොයා බලා වාර්තා කර යුද අපරාධ පර්ෂදයක් පිහිටුවා එමගින් හඳුනාගත හැකි වැරැදිකරුවන්ට දඬුවම් කිරීම එහි කරුණක් විය. එය එක්තරා ආකාරයකට වගකීමට මෙන්ම වගවීමට ද බැඳී සිටීමකි. මෙම සමඅනුග්‍රහ යෝජනාවකට මූලිකත්වය ගෙන කටයුතු කළේ එවක විදේශ ඇමැති මංගල සමරවීර මහතාය. ඒ අවධියේදී විපක්ෂයේ දැඩි විවේචනයට ලක් වූ පියවරක් බවට මෙම සිදුවීම පත්විය. ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, අනන්‍යතාව හා ස්වෛරීත්වය පාවාදීමක් හැටියට ඔවුහු එය හැඳින්වූහ. මෙය එක්තරා ආකාරයක අන්තර්ජාතික යුද අධිකරණයක් යැයි කී ඔවුහු මෙම පර්ෂදයට විදේශීය විනිසුරන්ගේ සහාය ලබාගැනීමත් විත්තිකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටීම සඳහා විදෙස් විනිසුරන්ගේ සහාය ගැනීමට හැකියාව තිබීමත් විවේචනය කළහ. ස්වෛරී රාජ්‍යයක අධිකරණයට මෙමගින් තර්ජනයක් එල්ල වන්නේ යැයි ද කීහ.

එහෙත් එකී යෝජනා අනුව කටයුතු කිරීමේ වරදක් මම නම් නොදුටුවෙමි. ඊට හේතුව එය අන්තර්ජාතික අධිකරණයක් කර නොගෙන ලංකා පාර්ලිමේන්තුවේ යෝජනා මගින් ඉදිරියට යන අධිකරණයක් බවට පත්කරගැනීමේ හැකියාවක් තිබීමය. එහෙත් ලංකා ආණ්ඩුව පැත්තෙන් එවැනි සංයුක්ත පියවරවලට යෑමක් අප දුටුවේ නැත. දේශීය විනිසුරන්ගේ සහාය ගැනීම අපේ කැමැත්ත අනුව තීරණය කළ හැකිව තිබිණ. විශේෂයෙන්ම පරණගම කොමිසම් වාර්තාවේ සඳහන්ව තිබූ පරිදි ලංකාවේම මහාධිකරණයේ දිගුවක් බවට එම අධිකරණය පරිවර්තනය කරගැනීමට අපට හැකියාව තිබුණ ද එවැනි විකල්ප කිසිවක් ගැන අපි කල්පනා නොකළෙමු.

දේශපාලනයේදී බොහෝ ප්‍රශ්නවලට පිළිතුරු සොයන්නේ කාලයාගෙනි. කල් මැරීමෙන් බොහෝ දේ ජනතාවට අමතක වීම ඊට හේතුවයි. එහෙත් මානව හිමිකම් වැනි බරපතළ විෂයයක් කාලයාගේ වැල්ලෙන් වැසී යන්නට දී පිළිතුරු සෙවිය හැකි යැයි සිතීම හිතලුවකි. විශේෂයෙන්ම ජාත්‍යන්තර පරිමාණයෙන් එල්ලවන යුද අපරාධ වැනි චෝදනා සම්බන්ධයෙන් සෙල්ලම් කරන්නට රටක් හැටියට අපට බැරිය. කෙටියෙන් කිවහොත් දේශීය වශයෙන් කරන ක්‍රීඩාව ජාත්‍යන්තරයට වලංගු නැත. අනෙක් අතට මෙවැනි දළදඬු පිළිවෙතකට යනවාට වඩා අප ආ ගමන්මග ගැන සිතීම වඩා වටී.

උදාහරණයකට මානව හිමිකම් සම්බන්ධයෙන් දැඩි චෝදනා එල්ල වූ මහින්ද රාජපක්ෂ පාලන කාලයේදී පවා කිසියම් ආකාරයේ ප්‍රශස්ත පියවර ගැනීම් සිදු නොවුණා නොවේ. උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම, මැක්ස්වෙල් පරණගම කොමිසම, උදලාගම කොමිසම, අතුරුදන්වූවන් පිළිබඳ කොමිසම ඊට උදාහරණ ලෙස දැක්විය හැකිය. අවසානාත්මක තැනකට තල්ලු නොවූව ද එම කොමිසම් විසින් ද සැලකිය යුතු මට්ටමේ නිර්දේශ නිකුත් කරනු ලැබිණි. විශේෂයෙන්ම විමර්ශන සඳහා සාපරාධී ක්‍රියා රැසක හඳුනා ගැනීම් ඒවායේ අන්තර්ගත විය. ජාත්‍යන්තරය යහපාලනයෙන් අපේක්ෂා කළේ ඉන් ඔබ්බට යෑමකි. සරලව කිවහොත් හඳුනාගත් දෑ සම්බන්ධයෙන් දඬුවම් පැමිණවීමම අදාළ විමර්ශන ක්‍රියාවලියක ආරම්භයයි. අපට තිබුණේ ජාත්‍යන්තර වශයෙන් මෙය ලැබුණු අවසන් අවස්ථාව සේ සලකා කටයුතු කිරීමටය. වැරැදි කර ඇති හමුදා හෝ හමුදා නොවන පුද්ගලයන් එතරම් බරපතළ නොවන දඬුවමකට හෝ ලක් කළේ නම් එය මානවවාදී නීතියෙහි ප්‍රශස්ත පිළිගැනීමට ලක්වන සිදුවීමක් බවට පත්වන්නට තිබුණේය. එසේ වී නම් ප්‍රශ්නය ද එතැනින් ඉවරය.

එහෙත් දැන් තත්ත්වය කැරකෙන්නට යන්නේ අංශක එකසිය අසූවක් ආපිටටය. ලංකාව රටක් හැටියට උත්සාහ කරමින් සිටින්නේ යුද්ධ සමයේදී මානවවාදී නීති කඩවීමක් සිදු නොවී යැයි ජනාධිපතිවරයා කරන උපකල්පනය මත ජිනීවා සමඅනුග්‍රහ යෝජනාවෙන් ඉවත්වීමටය. මෙය සිදුවීමක් හැටියට ගතහොත් මානව හිමිකම් සම්බන්ධයෙන් වූ ජාත්‍යන්තර ආයතන පද්ධතියත් පුද්ගලයනුත් ක්‍ෂණික කම්පනයට පත්වන පුවතකි. අදාළ පුවත වාර්තා කර ඇති ආකාරයට විදේශ කටයුතු අමාත්‍යාංශය පවා උත්සාහ ගනිමින් සිටින්නේ මෙවැනි තීරණයක ඇති වාසි අවාසි ගැන ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමටය. 

2015 ජාතික සමගි සන්ධාන ආණ්ඩුවේ විදෙස් පිළිවෙත සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ තිබුණේ විශාල ප්‍රසාදයකි. මානව හිමිකම් තලයෙහි ජාත්‍යන්තරය නම්‍යශීලී ප්‍රතිපදාවක පිහිටන්නට  එය ද හේතුවක් විය. දේශපාලන වශයෙන් පෙර නොවූ විරූ දීගයකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් අතර හටගත් සමගිය ලෝක ප්‍රජාවේ අවධානය ලංකාව කෙරෙහි යොමු කළේය. එහෙත් වසර හතරක ඇවෑමෙන් ලියැවෙන දේශපාලන ශේෂ පත්‍රයෙහි ජාතික ආණ්ඩුවක් ඉතිරි වී නැත. නායකයන් ද පිළිමලුන් පිටුදකින පිළිවෙතකට අවතීර්ණව යන්නේ දෙමඟක බව රටට මෙන්ම ලෝකයට ද පැහැදිලිය. මානව හිමිකම් විෂයෙහි ගන්නට සූදානම් වන තීන්දු තීරණවලදී ද මේ දේශපාලන විරසකය සාධකයක් වනු ඇත.

විශේෂයෙන්ම ජනාධිපතිවරයා අදහස් පළ කර ඇති අයුරින්ම දේවල් සිදුවුවහොත් නැවතත් ලංකාව පත්වනු ඇත්තේ 2014 තත්ත්වයටය. ජාත්‍යන්තර තලයෙහි ලංකාව රටක් හැටියට හුදෙකලා කරන හෝ කොන්කරනු ලබන ප්‍රවණතාවක් දක්වා වුව එය දුරදිග යන්නට ඉඩ ඇත. මෙය හුදෙක් අප අවධාරණය කරන්නේ එන්.ජී.ඕ. මානසිකත්වයකින් නොව ජාත්‍යන්තර නීතිය හා නූතන රාජ්‍ය අතර ඇති සංයුක්ත නෛතික හා දේශපාලන බැඳීමේ යථාර්ථ මත පිහිටාය. විශේෂයෙන්ම මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් රාජ්‍යයකට චෝදනා එල්ල කර ඇති අවස්ථාවකදී ජාත්‍යන්තර පිළිගැනීමට තුඩු දෙන හා නොදෙන සාධක මත පිහිටාය. ජාත්‍යන්තර වශයෙන් සුවිශේෂී අංගලක්ෂණ වශයෙන් සලකන මානව හිමිකම් ආරක්ෂා කිරීම්, යුද අපරාධ සිදු නොකිරීම්, පෞද්ගලික නිදහස ආරක්ෂා කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම ආදී තලයන්හිදී 2015-2016 කාලයේදී ලංකාව ප්‍රශස්ත මට්ටමකට පැමිණි බව ලෝකය විවාදයක් නැතිව පිළිගත්තේය. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාවට දෙවැනි ශ්‍රේණියේ සිට පළමුවැනි ශ්‍රේණිය දක්වා උසස්වීමක් ලැබුණේ ද එහි ප්‍රතිඵලයක් වශයෙනි. 

එහෙත් 19 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කළ චෝදනාවේදී එක් කරුණක් වූයේ මානව හිමිකම් කොමිසමයි. එහි ස්ථාපිත පදනම වෙනුවට වැරැදිකරුවන්ට නිදහස දෙන තැනක් ද යන අර්ථයෙන් විමසීමම ප්‍රශ්නයකි. විශේෂයෙන්ම මරණ දඬුවමට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අදහස් දැක්වීමත් ජාත්‍යන්තර ක්ෂමා ආයතනය ඇතුළු ජාත්‍යන්තර ආයතනවල මතවාදත් එක මල්ලට ගෙන ඒවා මත්ද්‍රව්‍ය මර්දන සටනට බාධකයක් හැටියට දක්වන තර්කය ද අපට පිළිගැනීමට නොහැකිය. නිසි අපරාධ විමර්ශන ක්‍රියාවලියක් හා අධිකරණ ක්‍රියාවලියක් මගින් අපරාධ අවම කරගැනීමේ හැකියාව අපට පවතී. එවැනි විද්‍යාත්මක පසුබිමක් තිබියදී හුදු ආකස්මික සිදුවීම් මත හටගන්නා කම්පිත ආවේග මගින් ආණ්ඩුකරණයට යෑම ප්‍රඥාගෝචර නොවේ. මානව හිමිකම් කොමිසම් යනුම සිද්ධාන්ත, ප්‍රතිපත්ති හා ජාත්‍යන්තර නීති රීති මත රැඳී ඊට අනුකූලව ක්‍රියා කරන ආයතනය.

ආණ්ඩුකරණයේදී ජනප්‍රියතා රැකගැනීම් සඳහා හෝ ආවේගවලට යටපත් වී හෝ ජනප්‍රියවාදීවීම් උදෙසා හෝ තීන්දු තීරණ ගැනීම් එයින් අපේක්ෂා කළ නොහැකිය. අපරාධකරුවකු සම්බන්ධයෙන් පවා මානවවාදී නීතිය අනුව කටයුතු කළ යුතුය යන ලෝක ධර්මය එහි පිළිවෙතයි. ඉතින් එවැනි ආයතනයක් සම්බන්ධයෙන් අමු අමුවේ කරන චෝදනා අපට සැලකිය හැක්කේ ආණ්ඩුකරණයෙහි දුබලභාවය මිස වෙන කරුණක් ලෙස නොවේ. 

යහපාලනයේ ආරම්භක දෙවසර මානව හිමිකම් විෂයෙහි ජයග්‍රාහී කාලපරිච්ඡේදයක් යැයි උපකල්පනය කළහොත් පසුගිය වසර දෙකක කාලයේදී අපට නැවතත් දකින්නට සිදුව ඇත්තේ ජයග්‍රාහී ගමනේ අපගමනයකි. පසුගිය වසරේ ඔක්තෝබර් 26 සිදු වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක්‍ෂණික ආණ්ඩු මාරුව එහි උච්චතම අවස්ථාවක් හැටියට දැක්විය හැකිය. යුද අපරාධ සේ ගිණිය නොහැකි මුත් ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය යුතු මනුෂ්‍ය ඝාතන, පුද්ගල අතුරුදන් කිරීම් ආදිය සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින ආරක්ෂක අංශවල නිලධාරීන් හා සෙබළුන් අතළොස්සකට අදාළව සිදුවන පරීක්ෂණවලට රජයේ ඉහළම තැන්වලින් එල්ල වන බලපෑම් ද එවැනිය. ලංකාවේ අපරාධ නීතිය හමුදා සාමාජිකයන් සම්බන්ධයෙන් වෙනස්ම ආකාරයකට ක්‍රියාත්මක වන්නේ ද යන චෝදනාව එමගින් නැගෙනු ඇත.

මීට පෙර ද සඳහන් කළ පරිදි මානව හිමිකම් සම්බන්ධ ප්‍රශ්නය බේරාගැනීමට ඇති අවසාන අවස්ථාව සේ සලකා අප කටයුතු කළ යුතු බව මගේ අදහසය. එහිදී අප තේරුම් ගැනීමට උත්සාහ කළ යුත්තේ ජාත්‍යන්තර වශයෙන් කෙරෙන යෝජනාවල හරයයි. ජාත්‍යන්තර විනිසුරන්ගේ සහාය ගැන සඳහන් වන්නේ තමන්ගේ නඩුව තමා නොඇසිය යුතුය යන ස්වාභාවික යුක්ති මූලධර්මයෙහි පිහිටාය. අපක්ෂපාතී විශේෂඥ සහාය ද ගෙන රටක් හැටියට ලංකාව කැමැති මට්ටමින් එම ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාමේ හැකියාව තවමත් අපට ඇත. එවැනි වාසිසහගත තත්ත්වයක් තිබියදී අප සමඅනුග්‍රහ යෝජනාවෙන් ඉවත්වීමට කටයුතු කළහොත් ජාත්‍යන්තර පාර්ශ්වකරුවන් අප සලකනු ඇත්තේ පාවාදීමක් කළ කෙනකු ගානටය. එය කිසිසේත්ම අපේ රටේ හොඳ නාමයටත් දේශපාලන ප්‍රතිරූපයටත් විදෙස් පිළිවෙතටත් යහපතක් නම් නොකරනු ඇත.

විශේෂයෙන්ම ආර්ථික තලයේදී ණය, ආධාර වැනි ක්‍ෂේත්‍රවලටත් ණය ආපසු ගෙවීමේ ලිහිල් සහනවලටත් එය ඍජුවම බලපානු ඇත. විශාල ණය කන්දරාවක් දරා සිටින හා එයින් මහත් වැර වෑයමින් ගැලවෙන්නට යත්න දරන රටක් හැටියට එය අපට උදාකරනු ඇත්තේ බිහිසුණු ප්‍රතිවිපාක බව අමුතුවෙන් කිව යුතු නැත. මානව හිමිකම් හා ආර්ථික සහයෝගය යනු අද වනවිට ජාත්‍යන්තරයෙහි වෙන් වෙන්ව හඳුනාගත හැකි විෂය දෙකක් නොවේ. එය ඒ තරමට එකිනෙකට ප්‍රතිබද්ධය. 

ජාතිකවාදී මතවාද ප්‍රවර්ධනය හරහා සිය ඡන්ද පදනම වැඩි කරගැනීම දැන් දැන් දේශපාලනයේ ප්‍රවණතාවක් වී තිබේ. මේ ප්‍රවර්ධනයෙහි බෙහෝවිට ඇත්තේ විවිධ දේශපාලකයන්ගේ පෞද්ගලික දේශපාලන අරමුණු හා පක්ෂ බල ව්‍යාපෘතිය. පක්ෂ දේශපාලන බල ව්‍යාපෘති හා ජාත්‍යන්තරය සමඟ සීරුවට කළ යුතු රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනු පටලවා ගත යුතු නැතත් මේ සිදුවෙමින් පවතින්නේ එයයි. විවිධ ජනප්‍රිය ප්‍රවණතා මත නායකයන්ට දේශීය වශයෙන් තම දේශපාලන ගමනට වාසිසහගත වන තීන්දු ගත හැකි නමුත් ඔවුන් සිතිය යුත්තේ එවැනි ක්‍රියාකාරකම් ජාත්‍යන්තර තලයේදී රටත් සිය රටවැසියාත් හෙළනු ඇත්තේ කවර ප්‍රපාතයකටදැයි කියාය. රාජ්‍ය පාලනයේදී අවශ්‍ය රාජ්‍යතාන්ත්‍රිකභාවයත් දූරදර්ශීභාවයත් රැකගැනීමට තරම් පාලකයන් අනතිමානී නොවුවහොත් එය කොහොමටත් ඇතිකරනු ඇත්තේ අනතුරක්මය. මෙවැනි තීන්දුවලට ජාතිකවාදී කණ්ඩායම්වලින් ජය ඝෝෂා නැඟෙනු ඇත. එහෙත් රාජ්‍ය පාලනය යනු ජනප්‍රියවාදී සටන් පාඨවලින් ඇස් නිලංකාර කරගෙන කළ හැකි දෙයක් නොවේ. ප්‍රතිවාද හමුවේ නොසැලෙන ගුණය මෙන්ම ජයඝෝෂා හමුවේ මනස අවුල් නොකර ගැනීමේ ශක්තිය ද ඊට අවැසිය.  

සංවාද සටහන - බිඟුන් මේනක ගමගේ